Labels

Wednesday, October 18, 2017

තොරණින් එහා වෙසක්‌ අදහසක්‌


සතර අපායෙන් මිදෙමු' - 32 කොටස

පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වෙසක්‌ දිනයදා එය නිමිති කරගනිමින් ලියන ලද සටහනකි මෙය. ඉකුත් වසරේ වෙසක්‌ සතියේදී ද අප 'ඉරිදා දිවයින' ඔස්‌සේ මෙය පළ කළෙමු. ඒ අනුව මෙය නැවත පළකිරීමකි. වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌වරක්‌ පළ කළද මෙවන් දහම් ගැලපුමක්‌ ඔබට අතිරික්‌තයක්‌ නොවන බව අපි දනිමු. මේ සටහන නැවත මෙසේ පළකරනුයේ මේ දහම් කරුණු තව තවත් ඔබ අධ්‍යාත්මයට ගලපා ගැනීම පිණිසය.
අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ. 

ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංච උපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂවෙන්නාවු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවයන් තන්හා, දිට්‌ට, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධවන දිශාවට ජීවත් වුනා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ්‌, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළදාම් ගණයටම බව කිවයුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. තමනුත් සතුටුවෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ ශීලයක්‌ සමාදන්නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවාවූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වු බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුළුවන්. නමුත් මේවා භවයේ ලබන්නාවු සිල්ලර සැපයන්මයි. 

අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වු ඉන්ද්‍රීයධර්මයන්ගේ ස්‌වභාවයන් . ඒ නිසා අර්ථයෙන් විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවයක්‌මයි. එම ධර්මථාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌a සමග උපමා කරලා 'මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතිගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි' කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිත වලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තූරා බුදුරජාණන්වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ. 

ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ සAවභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොඳින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.

භික්‌ෂුව වැඩසිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සඳහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සෙ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදිවුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි. මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුනේ. 

ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුqණු කොට බලද්දි භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘද්ධ අම්මා. වයස අවුරුදු අසූපහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළාවූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌වුන විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුන සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව්කුසක බිළිඳියක්‌ව බැසගත්තා.

දැන් මේ බිළිඳිය බැසගත් මව්කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇති වුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්‌, සුරතල් දරුපැටියෙක්‌, ලස්‌සන දරුපැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබි සූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි,මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළවූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරලොව ගිය අර වයෝවෘද්ධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌ වුන දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නලවන්න තොටිලි හදනවා. ප්‍රසූත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නැමති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්දරාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුලාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නැමති යෂ්ටිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නැමති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රොහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්,රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයින්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?.... මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුළයේ ඉපදිලා,අලි කුළයේ ඉපදිලා, කුකුල් කුළයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා. 

රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ජන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ජන්දරාගයෙන් මිදීමට කැමත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.

තොරණ්‌, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු.... මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනකද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්. 

මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සහයක්‌මයි. මේ උත්සහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ. 

අපි මේ පුංචි බිළඳු රූපයට මොන තරම් ඡන්දරාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිදෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත් වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුල තෙරපෙමින් දුක්‌ විඳිනවා නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත් වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය,රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්දරාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.

2013.05.26 වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment