Labels

Saturday, October 28, 2017

වැරැදි දිවි පැවැත්ම වැරැදි ලෙස හඳුනා ගැනීම


මහණෙනි, සම්‍යක් වචන නම් කවරේ ද? ඒ දෙවර්ගයකි. එනම් කෙලෙස් සහිත, පුණ්‍යවන්ත වූ කොටසෙහි කර්ම විපාක සහිත යහපත් වූ වචනයක් පවතිනවා. එලෙස ම ආර්ය වූ කෙලෙස් රහිත ලෝකෝත්තර මාර්ගයේත් සම්මා වාචා හෙවත් යහපත් වූ වචන පවතිනවා.

කෙලෙස් සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන සම්මා වාචා නම් මොනවා ද? මුසාවාදයෙන් වෙන්වීම ය. කේලාම් කීමෙන් වෙන්වීම ය. පරුෂ වචන කීමෙන් වෙන්වීම ය. හිස් වචන කතා කිරීමෙන් වෙන්වීම ය. මේ යහපත් වූ වචන හෙවත් සම්මා වාචා කෙලෙස් රහිතයි. පුණ්‍යවන්තයි. උපදි හෙවත් කර්ම විපාක දෙන්නේ වෙයි.
ආර්ය වූ, අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් වචන නම් මොනවා ද? ආර්ය සිත් ඇති, ආශ්‍රව නැති, ආර්ය මාර්ගයේ ගමන් කරන, ආර්ය මාර්ගය වඩන්නා ගේ සිතෙහි සතර ආකාරයක වාග් දුෂ්චරිතයක් වේ නම්, එය දුරු වී වෙන් වී නතර වී මනස සංසිදීමක් ඇත් ද? එය ආර්යයන්ගේ, අනාශ්‍රව ඇත්තන්ගේ ලෝකෝත්තර මාර්ගය තුළ සම්මා වාචා හෙවත් සම්‍යක් වචනයයි.
ඒ භික්ෂුව හෝ භික්ෂුණිය මිත්‍යා වචනයන්ගේ ප්‍රහානයට පත් වේ. එනම් බොරු කීම, කේලාම් කීම, ආදී මිත්‍යා වචනයන් හි ප්‍රහානයට පත් වේ. එමෙන් ම යහපත් වූ වචනයන් උපදවා ගැනීමට වෑයම් කරයි. එම වෑයම ම ඔහුට සම්මා වායාම වේ. එහි මනා වූ සිහිය පවත්වන්නේ, මිථ්‍යා වචන බැහැර කරනවා. සිහියෙන් යුතුව යහපත් වචන උපදවා ගන්නට වෙහෙසෙනවා. උපදවාගෙන වාසය කරනවා. ඒ සතිය ම ඔහුට සම්මා සතිය බවට පත්වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන ත්‍රිවිධ ධර්මයෝ ම සම්‍යක් වචනය අනුව ගමන් කරයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් සම්මා සමාධියට, සම්‍යක් දෘෂ්ඨියට පුර්වාංගම වන ආකාරය මෙසේ දේශනා කරනවා. මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා කර්මාන්ත යැයි දැනගන්නේ ය. සම්‍යක් කර්මාන්තය, සම්‍යක් කර්මාන්තය යැයි දැනගන්නේ ය. ඒ දැනුම ඔහුට සම්මා දිට්ඨිය වේ. මිථ්‍යා කර්මාන්ත යනු කුමක් ද? පර පණ නැසීම, සොරකම් කිරීම හා කාම මිථ්‍යාචාරයේ හැසිරීමයි. සම්‍යක් කර්මාන්ත යනු, කුමක් ද? මේ සම්‍යක් කර්මාන්තයත් භාග්‍යවතුන් වහන්සේ විසින් කොටස් දෙකකට බෙදා දක්වනවා. ඉහතින් සඳහන් කළ අයුරින් සේ ම ආශ්‍රව සහිතව පින්වන්ත වූ කර්ම විපාක දෙන සම්‍යක් කර්මාන්තයත් පවතිනවා. ආර්ය වූ ආශ්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංග වූ යහපත් වූ කර්මාන්තයක් පවතිනවා.
ආශ්‍රව සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන සම්‍යක් කර්මාන්තය යනු කුමක් ද? පර පණ නැසීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමයි. මෙය ආශ්‍රව සහිත වූ පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන සම්‍යක් කර්මාන්තයි. මෙහි කර්මාන්ත හැටියට හඳුන්වන්නේ ඔබ නියැළෙන්නා වූ රැකියා වෘත්තිමය කටයුතු නොවෙයි.

ආර්ය වූ, අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් කර්මාන්තයක් පවතිනවා. එය කුමක් ද? ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය මාර්ගය වඩන පුද්ගලයා ගේ තුන් ආකාර වූ කාය දුෂ්චරිතයෙන් ම යම් දුරුවීමක්, වෙන්වීමක්, නතර කිරීමක්, සංසිඳීමක් ඇති කර ගන්නේ ද? එය ම සම්‍යක් කර්මාන්තය යැයි ද, ආර්ය ද අනාශ්‍රව ද ලෝකෝත්තර මාර්ගය යැයි ද සඳහන් කරනවා. ඒ පැවිදි තෙමේ, මිථ්‍යා කර්මාන්තයාගේ ප්‍රහාණය පිණිසත්, සම්‍යක් කර්මාන්තයාගේ ප්‍රතිලාභය හෙවත් උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා. ඒ ව්‍යායාමය ඔහුට සම්මා වායාම වෙනවා. එහි දී බොහෝ ම සිහියෙන් යුක්තව මිථ්‍යා කර්මාන්ත දුරලනවා. සතිමත්ත සම්‍යක් කර්මාන්තයෙහි යුක්තව වාසය කරනවා. ඒ සතිය ඔහුට සම්මා සතිය ම වෙනවා.

මෙසේ මේ තුන් ධර්මයෝ ම සම්‍යක් කර්මාන්තය අනුව ගමන් කරනවා. එනම් සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යයි. නිවන අරමුණු කරගත්, සම්මා සමාධියට උපකාර වන සම්මා දිට්ඨිය හෙවත් යහපත් වූ දැක්ම කෙසේ පවත්වා ගත යුතු දැයි භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරනවා.
යම් හෙයකින් මේ මඟ ගැඹුරු ලෙස කියවන ඔබට දැනුනත් එහෙත් සංසුන් මනසකින් කියවීමෙන් සිත ට මනාසේ අවබෝධ කරගැනීමේ පහසුවත් යහපත් වූ සමාධිය ම ඇති කර ගැනීමේ අවස්ථාවත් උදාවෙනවා.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් ආර්ය සම්මා සමාධියෙහි සම්‍යක් දෘෂ්ඨිය පුර්වාංගම වන ආකාරය තවත් ආකාරයකින් දේශනා කරනවා. මිථ්‍යා ආජීවය, මිථ්‍යා ආජීවයැයි දැන ගන්නවා. සම්මා ආජීවය සම්මා ආජීවය යැයි දැන ගන්නවා. ඔහුට හෝ ඇයට ඒ දැනුම සම්මා දිට්ඨි වේ. මෙහි දී සම්මා ආජීවය යැයි දක්වන්නේ යහපත් වූ දිවි පැවැත්මයි. නැවතත් සඳහන් කළොත් මිත්‍යා දිවිපැවැත්ම හෙවත් වැරැදි දිවිපැවැත්ම වැරැදි දිවිපැවැත්ම හැටියට හඳුනාගත යුතු වනවා. යහපත් වූ දිවිපැවැත්ම, යහපත් වූ දිවිපැවැත් ම හැටියට හඳුනාගත යුතු වෙනවා. ඒ හඳුනා ගැනීම ම ඔහුට හෝ ඇයට සම්මා දිට්ඨිය බවට පත්වෙනවා. එනම් යහපත් වූ දැක්මක් බවට පත්වෙනවා.
මිථ්‍යා ආජීව යනු කුමක් ද? ත්‍රිවිධ කුහන වස්තූන්ගෙන් ලෝකයා විශ්මයට ම පත් කිරීමයි. ලාබ සත්කාර බලාපොරොත්තුවෙන් කතා කිරීමයි. නිමිත්තශීලි බවයි. ඒවාට නිමිති සාදා දීමයි. ලාභයෙන් ලාභ සොයන බවයි. එනම් නැති ගුණ චාටු බස් කීමයි. නිමිති කීමයි. පණිවුඩ ගෙන යෑමයි. මෙය ධර්මයේ හඳුන්වන්නේ “කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පේසිකතා, ලාභේන ලාභං නිජිගිංසනතා” යනුවෙනුයි. එනම් නැති ගුණ පෙන්වීම, චාටු බස් කීම, නිමිති කීම හා පණිවුඩ ගෙන යෑම යනුවෙනි. මේ ත්‍රිවිධ වැරැදි ජීවිත පැවැත් ම හැටියට දක්වනවා. ඒ මිථ්‍යා ආජීවයයි.

සම්මා ආජීවය යනු කුමක් ද? එයත් කොටස් දෙකකින් දක්වනවා. ආශ්‍රව පවතින, එහෙත් පුණ්‍යවන්ත වූ කර්ම විපාක උපදවන සම්මා ආජීවයක් පවතිනවා. ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගය වූ සම්මා ආජීවයක් පවතිනවා. ආශ්‍රව සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන යහපත් වූ දිවිපැවැත්ම කුමක් ද? ආර්ය ශ්‍රාවක වූ පුද්ගලයා මිථ්‍යා ආජීවය හැරපියා, සම්මා ආජීවයෙන් ජීවිකාව කෙරේ. මෙය ම සම්මා ආජීවය ආශ්‍රව සහිතව නමුත් පින්වන්තව කර්ම විපාක ඇතිව පවත්වනවා යැයි කියලු ලැබේ.
ආර්ය, අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්මා ආජීවය කුමක් ද? ආර්ය සිත් ඇති, ආශ්‍රව නැති සිත් ඇති, ආර්ය මාර්ගය වඩන්නා මිත්‍යා ආජීවයෙන් යම් දුරුවීමක්, වෙන්වීමක්, නතර කිරීමක්, සංසිඳීමක් වෙයි ද එයම සම්මා ආජීවයයි කියනවා. ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ග අංගය යැයි කියනවා. ඒ පැවිදි තෙමේ මිථ්‍යා ආජීවයේ ප්‍රහාණයටත්, සම්මා ආජීවයේ ප්‍රතිලාභයටත් ව්‍යායාම කරනවා. ඔහුගේ ඒ ව්‍යායාමය සම්මා වායාම බවට පත්වෙනවා. සතිමන්තව මිථ්‍යා ආජීවය දුරුකෙරෙනවා. සතිමන්තව සම්මා ආජීවයට පැමිණ වාසය කරනවා. එය ම ඔහුට සම්මා සතිය වෙනවා. මෙසේ මේ තුන් ධර්මයෝ ම සම්මා ආජීවය අනුව ගමන් කරනවා. එයම සම්‍යක් දෘෂ්ඨිය, සම්මා වායාම, සම්මා සතිය යැයි දක්වනවා. සම්මා සමාධියට හේතුවන සම්මා ආජීවයේ ස්වභාවයයි මෙහි දී විස්තර කරනු ලැබූයේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment