Labels

Saturday, October 28, 2017

පඨවි ධාතුව ( අයිති නැති නම් ගැටීමක් කුමටද? )


පඨවි ගතිය පුද්ගල සිත අවිද්‍යාවෙන් වසා තබයි. ඒ නිසා, වැරැදි දේ කිරීමට පෙළඹෙයි. අයිතියක් තිබෙනවා කියා හැඟීමක් ඇතිවෙයි. එහෙත් සියලු දේ වෙනස් වන ලෝකයේ තමාට කියා කිසිදු දෙයක් අයිති නැහැ."
සතරමහා භූතයන්ගෙන් හටගෙන ඇති මේ රූපය පඨවි ධාතුවට අයත් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අභිධර්මය තුළ දී රූපය හැදී ඇති ආකාරය මනාව විස්තර වෙයි.
එහි දී පුද්ගල ශරීරය විසි අටකට බෙදා දක්වා ඇති අතර, මහාභූත රූප ලෙස පඨවි, ආපෝ, තේජෝ, වායෝ දක්වා තිබෙනවා.
‘පඨවි’ ශබ්දය විවිධ අර්ථයෙන් යෙදේ. යම්කිසි දෙයක ඇති තද ගතිය පඨවිය යි. එහි අඩු වැඩි ස්වභාවය, මොලොක් බව, රළු බව හෝ සිනිඳු බව ආදි වශයෙන් ද පඨවි ධාතුව හඳුන්වනු ලබනවා.

මේ ලෝකයේ සතර මහා භූතයෝ සෑම තැනක ම දැකිය හැකි යි. ඒවා අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි. පඨවි නැත්නම් තද ගතිය අපේ ශරීරය තුළත්, ඉන් පිටත වූ පරිසරයේ දීත් දැක ගත හැකි වෙනවා. ශරීරයේ ඇටකටු, දත් ආදී තද ගතියෙන් යුතු දේ පඨවි ධාතුව යි. මේ දෙතිස්් කුණුප කොටස් දක්වන විටත් බුදුරජාණන් වහන්සේ මේ තද ගතියට අයත් බොහෝ ප්‍රමාණයක් දක්වා තිබෙනවා. අප සෑම විටම මේ ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී සිටිනවා. ලෝභය, ද්වේෂය, මෝහය, පළිගැනීම, ඊර්ෂ්‍යාව ආදි දේ කාටත් ඇතිවෙනවා. ඒ වගේ ම ඒවාට බැඳෙනවා. අම්මා, තාත්තා, අච්චි, සීයා ගහකොළ, විශ්වය පරිසරය මේ සියල්ල මට අයිතියි කියන හැඟීමක් ඇති වෙනවා. මම වෙනුවෙන් පවතිනවා කියන හැඟීමක් තිබෙනවා. එසේ වන්නේ පඨවි කියන තද ගතියෙන් අල්ලා ගත් නිස යි. මෙහි දී තේජෝ කියන්නේ නරක් නොවී ඉදිරියට පවත්වාගෙන යන තේජස යි. වායෝ කියන්නේ එය ක්‍රියාත්මක කිරීම යි. ආපෝ කියන්නේ බැඳ තැබීම යි. කෙනෙක් නිවසක් හැදීමට වැලියි, සිමෙන්තියි මිශ්‍ර කළත්, එයට ජලය නැතිනම් එතැනින් එහාට එම නිවස ගොඩ නගන්නට නොහැකි යි. ආපෝ ධාතුවත් ඒ වගේ. ඒ නිසා මේ හතර ම එකිනෙකට බැඳී තිබෙන බව අප වටහා ගත යුතු වෙයි.
බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේ දී ධර්මය නො දත්, අරහත්වය සාක්ෂාත් නො කළ පුද්ගලයා, පඨවි කියන තද ගතියට ලෙහෙසියෙන් ඇලෙන බව වදාළා. අම්මා, තාත්තා කියන තද ගතියට ඇලෙනවා. රජතුමා, ජනතාව සමඟ ගැටෙනවා. රටවල්, රටවල් ගැටෙනවා. අසල්වාසින් වැට මායිමට ගැටෙනවා. වැට අසල තිබෙන පොල් ගසට ගැටෙනවා. එසේ වන්නේ මහා පොළොව මට අයිතියි. මේ පොල් ගහ මට අයිතියි කියා සිතින් අල්ලා ගන්නා ස්වභාවයක් තිබෙන නිස යි. එහෙත් නිකෙලෙස් උතුමන් එසේ සිතන්නේ නැහැ. මේ මහපොළොව මගේ කියා සිතන්නේ නැහැ. මහ පොළොව මගේ නම්, එහි සිටින සියලුම දෙනා එක ම ජාතියක්, එක ම කුලයක් වෙන්නට ඕනෑ. රට, රටවල් අතර ඝට්ඨන තිබෙන්නේ භූමිය ලොකු කර ගන්නට, තද කර ගන්නට, අයිතිකර ගන්නට යාම නිස යි. ඒ හැම තැන ම ඇතිවෙන්නේ ගැටීමක් පමණ යි.
පඨවි ගතිය පුද්ගලයා සිත අවිද්‍යාවෙන් වසා තබයි. ඒ නිසා, වැරැදි දේ කිරීමට පෙළඹෙයි. අයිතියක් තිබෙනවා කියා හැඟීමක් ඇතිවෙයි. එහෙත් සියලු දේ වෙනස් වන ලෝකයේ තමාට කියා කිසිදු දෙයක් අයිති නැහැ. දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “මම මහපොළොව වගේ නො සැලී සිටිනවා. අටලෝ දහමට මම යට වෙන්නේ නැහැ” කියා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමාට ගළපා ගත් උතුමන්, මේ ලෝකයේ මට ගෙනියන්නට අයිති කර ගන්නට, අල්ලා ගන්නට කිසිම දෙයක් නැත කියා තේරුම් ගන්නවා. කිසිවක් ම නැති තැන අත් හැරීමක් ද නොවෙයි. බොහෝ විට මගේ කාමරය, මගේ පෑන, මගේ ඔරලෝසුව, මගේ නිවස ආදි වශයෙන් මගේ කියා ගන්නවා. මේ දේවල් අපට අවශ්‍ය වන්නේ සමාජයේ කටයුතු සඳහා පමණ යි. එයට ඇලී ගැලී සිටින නිස යි දුක් ඇතිවෙන්නේ. කම්පා වෙන්නේ. නමුත් බුද්ධ ශ්‍රාවකයා කිසිම දිනක කම්පා නො විය යුතුයි. ඔහු දන්නවා මේ භාවිත කරන සියලු දේ වෙනස්වෙන සුළුයි කියා. ඒ නිසා පඨවි කියන ස්වභාවය හොඳින් තේරුම් ගත් ශ්‍රාවකයා කිසි කෙනෙක් සමඟ නො ගැටී සිටිනවා.

එනිසා අප සියලු දෙනා අනිත්‍ය වී යන ස්වභාවයෙන් යුක්ත මේ සතරමහා භූතයන් හොඳින් තේරුම් ගෙන ලැබූවා වූ මිනිස් ජීවිතයට වටිනාකමක් දෙමින් ජීවිත ගොඩනගා ගත යුතු වෙනවා. මේ කිසි දෙයක් අපට අයිති නැතිනම් ගැටීම් කුමට ද? කියා සිතන්නට ඔබට ශක්තිය ලැබේවා.


මීරිගම, හල්පේ ශ්‍රී මුනින්දාරාමාධිපති
ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත,
ඉඳුරුවේ නාරද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment