Labels

Sunday, October 29, 2017

නිවනට පිවිසෙනදොරටු පහක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධේ අවෙච්චප්පසාදේන
සමන්නාගතෝම්හීති
ලභති අත්ථ වේදං ලභති ධම්ම වේදං
ලභති ධම්මුපසංහිතං පාමෝජ්ජං
පමුදිතස්ස පීති ජායති
පීතිමනස්ස කායෝ පස්සම්භති
පස්සද්ධ කායෝ සුඛං වේදෙති
සුඛිනෝ චිත්තං සමාධියතී තී


තුන්ලෝකාග්‍රවූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ මජ්ක්‍ධිම නිකායේ, මූලපණ්ණාසකයේ, මූල පරියාය වර්ගයේ, වත්ථූපම සූත්‍ර දේශනාව අන්තර්ගතය තුළ සඳහන් වන දේශනාවේ මාතෘකා පාඨයක් ධර්මාලෝකයෙන්, ප්‍රඥාලෝකයෙන්, සදහම් ආලෝකයෙන් ආලෝකමත් කරවීම පිණිස අප විසින් මාතෘකා ස්ථානයෙ හි තබාගන්නට යෙදුනේ. මේ මාතෘකා පාඨය බොහොම කෙටි නමුත් මේ තුළ අන්තර්ගත ධර්ම සම්භාරය අප්‍රමෙය්‍යයි. අනන්ත අප්‍රමාණ මහා සාගරයේ ජල කඳ කිසිම කෙනෙකුට මෙපමණයි කියා ලීටර් ගණනින්වත්, බූලි ගණනින්වත්, බවුසර් ගණනින්වත් මැනලා නිම කරන්නට බෑ. ඒ සා විශාල ධර්ම සම්භාරයක් මේ මාතෘකා පාඨය තුළ අන්තර්ගත වෙනවා.

ධර්මානිසංස කථාව

මේ ධර්ම දේශනාව ආරම්භයට මත්තෙන් අපි දැන ගත යුතු කරුණු කාරණා කීපයක් එනම් ධර්ම දේශනාව නිවන් දොරටුවක් වන වග මුලින් ම පැහැදිලි කරගන්නට ඕනේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පඤ්ච විමුත්තායතන හැටියට නිවනට පිවිසීමේ දොරටු පහක් දේශනා කළ මාතෘකාවක් නැවතත් සැරියුත් මහා රහතන් වහන්සේ පටිසම්භිදාමග්ග පාලියේ දී පළමුව සුතමය ඥානය විස්තර කරන අවස්ථාවේ දී විස්තර වශයෙන් දේශනා කළා. බෞද්ධ වූ අපට නිවනට පිවිසීමේ දොරටු පහක් තියෙනවා.

ධර්ම දේශනාව නිවන් දොරටුවක්

ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්

ධර්ම සම්මර්ශණය නිවන් දොරටුවක්

ධර්මය සජ්ඣායනා කිරීම නිවන් දොරටුවක්

භාවනාව නිවන් දොරටුවක්


ධර්ම දේශනාව නිවන් දොරටුවක් වන්නේ ඒ දේශකයාණන් වහන්සේ අන්‍යවිහත නොවී සමාධියකට සම වැදුනාක්මෙන් සන්සුන් මනසින් සේඛීයා ශික්ෂා පද දහසයක් සිතට ආවර්ජනා කරගෙන, අධිෂ්ඨාන පහක් සිතේ පෙරටු කරගෙන තමයි ධර්ම දේශනාව කළ යුතු වන්නේ. ඒ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් ධර්මාසනානූරූඪ වෙනවානම් පාවහන් දරාගෙන ඉන්න ඇත්තන්ට බණ කියන්න බෑ. ඒ වාගේ ම හැරමිට්ටක් වාගේ දෙයක් ආයුධයක් කැපෙන දෙයක් අතේ තියෙන කෙනෙකුට බණ කියන්න බෑ. කුඩයක් අතේ තියෙන කෙනෙකුට බණ කියන්න බෑ. බණ කියන ස්වාමීන් වහන්සේට වඩා උස් ආසනයක නොගිලන් කෙනෙක් ඉන්නවා නම් බණ කියන්න බෑ. ඔය විදිහ ශික්ෂා පද සමුදායකින් ගිලන් කමකින් තොරව ඉන්න කෙනෙකුට අර මුලින් ම මතක් කළ දඬුමුගුරු අතේ තියාගෙන ඉන්නවා නම් ගිලන් කමකින් තොරව එවැනි කෙනෙකුට බණ කියන්න බෑ. ඒ විතරක් නොවේ පින්වතුනි විශේෂ මාතෘකාවක් තමයි, විශේෂ ශික්ෂා පදයක් බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැනෙව්වා.

‘යෝ පන භික්ඛු මාතු ගාමෙන උත්තරිං ඡප්පඤ්ච වාචාහි
ධම්මං දේසෙය්‍ය අඤ්ඤත්‍ර විඤ්ඤුනා පුරිසවිග්ගගේන පාචිත්තියං”


මහණෙනි, යම්කිසි භික්ෂුවක් ඥානවන්ත පිරිමි කෙනෙක් නැති තැන කාන්තාවන් සියදහස් ගණන් සිටියත් අඩුම ගානේ පාළි වචන හතරක් පහකින්වත් බණපදයක් දේශනා කරන්න බෑ. අපට තහනම් කළා.
ඒවාගේ ම මේ සීලය පැත්තෙන්, අපි දැන් සීලය ගත්තොත් විනය සීලය, සුත්තන්ත සීලය වශයෙන් බෙදෙනවා. මේවා ඉස්සරහ දී විස්තර වෙන්න පුළුවන්, විනය සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පද ආරක්ෂා කිරීම, පින්වතුනි, දැන් දේශකයාණන් වහන්සේ දේශනාරූඪ වෙලා ඒ සේඛියා ශික්ෂා පද ඇතුළුකොට ඇති ශික්ෂා පද ආවර්ජනා කරගත්තේ ඒ සීලය පැත්තෙන්, ඒ විනය සීලය.
සුත්තන්ත සීලය කියලා කියන්නෙ ගුණධර්ම. ගුණ සීලය, අධිෂ්ඨාන පහක් බුදුපියාණන් වහන්සේ වදාළා. ගුණ වශයෙන් ඒ බව දේශනාවේ සඳහන් වන්නෙ දවසක් බුදු රජාණන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝසිතාරාමයේ වැඩ ඉන්න කාලෙ බණ කියන්න නුසුදුසු ස්වාමීන් වහන්සේ නමක් දැන උගත් කමක් නැති ඒවගේ ම මාර්ගඵල නිවන් අවබෝධයක් නැති, භික්ෂූන් වහන්සේ නමක් බොහෝ පිරිසක් පිරිවරාගෙන බණ කියනවා. මේක දැකපු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කළා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ, එම උදායි භික්ෂුව අරමුණු කරගෙන ආනන්ද හිමියන් අමතා වදාළේ මෙසේ යි.’

‘න ඛො ආනන්ද සුකරං
පරේසං ධම්මං දේසේතුං’

‘ආනන්දයෙනි, අන්‍යයන්ට ධර්ම දේශනා කිරීම පහසු දෙයක් නොවේ.’

‘පරේසං ආනන්ද ධම්මං දේසේන්තෙන පඤ්ච ධම්මේ
අජ්ඣත්තං උපට්ඨිපෙත්වා පරෙසං ධම්මො දේසේතබ්බොං”


“ආනන්දයෙනි, අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් සිතේ ඇතිකරගෙන තමයි, පිහිටුවාගෙන තමයි ධර්මය දේශනා කළ යුතු වන්නේ”

“ආනුපුබ්බිකථං කථෙස්සාමීනි පරෙසං ධම්මො දේසේතබ්බෝ”


‘අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ මාතෘකා කරගත් යම් සූත්‍ර දේශනාවක් ද මාතෘකා ගාථාවක් ද එයට අනුරූපව පිළිවෙලින්, අනුපිළිවෙලින් එහෙන් මෙහෙන් අවුල් නොකර ධර්මය දේශනා කළ යුතු වෙනවා. එය දේශකයාණන් වහන්සේගේ ගුණ සීලය හා සම්බන්ධ පදයක්.
දෙවැන්න,

‘පරියායදස්සාවිකථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ’


‘අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ නොයෙක් උදාහරණ උපමා උපමෙය්‍ය ගළපමින් ඒ දේශනාවට අදාළව කරුණු කාරණා ඉදිරිපත් කරමින්, ත්‍රිපිටකය නමැති සරසවියට බැසගෙන, ත්‍රිපිටකය නමැති මහා සාගරයට බැසගෙන පීන පීනා කරුණු සොයමින් ධර්මය දේශනා කළ යුතු වෙනවා. එයත් දේශකයාණන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ගුණ සීලයක්.

‘අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමිති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ’


‘අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ මේ ශ්‍රාවක පින්වතුන් කෙරෙහි අසීමිත කරුණාවක්, මෛත්‍රියක් උපදවාගත් කුසල් සිතින් ම ධර්මය දේශනා කළ යුතු වෙනවා. එසේ දේශනා කිරීම දේශකයාණන් වහන්සේගේ ගුණ සීලයක්.

න ආමිසන්තරෝ කථං කථෙස්සාමිති පරේසං ධම්මෝ දේසේ තබිබෝ’


‘අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ කිසිම ආමිසයක්, පිරිකරක්, පූජාවක්, අඩුමගානේ සාධුකාර මාත්‍රයක් වැනි ගරු කිරීමක්වත් බලාපොරොත්තු නොවී ධර්මය දේශනා කළ යුතු වෙනවා. එයත් දේශකයාණන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ගුණ සීලයක්.

‘අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බේ’

‘අන්‍යයන්ට ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ, තමන් උසස්කොට අන් අය පහත්කොට ‘අත්තුක්කංසන පරවම්භනතා’ කියන මේ ප්‍රතිපදාවෙන් බැහැර වෙලා ධර්මය දේශනා කළ යුතු වෙනවා. මේ කියන අධිෂ්ඨාන පූර්වාංගම සිතින් ධර්මය දේශනා කරනවා නම් දේශකයාණන් වහන්සේට බණ පදයක් ගානේ ප්‍රඥා පාරමිතාව පුරා ගැනීමට මහෝපකාරී වෙනවා. ඒ විතරක් නොවෙයි පාරමී පිරිල තිබෙනවා නම් ඒවාට විශේෂ ප්‍රාර්ථනාවන් නැතිනම් මේ දෙසුම් කෙළවර ධර්මාසනයේ දී ම සව්කෙලෙස් නසා මාර්ගඵල පිළිවෙලින් රහත් බෝධියෙන් නිවන් දකින්ට තරම් වාසනා සම්පත්තියක් ගෙන දෙනවා කියන වග තේරුම්ගත යුතුයි.

පසළොස්වක අවඅටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හිම පළවන ලිපි මාලාවේ පළමු කොටස මෙසේ පළ කළෙමු. මෙහි දෙවන කොටස ඔක්තෝබර් 12 වන දා වප් අව අටවක පෝදා පත්‍රයේ පළවේ.
සම්බුදු ගුණමහිම ග්‍රන්ථයෙනි.



ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි




මෙහි දෙවන කොටස -  https://sadahamdanuma.blogspot.com/2017/10/blog-post_71.html



No comments:

Post a Comment