Labels

Sunday, October 1, 2017

විශ්වයටම මෙත් වඩමු



ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය පුරා මෙත් වැඩීම නම් වූ උතුම් ගුණාංගය ඉස්මතු වේ. උන්වහන්සේ මෙත් වැඩීම සිදුකළ යුතු ආකාරය පැහැදිලි කළේ ‘ මාතා යථා නියං පුත්තං’ යනාදී වශයෙනි. එනම් මවක් යම්සේ, ආයුෂයෙන් ද, ඖරස පුත්‍රය රකී ද, එලෙසින් හැම සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් වඩන්න ය” යනුවෙනි.

බුද්ධ චරිතය තුළ, මිනිස් - තිරිසන්, උසස් - පහත්, කුලවත් – කුලීන, පොහොසත් – දුප්පත් ආදී කිසිදු භේදයක් නොමැති ව මෛත්‍රීය පැතිරූ ආකාරය පැහැදිලි වේ. තම පුතු රාහුල කුමරුට ද, සුනීත සෝපාක අසරණ දරුවන්ට ද, බුදු හිමිගේ මෛත්‍රීය එකම අයුරින් ලැබුණි. එය බුද්ධ චරිතයෙහි සුවිශේෂී ලක්ෂණයකි. එය සාමාන්‍ය ජීවිතය තුළ ද වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ. පුහුදුන් සත්වයාට බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් මහරහත් කෙනෙක් තරමට ම මෛත්‍රීය පැතිරීම අසීරු කාර්යයකි. නමුදු යම් තරමකින් හෝ මුළු විශ්වය ම හසුවන අයුරින් මෙත් වැඩීම ජීවිතයට හුරු පුරුදු කර ගත යුතු ය. එතුළින් ලැබෙන ආත්ම තෘප්තිය, අධ්‍යාත්මික සැනසීම වචනවලට හසු කිරීමට බැරි තරම් විශාල ය.

වදකේ දේව දත්තම්හි
චෝරේ අංගුලිමාලකේ
ධනපාලේ රාහුලේ චේව
සම මිත්තේව මානසො


මෙම ගාථා ධර්මයෙන් බුදු හිමිගේ අපරිමිත මෛත්‍රිය පිළිබඳ කියැවේ. එහි දී තමන්ගේ ම පුතු ද, දරුණු මිනිසා ද, සොරා ද, රජු ද, සිටුවරයා ද, තිරිසන් සතා ද කියා කිසිදු බෙදීමක් නොමැත. පොදුවේ මුළු මානව සත්වයා ම හසුවන අයුරින් බුදු හිමි මෙත් වැඩීම සිදු කළ හ. එය වඩාත් තහවුරු වන තැනක් නම් කරණීය මෙත්ත සූත්‍රයයි. එහි දී පැහැදිලි වන්නේ භික්ෂූන් වහන්සේලා 500 නමක් බුදු හිමිගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීමට වනගත වුවත්, ඔවුන්ට එම භාවනා කටයුතු නිසියාකාරව සිදුකරගැනීමට නොහැකිවන තරමට ම දෙවියන්ගෙන් බාධා පැමිණුන පුවතකි.
එම භික්ෂූන් වහන්සේලා සිල්වත් වුව ද මෙත් වැඩීම නොකළ බැවින් දෙවි දේවතාවුන්ට උඩ ඉඳීමට අපහසු නිසා විවිධ ක්‍රම තුළින් එම භික්ෂූන් වහන්සේලා පළවා හැරීම සඳහා බිය ගැන්වූ හ. පසුව භික්ෂූන් වහන්සේලා නැවත බුදු හිමි වෙත ගොස් වෙනත් කැලයකට යාමට අවසරය ඉල්ලුව ද බුදුහිමි සඳහන් කළේ ඔබලාට සුදුසු ඔය වන පෙදෙස ම යි. නමුත් ඔබලා මෙත් වැඩීම කළ යුතු යි. එවිට දෙවියන්ගෙන් අනතුරක් නොපැමිණෙනු ඇත. යනුවෙනි. එහි දී උන්වහන්සේ මුළු විශ්වය ම හසුවන පරිදි මෙත් වැඩීම සඳහා කරණීය මෙත්ත සූත්‍රය උගන්වා වදාළහ. එම සූත්‍රයට අනුව පැහැදිලි වන්නේ ලෝකයේ පමණක් නොව මුළු විශ්වයේ ම වසන සත්ත්වයන් සියල්ලෝ ම මෙත් වැඩීමේ දී හසුවන ආකාරය යි.

 එනම්,

තසා (තැති ගන්නා සුළු කෙලෙස් සහිත සත්වයෝ)
ථාවරා (රහතන් වහන්සේලා)
දීඝා (දිග් ශරීර ඇත්තෝ)
මහන්තා (මහත් වූ ශරීර ඇත්තෝ)
මජ්ක්‍ධිමා (මධ්‍යම තරමේ සත්වයෝ)
රස්සා (මිටි ශරීර ඇති සත්වයෝ)
අණුක (ඉතා කුඩා ශරීර ඇත්තෝ)
ථූලා (තරබාරු ශරීර ඇත්තෝ)
දිට්ඨා (ඇසට පෙනෙන සත්වයෝ)
අද්දිට්ඨා (ඇසට නොපෙනෙන සත්වයෝ)
දූරේවසන්ති (දුර වසන සත්වයෝ)
අවිදුරේ වසන්ති ( ළඟ වසන සත්වයෝ)
භූතා (උපන්නා වූ සත්වයෝ)
සම්භවේසී (ඉපදීමට සිටින්නා වූ සත්වයෝ) වශයෙනි.
කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් ඉහත කරුණු පරීක්ෂා කිරීමේ දී මෙම විශ්වය තුළ මෙත් වැඩීමට හසු නොවන කෙනෙක් නොමැත. මෛත්‍රී භාවනාව වැඩීමේ දී එයින් ලැබෙන ආනිසංස 11 ක් පිළිබඳ මෙත්තානිසංස සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත.

 එනම්,
සුඛං සුපති (සුවසේ නිදයි)
සුඛං පට්බුජ්ඣති (සුවසේ නින්දෙන් පිබිදෙයි)
න පාපකං සුපිනං පස්සති (නපුරු සිහින නොදකියි)
මනුස්සානං පියො හොති (සෑම මිනිසුන්ට ම පි‍්‍රයමනාප වෙයි.)
අමනුස්සානං පියො හොති (අමනුෂ්‍යයන්ට ද පි‍්‍රයවෙයි)
දේවතා රක්ඛන්ති (දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබයි)
නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති (ගින්නෙන් වස විසෙන් ආයුධ වලින් අනතුරු නොලබයි)
තුවටං චිත්තං සමාධියති (වහා සිත එකඟ කර ගනී)
මුඛවණ්ණො විප්පසීදති (මුහුණ පැහැ ගැන්වෙයි)
අසම්මූල්හො කාලං කරොති ( නොමුළා ව මරණයට මුහුණ දෙයි)
උත්තරීං අප්පටිවිජ්ඣනෙතා බ්‍රහ්මලොකූපගො හොති (එම ආත්මයේ දී ම රහත්වීමට නොහැකි වුවහොත් මෛත්‍රී ධ්‍යාන උපදවා ගත් විට මරණින් මතු බඹලොව උපදී)
මිනිසෙකු වශයෙන් ලොව හටගත් කල් හි ලෙහෙසියෙන් ම, පහසුවෙන් ම කළ හැකි භාවනාව වන්නේ මෛත්‍රී භාවනාව යි. එතරම් ලෙහෙසි පහසු භාවනාවක් වුව ද අද අවංක සිතින් කරන්නේ කීයෙන් කී දෙනා ද? බොහෝ අය ඇඟපත හදාගැනීමට, මුහුණ ලස්සන කර ගැනීමට විවිධ ක්‍රම ඔස්සේ මුදල් වියදම් කරති. ඒ මෛත්‍රී භාවනාව නොකිරීමේ ප්‍රතිඵලය නිසා නොවේ ද?
එබැවින් අප කවුරුත් බුදු රදුන් උගන්වා වදාළ එම උතුම් භාවනාව ප්‍රගුණ කොට මුළු විශ්වයට ම මෙත් සිත පතුරුවා ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් සැනසීමට උත්සාහවත් විය යුතු ය. එහි අවසානය වූ සියලු කෙලෙසුන් නසා සසර කතරින් අත් මිදීමට ද සිතට ගැනීම උසස් මනසක් ලැබූ සත්ත්වයින්ගේ ප්‍රාර්ථනය විය යුතු ය.

වෙත්වා සව්සත සැම කල් නිදුකී
පත්වා සැපතට භව දුක් වැළකී
යෙත්වා නිවනට සමඟින් මුනිකී
මෙත්තා වනනම් වැඩි පින් කමකී



මාස්පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ 
නියෝජ්‍ය පරිවෙනාධිපති 
ගලගෙදර රතනවංස හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 13 වන බදාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment