Labels

Wednesday, October 7, 2015

බොදු සිත් පුබුදන වස්සාවාස සමය



වස්සාවාසික භික්ෂුවට එම තෙමස පුරා තම දායක දායිකාවන් හමුවන හෙයින් ඔවුනට අර්ථයෙන් හා ධර්මය අනුශාසනා කිරීමට උන්වහන්සේට අවකාශ ලැබෙයි. මෙහි සඳහන් අර්ථය නම් තමාගේ මෙලොව ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා අයුරු හා ධර්මය යනු එම ධනය හෙවත් අර්ථය තම උභයාර්ථ සාධනය හෙවත් මෙලොව හා පරලොව යහපත සඳහා යොදාගනිමින් නිබ්බාණගාමිණී පටිපදාවට අනුගතව කටයුතු කරන ආකාරය පහදාදීමයි.


බෞද්ධ වත් පිළිවෙත් අතර විශේෂත්වයෙන් සලකනු ලබන්නකි භික්ෂූන් වහන්සේ හා සම්බන්ධ වස්සාන සෘතුවෙහි සිදු කෙරෙන වස්සාවාස පිළිවෙත. මෙම වස්සාවාස පිළිවෙත බුදුරජුන් විසින් උපසපන් භික්ෂු, භික්ෂුණීන් උදෙසා විශේෂ විනය නීති, රීති පද්ධතියක් පදනම්කොටගෙන පනවන ලද්දකි. එය අතීත බුදුවරයන් වහන්සේලා විසින් ද පනවා අනුගමනය කරනු ලැබූ විශේෂිත බෞද්ධ පිළිවෙතක් ලෙස වස්සාවාසය හා තදනුගාමීව සිදු කෙරෙන කඨින චීවර මහා පින්කම පිළිබඳ නාගිත අපදානය හා සම්බන්ධ කතා පුවත් ආදියෙන් අනාවරණය වෙයි.

මෙම වස්සාවාසය හෙවත් වස්විසීම පිළිබඳ වත්පිළිවෙත් බෞද්ධ සිව්වණක් පිරිස අතරත ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත. භික්ෂූන් හා භික්ෂුණීන් උදෙසා බුදුරදුන් විසින් අනුදැන වදාරන ලද විනය ප්‍රඥප්තිමය චාරිත්‍රයක් වුවද එම සිව්වණක් පිරිස අතරත ගැනෙන උපාසක හා උපාසිකා යන දෙපිරිස ද එම පිළිවෙත හා සම්බන්ධ වන අයුරින් එම විනය ප්‍රඥප්තිය බුදුරදුන් විසින් සකසා ඇති අයුරු වස්සාවාසය පිළිබඳ මහාවග්ගපාලි ආදී විනය ග්‍රන්ථයන්හි එන එහි ආරම්භය හා සම්බන්ධව කරනු ලබන ඉතිහාස කතා පුවතින් අනාවරණය වෙයි.

බුදුරදුන් විසින් මෙම වස්සාවාස පිළිවෙත භික්ෂූන් වහන්සේ උදෙසා පැනවීමට ප්‍රධාන හේතු සාධකය වූයේ ජෛන හෙවත් නිගණ්ඨශ්‍රාවකයන් විසින් වස්සාන සමයෙහි සිදු කරන කිසියම් ආගමික ක්‍රියාදාමයක් හේතුකොටගෙන බෞද්ධ භික්ෂූන්ට කරන ලද චෝදනාවක් පසුබිම් කොට ගෙනය. ලක්දිවෙහි මෙන් නොව භාරතයෙහි සෘතුන්ගේ බලපෑම ඉතා තදබල ලෙස ක්‍රියාත්මක වෙයි. භාරතීය මහා කවියෙකු වූ කාලිදාස පඬිවරයා විසින් “සෘතු සංහාරය” නමින් ඒ ඒ සෘතුන්හි භාරතය තුළ සිදුවන ඒ ඒ විපර්යාසයන් පිළිබඳව පැහැදිලි කරමින් විශිෂ්ටතම කාව්‍යයක් නිර්මාණය කරන ලද්දේ ද එහෙයිනි.

බෞද්ධ විනයෙහි දී බුදුරදුන් පෙන්වාදෙන පරිදි බුද්ධ ශාසනයෙහි හේමන්ත, ගිම්හාන, වස්සාන ලෙසින් සෘතු තුනක් සඳහන් කෙරෙන අතර වස්සාන සෘතුව ඉතා දැඩි ලෙස භාරතීය පරිසරය තුළ ක්‍රියාත්මක හෙයින් එම සාරමස තුළි මිනිසුන් පමණක් නොව මෘග පක්ෂීන් පවා තද වැසි නිසා සිය ගමන් බිමන් අතහැර සිය වාසස්ථානයන්හි එක්තැන්වී සිටිති. විශේෂයෙන් වස්සාන සෘතුවට පෙර ක්‍රියාත්මක වූ ගී‍්‍රෂ්ම හෙවත් ගිම්හාන සෘතුව විසින් වියලා ලැව්ගිනි ආදිය විසින් විනාශ කරනු ලැබූ ගස් කොළන් හා තණ පත් ආදිය වස්සාන සෘතුව එළඹීමත් සමඟම දලු - කොළ දමමින් ජීවය ලබන්නට පටන් ගනී.

ජෛන ආගම අනුව මෙම ගස්වැල් ආදියට ද මිනිසුන්ට හා සතුන්ට මෙන් ප්‍රාණයක් හෙවත් ජීවයක් ඇති හෙයින් විශේෂයෙන් එම අනුගාමික ජෛන පැවිද්දෝ ගී‍්‍රෂ්ම සෘතුවේ මැරී සිටි තණකොළ ගස්වැල් ආදී ඒක ජීවීන්ද්‍රිය ප්‍රාණීන් විනාශ වෙතැයි සියලු ගමන් බිමන් අතහැර තම ආශ්‍රම ආදියට වී සිටිති. එවැනි පිළිගැනීමක් නොමැති බෞද්ධ භික්ෂු වස්සාන සෘතුවේද තම ධර්ම ප්‍රචාරක ආදී කටයුතු කරමින් ගමන් බිමන් යන්නට වූහ.
එය දුටු ඉහත කී ජෛනාගමික සැදැහැවත්තු මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ ඒක ජීවී ප්‍රාණින් වූ නව දලු ලන තණ ආදිය පාගා විනාශ කරතියි දොස් පරොස් කියන්නට වූහ. එම දෝෂාරෝපණයන් පිළිබඳ සැල වූ බුදුරදුන් “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු” යනුවෙන් වස්සාන සෘතුවෙහි වස්විසිය යුතු බවට විනය ප්‍රඥප්තියක් පැනවූහ.
භික්ෂූන් වහන්සේ හා සම්බන්ධ මෙම වස්සාවාස ප්‍රඥප්තියට අනුව එම සෘතුවෙහි එළඹෙන ඇසළ පුන්පෝදා බුදුරදුන් විසින් අනුදැන වදාළ “පණ්ණරසී” උපෝසථය සිදුකොට පසුදින අවපෑළවිය දිනයෙහි තමාවසන ආරාමෙහි හෝ ඒ සඳහා තෝරාගත් ආරාමයක හෝ ආවාසයක තෙමසක් සඳහා වස් අධිෂ්ඨාන කොට වස් එළඹීම උපසපන් භික්ෂූන්ට අනිවාර්ය වන අතර, යම් භික්ෂුවකට විනයෙහි දක්වා ඇති පරිදි එසේ වස් නොඑළඹ සිටීම සඳහා බලපෑ හැකි කිසියම් හේතු සාධකයක් ඇතොත් එසේ වස් නො එළඹීම නිසා ඇවතක් සිදුනොවන බවට ද නියමකොට ඇත.

එසේ ඇසළ පැළවියෙහි වස්සාවාසය සඳහා නිසි ස්ථානයක් සොයා ගැනීමට අපොහොසත් වූ භික්ෂුවකට අනතුරුව එළඹෙන නිකිණි පෑළවියෙහි වස් සමාදන් විය හැකි අතර එය පසුවස් එළඹීම නමින් විනයෙහි සඳහන් ව ඇත. ඇසළ අව පෑළවිය දින සිදු කරන “වස් විසීම පෙරවස් සමාදානය” නමින් දක්වා ඇත. පෙරවස් සමාදන් වූ භික්ෂුවකට එම තෙමස ඇවෑමෙන් එළඹෙන වප් පුන්පෝ දින සිදු කරනු ලබන මහාපවාරණයෙන් පසු එළඹෙන චීවර මාසය තුළ සිදු කෙරෙන කඨින චීවරයක් ලබාගත හැකි අතර පසුවස් එළඹෙන භික්ෂූන්හට එම වරප්‍රසාදය අහිමි වේ.

මෙම වස්සාන සමය තුළ උපසපන් භික්ෂුවක විසින් පිළිපැදිය යුතු විනයමය ප්‍රඥප්ති සමූහයක් පිළිබඳව මහාවග්ගපාලි වස්සූපනායිකා ඛන්ධකයෙහි දක්වා ඇති අතර එම කාලය තුළ තම ශීලාදී ගුණදහම් පූරණය සඳහා උන්වහන්සේ විශේෂ අවධානයකින් හා උනන්දුවකින් යුතුව ක්‍රියා කළ යුතු අතර, බුදු සසුනෙහි දැක්වෙන අටමහා කුසල් අතර ප්‍රමුඛස්ථානය ගන්නා “කඨින චීවර” මහා පින්කම සිදුකරලීම සඳහා තමාට වස් ආරාධනය කරනු ලැබූ දායක දායිකාවනට අවස්ථාව සලසාදීම සඳහාත් එවැනි කඨින චීවර ලාභය සඳහා සුදුස්සෙකු වීම සඳහාත් එම වස් විසූ භික්ෂුව අඛණ්ඩව වස් ආරක්ෂා කර ගැනීම සඳහා මනා සිහි නුවණින් හා ඕනෑකමින් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව විනයෙහි එන “සත්තාහරණී”, “සතිකරණී” ආදී විනය ප්‍රඥප්ති පෙන්වා දෙයි.
වස්සාවාසය සඳහා භික්ෂුවකට කිසිවෙකුගේ ආරාධනයක් තිබීම අත්‍යවශ්‍ය නොවන අතර කවරෙකුගෙන් හෝ එවැනි ආරාධනයක් ලැබීම හේතුකොටගෙන භික්ෂුව හා දායක දායිකාවන් අතර මෙම තෙමස තුළ ශාසනික සහසබඳතාවක් ඇතිවෙයි. ගිහිපක්ෂය වෙතින් ලැබෙන එම ආරාධනය පදනම්කොටගෙන එම වස්සාවාසික භික්ෂුව හෝ භික්ෂූන් හා එම ආරාධක ගිහි උපාසක උපාසිකාවන් අතර ජනිතවන එම සහ සබඳතාව පදනම්කොටගෙන මෙහි මුලින් සඳහන් කළ බොදු සිත් පුබුදන පසුබිම ගොඩනැඟෙයි. එම ආරාධනයෙන් කිසියම් ආරාමයක හෝ ආවාසයක වස් එළඹෙන භික්ෂුවට පුදනු ලබන වැසි සළු පූජාවත් සමඟම එම දායක දායිකාවන් හා එම භික්ෂුව හෝ භික්ෂූන් සමඟ එම සබඳතාමය යුතුකම් හා වගකීම් ආරම්භ වේ. එහි දී ඔවුහු එම භික්ෂුවට තම ආරාමයේ හෝ ආවාසයේ එම තෙමස වස් එළඹ වසන ලෙසත් එම කාලය තුළ තමන් උන්වහන්සේට සිව්පසයෙන් ඇප උපස්ථාන කරන බවටත් පිළින දෙති. එම දායක පක්ෂයේ ප්‍රතිඥාව පිළිගත් භික්ෂුව ඒ සඳහා ආකාර දෙකකින් තම ආරාධකයනට ප්‍රධානතම යුතුකම් හා වගකීම් දෙකකින් බැඳෙයි.

එයින් පළමුවැන්න නම් තමාට සිව්පසයෙන් ඇප උපස්ථාන කරනු ලබන එම දායක දායිකාවනට තම මෙලොව හා පරලොව සඳහා ප්‍රත්‍යුපකාර ලෙස අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීම මෙන්ම නිර්වාණාගාමිණි ප්‍රතිපදාව වෙත ඔවුනට මඟ පෙන්වා දීමයි. වස්සාවාසික භික්ෂුවක විසින් පිළිපැදිය යුතු මෙහිදී සඳහන් කළයුතුව ඇති තවත් වැදගත් කරුණක් නම් තම වස්සාවාසයට පෙර පිඬුසිඟා යාම ආදී ක්‍රමයන්ගෙන් තම සිව්පස සොයා චාරිකාවෙහි යෙදුණු භික්ෂුව තම කාලය තුළ පිණ්ඩ චාරිකාදී කටයුතු සිදු නොකළ යුතු අතර ඉහත කී ආරාධක දායක දායිකාවන් විසින් දානමානා දී එම භික්ෂුවගේ සිව්පස අවශ්‍යතා උන්වහන්සේ වෙත ගෙනවූත් පිරිනැමීම සිදු කෙරේ.
එහෙයින් එම වස්සාවාසික භික්ෂුවට එම තෙමස පුරා තම දායක දායිකාවන් හමුවන හෙයින් ඔවුනට අර්ථයෙන් හා ධර්මය අනුශාසනා කිරීමට උන්වහන්සේට අවකාශ ලැබෙයි. මෙහි සඳහන් අර්ථය නම් තමාගේ මෙලොව ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා අයුරු හා ධර්මය යනු එම ධනය හෙවත් අර්ථය තම උභයාර්ථ සාධනය හෙවත් මෙලොව හා පරලොව යහපත සඳහා යොදාගනිමින් නිබ්බාණගාමිණී පටිපදාවට අනුගතව කටයුතු කරන ආකාරය පහදාදීමයි. 

 ඔක්තෝබර් 04 වන ඉරිදා දින ලිපිය

දායක දායිකාවෝ ඉමහත් ඇප කැප වීමකින් හා උද්‍යෝගයකින් තදනුගත පුණ්‍යක්‍රියාවන්හි යෙදෙමින් ඇතැම්විට භික්ෂූන්වහන්සේගේ ඇසුර හා අනුශාසනා ආදිය ලබමින් ඇතැම් සැදැහැවත් උවසු, උවැසියෝ තමා ද අෂ්ටාංග උපෝෂථ වැනි උසස් සීලයන් එම තෙමස මුළුල්ලේ ම සමාදන්වෙමින් පිනට දහමට ඇප, කැප වී කටයුතු කළ අයුරු පෙළපොත් ආදියෙහි මෙන් ම අටුවා ආදියෙ ද සඳහන් ව ඇත.
වස්කාල තුළ බුදුරදුන් ජීවමාන සමයේ සිට ම මෙම වස්සාවාස පිළිවෙත ගිහිපැවිදි බොදු ජනයාගේ ආශ්චර්යමත් කාලපරිච්ඡේදයක් ලෙස භාරත සමාජය තුළ ක්‍රියාත්මක වූ අතර අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කර බුදුදහම ගෙන ආ යුගයේ සිටම මෙම ලක්දිව මුළුල්ලේ ම එම වස්සාවාස පිළිවෙත මෙරට රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට ඈත පිටිසර ගම්මානයන්හි පොදු ජනතාව අතර ඉමහත් ජනපි‍්‍රයත්වයකින් හා ඇප කැපවීමකින් හා ශ්‍රද්ධාභක්තියෙන් යුතුව ක්‍රියාත්මක කළ අයුරු අපගේ වංශකතා අටුවා ආදී පොත පතෙහි සවිස්තරව දක්වා ඇත.

වස්සාවාසය සඳහා ශ්‍රද්ධාවත් ගිහිජනතාවට මෙලෙස තම ආරාමයන්හි වස් ආරාධනා වෙන් වැඩ සිටින භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් ඔවුන්ගේ සසරගමන සුඛිත මුදිත කර ගැනීමෙහිලා ඉවහල් වන දසපුණ්‍යක්‍රියානුගත කුසල් දහම් පුරණයෙහි නියැළී ගත කළ හැකිවාක් මෙන්ම තම සසර ගමන කෙටිකර ගැනීම සඳහා අවශ්‍ය නිර්වාණගාමිණී පිළිවෙත හා සම්බන්ධ අවවාද අනුශාසනා හා මග පෙන්වීම් ද නිරන්තර ලබාගත හැකි වෙයි.

ඉහත සඳහන් කළ පරිදි කිසියම් දායකදායිකා ආරාධකයන්ගේ ආරාධනයක් ලැබ වස් එළඹ සිටින භික්ෂුව හෝ භික්ෂූන් මෙසේ තම දායක දායිකාවන්ගේ ඉහ ලෝක – පරලෝක යන උභය අර්ථ සාධනයෙහි සැදී පැහැදී කටයුතු කිරීම වන අතර එවන් භික්ෂුවක සතු ප්‍රධානතම අනෙක් යුතුකම වන්නේ වස්සාන සමයෙහි පමණක් සිදුකළ හැකි අටමහා කුසල් අතරට ගැනෙන ප්‍රධානතම පින්කම වන්නා වූ කඨින චීවර පූජාවක් සඳහා අවශ්‍ය පසුබිම සකසා දීමයි.
ඒ සඳහා උන්වහන්සේ සතු කාර්ය භාරය නම් ඇසළ පුන්පෝ දින උපෝසථ කර්මය කොට එම අවපෑළවිය පෙරවස් සමාදන්ව වස්සාන සමය තුළ වස්සාවාසික උපසපන් භික්ෂුවක විසින් ආරක්ෂා කළයුතු විනය ප්‍රඥප්තීන්ට අනුගත වෙමින් ඉහත සඳහන් කළ සත්තාහකර්ණී සතිකරණී ආදී ක්‍රම විධීන්ට අනුව වප් පුන්පෝ දින දක්වා අඛණ්ඩව තම වස් ආරක්ෂා කර ගැනීමයි.

බුදුරදුන් පනවා වදාළ කඨින චීවර පූජාව සඳහා අදාළ විනය ප්‍රඥප්තීන් අනුව තම පූජාව සිදු කළ හැක්කේ එවන් උපසපන් භික්ෂුවක් පෙරවස් සමාදන් ව අඛණ්ඩව එම වස ආරක්ෂා කරනු ලැබූ විහාරස්ථානයක් වැනි ස්ථානයකදී වන අතර එවන් කඨින චීවරයක් පිළිගත හැක්කේ ද එවන් භික්ෂුවකට පමණක් හෙයින් තමාට තෙමසක් සිව්පසයෙන් ඇප උපස්ථාන කළ සැදැහැතියන්ට එම කඨින චීවර පූජාව සිදුකර ගැනීමට අවශ්‍ය එම පසුබිම සකසාදීම ද එම භික්ෂූන් වහන්සේ සතු පරම යුතුකමක් හා වගකීමක් වෙයි.
මෙවන් අසිරිමත් සිරිත් විරිත් සමුදායකින් හෙබි වස්සාවාසය හා සම්බන්ධ ශාසනික චාරිත්‍රය මෙරට ආරම්භ වූයේ අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට බුදු දහම ගෙන ආ යුගයේ ම බව ද මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

උන්වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවේ පොසොන් පුන් පෝ දිනෙක වූ අතර අනතුරු ව එළඹෙන ඇසළ පුන්පෝ දිනය වස් ආරම්භය වන හෙයින් ඒ පිළිබඳ ව දෙවනපෑතිස් රජුට දන්වා සිටීමෙන් අනතුරුව ඒ සඳහා මිහින්තලේ හෙවත් අඹතලාවේ පිහිටි හැට අටක් ලෙන් සකසා උන්වහන්සේ ඇතුළු පිරිසට වස් විසීම සඳහා පිළියෙල කර දුන් අයුරු අපගේ වංසකතා හා අටුවා ආදිය මනාව පෙන්වා දෙයි.

එතැන් සිට මෙරට රාජ්‍ය පාලකයා වූ රජු හා මැති ඇමැති පිරිස් ඉතා සැදැහැතින් හා උද්‍යෝගයකින් මෙම වස්සාවාස පුණ්‍යකර්මය හා අනතුරුව සිදු කෙරෙන කඨින චීවර පූජා මහා පුණ්‍යොත්සවය අති උත්කර්ෂවත් අන්දමින් හා ඉමහත් ශ්‍රද්ධා භක්තියකින් යුතුව සිදුකළ අයුරු අපගේ ඉතිහාසයෙහි සඳහන් වේ. අනුරපුර, පොළොන්නරු ආදී ඒ ඒ යුගයන්හි ඒ ඒ අගනුවර මහා විහාරය ආදී ප්‍රධාන විහාරස්ථානයන්හි රජුගේ ප්‍රධානත්වයෙන් එම වස් ආරාධනා හා කඨින චීවර පූජා ආදී පින්කම් අති උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබූ අතර අනෙකුත් ප්‍රාදේශීය වෙහෙර විහාරයන්හි ඒ ඒ ප්‍රාදේශීය නායකයන් හා ගම් ප්‍රධානීන් ආදීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

අපගේ ඇතැම් ශ්‍රද්ධාවත් රජ දරුවන් තම රාජ්‍ය කාලය තුළ සිදු කළ මෙම කඨින උත්සව හා කඨින චීවර පූජා මෙපමණ කැයි තම පින් පොත් ආදියෙහි සඳහන් කොට තබා තිබූ අයුරු අපගේ වංස කතාවන්හි සඳහන් වේ.

අනුරපුරයුගයේ සිටම අපගේ රාජ රාජ මහාමත්‍යාදීන්ගේ සිට ගම්බද පොදු ජනතාව මෙම වස්සාන සමය තුළ අෂ්ඨාංගාදී උපෝසථ ශීල සමාදන් වීම්, දන්වැට පැවැත්වීම් ආදී විවිධ වූත් විචිත්‍ර වූ පින්කම් ආදියෙහි යෙදෙමින් මහත් අසිරිමත් තෙමසක් ලෙස ගත කළහ.

එසේ සිදුකළ විවිධවූත් විචිත්‍රවූත් පින්කම් අතර අපගේ වංසකතා හා අටුවා ආදියෙහි උත්කර්ශවත් ආකාරයෙන් වර්ණා කරනු ලබන පින්කමකි. “අරියවංස” ධර්ම දේශනය. ඒ සඳහා අනුරපුර, රෝහණය ආදී රාජධානීන්හි භික්ෂු භික්ෂූණී, උපාසක හා උපාසිකා යන සිව්වණක් පිරිසම ඒ සඳහා සහභාගි වූ අයුරු එම විස්තරයන්හි දක්වා ඇත.




කුරුවිට දෙල්ගමුව ශ්‍රී දළදා
දෙල්ගමු රාජමහා විහාරාධිපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
මාහල්ලේ විපුලතිස්ස නා හිමි

 


ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ  බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වන ඉරිදා හා අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 04 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපිදෙකකි

No comments:

Post a Comment