Labels

Sunday, October 29, 2017

දානය අතහැරීමට මිස අල්ලා ගැනීමට නොවේ

බුදු හිමි දවස මච්ඡරිය කෝසිය නම් සිටුවරයෙක් සිටියා. අසූ කෝටියක් ධනයට හිමිකම් කීව ද සිටුවරයාගේ ලොබ බැඳි සිත අංශු මාත්‍රයක දෙයක් කිසිවෙකුට ලබාදෙන්ට ඉඩ දුන්නේ නෑ. තමන්වත් කෑවේ බීවේ නෑ. හරියට වස්ත්‍රයක් ඇන්දේ නෑ. ඔහුගේ ධනය රකුසන් අරක්ගත් විලක් වගේ.
දිනක්, මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බලා වදාරණ බුදු හිමියන්ට මේ සිටුවරයාත්, සිටු බිරිඳත් සෝවාන් වීමට තරම් වාසනාගුණ ඇති දෙපළක් ලෙස පෙනුණා.
ඒ, මච්ඡරිය කෝසිය සිටු රාජ සභාවට ගිය දිනයක්. ආපසු සිටු මැදුර බලා එන ගමනේ දී මග අසළ හිඳ කැවුම් අනුභව කරන මිනිසෙක් දුටුවා. සිටුතුමාටද කැවුම් කන්නට ආසා සිතුණා.


කැවුම් පිසීම වියදම් යන වැඩක් යැයි සිතා ආශාව යටපත් කර ගත්තා.ඒ ගැන කිසිවෙකුට කීවේ නෑ. එහෙත් වරින්වර කැවුම් කෑමේ ආශාව ඉස්මතු වුණා. ආශාව වැඩිකමට සිරුර සුදුමැලි වුණා. නහර මතු වුණා. සිතිවිල්ලේ කාලය ගත කළා. සිතින් පීඩා වින්ඳා. සයනයෙහි වකුටු වී නිදන්නට වුණා.


සිටුතුමාගේ වෙනස සිටු බිරිඳට දැනුණා. ඇයත්, සිටුවරයාත් අතර මෙවැනි කතාවක් සිදුවුණා. “හිමියනි, දින ගණනක් සිටම ඔබ වෙනස්වෙලා. අසනීපයක්වත් ද?” “ නැත, සොඳුර, මට කිසිදු අසනීපයක් නොවෙයි.”
“එසේ නම් ඔබට රජතුමාගෙන්වත් කරදරයක් ද? “

“එසේත් නොවෙයි”
“එහෙමනම් අපගේ දරුවන්ගේ ප්‍රශ්නයක්වත් ද”
“එවැනි ප්‍රශ්නයක් ද නොවෙයි”
“එසේ නම්. සේවකයන්ගේ ගැටලුවක් ද?”
“ඔවුන්ගෙන් මට ඇති ප්‍රශ්නය කුමක් ද?”
“එහෙමනම් ඔබට යම් ආශාවක් ඇතිවී වත්ද?”
බිරිඳගේ අවසාන පැනයට සිටුවරයා නිහඬ වුණා. ඇය දිගින් දිගටම ඇවිටිලි කළා. “සොඳුර මට කැවුම් කන්නට ආශාවක් ඇති වුණා. අනේ! ඒ මිනිසා මොන තරම් සතුටින් කැවුම් ආහාරයට ගත්තාද?”යි
අවසානයේ සිටුවරයා පිළිතුරු දුන්නා.
“හිමියනි, එයත් ප්‍රශ්නයක් ද? මම මුළු ගමට ම කැවුම් පිස දෙන්නම්”. කලබලවූ සිටුතුමා, “ගමටම කැවුම් පිසින්නට තරම් ඇති වුවමනාව කුමක් ද”යි බිරිඳට සැර වුණා.
“එහෙම නම් මේ කඩ පේළියේ මිනිසුන්ට”
“ඔවුන්ට කුමට කැවුම් පිළිගන්වනවා ද?”
“හොඳයි, මම ගෙදර අයට පමණක් ප්‍රමාණවත් කැවුම්පිස දෙන්නම්.”
“අවශ්‍ය නෑ. කිසිසේත් ම අවශ්‍ය නෑ"
“දරුවන්ටත් කැවුම්කන්නට ආශා ඇති නේද? හිමියනි.”
“කැවුම් කන්නට සිත් වුණේ ඔවුන්ට නොවෙයි මට යි”.
එසේ නම් අප දෙදෙනාට පමණක් කැවුම් පිසින්නම්.”
“ඔබට කුමට ද?”
සිටුවරයාගේ ඒ පිළිතුරත් සමඟ ඔහුට පමණක් කැවුම් පිස දෙන්නට තීරණය වුණා.
මුළුතැන්ගෙයි කැවුම් පිසින්නට වූයේ නම් ගෙදර අය ද දකින නිසා දෙදෙනා ම උඩුමහලට ගියා. දොර අගුළු දා කැඩුණු සහල් පිටි ස්වල්පයක් ගෙන කැවුම් පිසින්නට සූදානම් වුණා.
දෙව්රම් වෙහෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දිවැසින් දුටුවා. මුගලන් හිමි අමතා ඍද්ධියෙන් ගොස් මේ දෙදෙනාට කරුණු කියා දී තමන් වහන්සේ වෙත කැඳවාගෙන එන ලෙස වදාළා. ඒ දෙදෙනා ලවා කැවුම්, කිරි, ගිතෙල් ආදිය ද රැගෙන එන ලෙසත්, එම දානය පිළිගැනීමට භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ සූදානමින් සිටින බව ද වදාළා.
මුගලන් මහරහතන් වහන්සේ සිටු මාලිගයෙහි උඩුමහල් තලය ඉදිරියේ සිටුවරයාට පෙනෙන ලෙස වැඩ සිටියා.
“මෙපමණ දුකක් විඳ, සියල්ලන්ට ම රහසේ කැවුම් පිසින්නට ආවත් මේ මහණ මෙතැනටත් ඇවිත්”
සිටු තෙමේ තරහින් සිතුවා.
“ඔතැන හිටියාට පලක් නෑ. හැකි නම් අහසේ ඇවිදින්න”යි මුගලන් මහ රහතන් වහන්සේට පැවසුවා. උන්වහන්සේ අහසෙහි වැඩම කළා. “ඇවිද්දාට වැඩක් නෑ. අසුන්ගෙන සිටින්න”යි මහ හඬින් කීවා. මුගලන් මහ රහතන් වහන්සේ පලක් බැඳ වැඩ සිටියා.
“වැඩ සිටියාට වැඩක් නෑ. ජනේලය ළඟට ආවත් කිසිවක් ලැබෙන්නේ නම් නෑ. “
උන්වහන්සේ ඒ අසලට වැඩම කළා. “ඔතැන හිටියාට වැඩක් නෑ. දුම්පිට කළත් කිසිත් ලැබෙන්නේ නෑ.”සිටුවරයා කෝපයෙන් පැවසුවා.
මාලිගයම දුමෙන් පිරෙන්නට වුණා. සිටු මැදුර ගිනි ගනිතැයි මහත් බිය වූ මච්ඡරිය කෝසිය “කුඩා කැවුමක් දී මේ මහණ වහාම මෙතනින් පිටත්කර හරින්න”යි බිරිඳට පැවසුවා. ඇය ද පිටි ස්වල්පයක් ගෙන තාච්චියට දැමුවා. සිදුවූයේ පුදුමයක්. එය ඉතා විශාල කැවුමක් බවට පත් වුණා. “ඔබ ඔතැනින් නැගී සිටින්න. මම ම කැවුම් පිස දෙන්නම්” යැයි සිටුවරයා පෙරටත් වඩා පිටි ස්වල්පක් ගෙන තාච්චියට දැමුවා.
එවර පෙරටත් වඩා විශාල කැවුමක් සැදුණා. කමක් නෑ එකක් දී පිටත්කර හරිමු.”
බිරිඳ කැවුමක් ගන්නට අත තැබුවා. කැවුම් සියල්ලම එකට ඇළුණා. දෙදෙනා ම එක් වී දෙපසට ඇද්දා. වෙන්වුණේ නෑ. කැවුම් කූඩය ම මුගලන් මහරහත් වහන්සේ වෙත ගෙන ගියා.
උන්වහන්සේ අඹුසැමි දෙදෙනාට ධර්මය දේශනා කළා. දහම් අසා පැහැදුණු මච්ඡරිය කෝසිය සිටු මුගලන් හිමියන්ට දානය සඳහා ආරාධනා කළා.
“ඔබතුමාග් දානය පිළිගන්නට බුදුරජාණන් වහන්සේ, භික්ෂු සංඝයා වහන්සේ ද සමඟ ජේතවනාරාමයෙහි වැඩ සිටිනවා. මම ඔබ දෙදෙන එහි ගෙන යන්නම්. මේ ඉණිමඟෙන් පහළට බසින්න. ගිතෙල්, මී පැණි ආදියත් අරගන්න.”
සිටුවරයාත් ඔහුගේ බිරිඳත් ඉණිමඟෙන් පහළට බැස්සා. ඔවුන් පැමිණ සිටියේ ජේතවනාරාමයට යි. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේට පැන් පිළිගැන්වූවා. ආහාර පිළිගැන්වූවා. ඉතිරි වූ කැවුම් බිරිඳත් සමඟ ආහාරයට ගත්තා. යාචකයන්ටත් බෙදා දුන්නා. තවත් ඉතිරි වුණා. ඒවා ජේතවනාරාමයෙහි දොරටුව අසල තැබුවා.
බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කළා. දහම් අසා දෙදෙනා ම සෝවාන් වුණා. එදා පටන් නිර්ලෝභ සිත් වු සිටුවරයා සිය ධනය බුද්ධ ශාසනයේ දියුණුවටත්, වෙනත් පින් දහම් කටයුතු වලටත් යෙදවූවා.
මච්ඡරිය කෝසිය සිටුවරයා තරමට නොවුව ද අදටත් එවැනි චරිත මේ සමාජයේ ජීවත් වෙනවා. මහන්සි වී ධනය උපයනවා, සේ ම තමන් ඒවායින් නිසි ප්‍රයෝජන ගත යුතුයි. අඹුදරුවන්, මවුපියන් පෝෂණය කළ යුතුයි. වෙනත් යුතුකම්, ඉටු කළ යුතුයි.අවශ්‍ය තැන අවශ්‍ය පමණට පරිත්‍යාගශීලි විය යුතුයි. අන්‍යයන්ට උදවු උපකාර විය යුතුයි.
ජීවිතය කවර මොහොතක හැර යන්නට වේදැ’යි දන්නේ කවුරු ද? ධනය දෙස බලා, හරිහම්බ කළ දේ දකිමින් මසුරු සිතින් මිය ගියේනම් පේ‍්‍රත ආත්මයක් ලබන්නට පුළුවන්.
ධනය උපයා ගත යුතු වන්නේ ගොඩ ගසන්නට නොවේ.අවශ්‍ය දේට විය දම් නො කළේ නම් ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද?
කාලාම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් කාලාමයන්ගෙන් මෙසේ විමසනු ලැබුවා.
‘කාලාමයිනි. මිනිසෙකු තුළ ලෝභය හට ගත් කල්හි තෙපි කුමක් සිතන්නෙහු ද? එය හට ගන්නේ යහපත පිණිස ද? අයහපත පිණිස ද? එවිට කාලාමයන් මෙසේ පිළිතුරු දුන්නා. “ස්වාමිනී. භාග්‍යවතුන් වහන්ස, හානිය පිණිස ම ය.” ලෝභී පුද්ගලයකුට සතුන් මැරීමට පුළුවන්. ඔහු නොදුන් දෑ ගනී. පරදාර සේවනයෙහි යෙදේ. බොරු කියයි. සසර දිගු කරන දුකට වේදනාවට පත්වන ක්‍රියාවන් හි නිරන්තරව ම යෙදෙයි. පවට බිය නො වෙයි. ලජ්ජා නො වෙයි.
මේ නිසා තමන්ගේ අඩුපාඩු , දුර්වලතාවන් තමන් ම හඳුනාගත යුතුයි. නිවැරැදි විය හැකි තමන්ටම යි. අපට සිතන්නට හැකියාව තිබෙනවා. ඒ අනුව හැදෙන්නට ද අවස්ථාව තිබෙනවා. පසුතැවිලි වන්නට සිදුවන්නේ එය තේරුම් නො ගෙන කටයුතු කිරීමෙනි.

පුංචි මාළුවෙක් බිලී පිත්තට අමුණා දියට දැමීමෙන් බලාපොරොත්තු වන්නේ විශාල මාළුවෙක් එහි අමුණා ගැනීමටයි. ඇතැම් අය දන් දෙන්නේ ද එවැනි හැඟීමෙන්. විශාල දෙයක් ලැබීම බලාපොරොත්තුවෙන් දන් දීම තුළ ඇති වරද ආශාව මුල්වීම යි. මේ නිසා දානය ද අවබෝධයෙන් කළ යුතුයි. එහි පරමාර්ථය අත හැරීම මිස අල්ලා ගැනීම නොවිය යුතු යි.

බළන්ගොඩ 
ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ 
මෛත්‍රීමූර්ති මහා නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment