ජීවිතයෙහි යාම තුනක් ඇති බවට බණ පොතේ සඳහන් වෙයි. බාල අවධිය , තරුණ අවධිය , මහලු අවධිය වශයෙන් එම අවස්ථා තුන හඳුනාගත හැකිි යි. තමා තමාට ආදරේ නම්,තමා තමාට හිතවත් නම්,තමා තමාගේ ජීවිතයේ අනාගත දියුණුව,සැනසිල්ල, අභිවෘද්ධිය පිළිබඳ ව සිතා කටයුතු කර,කායික, මානසික, සාමාජික වශයෙන් පුද්ගලයෙකු ජීවිතයෙහි එක් අවධියකදීවත් ශක්තිමත් විය යුතුයි. ළමා කාලය අපොහොසත් වූවා නම්, තරුණ වයසේ දී හෝ වැඩිහිටි වයසේ දී හෝ එම තත්ත්වයට පත්විය යුතුයි.
ජීවිතයෙහි අවධි තුනෙන් ඉතා ප්‍රබෝධමත්,කායික ,මානසික වශයෙන් ශක්තිමත් වූ වැදගත් අවධිය තරුණ අවධිය යි.අපේ රටේ තරුණ පිරිස සියයට සියයක් ම විශාල ආගාධයකට පත්ව,සියලු දෙනා ම මත් උවදුරට ගොදුරුව , සියලු දෙනා ම මානසික රෝගීන් ව අසහනයෙන් පීඩා විඳින බවට ප්‍රකාශ කළ නොහැකියි. ඉතාම කාර්යශූර, ප්‍රබෝධයෙන් ,උද්‍යෝගයෙන් කටයුතු කරන යෞවන පිරිස් ඕනෑතරම් දැක ගත හැකියි. ඇතැම් තරුණයන් රජයේ හා පෞද්ගලික ආයතන ඉතාම හොඳින් ඵලදායක ආකාරයෙන් කළමනාකරණය කරමින් කටයුතු කරයි.
ඒ අතර යෞවන මදයෙන් මත් ව විකෘති ආකාරයෙන් කටයුතු කරන ඇතැම් පිරිස් ද දැකිය හැකියි. තාරුණ්‍යයේ දී යෞවනයෙන් මත්වීමත් එම වයසෙහි ආඩම්බරකමත් වැඩි වශයෙන් පවතී. තමාගේ හැඩරුව ප්‍රදර්ශනය කිරීමට විශේෂ කැමැත්තක් දක්ව යි. තමන් සියලු දේ දැනුවත් බවට සිතයි.
තාරුණ්‍යයේ මත්වීමත් සමඟ තරුණ සිතේ ශක්තිමත් බවත්, දෑතේ ශක්තිමත් බවත්, අතිපණ්ඩිතකමත්, හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරීමත් , නිසා සියලු සීමාවන් බිඳගෙන යාමට උත්සාහ කරයි. ධර්මානුගත ව ඇසූ පිරූ තැන් නැති තරුණයන් සිතින්, කයෙන්, වචනයෙන් වැරැදි කිරීමට පෙළඹෙයි. වැරැදි මාර්ගය, නිවැරැදි මාර්ගය ලෙස දකින්නට උත්සාහ කරයි. චරිතය සුචරිතය ලෙස දකී. සාර දේ අසාර දේ ලෙස දකී. වැරැදි මාර්ගය නිවැරැදි මාර්ගය ලෙස තර්ක ගොඩනඟමින් වැරැදි මාර්ගයෙහි ම ගමන් කරයි.තමන්ගේ මතයෙහි ම එල්බ ගනී.