Labels

Thursday, October 5, 2017

නිසරු දෙය බැහැරව සරු දෙය පිළිගනිමු



අසාර වූ දෙය තමාගේ බුද්ධිමට්ටමෙන් සාර වශයෙන් ගෙන තම මනසේ ස්ථාපිත කිරීම තරම් අපරාධයක් තවත් නැත. එයින් තමා පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයෝ ද මෙලොව පමණක් නොව අති දීර්ඝ කාලයක් දුක් වේදනාවන්ට භාජන වෙමින් අනවරාග්‍ර සංසාරයෙහි උපදින්නෝ ය. සුවිශේෂ වශයෙන් මෙලොව පරලොව නැත, කර්ම, කර්ම විපාක නැත. මව පියා නැත ආදී දසවස්තුක මිථ්‍යා දෘෂ්ටි දරාගෙන එය ජනතාවට දේශනා කිරීම අසාර වෙනවා මෙන් ම මතුවට අති දීර්ඝ කාලයක් අපායේ ඉපිද දුක් වේදනා විඳින්නට ද සිදුවන්නේ ම ය."

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
අසාරෙ සාරමතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා
සාරංච සාරතො ඤත්වා
අසාරංච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා


ශ්‍රද්ධාවන්ත පින්වත්නි,


සසර සැරි සරන සත්වයන්ගේ රාගාදි කෙලෙස් ගිනි නිවාලන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වසන සමයෙහි සංජය නම් පරිබ්‍රාජකයා අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
රජගහ නුවරට නුදුරු කෝලිත, උපතිස්ස යන බමුණු ගම් දෙකේ ඒ නමින් ම කුමාර කාලයේ පටන් ඉතා යසසින් හැදී වැඩී ගිය කෝලිත උපතිස්ස යන යහළුවන් දෙදෙනෙක් විය. දිනක් මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ නම් නාට්‍යයක් බලන්නට යන්නේ, නාට්‍ය බැලීමෙන් කිසිදු හරයක් නැත. අපි සාරවත් ධර්මයක් සොයාගෙන යමු’ යයි තීරණය කළහ.
මෙකල රජගහ නුවර සංජය නම් පරිබ්‍රාජකයා බොහෝ ශිෂ්‍ය පිරිවැජියන් පිරිවරා තම ධර්මය හා ප්‍රතිපත්තීන් ප්‍රකාශ කරමින් ජනතාව අතර ප්‍රසිද්ධ ව වාසය කළේ ය. උපතිස්ස, කෝලිත දෙදෙනා ද එම ආරාමයේ දී ඔහුගේ ධර්මය ප්‍රගුණ කරමින් සිටි නමුත් එයින් කිසි ඵලයක් නොලදින් දෙදෙනා ම නික්ම ගියහ.
මෙසේ කලක් ගතවෙද්දී උපතිස්ස රජගහ නුවර සැරිසරන්නේ අස්සජී මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනවිට උන්වහන්සේගේ ඉතා සන්සුන් ගමනට පැහැදී ගොස් වැඳ තොරතුරු අසා දැන ගත්හ. එමෙන් ම අස්සජි මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පභවා’ ආදී නයින් ධර්මයක් ද දේශනා කළ සේක.
අස්සජි මහරහතන් වහන්සේගේ ගාථාවෙන් ප්‍රථම පදය ඇසීමත් සමඟ ධර්මය දැනගෙන සෝවාන් ඵලයට පත් වූ උපතිස්ස තම යහළු කෝලිතට මෙම උතුම් ධර්මය දේශනා කිරීමත් සමඟ ම සපුරා දහම් දැන ඔහු ද සෝවාන් ඵලයට පත් විය. පසුව දෙදෙනා ම සංජය පිරිවැජියා වෙත ගොස් තමන් ලද ලොව්තුරු ලාභය සැළකොට “බුදුරජාණන් වහන්සේ හමුවට යමු යැයි යෝජනා කළහ. එහෙත් සංජය පිරිවැජියා තමාගේ මිථ්‍යා දෘෂ්ටියේ ම තරයේ පිහිටා “බුදුන් කරා උගත්තු යති. මා කරා මෝඩයෝ එති” යයි ප්‍රකාශ කොට එබැවින් මම කෙසේවත් නොයන්නෙමි යි කියා එහි ම සිටි අතර කෝලිත, උපතිස්ස යන දෙදෙනා බුදුරදුන් කරාගොස් පැවිදි වූහ. සංජය පිරිවැජියාගේ අදහස නිමිත්තෙන් අප තථාගතයන් වහන්සේ මෙම ගාථා ධර්ම දේශනා වදාළ සේක.
නිසරු දෙය සරු වශයෙන් ද, සරු දෙය නිසරු වශයෙන් ද සිතන මිථ්‍යා අදහස් ඇති අය සාරයකට නො පැමිණෙති. සරු දෙය සරු වශයෙන් ද, නිසරු දෙය නිසරු වශයෙන් ද දැන ගන්නා අය සරු දෙය ලබා ගනිති.
මානව සමාජය ජීවිතය පිළිබඳ සිතන්නට පටන් ගත් දා සිට මෙතෙක් ඇති වූ සියලු දෘෂ්ටිවාදයන් සාර, අසාර, සත්‍ය, අසත්‍ය මූලික කරගෙන පැවතිණි. සත්ත්වයාගේ ශාරීරික මානසික අභ්‍යන්තර බාහිර බලශක්තීන් සමඟ පැවතුණි. එහිදී අසාර හැඟීම් නිසා අති භයානක සිද්ධීන්ට මුහුණ පෑ ආකාරය මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
අසාර වූ දෙය තමාගේ බුද්ධි මට්ටමෙන් සාර වශයෙන් ගෙන තම මනසේ ස්ථාපිත කිරීම තරම් අපරාධයක් තවත් නැත. එයින් තමා පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයෝ ද මෙලොව පමණක් නොව අති දීර්ඝ කාලයක් දුක් වේදනාවන්ට භාජන වෙමින් අනවරාග්‍ර සංසාරයෙහි උපදින්නෝ ය. සුවිශේෂ වශයෙන් මෙලොව පරලොව නැත, කර්ම කර්ම, විපාක නැත. මව පියා නැත ආදී දසවස්තුක මිථ්‍යා දෘෂ්ටි දරාගෙන එය ජනතාවටත් දේශනා කිරීම අසාර වෙනවා මනේ ම මතුවට අති දීර්ඝ කාලයක් අපායේ ඉපිද දුක් වේදනා විඳින්නට සිදුවන්නේ ම ය.
මිනිසත් බව ලැබීම වූ කලී අතිදීර්ඝ කාලයක් සසර සැරිසරමින් සාර අසාර ධර්මයන් විශ්ලේෂණය කරමින් අසාර බැහැර කොට සාරධර්මයන් ක්‍රියාත්මක කිරීමේ උපරිම ප්‍රතිඵලයක් වශයෙන් ලබන මහා සම්පතකි.
මිනිසත් බව ලබාගෙන හොඳ නරක, පව් පින්, සාර අසාර ධර්මයන් බුද්ධියෙන් හඳුනාගෙන, දෙලොව යහපත සදා මෙම භයංකාර සසරින් මිදී අමාමහ නිවන් සුව ලබාගැනීමට අදිටන් කරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.


අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය 
ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, 
සාම විනිසුරු ත්‍රිපිටකාචාර්ය 
විනය කීර්ති ශ්‍රී සුමංගල
අමුණුපුර පියරතන නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment