නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලන්ති
පින්වත්නි,
මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ සහස්‍ර වග්ගයටයි. මෙහි සරල අදහස වන්නේ සීලයෙන් හා ගුණයෙන් වැඩිහිටියන් නිතර වැඳුම් පිඳුම් කරන්න හුගේ ආයුෂය ,වර්ණය, සැපය, බලය යන සතර ධර්මයෝ වැඩෙත් යන්නයි.
දඹදිව දීඝලම්බික නම් බමුණු ගමක තපස්දම් රකින බමුණන් දෙදෙනෙක් සිටියා. කලක් පැවිදි දම් රැකි මෙම දෙදෙනා අතුරින් එක් අයෙක් ගිිහි ජීවිතයට ලොල්ව උපැවිදි වුණ අනෙක් බමුණා තම පැවිදි ජීවිතය තුළ රැඳී සිටියා.
ගිහි ජීවිතයට පැමිණි බමුණාගේ බිරිඳට පුතෙක් ලැබුණා. දිනක් මෙම බමුණා තම බිරිඳ හා පුතා කැටුව මිත්‍ර තාපස බමුණා හමුවීමට ගියා. තවුස්තුමා වෙත ගිය බමුණා පළමුව තවුස්තුමාට වැන්දා. දීර්ඝායුෂ වේවා යනුවෙන් තවුස්තුමා ආශිර්වාද කළා. දෙවනුව බිරිඳ වැන්දා, බිරිඳට ද දීර්ඝායුෂ වේවා යනුවෙන් තවුස්තුමා ආශිර්වාද කළා. තෙවනුව බමුණු පුතුද වැන්දා. තාපසතුමා නිහඬව සිටියා.බමුණාට මෙය ප්‍රහේලිකාවක් වුණා. “ස්වාමීනි, ඔබ වහන්සේට අප දෙදෙනා වන්දනා කරන විට ආයුබොහෝ වේවා යනුවෙන් ආශිර්වාද කළා. මගේ පුතු වන්දනා කරන විට ඔබවහන්සේ එසේ ප්‍රකාශ නොකළේ මන්ද?” බමුණා විමසුවා.
“මෙම දරුවාට ඉතාම මෑතකදී අනතුරක් තිබෙනවා” තාපසතුමා පැවසුවා.
“ස්වාමීනි ,මෙම දරුවාට කෙතෙක් ආයුෂ තිබෙනවාද?” බමුණා ඇසුවා.
“ඔබේ දරුවාට ජීවත්විය හැක්කේ දින හතක් පමණයි” තාපසතුමා පැවසුවා.
“ස්වාමීනි, එය වළක්වන්න බැරිද?” බමුණා ඇසුවා. “ඒ ගැන යමක් කියන්න මට අපහසුයි” තාපසතුමා පැවසුවා. “ස්වාමීනි එසේනම් ඒ ගැන කියන්න දන්න කෙනෙක්වත් නැද්ද?” බමුණා ඇසුවා.
”මේ ගැන දන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් පමණයි එතුමා වෙත ගොස් මෙය විමසන්න” තාපසතුමා දැන්වුවා.
බමුණු යුවළ දරුවා සමඟ බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. බමුණා සහ බැමිණිය බුදුරජාණන් වහන්සේ ට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ මෙම දෙදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. දරුවාද බුදුන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬව සිටියා.
“මෙම දරුවාට කල් නොයවාම අනතුරක් වෙනවා” පුතුට දීර්ඝායුෂ නොපැතීමට හේතු විමසූ බමුණාට බුදුරජාණන් වහන්සේ වදාළා.
“ස්වාමීනි , ඔය අනතුර වළකාලීමට උපායක් ඇද්ද?” බමුණා විමසුවා.
“එයට උපායක් ඇතැ”යි බුදුරජාණන් වහන්සේ වදාළා. “ඔබ නිවසට ගෙස් පිරිත් මණ්ඩපයක් සකස් කරන්න. මගේ ශ්‍රාවකයින් අටනමක් හෝ දොළොස්නමක් වඩමවා මා දෙසු පිරිත් මගේ ශ්‍රාවකයින් මඟින් දේශනා කරවා ගන්න . එවිට දරුවාට ඇති අනතුර මඟහැරි යනවා” බුදුරජාණන් වහන්සේ වදාළා.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අන්දමට පිරිත් මණ්ඩපයක් තනවා භික්ෂූන් වහන්සේ වඩමවා දින හයක් මුළුල්ලේ දිවා රාත්‍රී පිරිත් දේශනා කළා. සත්වන දිනයේ බුදුරජාණන් වහන්සේද එහි වැඩම කළා. බුදුන් වහන්සේ වැඩම කළ බව සැලවූ සක්වල වැසි දෙවියෝද එහි රැස්වූහ.
අවිරුද්ධ නම් එක්තරා යක්ෂයෙක් වෙසමුණි යක් රජුට දොළොස් අවුරුද්දක් මෙහෙවරකොට එයින් මිදී මෙම දරුවා බිලිගැනීමට වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන සිටියා. අවිරුද්ධ යක්ෂයා මෙම දරුවා බිලිගන්නා දිනය බලා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩමකළ බව සැලවූ සක්වල දෙවියෝ දොළොස් යොදුනක් පුරා රැස්ව සිටියා. මෙම නිසා යක්ෂයාට එහි සමීපවීමට නොහැකිවීම නිසා දරුවා බිලිගැනීමට නොහැකි වුණා.
උදෑසන බමුණු යුවළ දරුවා රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැන්දෙව්වා. බුදුරජාණන් වහන්සේ
“දිගාසිරි ලැබේවා”යි ආශිර්වාද කළා.
“ගෞතමයාණන් වහන්ස, මෙම දරුවාට කෙතෙක් ආයුෂ ඇද්ද” බමුණා විමසුවා.
“බමුණා මෙම දරුවා අවුරුදු එකසිය විස්සක් ජීවත්වනවා” බුදුරජාණන් වහන්සේ වදාළා.
මෙම කාරණය පිළිබඳ භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයේ කථාකරමින් සිටියා. එම භික්ෂූන් වහන්සේට මාතෘකා කළ ගාථාවෙන් ධර්ම දේශනා කළා.
ලෝකයේ වැඩිහිටියෝ සිව්දෙනෙක් සිටිනවා. ජාති වෘද්ධ, ගෝත්‍ර වෘද්ධ, වයෝවෘද්ධ, ගුණ වෘද්ධ යනුවෙන් එම සිවුදෙනා සඳහන් වෙනවා.
ජාතිය හටගත් තැන් පටන් යම් මනුෂ්‍ය ජාතියක් නොසිඳී පැවත එන්නේ නම් එම ජාතියේ උපන් අය ජාති වෘද්ධයි.
බොහෝ කලක සිට අතරමඟ නොකැඩී එන පරපුරක උපන් අය ගෝත්‍ර වෘද්ධයි.
වයසින් අසූවස් අනූවස් ඉක්ම වූ අය වයෝ වෘද්ධයි.
ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වූයේ ගුණ වෘද්ධයි. “නිච්චං වද්ධාපචායිනෝ” නිතර මෙම වැඩිහිටියන් පුදන්නන්ට ච ත්තාරෝ ධම්මා වඩ්ඩන්ති” සිවු ගුණයෙන් වැඩේ. ආයු, වණ්ණ, සැප , බල ලැබේ. ගුණ වෘද්ධයන් මෙම සියලු දෙනාටම වඩා වැදගත්ය.
උපාලි ස්ථවිරයන් වහන්සේ කුලයෙන් කරණ වෑමියෙක් වුවද ශාක්‍යයන්ගෙන් පවා වැඳුම් ලැබුවා.
ඝටීකාර කුඹල්කරුවෙක් වුවද දෙව් මිනිසුන්ගෙන් පවා වැඳුම් ලැබුවා.
ශීලාදී ගුණයන්ගෙන් යුත් උතුමන්ට වැඳීම තුළින් ආයුෂයද, ඉඳුරන් හයේම වර්ණය නැතොත් ඔපයද සැපයද, බලයද ලැබෙනව.”පූජාච පූජනීයානං” පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුන් වහන්සේ දේශනා කරනවා. පූජනීය උතුමන් දෙමව්පිය ගුරුවර වැඩිහිටියන් වන්දනා කිරීමෙන් ආයු, වර්ණ, සැප, බල ලැබෙනවා පමණක් නොව ගුණවතුන් පිදුම මෙලොව පරලොව දෙලොවටම සැපතක්ම උදාවන උතුම්ම පුණ්‍ය කර්මයකි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ඉපලෝගම –මච්චාගම
ඉසිපතන චිත්ත සමාධි යෝගාශ්‍රමාධිපති
මැල්ලවගෙදර
සමණ ධම්ම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment