Labels

Saturday, October 28, 2017

ආපෝ ධාතුව ( විදර්ශනාවට උපකාරී වෙයි )

" ආවේගශීලී මනෝ භාවයන් (රාග, ද්වේශ ආදී) තේජෝ ධාතුව අවධි කරන්නට හේතු වෙයි. මේ ප්‍රභවයන් නිවැරැදි ව තේරුම් ගැනීම ශරීරයේ ආපෝ ධාතුව නිවැරැදි ව සමබර කර ගැනීමට හේතු වෙයි. "

ලෝකයේ ඇසට පෙනෙන, අතට ස්පර්ශවන රළු ස්වභාවයෙන් යුතු සියල්ලක් ම මූලික ධාතු සතරෙන් නිර්මාණය වී තිබෙ යි. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී මූල ධාතු සතර යි. මහත් වූ ස්වරූපයෙන් ඉන්ද්‍රියයන්ට ගෝචර වන බැවින් මේවා මහා භූත රූප නම් වෙයි.
ආපෝ ධාතුව යම් ප්‍රමාණයකින් අලවන, බන්ධනය කරන, දියරමය, වැගිරෙන, බැඳෙන ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. ආපෝ ධාතුව තැනට ඔබින සේ ක්‍රියාත්මක වෙයි.
අභිධර්මයේ දී සතර සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනා සතිපට්ඨානය යටතේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. කය පිළිබඳ විදර්ශනා කරද්දී සතර මහා ධාතු වෙන වෙනම ධාතු කොට්ඨාශ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු යි.
යම්කිසි සමස්තයක් තුළ මේ සත්ත්වයෙක් ය, පුද්ගලයෙක් ය ආදී යම්කිසි සංඥාවක් දීර්ඝ කාලයක් තහවුරුව තිබෙයි. මෙහි එවැනි පුද්ගලයෙක් නැහැ. මෙහි ඇත්තේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ,ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු ආදී ධාතු කොටස් පමණකි.


කය කුණුප කොට්ඨාශ තිස් දෙකකට බෙදා දෙතිස් කුණුප වශයෙන් දැක්වෙනවා. මෙහි මූලික කොටස් විස්ස පඨවි ධාතුව ගැන සඳහන් වන අතර මැද කොටස් දොළහ ආපෝ ධාතුව ගැන සඳහන් වෙයි. 

පිත්තං(පිත), 

සෙම්හං(සෙම), 

පුබ්බො (සැරව), 

ලොහිතං (රුධිරය), 

සෙදො (දහදිය), 

මෙදො (මේද තෙල),

 අස්සු(කඳුළු), 

වසා(වුරුණු තෙල), 

ඛෙලො(කෙළ), 

සිංගානිකා(සොටු),

 ලසිකා (සඳමිදුළු),


 මුත්තං(මුත්‍රා) ආදිය යි.
රේරුකාණේ චන්දවිමල නා හිමියන්ගේ ග්‍රන්ථයකට අනුව මූත්‍ර කොටස මේ ශරීරයෙහි ආපෝ ධාතු කොට්ඨාශයකි. ළිං, පොකුණු, ගංගා ආදියෙහි ඇති ආපෝ ධාතුවත් , මූත්‍ර යැ’යි කියනු ලබන ආපෝ ධාතුවත් , ආපෝ ධාතු වශයෙන් එකක්ම ය. ළිං,පොකුණු , ගංගා ආදියෙහි ආපෝ ධාතුව සත්ත්වයෙකුත් පුද්ගලයෙකුත් නො වන්නාක් මෙන් මූත්‍ර යැ’යි කියනු ලබන මේ ආපෝ ධාතුව සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ කාරණය සිතට කාවදින ලෙස නැවත, නැවත සිතා බැලීම අවශ්‍ය වෙයි.
සතර මහා ධාතු එකකට එකක් බද්ධ ව ගිලී තිබෙන අයුරෙන් සැකසී තිබේ. හාල් පිටි, උඳු පිටි, කඩල පිටි, සෝයා පිටි එකට මිශ්‍ර කළොත් එහි හාල් පිටි, උඳු පිටි වෙන වෙනම සොයා ගන්නට බැහැ. එය එකිනෙක වෙන් කළ නො හැකි සේ රූප කලාපය තුළ බැඳී පවතී. නමුත්, මෙහි ක්‍රියාත්මක වන රූප ධාතුව (මූලික ස්වභාවය) විදර්ශනා කරන යෝගියා විසින් හොඳින් තේරුම් ගත යුතු යි. ඒ තේරුම් ගැනීම තුළ කයෙහිත් බාහිර ලෝකයෙහිත් ආපෝ ධාතුව ක්‍රියාත්මක වන රටාව හඳුනා ගන්නට සමත් වෙයි.
මූලික වශයෙන් ම ධාතුවේ ගති ලක්ෂණ වටහා ගන්නට අවශ්‍යය යි. ආපෝ ධාතුව අන්‍ය ධාතූන්ගෙන් වෙන් වන්නේ කෙසේද?, හේතු ඵල රටාව, ආපෝ ධාතුව නිර්මාණය වන්නේ කෙසේද? රූප කලාප හට ගන්නා ක්‍රම ආදියත් දැනගැනීමට අවශ්‍ය යි. (කර්මජ, චිත්තජ, ඍර්තුජ, ආහාරජ)
කර්මජ යනු සංසාරික කුසල අකුසල මත රූප කලාප හට ගැනීම යි. ඇතැම් ශරීර ආපෝ ගුණයෙන් බහුල වෙයි. එසේ වන්නේ සංසාරික වශයෙන් පුද්ගලයා සතු කර්ම ශක්තිය යි. ආහාරජ යනු පුද්ගලයා ගන්නා ආහාර නිසා ආපෝ ධාතුව බහුල වීම යි. චිත්තජ යනු මනෝ භාවය වශයෙන් ආපෝ ධාතුව නිර්මාණය වීම යි. එනම්, පුද්ගලයාට ඇතිවන කරුණාව , මෛත්‍රිය, දුක තුළින් ආපෝ ධාතුව නිර්මාණය වෙයි. නිදසුනක් ලෙස අනුකම්පාවක දී සැනෙන් කඳුළු ගලයි. එසේනම්, ආපෝ ධාතුව පිටතට ක්‍රියාත්මක වීමට මනෝ භාවය හේතුවක් වෙයි. එසේ ම කරුණාව, මෛත්‍රිය වැනි සෞම්‍ය මනෝභාවය ද ආපෝ ධාතුව නිර්මාණය කිරීමට හේතු වෙයි. ආවේගශීලී මනෝ භාවයන් (රාග, ද්වේශ ආදී) තේජෝ ධාතුව අවධි කරන්නට හේතු වෙයි. මේ ප්‍රභවයන් නිවැරැදිව තේරුම් ගැනීම ශරීරයේ ආපෝ ධාතුව නිවැරැදිව සමබර කර ගැනීමට හේතු වෙයි.

බවුන් වඩන්නෙක් ආපෝ ධාතුව පිළිබඳ විදර්ශනා කරද්දී මූලික වශයෙන් ආපෝ ධාතුවේ ගති ලක්ෂණ හඳුනාගත යුතු යි. අන්‍ය ධාතූන්ගෙන් එය වෙනස් වන්නේ කෙසේද?, ආපෝ ධාතුව නිර්මාණය වන හේතු ඵල රටාව, බාහිර ලෝකය සමඟ ආපෝ ධාතුව සංසඳනය කරමින් කයෙහි තිබෙන ආපෝ ධාතුවත්, බාහිර ආපෝ ධාතුවත් හඳුනාගත යුතු යි. එවිට මෙහි ඇත්තේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් , මම නොවේ යන්න ද, මෙහි කිසිවක් නොමැති බව ද වැටහෙන තුරු ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කර අවබෝධ කළ යුතුයි. එවිට සක්කාය දිට්ඨිය, ආත්ම සංඥාව දුරු කිරීමට, ආපෝ ධාතුව විදර්ශනාවක් ලෙස උපකාරී වෙයි.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, 
ශාස්ත්‍රපති 
කුකුල්පනේ සුදස්සී හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment