Labels

Tuesday, October 17, 2017

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථාන යට පත් වූ මහරහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි මහා ශ්‍රාවකයන් වහන්සේ වූ උන්වහන්සේට ගෞතම බුදු සසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. ‘අනුබුද්ධ’ යන ගෞරව නාමයෙන් ද උන්වහන්සේ හඳුන්වනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරා ගිය පාංශුකූලික චීවරය දැරීමට හා බුදු සිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහරහත් වහන්සේට හිමි විය. බුදුරජාණන් වහන්සේගේ ශි‍්‍ර කායෙහි පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්ෂණ පහක් මහා කාශ්‍යප මරහතන් වහන්සේගේ ශරීරයේ පිහිටා තිබීම හා බුදුරජාණන් වහන්සේට වඩා අඟල් සතරකින් උස අඩු වීම ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුවිශේෂී ශරීර ලක්ෂණ ලෙස ධර්ම ග්‍රන්ථයන් හි සඳහන් වී තිබේ.
පළමු ධර්ම සංගායනාව සඳහා ප්‍රධාන අනුශාසකත්වය ලබා දුන්නේ ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යි. ඒ තුළින් විවිධ පැහැති මල් ගොඩක් විසිරී පැතිරී තිබෙන්නාක් මෙන් වූ ත්‍රිපිටකය එකතු කොට සකස් කිරීමට නායකත්වය ලබා දුන්නේ ද උන්වහන්සේ ය. එම නිසා ම වර්තමානය දක්වා ම පෙළ දහම සුරක්ෂිතව පවතී.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ රහතන් වහන්සේ නමකි. එම නිසා උන්වහන්සේගේ වාසස්ථානය බවට පත්වූයේ කාත් කවුරුවත් නොමැති වනාන්තර, හුදෙකලා වූ සොහොන් පිටි ය. එවන් ස්ථාන උන්වහන්සේගේ සමවත් සුවයට පිහිට විය. නගරබද ප්‍රදේශවලට නොවැඩි උන්වහන්සේ නිහඬ බව පි‍්‍රය කළහ. පැවිදි බව ලැබූ දා පටන් පිරිනිවන්පාන දවස දක්වා ම, උන්වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. බුදුරජාණන් වහන්සේ ද නිතර ශ්‍රාවකයින් හට අවවාද කළේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දිවි පැවැත්ම තම තමන්ගේ ජීවිතවලට ආරෝපණය කර ගන්නා ලෙසට ය.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජ මැදුරුවල දිව්‍ය භෝජනවලට පි‍්‍රය නොකළහ. දුගී දුප්පත් පැල්පත්වලට වැඩම වීම උන්වහන්සේට ආගන්තුක නොවී ය. නෙත ගැටුණු, නොගැටුණු රෝගීන්ට උන්වහන්සේගේ පිහිට ලැබුණේ ය. උන්වහන්සේ තමන් වහන්සේට ලැබෙන පිණ්ඩපාතය වැළඳීමට ප්‍රථම සමාපත්තියට සමවැදී ඉන් නැගී සිටිමින් පිණ්ඩපාතය වැළඳුවේ ය. උන්වහන්සේ එසේ කරන්නට වූයේ පිණ්ඩපාතය පූජා කළ දුප්පත් මිනිසුන්ගේ පින තව තවත් බලවත් කිරීම සඳහා ය. උන්වහන්සේට පිණ්ඩපාතය පුජා කළ බොහෝ පිරිස් මරණින් මතු සුගතියට එළඹියහ. ඇතැමුන්ට එහි සැප විපාක මෙලොව දී ම ලැබුණි.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ එකසිය විසි වැනි වියේ දී ය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ ‘කුක්කුටසම්පාන’ පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව ‘සම්පිණ්ඩිත මහා නිදාන’ දුර්ලභ පාලි ග්‍රන්ථයේ සඳහන් වේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය තුළින් අපට ගත හැකි පූර්වාදර්ශ බොහෝ වෙති. සරල චාම් දිවි පෙවතක් ගත කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, නිහතමානී බව, දුක්වේදනා ඉවසීම, පමණ දැන ගැනීම, දුප්පත් අසරණයින්ට පිහිට වීම, ලාබ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු නොවීම, වගකීම් පැහැර නොහැරීම යන චරිතාදර්ශ උන්වහන්සේගේ ජීවන චරිතය තුළින් අපගේ ජීවිතයට උකහා ගත හැකිය.

සාරිපුත්ත ජාතික අධ්‍යාපන 
විද්‍යා පීඨයේ 
තණමල්විල රාහුල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment