Labels

Saturday, October 28, 2017

මෙනෙහි කරන වාරයක් පාසා පින් ලැබෙන කායගතාසතිය

" ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දැනුම බුදු කෙනෙකුට හැර ලොවේ කිසිවකුට ලබන්නට බැහැ. එතරම් දැනුමක්, දක්ෂ බවක්, ව්‍යක්ත බවක්, උන්වහන්සේ තුළ විද්‍යමාන වුණා. එසේම උන් වහන්සේ සීල තේජසින් , ගුණ තේජසින් , ඥාන තේජසින්, ධර්ම තේජසින්, අසීමිත ව බැබළුණා. ඒ නිසා ම රාජ රාජ මහා අමාත්‍යවරු , ගම් රට වැසි ජනතාව, දෙව් බඹුන් පවා බුදුන් වහන්සේ හමුවට පැමිණ දෙදණ නමා, දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කළා. පුද සත්කාර අපමණ ගලා ආවා. මේ බුදු අසිරිය ගැන පින්වත් සැවො ම හසළ දැනුමක් ඇති කරගන්නට අවශ්‍යය යි."

බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ භාවනා පිළිබඳ ගැඹුරු නුවණින් මෙනෙහි කර අමා මහ නිවන් සුව අවබෝධයෙන් ලැබූ සැනසුම අපමණ යි. අප මහා බෝසතාණන් වහන්සේ ආනාපාන සති භාවනාව පාදක ව ධ්‍යාන උපදවා අරූපාවචර තත්ත්වයට පත්ව අභිඤ්ඤා අනුපිළිවෙළට ලබා ගත්තා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මඟ ඵල ලබා ගෙන සුවිශේෂී බුද්ධ ඥානයන් පහළ කර ගැනීමට භාග්‍ය ලැබුවා.

උන්වහන්සේට අතීත සංසාරය බැලිය හැකි පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වුණේ සැදෑ කාලය අවසන් වී මධ්‍යම රාත්‍රිය ආසන්නයේ යි. මධ්‍යම රාත්‍රිය ඉවත් වෙද්දී දිවැස් නුවණ පහළ වුණා.
උදෑසන කාලයට ප්‍රථමයෙන් අළුයම් කාලයේ දී සර්වඥතා ඥානය හෙවත් උත්තරීතර බුද්ධත්වය ලබා ගැනීමට උන්වහන්සේ භාග්‍ය ලැබුවා. ඒ සඳහා උන් වහන්සේ මෙනෙහි කළේ පටිච්ඡ සමුප්පාද ඥානය යි. ඇතිවීම , නැතිවීම දෙස හොඳින් බැලුවා. නිරෝධය යනු නැතිවීම යි. ‘අවිජ්ජයා පච්ඡයා සංඛාර’ වශයෙන් අනුලෝම , ප්‍රතිලෝම ව හොඳින් මෙනෙහි කළා. නැතිවීම නොහොත් නිරෝධය මෙනෙහි කිරීමෙන් තමන් වහන්සේගේ විදර්ශනා ඥානය හොඳින් දියුණු තියුණු කරගන්නට සමත් වුණා.
මෙලෙස ඥාන සාගරයක් පහළ වුණේ විදර්ශනා ඥාන ලැබීමෙන් පසුව යි. ඒ අතුරින් ද සුවිශේෂී ඥාන හයක් තිබෙනවා. එනම්, ‘ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය’ නොහොත් සත්ත්වයන්ගේ සද්ධා ආදී ගුණ තිබෙන ආකාරය දැන ගැනීමේ නුවණ යි. ‘ආසයානුසය ඥානය’ හෙවත් සත්ත්වයන්ගේ කෙලෙස් තිබෙන අයුරු දැන ගැනීමේ නුවණ යි. එය ‘බුදු ඇස’ යනුවෙන් හැඳින් වුණා. බුද්ධ, චක්ඛු යනු මේ ඥාන දෙක යි. ‘යමක පාටිහාරී ඥානය’ වන්නේ එකවර ප්‍රාතිහාර්ය දෙකක් දක්වන ඥානය යි. ‘මහා කරුණා සමාපත්ති ඥානය’ හෙවත් උදෑසන කාලය පුරා සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමවත් සුව විඳිමින් ලෝක සත්ත්වයා දෙස බලන ඥානය යි. මේ අසිරිමත් බුදු ඇසින් උන්වහන්සේ දුක්ඛිත සත්ත්වයා අරමුණු කර ගත්තා. අද මඟ ඵල ලබා නිවන් සුව ලබන්නේ කවුද? දෙව් ලොවට යන්නේ කවුද? තුනුරුවන් සරණ යන්නේ කවුද? පින් ඇති ජීවිත කා ළඟ ද තිබෙන්නේ? යනුවෙන් උන් වහන්සේ ‘මහා කරුණා සමාපත්ති ’ ඥානය අරමුණු කරමින් බැලුවා. සෑම දෙයක්ම දැන ගැනීමට සමත් ඥානය ‘සබ්බඤ්ඤුතා ඥානය යි’. ආවරණයක් නැති ඥානය ‘අනාවරණ ඥානය යි’. මේ ඥාන හය ‘ෂට් අසාධාරණ ඥාන’ යනුවෙන් හැඳින් වූවා.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දැනුම බුදු කෙනෙකුට හැර ලොවේ කිසිවකුට ලබන්නට බැහැ. එතරම් දැනුමක්, දක්ෂ බවක්, ව්‍යක්ත බවක්, උන්වහන්සේ තුළ විද්‍යමාන වුණා. එසේම උන් වහන්සේ සීල තේජසින් , ගුණ තේජසින් , ඥාන තේජසින්, ධර්ම තේජසින්, අසීමිත ව බැබළුණා. ඒ නිසා ම රාජ රාජ මහා අමාත්‍යවරු , ගම් රට වැසි ජනතාව, දෙව් බඹුන් පවා බුදුන් වහන්සේ හමුවට පැමිණ දෙදණ නමා, දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කළා. පුද සත්කාර අපමණ ගලා ආවා. මේ බුදු අසිරිය ගැන පින්වත් සැවො ම හසළ දැනුමක් ඇති කරගන්නට අවශ්‍යය යි. එවිට තමන්ට ලොකු දැනුමක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලැබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ කායගතා සතිය භාවිතයෙන්, බහුලීකෘතව දේශනා කර වදාළා.
අපි පසුගිය සතියේ මත්ථලුංග පංචකය ගැන කතා කළෙමු. දැන් මේ පින්වතුන්ට භාවනාව පිළිබඳ තිබෙන දැනුම ඉමහත්. කායගතාසති භාවනාවේ අරමුණු තිස්දෙකක් වූ දෙතිස් කුණුප භාවනාව පටිකූල මනසිකාර භාවනාව යනුවෙන් ද හඳුන්වනවා. පසුගිය ලිපිවලින් සඳහන් කළ සිරුරෙහි කොටස් විස්සට ම සිත යොමු කර ඇත්ත ඇති සැටියෙන් දැක බලා ගැනීමට අවශ්‍යය යි.
වැලි කැටේ සිට මහා වස්තූන් දක්වා සියලු ම දේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වන සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වී තිබෙනවා. එසේනම්, මනුස්සයා, දෙවියා, බ්‍රහ්මයා ආදී ජීවීන් ද ඉර, හඳ , ගස්, ගල් , පර්වත, ඇළ දොළ , ගංඟා ආදී අජීවී වස්තූන් ද සැකසී ඇත්තේ සතර මහා ධාතූන්ගෙනි. මේ දැනුම වැඩි දියුණු කරගෙන සිහි කල්පනාව දියුණුවෙන් භාවනා දැනුම දියුණු කරගන්නට උත්සාහවත් විය යුතු යි.
එසේනම්, මෙතෙක් ඉගෙනගත් කරුණු විස්ස පඨවි ධාතු සංඛ්‍යාවට අයත් වෙයි. ඒ එහි තද ගතිය තිබෙන නිස යි. එසේනම්, මේ කොටස් විස්ස පිළිබඳව දැනුම යොමු කර, සිංහල තේරුම හොඳට දැනගෙන, පාලි වගන්ති සජ්ඣායනාකර පිළිකුල මෙනෙහි කරන්න. ( උදා, කේසා වර්ණයෙන් පිළිකුල්ය....) මේ සියල්ල විදර්ශනා නුවණ පහළ වෙන අයුරින් මෙනෙහි කරන්න.(සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ....) මෙලෙස මෙනෙහි කිරීමේ දී ලැබෙන දැනුම , ශක්තිය අපමණයි.
මෙනෙහි කරන වරක් පාසා ම විශාල පිනක් තමන්ට ම ලැබෙයි. එසේ ම තමන්ගේ සිතෙහි පාරමිතා ගුණ තමන්ට වඩවා ගන්නට සමත් වෙයි. බුද්ධිය හොඳින් දියුණු කළ හැකියි. මේ ගැන කවුරුත් දැනුම ඇති කරගෙන කටයුතු කිරීමෙන් විශාල ශක්තියක්, දැනුමක්, බලයක් ගොඩ නංවා ගන්න පුළුවන්. මේ ක්‍රමයන් තමන් හොඳින් දැනගෙන තවත් කෙනෙකුට පහදා දී භාවනාව තම දිවි මඟට සම්බන්ධ කරගත යුතුයි. එවිිට කිසිම දෙයකින් අඩු ලුහුඬුකමක්, කරදරයක් නැතිව සියලු කටයුතු දියුණු තියුණු කරගන්නට සමත් වෙනවා. මේ කරුණු කාරණා ගැන මතක තබාගෙන, බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු කරුණු තමන් හොඳින් සිතට ගෙන, සිහි නුවණත් ප්‍රඥාවත් වර්ධනය කරගනිමින් කටයුතු කළ යුතුයි. සීල, සමාධි, ප්‍රඥා උතුම් ගුණ ධර්මයන් දියුණු කළ යුතු යි. බෝධි පාක්ෂික ධර්ම වැඩෙන සේ සියලු දාන , ශීල, භාවනා පින්කම් කරගත යුතුයි. එවිට තමන්ට අසීමිත ශක්තියක් යහපතක් ලැබෙයි. මෙලොව ජීවිතය හොඳින් සකසාගෙන , කරුණා, මෛතී‍්‍ර උතුම් ගුණ දියුණු කරගන්නට හැකිවෙයි. සංසාර ගමන සුගතියක වාසය කරන්නට භාග්‍ය ලැබෙයි.
සංසාර දුකෙන් නිදහස් ව බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ නිවී සැනසී වදාළ ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් අවබෝධ කරගැනිමට, වාසනා සම්පත්තිය උදා කරගන්නට සමත් වෙයි. එසේ ම භාවනාව සජ්ඣායනා කිරීමෙන්, කියවීමෙන් , බැලීමෙන් දියුණු කර ගැනීමෙන් ලැබෙන පින පින්වත් සැමට ම නිවන් සම්පත් පිණිස ම හේතු වාසනා වේවා!

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment