Labels

Saturday, October 17, 2015

යුද වදී මඟ දකී කසාවත දරා


මිළිඳු ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු අසනවා “ස්වාමිනි, මේ ශාසනය පිරිසුදු එකක්. එම ශාසනය නිර්මලයි. ඒ නිසා මේ වගේ බුද්ධ ශාසනයක කවුරුහරි කෙනෙක් පැවිදිවෙලා පසුව උපැවිදි වුණොත් ඒක හොඳ නැහැ. එහෙම උපැවිදි වූවාට පස්සේ මිනිසුන් බණිනවා ඔන්න මහණවෙන්න ගියා. කෝ? මොනවද කර ගත්තේ කියා.
ඔවුන් බනින්නේ ශාසනයටයි. ඒ නිසා ස්වාමිනි, කෙනෙක් සෝවාන් වුණාට පස්සේ මහණ කරන එක හොඳයි නේද? මොකද සෝවාන් පුද්ගලයෙක් සීලයෙන් පිරිහෙන්නේ නැහැනේ” කියා කිව්වා.

එවිට නාගසේන රහතන් වහන්සේ වදාළා මහ රජතුමනි, මෙතැන ප්‍රශ්න දෙකක් තිබෙනවා . එකක් උපැවිදි වීම. අනෙක් එක සෝවාන් ඵලයට පත්වූ අයෙක් මහණ කිරීම. ඉතින් කවුරු හරි මේ ප්‍රශ්නයේදී ශාසනයට බනිනවා නම් ඒක මේ වගේ දෙයක්. හොඳ පිරිසුදු දිය තිබෙන පොකුණක් තිබෙනවා. කුණුු දූවිලි ගැවුන කෙනෙක් පොකුණ ළඟට ඇවිත් නාන්නේ නැතිව හැරී යනවා. දැන් වරද කාගේද? පොකුණේ ද? හැරි ගිය පුද්ගලයාගේ ද?

මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා ඒ බුද්ධ ශාසනය නමැති වළට බැහැලා කෙලෙස් මලකඩ සෝදාගන්නේ නැතිව ඔහු හැරිලා යනවානම් ඒකට පොකුණ මොනවා කරන්නද? කියා අහනවා. ඊට පස්සේ කියනවා තද බඩගින්නේ ඉන්න කෙනෙක් දන්සලක් ළඟට එනවා. එයා දන්සල ළඟට ඇවිත් කෑම නොකාම හැරී යනවා. කල්පනාව තිබෙන නුවණින් විමසන කෙනෙක් ගැරහිය යුත්තේ හැරිලා ගිය කෙනාටයි. දන්සලට නොවේ. දන්සලේ කෑම තිබෙනවා. දන්සලට බැහැ දුවගෙන ගිහින් කුසගිනිකාරයාගේ බඩ පුරවන්න.

ඒ වගේම තව උපමාවකින් කියනවා දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. එසැනින්ම රෝගයක් සුව කරන්න පුළුවන්. මේ වෛද්‍යවරයා ළඟට අමාරුවෙන් ඉන්න ලෙඩෙක් එනවා. ඔහු බෙහෙත් නොගෙන හැරිලා යනවා. දැන් ගැරහිය යුත්තේ ලෙඩාටද? වෛද්‍යවරයාටද? නාගසේනයන් වහන්සේ වදාළා රජතුමනි, මේ බුද්ධ ශාසනය හරියට දන්සලක් වගේ. අමෘතය දන් දෙනවා. ඒ අමෘතය ශ්‍රාවකයා ගන්නේ නැත්නම් බුද්ධ ශාසනය මොනවා කරන්නද? පිස්සු හැදිලා එන අයට පින්වත් නැගණිය, සිහි අර ගන්නයි කියන විටම සකල දුක් කන්දරාවම නැතිවෙලා ශාසනය තුළ සැනසෙන්නේ ඒකයි. සසරේ කෙලවරක් නැතුව ආ ගමන කෙතරම්ද? බුදුරජාණන් වහන්සේගේ බවදුක දුරු කරන ඖෂධය කෙතරම් ශක්තිමත්ද?.

නාගසේනයන් වහන්සේ වදාළා පින්වත් රජතුමනි, ඔබතුමා කිවුවානේ කෙනෙක් සෝවාන් වුණාට පස්සේවත් මේ ශාසනයේ පැවිදි වෙනවානම් හොඳ කියා. ඒක මේ වගේ දෙයක්. බුද්ධ ශාසනය කියන්නේ විලක්. මේ විලෙන් කරන්නේ කෙනෙක් පිරිසුදු කිරීමයි. පිරිසුදු පොකුණක් ළඟ බෝඩ්එකක් ගහලා තිබෙනවා “හොඳට නාලා පිරිසුදු වෙලා සිසිල් වෙලා පමණක් මේ පොකුණට බහින්න. කුණු තිබෙන කෙනෙක්නම් මේ පොකුණට බහින්න එපා” කියා. රහතන් වහන්සේ අහනවා ඒ කතාව හරිද? නාලා පිරිසුදු වෙලා ඉන්න කෙනෙක් පොකුණට බහින්නේ මොන දේකටද? පොකුණෙන් කෙරෙන්නේ අපිරිසුදු දේ පිරිසුදු කිරීමයි. කුණු හට ගෙන තිබෙන අයයි පොකුණට බැහැල නා ගන්නේ. ඒ නිසා අපේ ජීවිතවල ඕනතරම් වැරැදි අඩුපාඩු දෝෂ තිබෙනවා. ඒ අය ඒ අඩුපාඩු දෝෂ හදා ගන්නේ මහණකම තුළින් බුද්ධ ශාසනයට පිවිසිලා.
ඒ වගේම රජතුමනි, “හොඳට කාලා බඩ පුරවාගත් අය විතරක් මේ දන්සලට පැමිණෙත්වා. කුසගිනි තිබෙන අය එන්න එපා” කියා දන්සල අසල පෝස්ටරයක් ගහනවා. නමුත් දන්සල් තිබෙන්නේ බඩගිනි තිබෙන අයටයි. මිනිසුන්ගේ අඩුපාඩු දෝස,වැරැදි තිබෙනවා. ඒවා නිවැරැදි කර ගන්නේ බුද්ධ ශාසනයට පිවිසිලා. ඒ වගේම රජතුමනි, දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා බැනර් එකක් ගහනවා “හොඳ නිරෝගි කිසිදු රෝගයක් නැති අය පමණක් මේ ආරෝග්‍ය ශාලාව වෙත පැමිණෙත්වා. රෝගින් කිසිවෙක් මෙහි එන්න එපා” කියලා. ඒ කතාව හරිද? අහනවා. වෙදකම ඕන නිරෝගි කෙනාට නොවේ ලෙඩෙකුටයි. ඒ නිසා දෝෂ වැරැදි තිබෙන අය තමා මේ ශාසනයට ඇවිත් ඒවා හදා ගන්නේ.

ඒ නිසා අප තේරුම් ගන්න ඕන බුද්ධ ශාසනය කියන්නේ ගේට්ටු තිබෙන එකක් නොවේ. බුද්ධ ශාසනය කියන්නේ තැනිතලා ප්‍රදේශයක කිසිවෙකුටත් සෙලවිය නොහැකි දසත බබළන මහා ඉන්ද්‍රඛීලයක් වගේ. ගේට්ටු දොරවල් නැහැ. සත්‍ය සොයාගෙන එන පුද්ගලයාට විවෘතයි. සත්‍යය සොයාගෙන එන කෙනෙකුට මේ ලෝකයේ යම් ධර්මයක් පේනවානම් බුද්ධ ධර්මය යි. රජතුමනි, කෙනෙකුගේ පැවිදි ජීවිතය රැකෙන්න කුසල් දියුණු කරමින් අකුසල් දුරු කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය, ආහාරය සිහියෙන් ගැනීම, බණ භාවනාවට සිත යොමු කිරීමත් කරන්නත් ඕන. සසරේ පින තිබෙන්නත් ඕන. සසරේ පින තමා ඒ පුද්ගලයාගේ පැවිදි ජීවිතය මෙහෙයවන්නේ.

ඒක මේ වගේ. ගමේ ගොඩේ ඉන්න කොලු ගැටයෙක් ඉන්නවා. ඔහු අකුරු ලියන්න කියන්න දන්නේ නැහැ. හිතලා බලලා වැඩක් කරන්නත් බැහැ. රස්තියාදු වෙවි සිටින මොහුට රජකම දෙනවා. දැන් මොකද වෙන්නේ? ඔහුට අගක්, මුලක් කිසිවක් තේරෙන්නේ නැහැ. ඉක්මනට පිරිහිලා යන්නේ කිසිම ශිල්පියක් දන්නේ නැති නිසායි. රජතුමනි, ඒ වගේ මේ බුද්ධ ශාසනය නමැති බලවත් තේජාන්විත දේ පින් නැති කුසල් අඩු කෙනෙකුට ලැබුණාට පස්සේ ඒක ඔහුට දරාගන්න බැහැ. බුද්ධ ශාසනය සරල දෙයක් නොවේ. ගාම්භීර දෙයක්. මේ ශාසනය කියන්නේ රහතුන් වහන්සේලාගේ භූමියයි. කසාවත කියන්නේ රහතන් වහන්සේගේ ධජයයි. කුසල් වැඩූ අයයි මේ කසාවත පෙරෙව්වේ. ශක්‍රයාගේ වෛජයන්ති ප්‍රාසාදය කකුලේ මහපට ඇඟිල්ලෙන් සෙලවූ අයයි මේ කසාවත පෙරෙව්වේ. මේ මහපොළොව අනෙක් පැත්තට හරවන්නට පුළුවන් ශක්තිය තිබු අයයි මේ කසාවත පෙරෙව්වේ. සෑම සියුම් කරුණක්ම විදර්ශනා කළ අයයි මේ කසාවත පෙරෙව්වේ. ඒ වාගේ දෙයක් අද කාලේ සාමාන්‍ය සිතකට දරාගන්න අමාරුයි.

යුද්ධයකට යන්න යකඩ වලින් යකඩ හැට්ටයක් හදනවා. ඒ යුද හැට්ටය. ඒක හරි බරයි. ඒ යුද හැට්ටය ඉතාම කෙට්ටු කේඩෑරි අයෙකුට අන්දවනවා. දැන් මොකද වෙන්නේ? අර පුුද්ගලයා දෙකට තුනට නැවිලා වැටෙනවා. තවම යුද්ධයට ගියෙත් නැහැ. යුද්ධ කිරීම කියන්නේ මේ ශාසනය තුළදී රූපයට, වේදනාවට, සංඥාවට සංස්කාරයට, විඤ්ඤාණයට තිබෙන ජන්ද රාගය නැතිකර ගැනීමයි. පටිච්චසමුප්්පාදය අවබෝධ කර ගැනීමයි. රාග, ද්වේශ, මෝහ, ලෝභ ආදිය සමඟ සටන් කිරීමයි. සටන් කළ පසු රාගය පරදින්න ඕන. තමන් දිනන්න ඕන. ද්වේෂය පරදින්න ඕන. තමන් දිනන්න ඕන. මෝහය පරදින්න ඕන. තමන් දිනන්න ඕන. ඒක තමා සැබෑ යුද්ධය. ඒ යුද්ධයට යන්න තමා මේ කසාවත අන්දවන්නේ. මන්දපෝෂණය නම් ඒ ගමන යන්න බැහැ. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා බොහෝම ශක්තිමත්. ඒ වගේ ශක්තිමත් පුද්ගලයෝ හිටියේ බුද්ධ කාලයේ. මේ හැම දෙයින්ම තේරෙන්නේ බුද්ධ ශාසනය නිර්මලයි. පිවිතුරුයි. ඒ නිසා මෙතරම් පිවිතුරු ශාසනයට අපගෙන් යම් වරදක් වුවොත් ඒක විශාල දෝෂයක්.

මේ ශාසනය කෙතරම් පිවිතුරුද නිර්මලද කියනවා නම් බුද්ධ ශාසනයේ කුණු රැඳෙන්නේ නැහැ. ශාසනය මහ මුහුද වගේ. හරියට සඳුන් අරටවුක් වගේ. සඳුන් අරටුවේ කොයි පැත්තෙන් සුවඳ බැලුවත් සඳුන් සුවඳ වහනය වෙනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයට අවංකව කෙනෙක් ප්‍රවිශ්ට වුණොත් හැම පැත්තෙන්ම ඔහුගේ ජීවිතය දුක දුරු කරන දුක සංසිඳෙන සෑම පැත්තක්ම ඉස්මතු වෙනවා. බුද්ධ ශාසනය හරියට මී වදයක් වගේ. බඩගින්නේ ඉන්න කෙනෙකුට මී වදයක් ලැබෙනවා. ඔහු ඒක කොයි පැත්තෙන් කෑවත් රසයි. ඒවගේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕනනම් සිත සංසිඳවා ගන්න ඕනනම් දුක දුරු කරන ප්‍රතිපදාවක් අනුගමනය කළ හැකියි. භාග්‍යවතුන් වහන්ස් වදාළා පංචඋපාධානස්කන්ධය, පටිච්චසමුප්පාදය, සුත්‍ර, විනය, අභිධර්මය මේ ඕනෑම දෙයක් අනුගමනය කළොත් ඔහුගේ සිත සංසිඳෙනවා. මේ බුද්ධ ශාසනය විශාල ඖෂධයක් වගේ ඕනෑම ලෙඩක් සුව කර ගන්න පුළුවන්. ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. මව්පියන් මැරිලා පවුලේ අය විපතට පත්වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට පිස්සුවෙන් වගේ එනවා. එක බණ පදයෙන් සසර දුකෙන් නිදහස් වෙනවා. මිනියක් කරතියාගෙන එනවා. ඒත් සසර දුකෙන් නිදහස් වෙනවා. පිස්සුවෙන් එනවා. ඒත් සසරින් නිදහස් වෙනවා. කිසිම අරමුණක් නැතිව එනවා. ඒත් සසරින් නිදහස් වෙනවා. මේ ශාසනය හරිම පුදුමයි. සිසිල් වතුර පිරුණ පැන් පොකුණක් වගෙයි. විඩාවෙන් ගව්ගණනක් වතුර පොදක්වත් නැතිව පීඩාවෙන් එන මනුස්සයෙකුට සිසිල් දිය තිබෙන පොකුණක් ලැබෙනවා. ඒ පොකුණේ දිය බීලා, නාලා මඳ සුළඟින් විඩාව නැතිකරගෙන සනීපයට ඉන්නවා. ඒ ධර්මය පිළිපඳින කොට දුක් පීඩා නැතිවෙනවා. ඒ නිසාම බුද්ධ ශාසනය බබළනවා. ඒ නිසා මේ ශාසනය තිබෙන්නේ බුද්ධිමතාටයි. කුසල් වඩන්න පුළුවන් කෙනාටයි. පින් තිබෙන කෙනාටයි. සියලුම දෙනාට ඒදේ කරන්න අමාරුයි.





පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 12 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment