Labels

Sunday, October 4, 2015

දසනාථකරණ ධර්ම


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සනාථා භික්ඛවේ විහරථ මා අනාථා
දුක්ඛං භික්ඛවේ අනාථා විහරති
දස ඉමෙ භික්ඛවේ නාථකරණ ධම්මා
කතමේ දස......

(නාථකරණ සූත්‍රය, දසත නිපාතය අංගුත්තර නිකාය)

පින්වත්නි,
අපේ බුදුරජාණන් වහන්සේ විසින්, අනාථ නොවී සනාථවීමට හේතුවන කරුණු දහයක් දේශනා කර තිබේ. එම කරුණු දස නාථකරණ ධර්ම ලෙසයි හැඳින්වෙන්නේ. නාථ යනුවෙන් අදහස් වන්නේ පිහිට උපකාරනය, උදව්ව යන්නයි. යමෙකුගේ සැපයට යම් කරුණු දහයක් පිහිට වේ නම් ඒවා දසනාථකරණ ධර්මයයි. භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කර ඇතත්, දුකට පත් නොවී සැප ලැබුමට අපේක්ෂා කරන ගිහි පැවිදි කවරෙකුට වුවද මෙම කරුණු අතිශයින්ම වැදගත් වෙයි. අනාථ වීම දුකට හේතුවන බැවින්, අනාථ නොවී සනාථ වන ලෙස අනුශාසනා කරන උන්වහන්සේ නාථකරණය ධර්ම දහය මෙසේ වදාරා තිබේ.

සීලවා හෝති
බහුස්සුතෝච හෝති
කල්‍යාණ මිත්තෝච හෝති
සුවචෝ හෝති
දක්ඛෝච හෝති
ධම්මකාමෝ හෝති
ආරද්ධවිරියෝ හෝති
සන්තුට්ඨෝ හෝති
සතිමා හෝති
පඤ්ඤවා හෝති 

 
අනාථයෙකු නොවී සනාථයෙකුවීමට හේතුවන පළමුවන කාරණය නම් සීලවත්කමයි. සීලවත්කම නම් යහපත් චරිතයක් ඇති බවයි. තිදොර සංවර කර ගැනීම සිල්වත්කමට අවශ්‍යම දෙයකි. චරිතය පිරිසුදු වුණොත්, දෙවියොත් නමස්කාර කරන බව ඔබ අසා ඇති. සිල්වතා කිසිවිටෙක, අකටයුතුවල නොයෙදයි. එනිසාම ඔහු කිසිවිටෙක අනාථයෙකු නොවේ. අනාථ නොවීමට හේතුවන දෙවන කරුණ බහුශ්‍රැත කමයි. එනම් බොහෝ ඇසූ පිරූකම් ඇති බවයි. අප ඉගෙනුම ලබන දේවලින් වැඩිහරියක් ග්‍රහණය කරගන්නේ ඇසීමෙනි.

ලිවීමේ හා කියවීමේ හැකියාව නැති අයට පවා බොහෝ දේ පිළිබඳව දැනුම ලැබුමට ඇසීම ප්‍රයෝජන වෙයි. බොහෝ දේ දන්නාවිට ඕනෑම තැනක ජීවත්වීමට හැකියාව ලැබෙන අතර, හොඳ නරක අවබෝධ කරන නිවැරැදි දිවියක් ගෙවීමට හැකිය. ශ්‍රැතවත් බව නිසාම ඔහු කිසිවිටෙක අසරණ අනාථ පුද්ගලයෙකු බවට පත් නොවෙයි.

කල්‍යාණමිත්‍රතාව ද අනාථ නොවී ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවන කාරණයෙකි. මෙහිදී තමා හොඳ කල්‍යාණ මිත්‍රයෙකු වීම හා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය යන අංශ දෙකම වැදගත් වෙයි. මිත්‍රයෙකු තුළ තිබියයුතු ලක්ෂණවලින් යුතුව තමා අන්‍යයන්ට යහපත් කල්‍යාණ මිත්‍රයෙකු වේනම් අන්‍යයන්ද තමාට කණ මිතුරන් සේ සලකනු ලබයි. කිසිවකුට හුදෙකලාව ජීවත්වීමට අපහසුය.

සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධවීමට සිදුවෙයි. අපට හමුවන සැමදෙනම යහපත් නොවෙයි. වැඩිපිරිසක් මිත්‍ර ස්වභාවයෙන් පෙනී සිටින්නන්ය. සිඟාලෝවාද සූත්‍රයේ දී ඇසුරට සුදුසු හා නුසුදුසු පුද්ගලයින් වෙනවෙනම පෙන්වා ඇත. කපටිකම් හා අසද්පුරුෂ ගති ඇති ආත්මාර්ථකාමීව ක්‍රියාකරන අවස්ථාවාදීන් නියම මිත්‍රයන් නොවේ. නියම යහළුවකු, මිතුරකු, අසල්වැසියකු ඥාතියකු ඇසුරට ලැබේ නම් වාසනාවකි. විපතක් වූ විටද, ආහාරපාන හිඟ දුර්භික්ෂ අවස්ථාවලදී ද මරණයේදීද යමෙක් තමා ළඟ සිටීනම් ඔහු නියම නෑයෙකු, මිත්‍රයෙකු, අසල්වැසියකු වන බව පැරණි පඬිවරයෙකුගේ අදහසකි. කල්‍යාණ මිත්‍රයෙක් කිසිවිට තම යාළුවාගේ පිරිහීමට අකැමැති වෙයි. යාළුවා ආරක්ෂා කර ගනියි. නිසි මඟ පෙන්වයි. යහපත දැක සතුටු වෙයි.

එබඳු යහපත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා කිසි විටෙක තමා අනාථයෙකු අසරණයෙකු නොවෙයි. අනාථ නොවීමේ සිව්වන කාරණය සුවච බව හෙවත් කීකරුකමයි. එනම් යටහත් පහත් ගති පැවැතුම් ඇති බවයි.

කුඩා කාලයේ අප කාටත් දෙමාපිය වැඩිහිටි ගුරුවරාදීන්ට යටහත්ව කීකරුව කටයුතු කිරීමට සිදුවෙයි. වයස් ගත වූ විට තම දරුවන්ට කීකරුව සිටීමටද සිදුවෙයි. කීකරු වූ විට අන්‍යයන්ගේ අවධානය, ආදරය සෙනෙහස, හා ආරක්ෂාව ලබා ගැනීමට පහසුය. ගෙදර ඇති කරන සුනඛයා වුවත් කීකරු නම් ඒ සතාට ලැබෙන සැලකිල්ල ආරක්ෂාව අප දැක ඇත. ඇතැම්විට අප අපටම කීකරුවිය යුතු ය. අකීකරු සිතක් ඇතිවිට, පංච ඉන්ද්‍රියන් පාලනය කරගත නොහැකිය. එනිසාම අපට අනාථවීමට සිදුවන අවස්ථා එමටය.
දක්ඛො, නම් දක්ෂ බවයි. එනම් අප කරන විවිධ ක්‍රියාකාරකම්වලදී දක්ෂවීමයි. දක්ෂ නොවේනම් ජීවිතයක් සාර්ථකත්වය කරා ළං නොවෙයි.

යමෙක් අනාථයෙකු අසරණ අයෙකු වී සිටීනම් එයට ප්‍රධාන හේතුව අදක්ෂයෙකුවීමයි. ඉගෙනුමට දක්ෂ වීම සියලු කාර්යයන් සාර්ථකවීමට හේතුවකි. තමා කරන රැකියාවේ දක්ෂයෙකු නොවේනම් ඔහු කෙතරම් අවාසනාවන්තයෙක්ද? අපගේ හාමුදුරුනමක් වුවත් දේශකත්වයට, ලේඛකත්වයට අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟාගෙන කටයුතු කිරීමට නොහැකි නම් එම භික්ෂු ජීවිතය කෙතරම් අසාර්ථකවේද? කෙතරම් අනාථ අසරණ තත්ත්වයකට පත් වේද? ගිහි පැවිදි කාහටවුවද දක්ෂ බව තිබිය යුත්තේ අනාථ නොවීමට හේතුවන නිසාය.ධර්මයෙන් ජීවත් වන්නා ධර්මයෙන්ම ආරක්ෂා ලබයි. ධර්මකාමී ජීවිතය අනාථයෙකු නොවී සනාථයෙකු වීමට පිහිට වෙයි.

යම් කාර්යයක් උත්සාහයෙන් ආරම්භ කළයුතු අතර වීර්යය ඇතිව කටයුතු කළ හැකි නම් එය සාර්ථක ජීවිතයකට බලපාන කරුණකි. එනිසා මෙයද සනාථවීමට කරුණකි.
ලද දෙයින් සතුටුවීමේ ගුණය කා තුළ වුවද තිබිය යුතු ගුණාංගයකි. පී‍්‍රතිමත් ජීවිතයට එය හේතුවකි. නොලද දේ ගැන දුක් නොවී ලද දේ ආරක්ෂා කර ගැනීම හා ඒ තුළින් සතුටුවීම ‘සන්තුට්ඨො’ යනුවෙන් හැඳින්වේ.

“සතිමා, නම් සිහියෙන් කටයුතු කිරීමයි. එක්වර බොහෝ දේ සිතෙහි ධාරණය කර ගැනීමට අපහසුය. අවශ්‍ය දේ පමණක් සිතට ගැනීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීමට අප දක්ෂ වියයුතුය. ඇතැම් විට සිතෙහි තිබිය යුතු දේ නොව නොතිබියයුතු දේ සිතෙහි පුරවාගෙන කටයුතු කරන පුද්ගලයින් අසිහියෙන් ක්‍රියා කරන්නන් බවට පත්වන අතර එනිසා ඔවුන්ගේ ජීවිත අවුල් සහගත වෙයි. අසිහියෙන් කටයුතු කරන්නේ නම් අනාථ අසරණ තත්ත්වයට පත්වෙයි.

නැණවත්කම, සනාථවීමට හේතුවන වැදගත් කරුණු අතර ප්‍රධාන වෙයි. එය “පඤ්ඤවා” යනුවෙන් හැඳින්වෙයි. උගත්කමයි නැණවත්කමයි දෙකකි. උගත් වූ පමණින් නැණවත් නොවෙයි. නැණවතා හිතන්නෙකි. හොඳ නරක, කුසල් අකුසල්, යුතුකම් හා අයුතුකම්, කළයුතු හා නොකළයුත්ත ඔහුට වැටහෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමට ඔහු දක්ෂ වෙයි. එනිසා නැණවතා සාර්ථකත්වයට පත්වන්නෙකි. ඔහුට ලැබෙන විශේෂ හැකියා තුනකි. ආය කෞශල්‍යය, අපාය කෞශල්‍යය, උපාය කෞශල්‍යය නම් ඒ තුනයි. මෙම නාථකරණ කරුණු උපයෝගී කරගෙන සනාථ වී මෙලොව පරලොව ජය ලබන්නත්, සසර ජය ලබන්නත් උත්සාහ කිරීම සුදුසු ය.

 
 හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති හා
මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේණාධිපති
බටුගොඩ සංකිච්චායන නා හිමි 






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 21 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment