චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ අප්‍රමාදී වීමයි. චතුරාර්ය සත්‍යාවබෝධය කියන්නේ විද්‍යාව යි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව සැබෑ ම අවබෝධය යි. චතුරාර්ය සත්‍ය අවබෝධය නො වීම නම් අවිද්‍යාව යි. අවිද්‍යාව නම් චතුªරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කුසල් දහම් දියුණු කිරීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වන ප්‍රමාදය යි.
ප්‍රමාදය තුළ සිටින පුද්ගලයාගේ ස්වභාවය නම් වර්තමානයේ තමන්ට ලැබු දෙයින් මත් වීමයි. අනාගතය ගැන බොළඳ සිහින ගොඩ නගමින් ජීවත් වීමයි. එසේනම් මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදය ඇති කරගන්නට නම් වර්තමානයේ ලද දෙයින් මත් නොවී, අනාගතය ගැන සත්‍ය ස්වභාවය ම නුවණින් විමසිය යුතු වෙයි.
අප්‍රමාදය ඇතිවන අයුරින් අනාගතය ගැන නුවණින් විමසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ “දුතිය අනාගත භය” සූත්‍රයේ දී මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, මේ පස් ආකාර වූ අනාගත භය දකින පුද්ගලයා විසින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, පත් නොවූ මාර්ගඵල ආදියට පත්වීම පිණිසත්, අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නො කළ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිසත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු යි.
වයසට යන බව සිහි කිරීම
සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනෙක් තරුණ අවදියේ ඒ තරුණකම නිසා මත් වෙනවා. තරුණකමෙන් මත් වූ පසු තමන් වයසට යන බව අමතක වෙනවා. මේ තරුණ බව හැමදා ම තිබේ යැයි සිතනවා. එය හඳුන්වන්නේ “යෞවන මදය” ලෙස යි. ඒ නිසා ම තරුණ කාලයේ දී තමන්ගේ ජීවිතය දුෂ්චරිතයට යොමු කරගන්න පිරිස් මේ සමාජයේ බහුල යි.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ මතු අනාගතයේ මුහණ දෙන්නට තිබෙන මේ සත්‍ය වූ ස්වභාවය නුවණින් කල්පනා කර, “මම මේ කළු කෙස් ඇති සොඳුරු යෞවනයේ සිටින්නේ. නමුත් අනාගතයේ මගේ මේ ශරීරය ජරාවට පත් වන්නේ ම ය. අබල දුබල වන්නේ ම ය. එසේ මේ සිරුර ජරාවෙන් මැඩුණු කලට බුදු සසුනක ලැබිය හැකි දියුණුව ලැබීමට පහසු නො වන්නේ ම ය. ඒ නිසා ඒ අනිෂ්ඨ වූ, අකාන්ත වූ, අමනාප වූ ජරාව මා කරා පැමිණෙන්නට පෙර මා විසින් අප්‍රමාදී ව වීර්යය කළ යුතුයි” ආදී වශයෙන් නුවණින් විමසා ඒ භික්ෂුව අප්‍රමාදී බව උපදවා ගන්නවා.
සාරිපුත්ත මහරහතන් වහන්සේ ගේ බාලම සොහොයුරාගේ නම රේවත. රේවත කුමාරයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇසුරේ නිතර ධර්මය අසා, ධර්මය ගැන ලොකු ප්‍රසාදයක් තිබුණා. අප්‍රමාදී ව ධර්මය අවබෝධ කරගන්නට මහන්සි ගනිමිනුයි සිටියේ. මේ අතරේ සාරි කියන මව් බැමිණිය ඔහු විවාහ කර දෙන්නට සූදානම් වුණා. ජීවිතය ගැන පරිණත කල්පනාවකින් සිටි මේ කුමාරයාගේ සිත ඒ වෙනවිටත් පැවිද්ද කෙරෙහි පිහිටා තිබුණා. ඒත් මවගේ කීමට විවාහයේ කටයුතු සූදානම් වුණා. එදා මේ දෙපළට ආශිර්වාද කරන්නට ඥාතීන් විසින් බොහෝ වයසට ගිය දෙපළක් ගෙන්වා තිබුණා.
ඒ වයසක දෙදෙනා පෙන්වා ඥාතීන් පිරිස “ඔබ දෙදෙනාටත් මේ වගේ දිගාසිරි ලැබේවා!” කියා ආශිර්වාද කළා. ජීවිතය ගැන නුවණින් විමසා තිබූ රේවත කුමාරයාට මේ සිදුවීම සිතට කා වැදුණා. “අපොයි දිගාසිරි කියන්නේ මෙයට ද? කටේ එක දතක් නැහැ. හම වැහැරිලා. අතපය වාරු නැහැ. මෙහෙ ම ජීවිතයක් නේද මේ සරසවා දෙන්නට හදන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ සම්පූර්ණ ඇත්ත. ජරාවෙන් දිරාගෙන යන මේ ජීවිතය තුළ අප සොයන දේ අරටුවක් සොය සොයා කෙසෙල් ගසක් පතුරු ගහනවා වගේ නේ දැයි” සිතා එදින ම රේවත කුමාරයා නිවසින් පැන ගොස් පැවිදි වුණා. උන්වහන්සේ මහා ඥානවන්ත යි. නොබෝ කලකින් උතුම් අරහත්වයට පත් වුණා.
අනාගතය සිහි කිරීම
ලෙඩක්, දුකක් නැතිව නිරෝගි ව සිටියදී බොහෝ දෙනා ඒ ගැන මත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෙඩවෙන කයක් පරිහරණය කරමින් යමෙක් නිරෝගිකම ගැන උදම් අනයි නම්, එය බාලකම, අඤානකම විනා අන් කවරක් ද? යනුවෙනු යි. එනිසා නිරෝගිකමින් ප්‍රමාදයට පත් නොවීමට නම් තමන් අනාගතයේ ලෙඩවන බව නුවණින් සිහිකළ යුතුයි. එසේ ලෙඩ දුක්වලින් පීඩා විඳින විට, ධර්මයේ හැසිරීම පහසු නො වන බව සිහිකළ යුතු යි. එසේ සිහිකරන පුද්ගලයාගේ ජීවිතය තුළ අනාගතය ලෙඩවීමේ බිය සිහිවීම නිසා අප්‍රමාදී බව ඇතිවෙනවා.
දුර්භික්ෂ බිය
බුදුරජාණන් වහන්සේ විසින් සිහිකළ යුතු අනෙක් කරුණ දුර්භික්ෂ බිය ලෙස නම් කළා. මෙකල නම් හොඳින් ආහාරපාන තිබෙන නිසා පහසුවෙන් යැපෙමින් දිවිමඟ ගත කරන්නට පුළුවනි. ඒත් හැමදාම ඒ පහසුව නො තිබෙන්නට පුළුවනි. දුකසේ ආහාර සොයා ගන්නට සිදුවන කාලයක් ආ විට පහසුවෙන් ජීවත් වීමට ලැබෙන්නේ නැහැ. එබඳු කාලයක ධර්මයේ හැසිරීම අපහසු යි. ඒ නිසා මේ යහපත් කාලයේ ම වීර්යය කළ යුතුයි කියා නුවණින් විමසන පුද්ගලයා අප්‍රමාදය උපදවා ගන්නවා.එසේ නුවණින් විමසීමක් නැතිවිට වර්තමානයේ තිබෙන පහසුවට මත්ව ප්‍රමාදවීමයි සිදුවන්නේ. මේ ලෝකයේ ස්වභාවය නම් කාලයක් යහපත් අයුරින් තිබී එක්වරම එය වෙනස් වෙනවා.
උවදුරු ඇතිවීම
ජීවිතයක් සුව සේ පවත්වා ගත හැකි ආකාරයේ සාමකාමී පරිසරයක් තිබෙන විට බොහෝ දුරට සිදුවෙන්නේ ඒ පහසුව නිසා ප්‍රමාදයට පත්වීම යි. නමුත් නුවණින් කල්පනා කරන කෙනෙකුට ඒ සාමාකමී පරිසරය ස්ථිර නැතිබව තේරුම් ගන්නට පුළුවනි. නොයෙක් ආක්‍රමණ, සොර සතුරු උපද්‍රව, හේතුවෙන් සාමාකමී පරිසරය නැතිවී බිය සැක සහිත ස්වභාවයන් කොපමණ ඇති වී තිබෙනවා ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ සතරවෙනි භය ලෙස ශ්‍රාවකයා සිහි කරන්නේ පවතින සාමාකාමී පරිසරය නැතිවී ගොස් සොර බිය, යුධ බිය, හටගත හැකි බවයි. එබඳු පරිසයක ධර්මයේ හැසිරීම පහසු නැහැ. ඒ නිසා දැන්ම වීර්යය වැඩිය යුතුයි සිතා අප්‍රමාදි වෙනවා.
අසමගි වුවහොත්
බුදුුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව විසින් මෙසේ සිහිකළ යුතුයි. මෙකල නම් සංඝයා සමගියෙන්, වාද විවාද නො කරමින්, එකම අරමුණක් උදෙසා සුවසේ ම වසයි. නමුත් අනාගතයේ සංඝයා භේදබින්න වූයේ නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහිකිරීම පහසු නො වෙයි.
මේ තුළින් භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසට ම ධර්මයේ හැසිරීම පිණිස පවතින අවස්ථාව අහිමි වෙනවා. මේ ගැන නුවණින් විමසන ශ්‍රාවකයා ධර්මයේ හැසිරීමට වීර්යය කරනවා.
මේ ආකාරයෙන් යමෙක් අනාගතයේ භය දකිමින්, වර්තමානයේ අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට වීර්යය ගතහොත් ඔහු මේ බුදු සසුනේ ම පිළිසරණ ලබන්නට සුදුස්සෙක් බවට පත්වෙනවා.
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment