Labels

Sunday, October 29, 2017

පවුලේ සාමයට බිරිඳකගේ වගකීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයාගේ සුජාතා නම් ලේලිය අරබයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. විශාඛා මහා උපාසිකාවගේ නැගණිය වූ සුජාතා සිටු දියණිය අනේපිඩු සිටුවරයාගේ පුතණුවන්ට විවාහ කර දෙන ලදි. එම සිටු දියණිය විවාහ ප්‍රාප්තව ස්වාමියාගේ නිවසට ගිය දිනයේ පටන් එහි සේවක සේවිකාවන් සමගත්, තම ස්වාමි පුරුෂයා සමගත්, නිතර නිතර අඩ දබර ඇතිකරගත්තාය. එක් දිනක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාගේ නිවසට වැඩම කළ අවස්ථාවක අඬදබර කරන ශබ්දය අසා එයට හේතු කවරේදැයි සිටුවරයාගෙන් විමසුහ.
අනේපිඬු සිටුවරයා සුජාතා නම් තම ලේලියගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ ය. අනතුරුව සුජාතාව කැඳවූ බුදුරජාණන් වහන්සේ ඇයට සප්ත භාර්යා සූත්‍රය දේශනා කරමින් භාර්යාවන් සත් දෙනෙකු පිළිබඳ කරුණු පැහැදිලි කොට නිතර අඬදබර කරමින් ඝෝසා කිරීම නොමනා හැසිරීමකැයි අනුශාසනා කළහ. බුදුරදුන්ගේ අනුශාසනය පිළිගත් සුජාතාව තම වරද නිවැරදි කරගනිමින් ආයති සංවරයෙහි පිහිටි අතර, බුදුරදුන් කෙරෙහි ඇතිකරගත් ප්‍රසාදය හේතුවෙන් සෝතාපන්න භාවයට පත් වූවා ය. එක් අනුශාසනයකින් ම තම වරද නිවැරදි කර ගත් සුජාතාව මෙන් ම එක් අනුශාසනයකින් ම සෝතාපන්න භාවයට පත්වීමට උපකාරී වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති විය. එම අවස්ථාවෙහි එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ එයට අදාළව අතීත කථා පුවත ද ගෙනහැර දැක් වූහ.


අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ එම රජුගේ පුත්ව උපන්නහ. පිය රජුගේ ඇවෑමෙන් බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්‍ය පද ප්‍රාප්ත වූහ. ස්වකීය මැණියන් නිතර කෝපයෙන් කටයුතු කරන හෙයින් ඇයගේ එම වරද එක්වර ම පෙන්වා දී නිදොස් කළ නොහැකි හෙයින් ඒ සඳහා කිසියම් ආදර්ශයක් පෙන්නුව හොත් ඇය එයින් මුදවාගත හැකියැයි කල්පනා කළ බෝසතාණන් වහන්සේ එක් දිනක ඇයත් සමඟ උද්‍යාන ශ්‍රී නැරඹීම සඳහා පිටත්ව ගියහ.
උද්‍යානයෙහි ගමන් කරන අතරවාරයේ එහි සිටි එක් කෑරලෙකු මහත් හඩින් හැඬී ය. එම අමිහිරි ශබ්දය අසා බොහෝ දෙනෙකු අමිහිරි අශූභ ශබ්දයකැයි කියා තම දෙසවන් වසාගත්තහ. එයින් මදක් ඔබ්බට ගිය කල්හී උද්‍යානයෙහි සිටි කෙවිලියක් ඉතා මිහිරි හඬින් හැඬූ ශබ්දය අසා බොහෝ දෙනෙකු එය ඉතා මිහිරි ශබ්දයකැයි කියා සතුටට පත් වූහ. මෙය දුටු බෝධිසත්ත්වයන් වහන්සේ තම මැණියන් අමතා එම පුවත පැහැදිලි කරමින් “මැණියන් වහන්ස, නපුරු ශබ්දය අසා එය සියල්ලන්ටම අප්‍රිය විය. කෙවිලියගේ මිහිරි හැඬීම අසා සියල්ලෝම සතුටට පත්විය. එසේ හෙයින් මැණියන් වහන්ස තද පරුෂ වූ බස් හැර මධුර වදන්ම කිව මැනවැයි ” අවවාද කළහ.
තම පුතණුවන්ගේ අවවාදය පිළිගත් මව් බිසව පරුෂ වදන් භාවිතයෙන් වැළකුණාය. මෙම ජාතක කථාවේ එන වර්තමාන කථාවෙන් බිරිඳකගේ භූමිකාව පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය ප්‍රකට වේ. එහි දැක්වෙන පරිදි භාර්යාවන් වර්ග හතක් බුදුරදුන් විසින් හඳුන්වා දී තිබේ. එයින් බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ මවක් වැනි, සොහොයුරියක් වැනි, යෙහළියක් වැනි, දාසියක් වැනි භාර්යාවන් ය. වධක භාර්යාව, චෝර භාර්යාව හා ආර්ය භාර්යාව යන තිදෙන බුදුරදුන්ගේ ඇගයුමට ලක් නොවේ. භාර්යාවන් මෙසේ වර්ගකොට දක්වා තිබෙන්නේ ඔවුන් සතු අභ්‍යන්තර බාහිර හැසිරීම් රටාව සිතුම් පැතුම් හා ආකල්ප සළකා බැලීමෙන් ය.


වර්තමාන කථාවේ එන සුජාතා වැනි නිතර අඬදබර ඇතිකරගන්නා කලහකාරී බිරින්දෑවරුන් කොතෙකුත් දක්නට ලැබේ. කාන්තාවගේ හැසිරීම හා ක්‍රියාකාරකම් පවුලේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය වීමට හේතුවක් වන බව වර්තමාන කථාවෙන් පැහැදිලිවේ. කොතෙක් කලහකාරී ලෙස හැසිරුණත් බුදුරදුන්ගේ අවවාද හමුවේ තම වරද නිවැරැදි කරගැනීමට මෙන් ම සෝතාපන්න භාවයට පත්වීමට තරම් සුජාතාව බුද්ධිමත් තැනැත්තියක වූ බව පෙනේ. බිරිඳක් කෙසේ හැසිරිය යුතු ද යන බුදුරදුන්ගේ අනුශාසනයෙන් ඇය මැනවින් දැනුවත් වූ හෙයින් ආයති සංවරයෙහි පිහිටා කටයුතු කරන්නට තරම් නිහතමානී වූවා ය.
අතීත කථාව ද වර්තමාන කථාව මෙන් ම ආදර්ශමත් වන අතර එයින් වාචික සංනිවේදනය කෙසේ සකස්විය යුතු ද යන්න පැහැදිලි කරයි. කෙනෙකුගේ ප්‍රචණ්ඩ හැසිරීම සමාජයට බලපාන ආකාරය එයින් පැහැදිලි වෙයි. බෝසතුන්ගේ මවගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ස්වභාවය අන්‍යයන්ගේ සිත් නොගත් බව බෝසතුන් තුළ ඒ කෙරෙහි ඇති වූ කළකිරීමෙන් පැහැදිලි වේ. බෝසතුන්ගේ මව මෙන් ම සුජාතාවත් ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් මුදවා ගැනීම පිණිස අනුගමනය කරනු ලබන උපක්‍රමයෙහි විශේෂ මනෝවිද්‍යාත්මක වටිනාකමක් තිබේ.
බටහිර මනෝවිද්‍යාවෙහි එන පවුල් උපදේශනය පිළිබඳ ක්‍රමවේදය එහි අන්තර්ගත වීමෙන් පැහැදිලි වන්නේ පෙරදිග චින්තනය නියෝජනය කරන ජාතක කථා සාහිත්‍ය පවුල් උපදේශනය පිළිබඳ නූතන විද්‍යාත්මක ක්‍රමවේදවලින් පෝෂණය වී ඇති බවයි. එබැවින් නූතන පවුල් උපෙදේශකයන්ට ඔවුන්ගේ කාර්ය අර්ථවත් කරගැනීමට අවශ්‍ය උපක්‍රම රැසක් ජාතක කථාවන් හී අන්තර්ගතවන බව ඉතා පැහැදිලි ය. වර්තමාන කථාවෙහි දැක්වෙන පරිදි බුදුරදුන් සුජාතාවගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කරනු ලබන්නේ ඇයට ඍජුව අවවාද කිරීමෙන් නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ භාර්යාවන් හත් දෙනෙකු පිළිබඳ කරුණු ගෙන හැර දක්වා ඇයටම තමා අයත් වන්නේ කුමන වර්ගයටද යන්න තීරණය කිරීමට අවස්ථාව සළසා දුන්සේක.
අවසානයේ ඇය තම චර්යාව වෙනස් කර ගනිමින් යහපත් තැනැත්තියක් බවට පත් වූවා ය. අතීත කථාවෙහි බෝසතුන් තම මවගේ ප්‍රචණ්ඩ හැසිරීම වෙනස් කිරීමට යොදාගන්නේ මෙබඳුම උපක්‍රමයකි. කෑරලාගේ හා කෙවිලියගේ හැඬීම සම්බන්ධයෙන් දැක්වූ මහජන ප්‍රතිචාරය ආශ්‍රයෙන් තම මවගේ ප්‍රචණ්ඩ චර්යාව වෙනස් කරයි. සුජාතාව මෙන් ම බෝසතුන්ගේ මව යන දෙදෙනාම ප්‍රභූ කාන්තාවෝ ය. එවැනි සමාජ පන්තියකට අයත් කාන්තාවන් තුළ නිසර්ගයෙන් ම තම ප්‍රභූත්වය පිළිබඳ කිසියම් අභිමානයක් පිහිටා තිබේ. එවැනි පසුබිමක් තුළ ඔවුන්ට තම වරද ඍජුව පෙන්වා දුන්න ද එය පිළිගැනීමට අකැමැත්තක් ඇති වීම ස්වාභාවික ය. එවැනි අභිමානයකින් යුක්ත පුද්ගලයන්ගේ දුර්වලතා පෙන්වාදිය යුත්තේ උපක්‍රමශීලිව යන්න මෙම කථා පුවත් දෙකින්ම ගම්‍ය වේ. පවුල් ජීවිතය ගත කරන්නන් අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද දක්නට ලැබේ.

එහෙත් ඔවුන්ගේ එම දුර්වලතා ඉවත් කිරීම අවබෝධයකින් යුතුව සිදුකළ යුතුවේ. ස්වාමියාගේ හෝ බිරිඳගේ ප්‍රචණ්ඩ හැසිරීම කෙරෙහි බලපාන හේතු මැනවින් අවබෝධ කර ගෙන උපක්‍රමශීලිව එම දුර්වලතා ඉවත් කිරීමට උත්සාහ ගත යුතුවේ. එම දුර්වලතා පිටස්තර පුද්ගලයන් සමඟ කියා පෑමෙන් මෙන් ම ඒ පිළිබඳව කෙරෙන අනවශ්‍ය විවේචන මගින් අර්බුදය තවත් දිග්ගැස්සීම හැර සාමයක් ඇති නොවේ. ඒ සඳහා උපදෙස් ලබාගත යුත්තේ බුද්ධිමත් උපදේශකයන්ගෙන් ය. වර්තමානයේ බොහෝ පවුල් ප්‍රශ්න ඇති වී තිබෙන්නේ මෙම උපදෙස් නොපිළිපැදීම නිසයි.
බෞද්ධයෙකුට ඒ සඳහා ආදර්ශ ලබාගත හැකි උසස් ම සාහිත්‍ය ජාතක කථාවයි. එය ඇසුරු කිරීමෙන් ප්‍රීතිමත් යුග ජීවිතයක් ගොඩනඟා ගත හැකි වේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 29 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment