මානසික යුද්ධයකින් සහ ආර්ථික යුද්ධයකින් පසුව ජයගත යුතු මහා පින්කමක් ලෙස වර්තමානයෙහි කඨීන පින්කම හඳුනාගත හැකියි. මේ තරම් ප්‍රමාණයක් දිය යුතු ද? එතරම් ප්‍රමාණයක් දීමෙන් පසු කුමන තත්ත්වයක් උදාවෙයි ද? යනුවෙන් මනස ප්‍රශ්න කරයි. සංසාරයේ ගැට ගසා තිබෙන තෘෂ්ණාව නමැති බියකරු මනෝභාවය විසින් අපෙන් ප්‍රශ්න කරමින්, විමසමින් , අප ආපස්සට අදින විට අඛණ්ඩ ව තුන් මාසයක් වස් සමාදන් වූ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරම්න් වස් පින්කම් මාලාවට සම්බන්ධ වෙමින් කටයුතු කිරීම චෛතසික වශයෙන් ලබාගත් විශාල දිනුමක් වෙයි. එය තමන්ගේ සිත ලබාගත් දිනුමක් ම වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
වෙනත් සැදැහැවතෙකුªගේ දානයක් පූජා කරන අවස්ථාවක දී වුවත්, ඇතැම් විට ලොකු තෘෂ්ණාවක් ඇති විය හැකියි. දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ දීම උපමා කළේ ම, දානංච යුද්ධංච සමාන මාහු දන් දීම, පරිත්‍යාග කිරීම, අතහැරීම, යුද්ධයක් කිරීමට සමාන බවයි. ලෝභය,ජයගැනීමට අමතර ව ද්වේශය ද ,ජයගත යුතුයි. ආහාර පාන ලබාගත් පසු ඉතිරි කැළිකසල පන්සල් භූමියෙහි තැන තැන දමාගොස් ඇත්නම්, එය ඉවත් කිරීමේ දී ඇතිවන ද්වේශය ද මැඩපවත්වා ගත යුතුයි. ඔතරම් ප්‍රමාණයක් කළ යුතු නැහැ. මේ මේ කොටස් අඩු කරමු යනුවෙන් මාරයා ආවේශ වෙමින් මිථ්‍යා දෘෂ්ටික සිතිවිලි වලින් සිත ආක්‍රමණය කිරීමට හැකිවන ඉඟි නිරන්තරයෙන් ලැබුණා නම්, දෙන දෙයෙහි ආනිශංස ලැබෙන බවට සිතමින් කුසලය ජයගන්න මනසින් මෝහය යටපත් කරමින් අමෝහය තත්ත්වයට පත්විය යුතුයි.
ආනිශංසය කර්ම ඵලය විශ්වාස කළ යුතු වෙයි. අටමහා කුසල් අතර නොබිඳෙන කුසලයක් වන කඨින මහා පින්කම සිදුකිරීමට ඇතැම් විට වසර ගණනාවක් පාරමී පිරිය යතුයි. එහි පූර්වකෘත්වයන් ලෙස ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරමින් පින්කම් මාලාවන්ට සම්බන්ධවීමට ලැබීමෙන් විශාල කුසල් රැස්කර ගත හැකි යි.
විශාල ධනස්කන්දයක් තිබෙන ප්‍රකෝටිපතියෙකු වශයෙන් ජීවත් වූ පමණින් එම සියලු දෙනාටම කඨීන පින්කම්වල නියැළෙන පින්වතුන් විය නොහැකි යි. මුදල් තිබූ පමණටම පින්කම් කළ හැකි බවට පටලවා ගත යුතු නැත. වියදම් කරන මුදලේ ප්‍රමාණය අනුව පින්කමේ ආනිශංසය බලවත් වන්නේ නැත. තුන් මාසයක් වස් පින්කමෙහි අඛණ්ඩව එකම ආකාරයෙන් ජීවත් වීමට මූලිකව ම ශ්‍රද්ධාව තිබීම අවශ්‍ය වෙයි. තුනුරුවන් කෙරෙහි පවතින විශ්වාසයත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳ සැක නැතිකම ත්, කර්ම ඵලය ඇදහීමත් ප්‍රධාන වෙයි. ශ්‍රද්ධාවේ ප්‍රමාණයට අනුව පැරැණි රජවරුන් මාස ගණන් දන්වැට පැවැත්වූ බවට තොරතුරු හමුවුවත්, එතුමන්ලා දන්වැට පැවැත්වීමේ දී පුද්ගලික ධනය ම පරිහරණය නොකළා විය හැකියි. රටේ පරිභෝග සම්පත් ද පරිහරණය කළා විය හැකියි.
ව්‍යාපාරයකින්, රැකියාවකින් , ගොවිතැනින්, වෙහෙස මහන්සියෙන් උපයාගන්නා මුදල වැයකිරීම සඳහා ශ්‍රද්ධාව තිබිය යුතුම යි. තමාගේ ප්‍රමාණයට අනුව තමාගේ ශක්තියට අනුව අඛණ්ඩව සිත කිළිටි නොවි තබාගැනීමේ ප්‍රමාණයට අනුව, කඨීන පින්කම කළ යුතුයි. කඨින පින්කම් අතර තරඟයක් ඇතිකර ගැනීම සුදුසු නොවන තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට කඨ්ින පින්කමක් කරගැනීමට නොහැකි තත්වයක් උදාවෙන තැනට කඨීන පින්කම පත් කළ යුතු නැහැ.
මනස තුළ තරගයක් හදා නොගෙන තමාගේ ප්‍රමාණයට අනුව කඨීන පින්කම සූදානම් කරගත යුතුයි. ගිය වසරේ කළ කඨීන පින්කමට වඩා ඉහළින් එක අලියෙක් හෝ පෙරහරට සහභාගි කරවිය යුතුයි යන මානසිකත්වයෙන් මිදීම අත්‍යවශ්‍යයයි. තමා ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට අනුව, තමාගේ ආර්ථික ශක්තියට ගැලපෙන ලෙස තමාගේ සහකරු සහ සහකාරිය සමඟ සාකච්ජා කරමින් ඒ වෙනුවෙන් වැය කළ හැකි ප්‍රමාණය කතිකාකරගෙන ඒ ප්‍රමාණයට අනුව පින්කම සූදානම් කිරීම වඩාත් සුදුසුයි. කඨීන පින්කම ලස්සනට කිරීම ගැටලුවක් නොවුණත් පන්සල් අතර තරගයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම යහපත් දෙයක් ලෙස සැළකිය නොහැකියි. එක පන්සලකට වඩා අනෙක් පන්සලේ කඨින පින්කම ඉහළින් කළ බවට හීනමානයක් ඇති නොවිය යුතුයි. දායකයකන් අතර ද තරඟයක් ඇති වීම යහපත් නොවෙයි.
කඨීන පින්කම් සිදුවන විට මේ කාරණාවන් තේරුම් ගැනීම අවශ්‍යයි. තමාට සංසාරයෙන් ලැබී ඇති පුණ්‍ය ශක්තියේ ප්‍රමාණයට අනුව එකිනෙකාට ලැබී තිබෙන ආර්ථික ශක්තිය වෙනස් නිසා ඒ අනුව ක්‍රියාත්මක වන විට එකිනෙකා තුළ හීනමානයක් ගොඩනඟාගැනීම සුදුසු නැත. එම ප්‍රමාණයන් මනසට දමා ගනිමින් මාන්නය ගොඩනඟා ගත හොත් අසහනයට දුකට පත් විය හැකියි. කර්මඵල ඇදහීමෙන්, ඉතා ම ශ්‍රද්ධාවෙන් කඨීන පින්කම් කළ යුතුයි.
දුප්පත් මිනිසෙක් මුනිඳුන් වෙත සිත පැහැදී
එක් දාගැබක දිය බෙරලිය මලක් පිදී
එක් දාගැබක දිය බෙරලිය මලක් පිදී
දුප්පත් මනුෂ්‍යයෙක් බුදුරජාණන් වහන්සේ වෙත අසීමිත ශ්‍රද්ධාවෙන් , පැහැදුන සිත් ඇතිව, චෛත්‍යයක් ළඟ දියබෙරලිය මලක් පූජා කළ පිනෙහි ආනිශංසයෙන් 35 වතාවක් සක්විති රජ වූ බව සඳහන් වෙයි. දියබෙරලිය මලෙහි කිසිම සුන්දර බවක් නැතත් එම මලට අයිති සුන්දරත්වය පවතී. අනෙකුත් මල්වලට සමාන කළ හොත් එතරම් සුන්දරත්වයක් නැති ,විශාල සුවඳක් හමන මලක් නොවුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වූ ශ්‍රද්ධාවෙන් ඒ මල පූජා කළ පුද්ගලයාට ආනිශංසය වශයෙන් ලැබුණ පුණ්‍ය මහිමය සක්විති රජකමයි. ඔබගේ පින්කම්වලට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව මිස ධනය නොවෙයි. ධනය ද්වීතික කාරණාව යි. ශ්‍රද්ධාවක් නොතිබුණා නම්, කඨින පින්කමකට සූදානම් වීම දුෂ්කර විය හැකි වෙයි.
'ච්ත්තං පුනාතේති පුඤ්ඤං' සිත පිරිසුදුවීම පින වෙයි. සිත සතුටු කරගැනීම පින ලෙස බොහෝ දෙනෙක් කල්පනා කරයි. සිතේ සතුට පින නම්, අයහපත් වැඩ කළ විට දැනෙන සතුට පින ද? පින යනු පුනාති හෙවත් පිරිසුදු වීමයි. පොළනවා හෙවත් පිරිසුදු කරනවා යන අර්ථය පුනාති වචනයෙහි අන්තර් ගතවෙයි. සතුටු වෙනවා යන අර්ථය එතැන ගැබ් වන්නේ නැත. සිත පිරිසුදු වීම පින බව මතක තබා ගත යුතුයි. කඨින තුන්මාසයේ ම සිත පිරිසුදුවීමක් වෙයි. දෙන විට තද ඇලීම හෙවත් තෘෂ්ණාව නමැති අපිරිසුදු සිතිවිලි ක්ෂය වී යයි.
බුදුන් වඳින විට, බණ අසන විට අපිරිසිදු සිතිවිලි ඉවත් වෙමින් ගෙවන පැය ගණන වැඩි වෙයි. එම වස් තුන් මාසය ම කෙළෙස් වඩන දේවල් කතාකරන ප්‍රමාණය අඩු වී කෙළෙස් දුරු කරන ප්‍රමාණය වැඩි වෙයි. තුන් මාසයක් පුරා කෙළෙස් දුරුකිරීම වැඩි නිසා ම මෙවැනි පින්කම්වල ආනිශංස ප්‍රමාණය ද වැඩි වෙයි. දිනපතා ම පන්සලට පැමිණෙමින් ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරමින් , දානමාන පූජා කරමින් ,බණ දහම් අසමින්, සිල්පද ආරක්ෂා කිරීමට ලැෙබීමෙන් සිත පිරිසුදු කිරීමට අවශ්‍ය විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් එම තුන් මාසය තුළ සිදු වෙයි. පින්කම නිසා සිත පිරිසුදු වීමෙන් පසුව යමෙකුට ලැබෙන ආනිශංසයක් ලෙස සතුට දැක්විය හැකියි. ඉධ නන්ධති වශයෙන් මේ භවයේ දී ම සතුටු විය හැකියි . පෙච්ච නන්ධති පසු භවයකදීත් සතුටු විය හැකියි. කතපුඤ්ඤෝ උභයත්ත නන්ධති පින් කළ පුද්ගලයාට ලැබෙන ආනිශංසය සතුටයි. කඨින චීවරය හිස මත තබාගෙන ගම වටා යන විට කරඬුව රැගෙන යන හස්තිරාජයෙකු මෙන් මොනතරම් නම් සතුටක් දැනෙනවා ද?
එම පින්කම සියලු දෙනා ම අනුමත කරයි. තමන්ගේ සිත පිරිසුදු වනවා සේම එම ක්‍රියා ව නිසා ලැබෙන ප්‍රශංසාවත් අගය කිරීමත් යහපත් ක්‍රියාවක් නිසාත් අනිවාර්යෙන් ම සිත තුළ විශාල ප්‍රීතියක් නිර්මාණය වෙයි. සොරකම් කළ විට එවැනි සතුටක් දැනෙයි ද? සොරකම කරන අවස්ථාෙවි දී ත් බයෙන් සිදු කරයි. පසුවත් බියෙන් තැති ගනිමන් ජීවත් වෙයි. කවදා අහුවෙයි ද? සොරකම් කළ පුද්ගලයා නිතර ම තැවෙමින් සිටීම ඔහුට ලැබෙන විපාකයයි. කඨීන පින්කම පිළිබඳව කොපමණ කාලයක් කතා කළත් බියක් නොදැනෙයි.මෙවනි පින්කම්වලින් ලැබෙන ප්‍රධාන ආනිශංසය සතුටයි. සෙසු ආනිශංයක් වශයෙන් පින්කම වෙනුවෙන් කැපවුණ කල්‍යාණ මිත්‍රයන් පිරිසක් ඇසුරට ලැබීම යි.
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment