Labels

Saturday, October 28, 2017

යටපත් කළ යුතු පාපී සිතිවිලි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
අත්තනා චොදයත්තානං
පටිමාසෙ අත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා
සුඛං භික්ඛු විහාහිසි
අත්තාහි අත්තනො නාථො
අත්තාහි අත්තනො ගති
තස්මා සඤ්ඤමයත්තානං
අස්සං භද්‍රං ව වාණිජො,

“තමා විසින් තමාට ම චෝදනා කරගත යුතු ය. විමසිය යුතු ය. ඒ තැනැත්තා සුවසේ වාසය කරයි” “තමාට පිහිට පිළිසරණ තමා ම ය. එහෙයින් තමන් රැකගත යුතුය”.මෙම වටිනා, උපදේශය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නංගුලක නම් තෙරුන් අරමුණු කර ගෙන ය.


සැවැත් නුවර එක් අහිංසක මිනිසෙක්. ඉණකඩක් ඇඳ නඟුලක් කර තබාගෙන බැළමෙහෙකම් කර ජීවත් වෙයි. දවසක් මේ අහිංසක මිනිසා කුඹුරක් සීසෑමට කුඹුර දෙසට යන විට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැසුණි. කිසියම් ගුණයක් ගැන සලකා මෙම අසරණ මිනිසාට පිහිට වීමට කරුණා ගුණයෙන් යුතුව “පින්වත, දුකසේ ජීවත් වනවාට වඩා මහණදම් පුරා ගැනීම නරක ද?”
උන්වහන්සේ ඇසූහ. “අප වැනි දුප්පත් අය මහණ කරන කෙනෙක් ඇද්ද” ඔහුගේ පිළිතුර විය .මහණකම සපුරා ගැනීමට දුප්පත් පොහොසත්කම නොව අවශ්‍ය වන්නේ සැදැහැ ගුණය බව පෙන්වා දෙමින් උන්වහන්සේ ඒ මිනිසාට පැවිදිවීමට මග පාදා දුන්හ. සැවැත් නුවර දෙව්රම් වෙහෙරට කැඳවා ගෙන ගොස් තමන්ගේ අතින් ම හිස රැවුල් ඉවත්කර පැවිදි බවට පත්කළහ. ගිහි ජීවිතයේ දී තමා සතුව තිබුණු ඉණකඩ හා නඟුල දෙව්රම් වෙහෙර සමීපයේ ගසක එල්ලා තැබිණි. “නංගලකුල” තෙරුන් යනුවෙන් උන්වහන්සේ හැඳින්වුණි. පැවිදි ජීවිතයේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරමින් පිළිවෙත් පුරා කටයුතු කළ ද, නංගල කුල තෙරුන්ට කල්යාමේ දී පැවිදි ජීවිතයේ යම් කළකිරීමක් ඇතිවුණි. හැම මොහොතේ ම සිතට එන්නේ සිවුරු හැර නිදහස්වීමත්, සුපුරුදු රැකියාවම කර ජීවත්වීමත්,හොඳ බවයි.
දිනක් කළකිරුණ සිත් ඇතිව, පැවිදි වූ දා දෙව්රම් වෙහෙර අසළ ගසක රැඳවූ ඉණකඩ සොයා යයි. ඉණකඩ හා නඟුල ගැනීමට අත තබන විට තමාට ම අවවාද කර ගනියි. ‘ලජ්ජා නැති ද? මේ උතුම් ශාසනයෙහි මහණව සැපසේ ජීවත්වී, මේ සිවුර තබා දිරාගිය කිළිටි රෙදි කඩමාල්ල හැඳගෙන, මළබැඳි නඟුල රැගෙන බැලමෙහෙයකට යන්නෙහි ද?”
එසේ තම සිතට ගලා එන පාපී සිතිවිල්ලට යටත් නොවී ධෛර්ය ඇතිකර නැවතත් විහාරයට ගොස් පැවිදි දිවියේ ම කටයුතු කරයි. ටික දිනක් ගත වන විට නැවතත් උකටලී සිත් ඇති වී පළමු පරිදි ම ගස ළඟට ගොස් දිරාගිය රෙදිකඩ හා නඟුල ගැනීමට සූදානම් වුණි. එම අවස්ථාවේ ද තමන්ට ම අවවාද කරගෙන සිවුර අත නොහරියි. නැවතත් තුන්වන අවස්ථාවටද කළකිරී සිවුර අතහැර යාමට තීරණය කර ඉණකඩ ගැනීමට සූදානම් විය. තෙවෙනි අවස්ථා වේදී ද තමන්ට ම අවවාද කර ගැනීමෙන් පසු ජීවිතය ජය ගැනීමේ අවස්ථාව ලැබුණි.
පැවිදි ජීවිතය පිළිබඳ ශ්‍රද්ධාව ඇතිකර ගෙන නිවැරැදි මග තෝරා භාවනා කර විදසුන් වඩා, උතුම් රහත් භාවයට පත්වූහ. 'නංගුලකුල' තෙරුන් තමන්ට ම අවවාද කරගෙන නිවැරැදි ජීවිතය ගොඩනගා අරහත් භාවයට පත්වීම පිළිබඳ ඉහත ගාථා දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මනස සියල්ලටම ප්‍රධාන ය. වේගවත් ය. එමෙන් ම එහි සිතිවිලි මොහොතින් මොහොත වෙනස් වෙයි. බුද්ධ දේශනාවේ සිත පිළිබඳ ගැඹුරින් උගන්වයි. සිත හෙවත් මනස කෙලෙස්වලින් අපිරිසුදු වීම ස්වාභාවිකයි. අපිරිසුදු මනස පිරිසුදු කර ගැනීමටත් එවන් පිරිසුදු මනස සත්‍යාවබෝධයට හේතුවන බවත් බුද්ධ දේශනාවෙන් මැනවින් පැහැදිලි කරයි. මහණෙනි මනස ස්වභාවයෙන් පිරිසුදුයි. එනම් මවුකුසින් දරුවා බිහිවන විට සිත පවිත්‍රයි. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ සිතට විවිධ කෙලෙස් ධර්මයෝ, පැමිණ අපිරිසුදු වෙයි.” ලෝභ, ද්වේෂ, මෝහා දී කෙලෙස් ධර්මවලින් අපිරිසුදුවන සිත පිරිසුදු කර ගත හැකි බව ද පැහැදිලි කර ඇත. අකුසල සිතිවිලි සිතට ගලා එන ක්‍රියාවලින් වැළකී කුසල ධර්ම වර්ධනය කර ගැනීමට යහපත් ක්‍රියාවල නිරත විය යුතු ය. සිත දමනය කළ යුත්තේ තමන් විසින් ම ය. වැරදි සිතිවිලි සිතට ගලා එන මාර්ග වසා දමා සිත පාලනය කළ හැක්කේ තමාට පමණි. එම වගකීම තමා සතු ය. හරි වැරැද්ද තෝරා වැරැදි දේ අතහැර නිවැරදි දේ හඳුනා ගැනීමේ හා පිළිගැනීමේ වගකීම තමාටම පවරා ඇත. තමාම තමාට පිහිට හා පිළිසරණ විය යුතු ය. එහෙයින් සිත මනාව රැක ගත යුතු වන්නේ එය වෙන අයෙකුට කළ නොහැකි බැවිනි. මේ ජීවිතය පවතිනතාක් තමන් වටා කවුරු හිටියත් පිහිට වූවත් පරලොව දී කිසි පිහිටක් විය නොහැකි ය. සඟ මොක් සුව ලබාදීමට ඔවුන්ට හැකියාවක් නැත. එනිසා සිත රැක ගැනීමට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇතිකර ගත යුතු ය. නූපන් අකුසල් ඉපදීමට ඉඩ නොදී උපන් අකුසල් දුරුකිරීමට කටයුතු කළ යුතු ය. නූපන් කුසල් උපදවාගෙන උපන් කුසල් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුත්තේ ද තමා විසින් ම ය. දිගු සසර ගමන කෙටිකර ගැනීමට අශ්‍රැතවත් පෘථග්ජනයා, කළ යුතු කාර්යයන් රාශියකි. එහි දී ඉන්ද්‍රිය ධර්ම රැක ගත යුතු ය. සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා යනු ඉන්ද්‍රිය ධර්මයෝ ය. මෙම ඉන්ද්‍රිය ධර්ම තම සිත තුළ වර්ධනය කර ගත යුතු ය. එමඟින් සද්ධානුසාරි, ධම්මානුසාරි, පුද්ගලයන් බවට පත්වී සෝවාන්ඵල, සකෘදාගාමී ඵල, අනාගාමීඵල, අරහත්ඵල ලබාගෙන සසරගමන නවතා දමයි.
සිතේ ඇතිවන ලාමක ධර්මයන්ට රජවීමට ඉඩ නොදී තමාටම අවවාද කරගෙන සත්‍ය ධර්මය වටහා ගැනීමට අධිෂ්ඨාන කරගන්න.

තෙරුවන් සරණයි


ශාස්ත්‍රපති 
වැලිපත පඤ්ඤානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment