Labels

Tuesday, November 28, 2017

දුකෙන් එතෙර වන්නට නම් උපන්නාට ජීවත් නොවී .

“අනේක ජාති සංසාරං . . .” මේ පළමු බුදු වදනයි. එහි ගැබ්ව ඇති තේරුම සමහරකුට නම් තේරෙන්නේ නැතුවා වගෙයි. තවත් සමහරකුට තේරුණත් නොතේරුණා වගෙයි වැඩ. ඇත්තටම මොකක් ද එදා බුදු සමිඳු ඔබට පැහැදිලි කළේ.


ආත්මභාවය නමැති ගෙය හදමින් භවයෙන් භවයට සත්ත්වයන් ගෙනයමින්, අනන්ත දුක්ඛ දෝමනස්සයන්ට පමුණුවන මේ විස්මිත ගෘහකාරකයා කවරෙක්දැයි සොයමින්, තමන් අනන්ත දීර්ඝ කාලයක් සසර ගමන් කළ බවත්, උතුම් වූ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු එය සොයා ගැනීමට හැකි වූ බවත් එම ගාථාවෙන් කියවෙයි.

එසේ නම් අපේ හාමුදුරුවනේ, බුදු හිමියන් වදාළ අපි තවමත් සසර සැරිසරන්නටත් මතු භවයකදී අපාය දොරටු විවර වන්නටත් හේතු කාරණා මොනවාදැයි අවබෝධකර දෙනු මැනවි.
උපත හා මරණය
‘පින්වත් දරුවනේ, නිවන් දකින ජාති දක්වා සත්ත්වයන්ගේ ස්වභාවය වන්නේ උපදිමින් මැරෙමින් සසර ගමන් කිරීමයි. මෙසේ සසර පැවතීමට හේතුවන ප්‍රධාන ම කරුණු දෙක නම් උපත හා මරණයයි. උපතක් ලැබූ හැම සත්ත්වයෙක්ම යළිත් මරණයට පත් වෙයි. මරණය උපතට හේතුවක් මෙන් ම උපත මරණයට ද හේතුවක් වෙයි.
අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ ඇස්, ඉස්, මස්, ලේ, අඹු දරුවන් දන් දෙමින් සමතිස් පෙරුම් දම් පුරමින් අපමණ වීර වික්‍රමාන්විත ක්‍රියාවල යෙදෙමින් මේ සියල්ලට හේතුව කවරෙක්දැයි සොයා බැලූහ.
යමෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් සසර ගමන් කරන්නේ අවිද්‍යාවත්, තෘෂ්ණාවත් නිසාවෙනි. ඒ රැස් කරනු ලබන කිසියම් අවස්තුක වූ ද අදෘශ්‍යමාන වූ ද, ආකස්මික වූ ද අපූර්ව බලවේගයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම බලවේගය තුළ සත්ත්වයා දැඩි ග්‍රහණයකට ලක් කරගෙන සිටින සංයෝජන ශක්තියක් ඇත. සං+යෝජන යන්නෙහි අදහස සත්ත්වයන් සසර ගමනෙහි යොදවන බවයි. උපදිමින් මැරෙමින් ගමන් කරවන බවයි. මෙවැනි සංයෝජන නම් වූ මහා වරපට දහයකින් හැම කෙනෙක්ම සසරෙහි බැඳී සිටිති.
සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනුවෙන් දක්වන ලද්දේ එම දස සංයෝජනයෝ ය.
බැඳීම්වල තරම
මෙහි මුල් සංයෝජන පහෙහි ස්වභාවය වන්නේ සත්ත්වයන් සදෙව්ලොව, මිනිස් ලොව හා සතර අපාය කියන ලද නරක තිරිසන්, ප්‍රේත, අසුර යන අභව්‍යය ස්ථානවලට පමුණුවීමයි. එයින් පහත් වූ ආත්මභාවයන් කරා යොමු කරවයි. ඇස්, කන්, නාසාදි පසිඳුරන් පිනවීමට හේතුවන රූප ශබ්දාදී අරමුණුවලින් අසීමාන්තික ලෙස ඇදී යාම මඟ ඵල නිවන් අවබෝධයට බාධාවකි. සසර ගමන දීර්ඝවීමට හේතුවකි. පෙර කී සංයෝජනවල ඉතිරිය රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පහ නිසා සත්ත්වයන් රූපාරූප, බඹ ලෝ කරා ගෙන යයි. උසස් තත්ත්වයට පමුණුවයි. මෙවැනි බඹලෝ තලවල උපත ලබන අය කල්ප සිය දහස් ගණන් එම බ්‍රහ්ම ලෝකවල බඹ සැපත් විඳිමින් කල්ගත කරයි. ඒ නිසාම ඇති පිනක් වර්ධනය කරගැනීමට හෝ අලුතෙන් පිනක් දහමක් රැස්කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබේ. එය ද සසර ගමන දීර්ඝවීමට ම හේතුවක් වේ.
උපාදාන ශක්තිය
සත්ත්වයන් සසර ගමනෙහි යොදවන අනෙක් බලවේගය නම් උපාදාන ශක්තියයි. උපාදාන යන්නෙහි අදහස යමක් දැඩිව අල්ලා ගැනීමය. සර්පයා මැඩියකු අල්ලා ගන්නේ ඌ කිසිසේත් ම අත්නොහරින අදහසිනි. එමෙන්ම කිසියම් අරමුණක් ඉතාමත් ම දැඩිව අල්ලා ගැනීම උපාදාන ශක්තිය නම් වේ.
ඔබ අප කොයි කවුරුත් මේ ජීවත් වන කාලය තුළ රැස් කරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවල අනුහස් හැටියට කිසියම් ප්‍රතිඵලයක් ලැබෙන බව අපි දනිමු. ඒ අනුව යමෙක් ලෝභාදී අකුසල හේතූන් මුල් කරගෙන ප්‍රාණඝාතාදී අකුසලයක් කළහොත් එය අකුසල කර්ම භවයකි. අලෝභාදී කුසල් මුල් හේතු කොටගෙන දාන, ශීල, භාවනාදී යම් කුසල ක්‍රියාවක් කළහොත් එය කුසල ක්‍රියාවකි.
කර්ම භව
මේ කුසලාකුසල කර්ම දෙක ම හොඳ හෝ නරක භවයක් ඇතිකර දීමට සමත්වන නිසා ඒවා කර්ම භව ලෙස හැඳින්වේ. “සබ්බම්පී භවගාමී කම්මං කම්ම භවෝ” සියලු කර්මවල ප්‍රතිඵල හැටියට කිසියම් භවයක උපතක් ලබා දෙයි.
මෙසේ අවිද්‍යාව හා තෘෂ්ණාව මුල්්කොට ගෙන ඇතිකරනු ලබන ප්‍රතිඵලය පංචස්කන්ධය නමැති ගෘහය යි. මේ අන්දමට භවයෙන් භවයට යම් යම් ආත්මභාව නමැති ගෙවල් සෑදීමට අවිද්‍යාව කැණි මඬලක්ම වෙයි. එම කැණිමඬලට සවි කරනු ලබන පරාල හා සමාන කොට ඇත්තේ රාග, ද්වේෂ, මෝහ දී අකුසලයි. තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබීමත් සමඟ ම එම අවිද්‍යාව සහමුලින් ම ප්‍රහීන කළහ.
සංසාරය
අගක් මුලක් නොදක්නා බිහිසුණු සංසාරයෙහි සත්ත්වයන් උත්පත්ති, මරණ වශයෙන් ගෙනයාමට මූලික වන අවිද්‍යාව යම් විටෙක ප්‍රහීන කළ යුතුය. ඒ සමඟම සියලු කුසලාකුසල සංස්කාර රැස් කිරීම ද එතැනින් නිමාවට පත් වෙයි.
ලෞකික ජීවිතයක් ගත කරන හැම කෙනකුගේ ම සිත සංස්කාරගත ව පවතී. එබැවින් ඔවුන් සසර සැරිසරන තාක් සංස්කාර ම රැස් කරති. මෙසේ යන සසර ගමනේ දී මහානුභාව සම්පන්න දෙවියන් ව, බ්‍රහ්මයන් ව, මිනිසුන් ව, රාජරාජ මහාමාත්‍යයන් ව, තිරිසනුන් ව උපදින වාර ද මෙතෙකැයි කිව නොහැකියි. නරක තිරිසන් ප්‍රේ්ත හා අසුර අභව්‍ය ආත්මවල අප කොතරම් නම් වාර ගණනක් උපත ලබා දුක් විඳින්නට ඇද්ද?
සෑහීමකට පත් නොවන්නේ ඇයි?
පුදුමයට හේතුව නම් මේ තරම් දීර්ඝ වූ අගක් මුලක් නො දක්නා වූ ගොරබිරම් සසර ඉපදී කොපමණ සැප සම්පත් වින්දත්, දුක් වින්දත් එයින් අප කිසි දවසක සෑහීමකට පත් නොවීමයි.
නිවන පරම සැපතක් ලෙස ධර්මයෙහි සඳහන් වූවත් අප හැම දෙනෙක් ම ගරු කොට සලකන්නේ පසිඳුරන් ගොදුරු වන ප්‍රිය මනාප අරමුණුවලටය. එයම ආස්වාදයක් උසස් සැපතක් ලෙසිනි.
නරක තිරිසන්, ප්‍රේත, අසුර යන අභව්‍ය ආත්මභාවවල උපත ලබන අය අවුරුදු ලක්ෂ ගණන් පරමායුෂ ගෙවමින් ඒ තැන්වලම ගත කරති. එසේ නම් මේ බිහිසුණු සසර ගමනෙහි සැබෑ තතු දැන් ඔබට වැටහෙනවා නේද? භවයෙන් භවයට මේ ආකාරයට සසර උපදිමින්, මැරෙමින් ගමන් කිරීම මහා දුකකි. එයිනුත් අපාය දොරටු විවර වුවහොත් . . .?
මෙබඳු අතිශයින් දුක්ඛදායක වූ සංසාරයෙහි උපදිමින් මැරෙමින් යන ගමන අවසන් කොට අප සදාකාලික විමුක්තියක් ලබන්නටම මං විවරකර ගත යුතු වේ. එහිදී පංච දුස් චරිතයේ යෙදීමේ වැළකිය යුතුයි. අපාය භෝග මුඛ වන්නේ ඒවායි. පුද්ගලයකුගේ භෝග සම්පත්තිය පරිහානියට එක් හේතුවක් ලෙස මත්ද්‍රව්‍ය පරිහරණයත් හැඳින්විය හැකියි.
පංච ජාති සතං යක්ඛෝ - පංච ජාති සතං සුණෝ
උම්මත්තකා අනන්තාච - සුරාපනස්ස දෝසතා
සුරා පානයේ ආදීන ලෙස ආත්ම 500 ක් යක්ෂ යෝනියෙන් ද ආත්ම 500 ක් සුනඛ යෝනියෙන් ද මිනිසත් බව ලැබුවත් උන්මන්තකයකු ව ද උපත ලබයි. ඔහුට මෙලොවත් ඉන් පසුවත් අපායකම දිවි ගෙවන්ට සිදු වේ.
වචනයෙන් සිදුවන පව
වචනයෙන් සිදුවන ආදීනව වන මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්ප්‍රප්පලාප ගැනත් ඔබ දෙවරක් සිතිය යුතුමය. බොරු කීම, හිත් රිදවීමේ අදිටනින් කේලම් කීම, අසත්‍ය වචන කතා කිරීම, හරයක් නොමැති ඕපාදූප කතා කිරීම මරණින් මතු දුගතිගාමී වීමට මඟ පෑදෙනු ඇත. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කිසිඳු හේතුවක් මත වචනයෙන් වැරැද්දක් නොකළ සේක. එබැවින් උන්වහන්සේ දුගතියක උත්පත්තියක් නොලැබීය.
වර්තමාන සමාජයේ මිනිසුන් අයුක්තිය, අසාධාරණය රජයමින් අසාධාරණ ලෙස මුදල් හම්බ කරනු ලබනවා. එම මුදලින් මෙලොව කෙතරම් විරාජමාන වුවත් රැස්කර ගන්නේ අකුසල් ය. කෙනකු එලෙස සිතින්, කයින්, මනසින් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් කරන්නේ නම් ඒකාන්තයෙන් ම අපායගාමී වේ.
“උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලෝ සිරිතට අඹු දරු රකිනවා විනා”
උපන්නාට ජීවත් නොවී හය හතර දැන එනම් සතර අපාය , දිව්‍ය ලෝක ගැන අවබෝධව කටයුතු කිරීම බෙහෙවින්ම වටී.
පරඅඹු සේවනය, පරපුරුෂ සේවනය අතිශය බියකරු ය. අපායගාමීව උපත ලබන විශාල අකුසලයකි.
“ඉධ තප්පති පෙච්ච තප්පති
කත පුඤ්ඤෝ උභයත්ත තප්පති
පාපං මේ ගතං තප්පති
ගිහියෝ තප්පතිං දුග්ගතිං ගතෝ”
කුමන කාරණාවක් නිසා හෝ තමාට තැවෙන්න වන අනුන් තැවෙන යමක් කරයි නම් හෙතෙම මෙලොවත් පරලොවත් දුගතිගාමී වේ. යමක් සිදුකොට ආපසු හැරී කඳුළු පිරි දෙනෙතින් බලන්නේ ද එම තැනැත්තා ද දුගතියක පිළිසිඳ ගනී. මළවුන් වෙනුවෙන් හැඬීම, තැවීම ඔබත් ඔවුනුත් බියකරු ආත්මභාවයක ඉපදීමට හේතු වේ. සිදු විය යුත්තේ පින් පැමිණවීම පමණි.
“යෝච පුබ්බේ පමජ්ජිත්වා
පච්චාය සෝ නපය මජ්ජති”
පොදුවේ අපි සියලු දෙනා අතින් වැරැදි අඩුපාඩු සිදු වේ. මං මුලා වී වැරැදි විය හැකියි. එහෙත් ධර්මාවබෝධය ලැබීමෙන් වැරැදි නිවැරැදි කරගත් කළ පවෙන් මිදිය හැකි වේ.
මතු සසරේ දී අපාය දොරටු විවර නොවන පරිදි මේ භවයේ සුජීවත් ව වාසය කිරීමට ඔබත් උට්ඨාන වීර්යය ඇතිකර ගන්න. 
අනුශාසනාව
කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ


2017.11.29  තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

1 comment: