Labels

Sunday, October 15, 2017

නිවනට උපකාර වන යහපත් දැකීම

සම්මා සමාධිය ලැබීමට අනුගමනය කිරීමේ ප්‍රතිපදාව


භාග්‍යවතුන් වහන්සේ විසින් ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්මා දිට්ඨියත් මෙසේ දේශනා කරනවා.

මහණෙනි, ආර්ය සිත් ඇති ආශ්‍රව නැති වූ ආර්ය මාර්ගය වඩන්නාවුන්ගේ යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක් ධම්ම විජය බෝධි අංගයක් සම්‍යයක් දෘෂ්ඨියක් මාර්ග අංගයක් ඇත්ද, මහණෙනි, මේ ආශ්‍රව බැහැර කර ලෝකෝත්තර මාර්ග අංගය වූ සම්මා දිට්ඨි යැයි කියනු ලැබේ. ඒ භික්ෂුව හෝ භික්ෂුණිය මිථ්‍යා දෘෂ්ඨි ප්‍රහාණය පිණිස සම්‍යක් දෘෂ්ඨි ප්‍රතිලාභය පිණිස ම වෑයම් කරයි. ඒ ව්‍යායාමය ඔහුට සම්මා වායාම වේ. හෙතෙම මනා වූ සිහියෙන් යුක්තව මිථ්‍යා දෘෂ්ඨිය බැහැර කෙරේ. සිහියෙන් යුක්තව සම්‍යක් දෘෂ්ඨිය උපදවාගෙන වාසය කෙරේ. ඒ සිහිය ම ඔහුට සම්මා සතිය වේ. මෙසේ ඔහුට මේ තුන් ධර්මයෝ සම්‍යක් දෘෂ්ඨිය, සම්‍යක් දෘෂ්ඨියට අනුව උපකාර කරමින් ගමන් කෙරේ. එනම් සහජාත හා පුරේජාත යනුවෙනි.

ය විස්තර කළොත් මෙසේයි. එක්ව මේවා හටගෙන ද එසේ නැතිනම් සම්මා සමාධියට හා සම්මා දිට්ඨියට පෙරාතුව ඒවා සකස්වීමයි.
මෙහි දී විස්තර කරන්නේ, නිවන් මඟ අරමුණු කර ගැනීමේ දී සම්මා සමාධියට උපකාරක වන සම්‍යක් දෘෂ්ඨිය පිළිබඳවයි. තවමත් කෙලෙස් පවතින පෘථග්ජනයකුගේ සම්‍යක් දෘෂ්ඨිය දස වස්තුක සම්‍යක් දෘෂ්ඨියෙන් විස්තර කළ අතර කෙලෙස් මුළුමනින් බැහැර කර ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන රහත් උතුමකුගේ සම්මා දිට්ඨිය මෙසේ අපි විස්තර කෙළෙමු. එහි දී පැහැදිලි කළ කරුණු තුන නම්, ඒ සම්‍යක් දෘෂ්ඨියට මෙහි දී සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන මේ දහම් තුනම සහජාතව හා පුරේජාතව උපකාරවන බවත් එකට එකක් පෙරාතුව උපකාර වන බවයි. එනම් එක්ව ඔවුනොවුන්ට උපකාර වන බවත්, මෙහි දී නැවතත් පැහැදිලි කරමු. එනම්, නිවන අරමුණු කරගෙන සම්මා සමාධිය මනාලෙස වඩන්නේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පවත්නා අනිකුත් මාර්ග අංගයන් එයට උපකාර කර ගන්නා වූ ආකාරයයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. මහණෙනි, සම්‍යක් දෘෂ්ඨිය පූර්වාංගම වේ. සම්‍යක් දෘෂ්ඨිය පළමු කොට සකස් වන්නේ කෙසේ ද? මිථ්‍යා සංකල්ප, මිථ්‍යා සංකල්ප යැයි අරමුණ මනාකොට දැන ගැනීමයි. සම්මා සංකප්ප, සම්මා සංකප්ප යැයි අරමුණ මනා කොට දැන ගැනීමයි. මෙය නැවත සම්මා දිට්ඨි හැටියට නම් කරනවා.
මුලින් සඳහන් කරනු ලැබූයේ සම්මා සමාධියට උපකාර කරන සම්‍යක් දෘෂ්ඨිය හැටියට මිථ්‍යා දෘෂ්ඨිය, සම්‍යක් දෘෂ්ඨිය දසවස්තුක දෘෂ්ඨීන්ගෙන් හඳුනා ගැනීමයි. මෙහි දී පෙන්වා දෙන්නේ සම්‍යක් දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨිය හඳුනා ගැනීමේ ආකාරයයි. ඉහතින් සඳහන් කළ සෙයින් සම්මා සංකප්ප, සම්මා සංකල්ප යැයි, සම්‍යක් දෘෂ්ඨිය හඳුනා ගන්නා අතර මිථ්‍යා සංකල්ප මිථ්‍යා සංකල්ප යැයි මිථ්‍යා දෘෂ්ඨියත් එහි දී හඳුනා ගන්නවා.
මිථ්‍යා සංකල්ප නම් කුමක් ද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප යනු වෙනුයි. කාම සංකල්ප නම් ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතිවිලි වශයෙන් ආරම්මනයෙහි ඇලීමයි. බැඳීමයි. සිතිවිලි පිහිටුවා ගැනීමයි.
ව්‍යාපාද සංකල්ප – නම් තරහ සිතිවිලි සකස්වීමයි. එනම් අකැමැති අරමුණෙහි අකැමැති සිතිවිලි සකස්වීමයි, පිහිටුවා ගැනීමයි. විහිංසා සංකල්ප – හිංසා පීඩා කිරීමේ මූලිකවන සිතිවිලි සකස්වීමයි. මේවා මිථ්‍යා සංකල්ප වේ. නිවනට බාධා වේ. සම්මා සමාධියට විරුද්ධ වේ.
මහණෙනි, සම්‍යක් සංකල්ප නම් කවරේ ද? එය කොටස් දෙකක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එනම් කෙලෙස් සහිත වූ පුණ්‍යවන්ත යහපත් වූ කර්ම විපාක දෙන සම්මා සංකප්ප පවතිනවා. ඒ වගේ ම ආර්ය කෙලෙස් නැති ලෝකෝත්තර මාර්ගයේ හි පවත්නා සම්‍යක් සංකල්ප පවතිනවා.
කෙලෙස් සහිත පින්වන්ත වූ යහපත් කර්ම විපාක දෙන යහපත් වූ සංකල්ප මොනවා ද? එනම් නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප යි.
නෙක්ඛම්ම සංකල්ප නම් කාමයන්ගෙන් බැහැරවීමට නික්මීමට ඇති කල්පනාවයි. සිතිවිලියි. සම්මතයෙහි පැවැත්ම පිණිස රූප, ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කළත් එය ආරම්මනයන් හි පවත්නා වූ උදයව්‍යය හෙවත් හට අරගෙන නැතිව යන ස්වභාවය නුවණින් දැක සිත මුදවා ගැනීමයි. මෙය කාමයන්ගෙන් නික්මීමයි. අකැමැති අරමුණෙහි නොගැටී ඒ අකැමැති අරමුණත් උදයව්‍යයට යටත් කොට දැක, එනම් ඒ සිතිවිල්ලත් හට ගත්තා සේ ම නැතිව යන බව නුවණින් දැක අව්‍යාපාද සිතිවිලි සකස් කර ගැනීමයි.
අවිහිංසා සංකල්ප නම් හිංසා කරන්නට, පීඩා කරන්නට, විපත් කරන්නට සිතිවිලි ඇතිවන මොහොතක තම සිතේ ස්වභාවය පිළිබඳවත්, අන් සත්ත්වයන් පිළිබඳවත්, මෛත්‍රියත් ඒ වගේ ම පරමාර්ථ වශයෙන් උදයව්‍යය මෙනෙහි කොට ඒ සිත කරුණා මෛත්‍රියට ම යොමු කර ගැනීමයි. මෙම කරුණු තුන සම්මා සංකල්ප හැටියටත් කෙලෙස් සහිත වූ පුණ්‍යවන්ත වූ කර්ම විපාක ඇත්තේ ය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.
මහණෙනි, ආර්ය කෙලෙස් සහිත ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් සංකල්පය නම් කවරේ ද? ආර්ය සිත් ඇති කෙලෙස් නැති ආර්ය මාර්ගයෙහි, ආර්ය මාර්ගය වඩන්නා වූ පුද්ගලයකු ගේ යම් තර්කයක්, විතර්කයක්, සංකල්පයක් සිතෙහි අරමුණෙහි පිහිටුවීමෙන් විශේෂයෙන් පිහිටුවීමෙන් සිත අරමුණට නැංවීමෙන් වචනයෙන් සකස්වෙන යමක් වේ ද, එනම් සංස්කාරයක් වේ ද, මෙය සම්‍යක් සංකල්පය ආර්යයි, අනාශ්‍රවයි. ලෝකෝත්තර මාර්ගයයි.
එය මෙසේ පැහැදිලි කර ගනිමු. කෙලෙස් නැති ආර්ය මාර්ගයේ ගමන් කරන යම් අයකුගේ තර්ක විතර්ක සිතිවිලි සිතට නංවන විට ඒ සිතේ සකස්වන්නේ යහපත් වූ ම සිතිවිලි ය. සංකල්ප ය. එයට හේතුව සිතෙහි කෙලෙස් නැති වීම ය. කෙලෙස් පවතින්නේ නම් සකස්වෙන සිතිවිලි කෙලෙස් සහිතව සිතිවිලි හට ගන්නා අතර සිතේ කෙලෙස් නැති නිසා තර්ක විතර්ක හෝ සිතිවිලි සකස් වෙන්නේ ද වචනයට නැංවීමක් වෙන්නේ ද එය කෙලෙස් නැතිව ම සිදුවෙයි.
මහණෙනි, මෙය සම්‍යක් සංකල්පය ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ග අංගය යැයි දක්වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එපමණක් නොව ඒ ආර්ය වූ භික්ෂුව හෝ භික්ෂුණිය මිථ්‍යා සංකල්ප පවත්නේ නම්, එය නුවණින් දැක ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක් සංකල්ප ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ උත්සාහය ම ඔහුට හෝ ඇයට සම්මා වායාමය බවට පත්වෙනවා. සිහියෙන් යුක්තව මිථ්‍යා සංකල්ප දුරලනවා. සිහියෙන් යුක්තව සම්‍යක් සංකල්ප සිතේ උපදවාගෙන වාසය කරනවා. ඔහුට එය සම්මා සතිය ම වෙනවා.
මෙම ධර්ම තුන ම එකට හට ගැනීම වශයෙනුත් එකට එකක් පෙරාතුව හට ගැනීමක්, පහළවීමක් වශයෙනුත් සංකල්ප අනුව ගමන් කරනවා. එනම් සම්මා දිට්ඨි , සම්මා වායාම, සම්මා සති යනුවෙනි.
නැවතත් මෙහි දී විස්තර කළොත් සම්මා සමාධියට මේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති උපකාරවන ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
මහණෙනි, ආර්ය සම්‍යක් සමාධිය, සම්‍යක් දෘෂ්ඨි පූර්වාංග ම වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් ආකාරයකින්, සම්මා සමාධියම, සම්‍යක් දෘෂ්ඨිය පූර්වාංගම වන ආකාරය, එනම් පෙරටුව උපකාරවන ආකාරය පෙන්වා දෙනවා.
මිථ්‍යා වචන මනාව දැන ගන්නවා. සම්‍යක් වචනත් මනාව දැන ගන්නවා. ඒ දැනුම ම ඔහුට සම්‍යක් දෘෂ්ඨිය බවට පත්වෙනවා. මිථ්‍යා වචනය යනු මොනවා ද? මුසාවාද, පිසුණාවාචා, පරුසා වාචා, හා සම්ප්‍රප්ලාඵ, යනුවෙනි. එනම් බොරුකීම, කේලම්කීම, පරුෂ වචන හා හිස් වචන කතා කිරීමයි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment