Labels

Sunday, October 15, 2017

නුවණැති ජීවිතයකට මග.


" මිනිසත් බවක් ලැබීම ඉතා දුර්ලභ ය. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙනැයි ධර්මයේ දක්වා ඇත්තේ එහි ඇති දුෂ්කර ස්වභාවය නිසාම ය. එවන් දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය බුදු දහම මඟින් පෝෂණය කර, එයින් විපුල ප්‍රයෝජන ලබා ගන්නේ ප්‍රඥාවන්තයා පමණ යි. ඔහු ආලෝකයෙන් ආලෝකයට යයි. ඔහු මේ අනවරාග සංසාරයෙන් මිදීමට උත්සාහ කරන්නෙක් වෙයි."
භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් ක්‍රියාවක් කොට ඒ ගැන පසුතැවීමක් උපදිනවා නම්, එහි විපාකය විඳින්නට වන්නේ කඳුළු පිරුණු මුහුණකින් යුතුව නම්, එවැනි ක්‍රියාවන් නො කරන ලෙස යි. (නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පතී. යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවතී).



එමෙන් ම යම් ක්‍රියාවක් කොට ඒ ගැන සිහි කිරීමේදී පසුතැවීමක් උපදින්නේ නැති නම්, එහි විපාකය විඳින්නට ඇත්තේ සිනහමුසු මුහුණින් යුතුව නම්, එවැනි ක්‍රියාවක් සිදුකිරීම යහපත් බව යි. (යංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවතී)
යමෙක් අයහපත් චේතනාවෙන් යුතුව යමක් කළ විට, සිතූ විට ඒ අයහපත් ප්‍රතිඵල ඒ පුද්ගලයා කරා පැමිණෙන්නේ දුක් විිපාක ලෙස යි. ජීවිතය යොමු වන්නේ අඳුරට යි. යමෙක් යහපත් චේතනාවෙන් යුතුව යමක් කළ විට, කී විට, සිතූ විට, එහි යහපත් ප්‍රතිඵල ඔහු කරා නැවත පැමිණෙන්නේ සැප විපාක ලෙස යි. එවිට ජීවිතය යොමු වන්නේ ආලෝකය වෙතයි. මේ කාරණය විස්තර කොට වදාළ සූත්‍ර දේශනාවක් “පුද්ගල සූත්‍රය” නමින් සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ කෝසල සංයුක්තයේ දී හමුවෙයි.
භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට වදාළා රජතුමනි, මේ ලෝකයේ පුද්ගලයින් හතර දෙනෙක් හමුවෙනවා. ඒ අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා, ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා, සහ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා ලෙසයි.

අඳුරෙන් අඳුරට යන පුද්ගලයා

රජතුමනි, පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කොහොම ද? මේ ලෝකයේ ඇතැම් අයෙක් සමාජයේ හීන යැයි සම්මත කුලයක ඉපදෙනවා. කෑම – බීම අමාරුවෙන් ලැබෙන්නේ. දුකසේ ජීවත් වෙන්නේ. ඒ වගේ ම ඔහු අවලස්සන යි. නිතර ම ලෙඩ දුක් හැදෙනවා. හරියට කෑම බිම, ඇඳුම් පැළඳුම් නැහැ. ගමන් බිමන් දුෂ්කරයි. මල්, සුවඳ විලවුන් නැහැ. ජීවත් වීමට නිවාසයක් නැහැ. එසේ තිබියදීත් ඔහු කය මෙහෙයවා සතුන් මරනවා, සොරකම් කරනවා, වැරැදි කාම සේවනයේ යෙදෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරනවා. වචනයෙන් වැරැදි කරනවා. බොරු කියනවා, කේළාම්, සැර පරුෂ වචන, හිස් වචන, ඕපාදූප කතා කරනවා. සිතින් විෂම ලෝභයෙන් යුක්ත යි. ද්වේෂයෙන්, මිථ්‍යා දෘෂ්ඨියෙන් යුක්ත යි.
අප දන්නවා සමහර බොහෝ දිළින්දන්ට කිසිදු ශ්‍රද්ධාවක් නැහැ. ඒ වගේ ම තමන් සතු සුළු දේ වුවත් අනුන් සමඟ බෙදා ගන්නේ නැහැ මසුරු යි. හරිම කෑදර යි. බොහෝ පවිටු අදහස් වලින් යුතු යි. කරුණාවෙන්, ආදරයෙන්, දයාවෙන් තොර යි. ඒ අය මේ ස්වභාවයේ සිට දන්පැන් දෙන්නේ නැහැ. යමක් ඉල්ලාගෙන එන අයට දොස් කියනවා. තව කෙනෙකුට යමක් දෙන්න හැදුවොත් එයත් වළක්වනවා. ඒ පුද්ගලයා කයෙන්, වචනයෙන්, සිතින් වැරැදි කර කය බිඳී මරණින් පසු දුගතිය, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ වඩාත් පැහැදිලි කිරීමට මෙසේ උපමාවක් වදාළා. මහරජතුමනි, පුරුෂයෙක් අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. කළුවරේ ම යනවා. දරුණුකමින් දරුණුකමට ම යනවා. රජතුමනි, මේ පුද්ගලයාට කියන්න තිබෙන්නේ ඔය උපමාව යි. මේ ආකාරයටයි පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ.

අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා

රජතුමනි, ඒ පුද්ගලයාත් හීන කුලයක ඉපදුණු දුගී දුප්පත්, අවලස්සන, ලෙඩ දුක්වලින් පෙළෙන කෙනෙක්. නමුත් මොහු කයින් යහපත් දේ කරනවා. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරැදි කාම සේවනයෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. දන්පැන් දෙනවා. ගිලානෝපස්ථානයේ යෙදෙනවා. ශ්‍රමදාන ආදී සමාජ සේවා කටයුතුවල යෙදෙනවා. වචනයෙන් යහපත් දේ කරනවා. බොරු කියන්නේ නැහැ. වැඩකට නැති හිස්වචන, ඕපාදූප කතා කරමින් කාලය කා දමන්නේ නැහැ. යහපත් දේ කතා කරනවා. අර්ථවත් දෙයක් කතා කරනවා. ධර්ම කතාවේ යෙදෙනවා. ඒ වගේ ම මනසින් යහපත් දේ කරනවා. අනුන්ගේ වස්තුවට ආශා කරන්නේ නැහැ. මෙත් සිතින් කල් ගෙවනවා. පින් පව්, කුසල් අකුසල් හඳුනාගෙන සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා.
එය මේ වගේ. මේ සමාජයේ ඇතැම් දුප්පත් අය ඉන්නවා. දුප්පත් නමුත් හරි ම ශ්‍රද්ධාවන්ත යි. මසුරු නැහැ. දන් දෙනවා. ඒ වගේම උසස්, යහපත් අදහස් තිබෙනවා. කරුණාවන්ත යි. තරහ ගන්නේ නැහැ. තමන්ට හැකි අයුරින් අන් අයට උදව් කරනවා. පැවිදි උතුමන්ට දන්පැන් දෙනවා. ගරුකළ යුත්තන්ට ගරු කරනවා. අනුන් දෙන දානය අනුමෝදන් වෙනවා. රජතුමනි, ඒ පුද්ගලයා කයින්, වචනයෙන්, මනසින් යහපත් දේ කර කය බිඳී මරණින් පසු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. රජතුමනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් බිම හිඳ සිට පුටුවකට නගිනවා. ඒ පුටුවෙන් අශ්වයෙකුගේ පිටට නගනවා. ඒ අසු පිටින් ඇතෙකුගේ පිටට නගිනවා. ඒ ඇතාගේ පිටින් මාළිගාවකට නගිනවා. රජතුමනි, මේ පුද්ගලයා ගැන ඔය උපමාව තමා කියන්න තිබෙන්නේ. මේ ආකාරයටයි පුද්ගලයෙක් අඳුරෙන් ආලෝකයට යන්නේ.


ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා


රජතුමනි, තුන්වෙනි පුද්ගලයා මේ වගේ කෙනෙක්. පුද්ගලයෙක් ආලෝකයෙන් අඳුරට යන්නේ කොහොම ද? ඇතැමෙක් උසස් කුසලයක උපදිනවා. සම්භාවනීය මහා ධනවත්, මහා සම්පත් තිබෙන පවුලක උපදිනවා. ඕනතරම රන්, රිදී, ධන, ධාන්‍ය, දේපළ වස්තුව තිබෙන පවුලක ඉපදෙනවා. ඔහුට ලස්සන රූපයක් තිබෙනවා. කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, යාන වාහන, මල් සුවඳ, විලවුන්, ඉඳුම් හිටුම්, තෙල් පහන් ආදී සියල්ල නො අඩුව තිබෙනවා. නමුත් ඔහු කයින්, වචනයෙන්, මනසින් වැරැදි කොට කය බිඳී මරණින් මතු දුගතියේ උපදිනවා.
අප සමාජය තුළ මෙවැනි පුද්ගලයන් බොහොම යි. ඒ අය ධනවත්. නමුත් කිසිදු ශ්‍රද්ධාවක් නැහැ. මසුරු යි. කෑදර යි. පාපී අදහස්වලින් යුතු යි. මිථ්‍යා දෘෂ්ඨික යි. අකාරුණික යි. අසරණ ජනතාවගේ ධනය කූට ලෙස කඩා වඩා ගන්නවා. තමන්ගෙන් යමක් ඉල්ලූවිට බැන වදිනවා. නින්දා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ තුන්වෙනි පුද්ගලයා ගැන පෙන්වා දෙන උපමාව මෙය යි. රජතුමනි, පුද්ගලයෙක් මාලිගාවකින් ඇතෙකුගේ පිටට බහිනවා. ඇතාගේ පිටින් අශ්වයාගේ පිටට බහිනවා. අශ්වයාගේ පිටින් පුටුවට බහිනවා. පුටුවෙන් බිමට බහිනවා. රජතුමනි, මේ පුද්ගලයා ගැන කියන්නට තිබෙන්නේ මේ උපමාවයි. මේ ආකාරයට එළියෙන් අඳුරට යනවා.

ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා


හතරවෙනි පුද්ගලයා ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආකාරයෙනු යි. ඔහුත් සමාජයේ උසස් යැයි සම්මත ධන – ධාන්‍ය තිබෙන භවභෝග සම්පත් තිබෙන ඉතා ධනවත් සම්භාවනීය පවුලක උපදිනවා. ඒ වගේ ම අන් අය පහදින, ලස්සන රූප සම්පත්තියකුත් තිබෙනවා. කෑම – බීම, ඇඳුම් –පැළඳුම්, යාන – වාහන, ආදියෙන් කිසි ම අඩුවක් නැහැ. ඒ වගේ ම ඔහු කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කතා කරනවා. මනසින් යහපත් දේ සිතනවා. ඒ ආකාරයට කයින්, වචනයෙන්, මනසින් යහපත් දේ කර කය බිඳී මරණින් මතු සුගතියෙහි උපදිනවා. එහි දී දක්වන උපමාව මෙය යි. රජතුමනි, ඒක මේ වගේ දෙයක්. පුටුවකින් පුටුවකට යනවා වගේ. අසු පිටින් අසු පිටට යනවා වගේ. ඇතු පිටින් ඇතු පිටට යනවා වගේ. මාළිගාවකින් මාළිගාවකට යනවා වගේ. රජතුමනි, මේ පුද්ගලයා ගැන මේ උපමාව තමයි කියන්න තිබෙන්නේ. රජතුමනි, ඒ ආකාරයටයි පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නේ.
මේ දේශනාවේ පෙන්වා දෙන ආකාරයට අප ද දස අකුසල් වලින් වැළකී, දස කුසල් වඩමින් ආලෝකය කරා යන ජීවිතයක් ඇති කර ගනිමු. එවිට බුද්ධ ශාසනයත්, මිනිස් ජීවිතයත්, මුණ ගැසුනු මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල ඇති කර ගෙන ධර්මාවබෝධය කරා යෑමට අවස්ථාව සැලසෙනවා.



පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment