Labels

Wednesday, October 18, 2017

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය දඹරන් දෙවියා 1

සතර අපායෙන් මිදෙමු' - 38 කොටස

භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ ඒ එකම අඳනය ඇඳගෙන පැන් පහසුවෙලා, ඒ අඳනය වේලාගෙන තමයි නැවත පරිහරණය කරන්නේ කියලා.


උන්වහන්සේ දෙවැනි අඳනයක්‌ හෝ නානකඩයක්‌ පාවිච්චි කරන්නේ නැහැ. මෙම පිංවත් ස්‌වාමීන්වහන්සේගේ අතහැරීම උන්වහන්සේ රකින ධුතාංගයක්‌ වශයෙනුයි උන්වහන්සේ අර්ථ දක්‌වන්නේ. මේ අතහැරීම භික්‍ෂුව විවේචනය කරන්නේ නැහැ. පසසන්නෙත් නැහැ. මොකද යම් ස්‌වාමීන්වහන්සේ නමක්‌ සීමාව ඉක්‌මවලා අත්‍යවශ්‍යම දෙය හිස්‌කරන්න, අතහරින්න යනවානම් එහෙම කළයුතුයි සිතනවා නම් ඒ ගැන දෙවරක්‌ සිතා බැලිය යුතුයි. එසේ නොමැති නම් ගුරුවරයෙකුගෙන් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ගුරුහරුකම් ගත යුතුයි. ධුතාංගයක්‌ රැකීමේදී අපි දන්නවා එය ධුතාංගයක්‌ බවට පත්වෙන්නේ එහි ස්‌වභාවය තමා පමණක්‌ දැනගැනීමෙන් පමණය කියලා. භික්‍ෂුන් වහන්සේගේ තුන්සිවුරට නානකඩය අයිතිනොවුණත් පිංවත් ස්‌වාමීන්වහන්සේ නමකට නානකඩයත් අතහැරීමට සිතෙනවා නම් එය අතහැරීමට වඩා අල්ලා ගැනීමක්‌. කුමක්‌ අල්ලා ගැනීමක්‌ද? 'මම', 'මගේ ශීලය', 'මගේ අතහැරීම'.... 

ඉතා කුඩා නානකඩය අතහැරලා විශාල දෙයක්‌ අල්ලා ගන්නවා. මේවා තමන් යම් යම් තැන්වල නවාතැන් ගන්නා සියුම් කෙලෙස්‌ ධර්මයන්. මෙය සටහන් කරන භික්‍ෂුවද හැමදාමත් තුන් සිවුරට අමතරව නානකඩයක්‌ පාවිච්චි කරනවා. කුඩා දෙයක්‌ අතහැරීමේ වේශයෙන් එන මහාදෙයක්‌ අල්ලාගැනීමේ ස්‌වභාවය මෙම සිද්ධීන්ගෙන් අපි අවබෝධ කරගත යුතුයි. 

ඉහතින් සඳහන් කළ භික්‍ෂුවගේ අදහසයි. නමුත් එම පිංවත් භික්‍ෂුවගේ අදහස මීට වඩා වෙනස්‌ වෙන්න පුලුවන්. උන්වහන්සේට ගෞරව කරමිනුයි පහත සටහන තබන්නේ. 

මෙතැනදී භික්‍ෂුව කීමට උත්සාහ දරන්නේ නානකඩය අතහැරීම ගැන නොවේ. එවැනි අතහැරීමක්‌ කිරීමට ධෛර්යක්‌, වීර්යයක්‌, කැපකිරීමක්‌ කිරීමට හැකියාව ඇති, ඉතා හොඳින් ශීලය ආරක්‍ෂාකරගත් මේ පිංවත් තරුණ ස්‌වාමීන්වහන්සේ, ඔය අතහැරීමත්, රැකගත් ශීලයත් තණ්‌හාව, මාන්නය දෘෂ්ටීන්ට යටත්ව ක්‍රියාත්මක නොකළානම් එහි වටිනාකම ගැනයි. තමා තුළ අධිෂ්ඨානයෙන් ගොඩනගාගත් ශීලයේ ශක්‌තිය, දිරායන නානකඩය මෙන්ම ඒ නානකඩය දවටා ගන්නා ශරීරයේ අනිත්‍යභාවයත්, නානකඩයත් අතහරින්නයෑයි අණකරන සිතේ අනිත්‍යබවත් දුටුවානම් නැවත සසරේ නානකඩයක්‌ දවටාගැනීමට අවශ්‍ය නොවන ස්‌වභාවයකට යාමට පුළුවන්කම තිබුණා විය හැකියි. 

මේ 'මම' කියන දෂ්ටිය නිසා හටගන්නා මාන්නයේ අහිංසක ස්‌වභාවයන්ය. බබාහිර කෙනකුට හඳුනාගැනීමට නොහැකි තරමට මේ ධර්මතාවයන් සියුම්ය. නිවීමේ අරමුණ ජයගැනීම උදෙසා ඔබ තුළ මෝදුවන තරුණ ජවය පිංවත් ඔබලාගේ සංසාරික පුරුදුය. මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය ලැබුවේ සම්මා සම්බුදු ශාසනය පිරිනීවීයාමට පෙරාතුව මේ ජීවිතයේදීම අවම වශයෙන් සතර අපායෙන් මිදී නිවන් මාර්ගයට අවතීර්ණවීම සඳහාමය. මෙය ඔබට ලැබෙන අවසාන අවස්‌ථාව වීමටද පුළුවන. එහෙයින් නිවීමේ මග උදෙසා ඔබේ තරුණ ජවය යෙදිය යුත්තේ මාර බලවේගයන්ගේ ග්‍රහණයෙන් මිදෙමින්ය. කළ්‍යාණමිත්‍ර ආශ්‍රය සමගින්මය.

මෙසේ හුදකලාව වැඩසිටි ස්‌වාමීන්වහන්සේ තම කුඩා ආරණ්‍යයේ වැඩසිටියදී දිනක්‌ රාත්‍රී සයනය කර සැතපී හිමිදිරියේ අවදිවන විට සයනයේ අතුරා තිබූ කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා කීපනමක්‌ වැඩම කර තිබුණි. මේ ධාතූන් වහන්සේලා වැඩම කිරීම නිසා මෙම ස්‌වාමීන් වහන්සේට තම කුඩා ආරණ්‍යයේ එම ධාතූන් වහන්සේලා නිධන් කර චෛත්‍යය රජායාණන් වහන්සේ නමක්‌ ඉදිකිරීමට සිත පහළවිය. දායක පිරිසද ඊට බොහෝම සද්ධාවෙන් ඉදිරිපත් විය. පිංවත් ස්‌වාමීන්වහන්සේගේ සැතපෙන කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා වැඩමකිරීම නිසා දායකයින් තුළ ස්‌වාමීන් වහන්සේට ගෞරවය වැඩිවිය. ආරණ්‍ය පිහිටි වන මැද ගල් කුළ මතට බොහෝම මහන්සියෙන් ගල්, වැලි ගෙනැවිත් ගොඩ ගසා තිබුණි. චෛත්‍යයේ වැඩකටයුතු පහසුකර ගැනීම පිණිස ස්‌වාමීන් වහන්සේව පහසුවෙන් සම්බන්ධ කර ගැනීම සඳහා සහ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම සඳහා දායක පිරිස විසින් සෙලියුලර් දුරකථනයක්‌ද පූජාකරන ලදි. නානකඩයත් අත්හැර දමා සිටි පිංවත් ස්‌වාමීන්වහන්සේ මේ සියල්ල අකමැත්තෙන් පිළිගත්හ. තරුණ ස්‌වාමීන්සේද ගල් වැලි කර මත අදිමින් බොහෝම වෙහෙස මහන්සියෙන් කටයුතු කළහ. හුදකලාව ප්‍රියකළ, ධුතාංග වැඩු ස්‌වාමීන් වහන්සේගේ මේ වෙනස අහම්බයක්‌ නොවේ. මන්දමාරයා අපිව එයාගේ දැලට හසුකරගැනීම සදහා එයාගේ නවාතැන්පලවල්වල ශීලය, සමාධිය වැනි ඔටුනු පළඳවාගෙන නවත්වාගෙන සිටින්නේ සුදුසු වේලාවේදී ගොදුරු කරගැනීමටය. 

ගුරු ඇසුරකින් තොරව නිවන් මග වැඩීම මාරයාට කරන ආශිර්වාදයක්‌මය. අපි වෙර වැඩිය යුත්තේ නිරතුරුවම ශීලය, සමාධිය නවාතැන්පලවල නොනැවතී ඒවා නිසා දායක පිරිස්‌වලින් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර අතහරිමින් සියල්ලම කමටහනක්‌ කරගෙන ප්‍රඥාව දෙසට ගමනාන්තයට යාමටය. 

චෛත්‍යයේ වැඩකටයුතුවලට පිංවත් ස්‌වාමීන්වහන්සේ දුරකථනය භාවිතාකිරීම නිසා එහි බැටරිය ආරෝපණය කරගැනීමට සිදුවිය. ආරණ්‍යයට විදුලි බලය නොතිබිණි. උන්වහන්සේ වැඩ සිටියේ ලන්තෑරුම් එළියෙනි. දුරකථනයේ බැටරි 'චාඡ්'කර ගැනීමට ආරණ්‍ය අසලම පිහිටි නිවසට සවසට වැඩම කිරීමට උන්වහන්සේට සිදුවිය. එක්‌තරා දිනයක අදාළ නිවසේ සිට බැටරිය ආරෝපණය කරගෙන තම කුටියට වඩින විට සවස 6ට පමණ කැලෑ මාර්ගයේ අතරමග ස්‌ථානයකදී උන්වහන්සේට වල් අලියෙක්‌ පහරදී තිබිණි. එය ඉතා දැඩි දරුණු පහරදීමකි. පහරදීමෙන් උන්වහන්සේ අපවත් වුණා. ඒ බව දායක පිරිස දැනගත්තේ පසුවදා උදෑසන 9.00 ට පමණය. ගම්මානයකට ඇතුළුවන්නට ගොස්‌ ගම්වැසියන්ගේ පීඩාවට ලක්‌ව පලායමින් සිටියදී ස්‌වාමීන්වහන්සේව මුණගැසුනු, වියරුවැටී සිටි අලියා විසින් එතෙක්‌ මුළු රැයක්‌ පුරාම දැඩිලෙස පහරදීමට ලක්‌කර තිබූ දේහය කැලයේ ගල් කුලක්‌ පාමුල තිබිණි. ඒ ශ්‍රී දේහය දැඩිලෙස කුඩුවී තැලී නරක්‌වී තිබිණි. දේහය එක්‌ දිනක්‌ හෝ තබාගැනීමට නොහැකි නිසා එදිනම සවස එම කුඩා ආරණ්‍යය භූමියේදීම අදාහනය කර තිබිණි. 

උන්වහන්සේ අපවත්වීමට දින කිහිපයකට පෙර වෙහෙස මහන්සි වී චෛත්‍යය කර්මාන්තයට ඇද්ද වැලි, කලුගල් ඒ ඒ තැන්වල නිසොල්මන්ව තිබිණි. ශ්‍රී දේහය දැවී වා තලයට එකතු වු අළු, දුවිලි එම වැලි ගොඩටම නැවත එකතු විය. වල්අලි ප්‍රහාරයේදී උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගිය රුධිරය පසට එකතු වී පසේම කොටසක්‌ බවට පත්විය. සෙලියුලර් දුරකථනය අලිපාදයට පෑගී කුඩුපට්‌ටම් වී පසේම කොටසක්‌ බවට එකතු විය. ශ්‍රී දේහය දැවී ඉතිරි වූ භෂ්මාවශේෂ පාත්‍රයේ බහා මහ පොළවේ තැන්පත් විය. මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් බලන විට අපි දකින්නනේ රූපයේ අනිත්‍යභාවයයි. අනිත්‍යභාවයේ වේගයයි. 

ඉහතින් භික්‍ෂුව සටහන් කළ තොරතුරු සියල්ලම භික්‍ෂුව දෑසින් නොදුටුණී නමුත් කළ්‍යණමිත්‍ර ස්‌වාමීන් වහන්සේ එම ආදාහනයට වැඩම කර පැමිණි පසු උන්වහන්සේගෙන් දැනගත් සිද්ධීන් සමග ගලපා කළ සටහනකි. මේ පිංවත් ස්‌වාමීන් වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ අපවත් වු වේදනාත්මක ස්‌වභාවය සලකා නිතිපතා පිං අනුමෝදන් කිරීම් සිදුවිය. උන්වහන්සේ වෙනුවෙන් දාන මාන පිංකම් සිදුවිය.

අපවත්වීම සිදු වී හරියටම දින හතකින් රාත්‍රියේ භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට අඩි 10 පමණ උසැති මහා සද්ධන්ත ශරීරයක්‌ ඇති මිනිස්‌ රුවක්‌ දර්ශනය විය. මේ ප්‍රේත මිනිසාගේ ශරීරයේ උඩුකයට ඇඳුමක්‌ නොතිබිණි. මොහු ප්‍රේත ලෝකයේ උපත ලද ප්‍රේත ලෝකය අභිබවාගිය 'මහේශාක්‍ය' ප්‍රේත උපතකි. මේ මහේශාඛ්‍යබව නිසා මොහුට අනෙක්‌ ප්‍රේතයින් අභිබවා යන විශාල ශරීරයක්‌, පෞරුෂත්වයක්‌ ලැබී තිබිණි. මොහුට තිබුණේ කළු පැහැති ශරීරයකි. මේ අපූරු ප්‍රේත සද්ධන්තයාගේ දෑස්‌ දෙකින් සුදු පැහැති දීප්තිමත් ආලෝක දෙකක්‌ විහිදෙමින් තිබිණ. මොහු දර්ශනය වී විනාඩි දෙකකින් පමණ නොපෙනී ගියේය. ප්‍රේතයාගේ මහේශාඛ්‍ය සද්ධන්ත පෙනුමත්, දෑස්‌ වලින් ආලෝකය විහිදෙන ස්‌වභාවයත් නිසා භික්‍ෂුව තුළ, මේ අලියා පහරදීමෙන් අපවත්වූ ස්‌වාමීන්වහන්සේගේ නැවැත උපතදැයි සැකයක්‌ ඇතිවිය. එය සැක කිරීමක්‌ පමණි. ඉහත ස්‌වභාවය නිසා භික්‍ෂුව ද නැවත නැවත පිංදීම සිදුකළේය. අපවත් වී හරියටම දින 11කින් උදේ පාන්දර පහට පමණ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට එම ස්‌වාමීන්වහන්සේව අරමුණු කළේය. ඒ මොහොතේම දිව්‍ය තලයක වැඩසිටින අපූරු සුන්දර දෙවියෙක්‌ දර්ශනය විය. එම දෙවියා දිව්‍යභාවයෙන් සිටියේ එරමිනිය ගොතාගෙන සිටින ඉරියව්වෙනි. ඉතාමත් නිස්‌කලංකව වැඩ සිටියේය. ලස්‌සන හුරුබුහුටි නිකලැල් තරුණ පෙනුමක්‌ දිස්‌විය. පිරිවර දෙවියන් හෝ දිව්‍යාංගනාවන් කිසිවක්‌ නොදුටුවේය. එම දෙවියා දඹරන් පැහැති ඔටුන්නක්‌ පැළඳ සිටියේය. එම ඔටුන්නේ හිස්‌ආවරණයේ කන් පෙති දෙපස රවුම් ආකාරයට දඹ රන් පාටින් කැටයම් කළ රවුම් දෙකක්‌ ඔටුන්නට සම්බන්ධවී තිබිණි. එම දෙවියාගේ ශරීරයේ උඩු කොටස සම්පූර්ණයෙන්ම දඹරන් පැහැයෙන් යුත් ආභරණ වලින් සැදි ඇඳුමකින් සැරසී තිබිණි. මෙය වෙස්‌ නැට්‌ටුවන් උඩුකයට පළඳින ආභරණ සහිත සැට්‌ටය සේය. දෙවියාගේ ශරීරයේ වර්ණයද, පැළඳ සිටින ආභරණවල වර්ණයද දඹරන් පැහැතිය. ශරීරයත්, ආභරණත් වෙන් වශයෙන් ගත නොහැකිය. දඹරන් පැහැති ශරීරයේම ලියවන ලද ඇඳුම් ආභරණයන් සේය. දඹරන් පැහැය හැර වෙනත් පැහැයක්‌ දෙවියා තුළ නොවීය. මේ දෙවියාට නමක්‌ තබන්න යෑයි යමෙක්‌ භික්‍ෂුවට කීවොත් දෙවියාට නම තබන්නේ 'දඹරන් දෙවියා' කියාය. දඹරන් කුට්‌ටියකින් ලියවන ලද දෙවියෙක්‌ සේය. 

2013.07.21  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment