Labels

Wednesday, October 7, 2015

මල් රැසකින් මල් මාලා ගොතන ලෙසින් කුසල් වැඩිය යුතු මිනිසා පහන් සිතින්

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලා ගුණෙ බහු
එවං ජාතෙන මච්චේන
කත්තබ්බං කුසලං බහුං,

සුපින්වත්නි,

මේ ගාථා ධර්මය ධම්මපදයේ පුප්ඵ වග්ගයට අයත් ගාථා ධර්මයකි. බුදුරජාණන් වහන්සේමේ ගාථා රත්නය දේශනා කළේ විශාඛා මහෝපාසිකාව නිමිති කරගෙනය. විශාඛා උපාසිකාවගේ චරිතය ශීලයෙන්, ගුණයෙන්, ශ්‍රද්ධාවෙන් පරිපූර්ණත්වයට පත්වූ උදාර චරිතයකි. එතොමෝ සත්වියේදීම සෝවාන් ඵලයටපත් පිනැත්තියකි. මහලිය පළඳනාවට උරුමකම් ලද ඇය පුත්කුමරුන් දසදෙනෙක්ද දූ කුමරියන් දස දෙනෙක්ද ලදහ. ශාසන ඉතිහාසයේ එදා සිට අද දක්වා ගෞරවාදරයට පාත්‍රවෙමින් බොදුජන හදවත්තුළ ජීවමාන වූ චරිතයකි.

බුදුරජාණන් වහන්සේට ඉමහත් ගෞරවාදරය දැක්වූ ඇය දිනක් බුදුන්වහන්සේ බැහැදැකීමට සැවැත්නුවර ජේතවනාරාමයට ගියහ. බුදුන්වහන්සේට ගෞරව පිණිස පැළඳසිටි මහලිය පළඳනාව ගලවා පසකතබා ධර්ම සාකච්ඡාවන්හි නිරතවිය. මින් අනතුරුව බුදුරදුන් වැඳ අවසරගෙන ආපසු එන මොහොතේ පළඳනාව සිහිවිය. අමතකවී පැමිණ ඇති බව දැන තම දාසිය අමතා පළඳනාව, තමා තිබූ තැන ඇතොත් ගෙන එන ලෙසත් තිබූ තැන නැතොත් නොගන්නා ලෙසත් පවසා ආපසු යැවීය. අනඳහිමි ආරක්ෂාව සඳහා වෙනම තබා තිබුණි.

එතනින් ගෙන දාසියට දුන්නමුත් දාසිය පිළිගත්තේ නැත. විශාඛාවගේ අදහස පැහැදිලි කළාය. ආපසු පැමිණි දාසිය මේ පුවත විශාඛාවන්ට දැන් වූවාය. පළඳනාව අලෙවි කර බුදුන්වහන්සේට ආරාමයක් කිරීමට තීරණය කළේ මේ සිදුවීම මුල්කරගෙනය. මේ අනුව තම පළඳනාව අලෙවිකර පූර්වාරාමය ඉදිකරවා බුදුන්වහන්සේට පූජා කළාය. මේ පූජා පින්කම් දින විශාඛාව පිරිවර සමග සතුටු ගී පවසමින් පූර්වාරාමය, පැදකුණු කළාය. විශාඛාවගේ මේ හැසිරීම භික්ෂුහු බුදුන්වහන්සේට සිහිපත් කිරීමෙන් පසු උන්වහන්සේ සඳහන් කළේ ඇයගේ පෙර පැතුම් ඉටුවී, උවැසි තනතුරු අදදින ලබන බවයි.
මේ සිදුවීම් මාලාව නිමිතිකරගෙනයි. බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මය භික්ෂූන් අමතා දේශනා කළේ,

“දක්ෂ මල්කරුවෙක් පැහැයෙන් සුවඳින් යුත් මල් රැසකින් දැකුම්කළු මල්දම් කරන්නේද එපරිද්දෙන් උපන්නාවූ මිනිසා විසින් බොහෝ වූ කුසල් සොයාබලා පරීක්ෂාකර කළයුතු බව ඉහත ගාථා ධර්මයේ සරල තේරුමයි. සියලු බුදුවරයින්වහන්සේලාගේ දේශනයද මෙයම වෙයි.

නරක ධර්ම, ලාමක ධර්ම, පාප ධර්ම, විනාස කරන නැති කරන සොලවා දමන කම්පාකර දමන සියල්ල කුසල නම් වේ. ප්‍රධාන වශයෙන් කුසල් අකුසල් සිදුවන දොරටු තුනකි. කායද්වාරය, වාග්ද්වාරය, මනෝ ද්වාරය වශයෙනි. කායද්වාරය, එනම් ශරීරය මුල්කර ගෙන සතුන් මැරීම, හොරකම් කිරීම, අනුන්ගේ ස්ත්‍රීන් පුරුෂයින් කරා යාමත්, වාග්ද්වාරය, එනම් වචනය මුල්කරගෙන බොරුකීම, කේලාම් කීම්, පරුෂ වචන කීම්, හිස් වචන කීමත්, මනෝද්වාරය එනම් සිත මුල්කරගෙන දැඩි ලෝභය, ක්‍රෝධය, මිථ්‍යාදෘෂ්ටියත් සිදුවේ. මේ සඳහන් කරුණු දහය. දොරටු තුනෙන් සිදුවන අකුසලකර්මයි. මේ කරුණු දහයෙන් වැළකීම දස කුසල කර්මයි. කුසල කර්ම සිදුකිරීමට නොහැකි ස්ථාන අටක් ඇත. නොකල් අටවසයෙන් බුදුදහම එය අවධාරණය කර ඇත. එනම්, නරක, තිරිසන්, ප්‍රේත, අරූපලෝක සතර හා අසංඥතලය, ප්‍රත්‍යන්ත දේශය, පඤ්චේන්ද්‍රියන්ගේ විකලබව, මිථ්‍යාදෘෂ්ටිය, අබුද්ධෝත්පාදකාලය යනුවෙනි.

මේ නොකල් අටෙන් මිදුණ ඔබ වාසනා වන්තයෝමය. මේ ගැන හැම මොහොතකම සිතා බලන්න, කුසලධර්ම සිදුකිරීමට සුදුසුම ස්ථානය වන මනුෂ්‍ය අත්බවයෙහි ඔබ උපත ලබා ඇත්නම් ඔබ වහ වහා කළයුත්තේ, කුසල් කර්ම සිදු කිරීම නොවේද? උසස් මනසක්, ඇති නිසා අපට, මිනිසුන් යයි කියති. හොඳ, නොහොඳ කල්පනාකර තීරණගැනීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණි. තිරිසන් සතුන්ගෙන් අප වෙනස්වන්නේ මේ සනාථන ධර්මතාවය නිසයි.

දස කුසල කර්මවලට අමතරව ප්‍රධාන කුසලකර්ම අටක් ඇතිබව ඔබ අප හොඳින් දනිමු. එනම්, කඨිනදානය, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට දන්දීම, ධර්මය ලියවා පූජා කිරීම, කෙත්වතු පිදීම, බුද්ධ ප්‍රතිමා කරවා පූජා කිරීම, වැසිකිළි, කැසිකිලිතනවා පූජා කිරීම, වශයෙනි. මේ කුසල කර්ම කිරීමෙන් ලැබෙන ආනිසංස ඉතා ප්‍රබලය.යමෙක් ජීවිත කාලය තුළ පඤ්චානන්තරිය කර්මයක් සිදුකර නැත්නම් මියයන මොහොතේ ඔහුගේ ඊළඟ ප්‍රතිසන්ධිය සඳහා පිහිටවන්නේ මේ අටමහ කුසලයන්ය. ඒ අනුව ඔහුගේ ඊළඟ උපත දුකෙන් තොර සැපෙන් බර වාසනාවන්ත තැනක් වනු ඇත. සුළු ප්‍රමාණයක් කුසල කර්ම කිරීමෙන් සෑහීමකට පත්විය නොහැක.
සමාජයේ ඇතැමෙක් කුසලකර්ම කීපයක් සපුරා බොහෝ කුසලකර්ම සිදුකර ඇතැයි උදන් අනති. එබඳු පටු අදහස් දරන්නවුන්ට ඉහත ගාථා ධර්මය “යථාපි පුප්ඵ රාසිම්හා කයිරා මාලා ගුණේබහු, යන ධර්ම පාඨයෙන් දෙන උපදේශය, ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.”

“දක්ෂ මල්කරුවෙකු සුවඳින් හා වර්ණයෙන් යුත් මල් සොයා වියළුණු මැළවුණු, පණුවන් විදුණු පැල්ලම් ගැසුණු මල් ඉවත්කර පැහැයෙන්, සුවඳින්, යුත් මල්දමක් ගොතන දක්ෂ මාලාකරුවෙකු මෙන් මිනිසා විසින් නම් වැදෑරුම්, කුසල්, ඇසූ දුටු පමණින් සොය සොයා වහා කළ යුතු බව ඉන් ප්‍රකාශ වේ. විශාඛාවන්ද එසේ පින්සිදුකළ තැනැත්තියක වූවාය.
කාශ්‍යප බුදුහිමි සමයේ ඇයගේ පියාවූයේ කිකිනම් රජතුමාය. දුව වූ ඇය සංඝ දාසි නම් වූවාය. කාශ්‍යප බුදුරදුන් ඇතුළු මහා සඟනට දන් පුදා අටපිරිකර පූජා කළාය. ඇය මේ අට පිරිකර සියතින්ම ගෙතු බව සඳහන්ය. ඒ කුශලයෙන් ඇයට අප ගෞතම බුදුරදුන් කළ වටිනා වූ මේල පළඳනාව ලැබුණ බව සඳහන් වේ. කාන්තාවක විසින් අටපිරිකර පූජා කිරීමෙන් ‘මේල පළඳනාවක් ලැබීමට තරම් හේතුවක් බව අදටත් සංඝරත්නය පින්කම් අවස්ථාවන්හි සඳහන් කරන්නේ මේසිදුවීම පාදක කරගෙනය.

කුසල් කිරීමට කාල සීමාවක්, වයස් සීමාවක්, තැනක් නැත. ජීවත්වන සෑම මොහොතකම යන එන සිටින අවස්ථාවන්හි ඒ සඳහා පසුබිම ඔබටම සකසා ගත හැකිය. සිය නිවස, තම ආයතනය, කාර්යාලය, වුවද කම් නැත. මෙලොව අපට පිහිටට දෙමාපියන් ගුරුවරුන් දූ දරුවන් වැඩිහිටියන් සිටිති. මෙලොව අතහැරගිය දිනට ඔවුහු පිහිටට එහි නොඑනු ඇත. එහිදී පිහිට වන්නේ අප මෙලොව සිදුකළ කුසල්පමණි. පුඤ්ඤානි පර ලෝකස්මිං පතිට්ඨාහොන්ති පාණිනං, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එබැවිනි.
එනිසා පින්වත් ඔබද බොහෝ කුසල කර්ම සිදුකර නිවන් මගට පිවිසීමට මේ බිනර අව අටවක පෝදා අධිෂ්ඨාන කරගන්න.



 අනුරාධපුර ලංකාරාමාධිකාරී,
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
රැළපනාවේ ධම්මජෝති නා හිමි 





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 04 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment