Labels

Sunday, October 4, 2015

අනුත්තරිය සූත්‍රය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ඡ ඉමානි භික්ඛවේ අනුත්තරියානි, කතමානි ඡ, දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්බානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සනානුත්තරියං,

” පින්වත පින්වතිය.

අද ධර්ම කරුණු හයක් පිළිබඳ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ අනුත්තරිය සූත්‍රයට අනුව ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මෙම ධර්ම කරුණු හය ඉතා වැදගත් වන්නේ නිවන් මඟ හෙළිකර දෙන නිසයි අනුත්තර යනු ශ්‍රේෂ්ඨ, උතුම් යන අදහසයි. ඡ යනු හය යන තේරුමයි. ඒ අනුව ශ්‍රේෂ්ඨ, කරුණු හයකි. එම හය ශ්‍රේෂ්ඨ, උතුම් කරුණූු ලෙස නම් කොට ඇත්තේ නිවනට විමුක්තියට පාදක වන නිසයි.

බුදුරදුන්ගේ සෑම දේශනාවක්ම පාදක වී ඇත්තේ ද නිවන අරමුණු කරගෙනයි. මේ අනුව මේ අනුන්තරිය සූත්‍රයෙන් ද මඟ පෙන්වා ඇත්තේ සසර දුක නිවන ක්‍රමයකි. මෙහි කරුණු හයක් පැහැදිලි කරයි. එම කරුණු හයම නිවන් මඟට සෘජුවම බලපායි. එහි පළමු ධර්ම කරුණ වන්නේ දස්සානානුත්තරියයි. කතමාච භික්ඛවෙ දස්සානනුත්තරියං, දස්සානානුත්තරිය යනු කුමක්ද? දස්සන යනු දර්ශනයයි. දැකීමයි, ඒ අනුව දැකීම් අතර ශ්‍රේෂ්ඨම දැකීම හෙවත් දර්ශනය කුමක්ද? අප උපන් දවසේ සිට ඇසින් කරන කාර්යය වන්නේ විවිධ දේ දැකීමයි. බැලීමයි. ඇසින් ගන්නා හැම රූපාරම්මණයක්ම මගින් කෙළවරක් සිතේ වර්ධනයක් වෙයි. ඒ හැම දර්ශනයකින්ම සසර දුක ගෙන දෙන අතර නිවන ඈත් කරවයි. එමනිසා ඒ හැම දර්ශනයක් මඟින්ම මිනිස් සන්තානය අපිරිසුදු කරවන අතර ඒ නිසා එය අනාගාමී ලෙස මෙහිදී පැහැදිලි කරයි.

ඒ නිසා සියලුම දැකීම් අතර බුදුරදුන් දැකිය හැකි නම් මහරහතන් වහන්සේලා දැකිය හැකිවන ශ්‍රේෂ්ඨ, උත්තම දැකීම ලෙස පෙන්වා දෙයි. එසේ ශ්‍රේෂ්ඨ දර්ශනය ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? බුදුරදුන් දැකීම මහරහතුන් දැකීම සත්වයාගේ විශුද්ධියට හේතුවන නිසයි. ධර්මය දැකීමෙන් බුදුරදුන් දැකිය හැකිය. බුදුවරු දැකීමම නිවනට හේතුවෙයි. ඒ නිවන් මඟ හෙළි කරමින් එකම දර්ශනය බුදුරදුන් දැකීම මහරහතුන් දැකීම පමණි. අද බුදුවරු මහරහතුන් විද්‍යාමාන නූනත් උන්වහන්සේගේ ධර්මය දසතින් විද්‍යාමාන වෙයි. එම දහම් මඟ ඔස්සේ ගමන් කිරීමෙන් බුදුරදුන් මහරහතුන් දැකිය හැකිය. බෞද්ධ අපේ ඒකායන දර්ශනය විය යුත්තේ ඒ බුදුන් වදාළ ධර්මය අනුගමනය කොට සසර දුක නිවා ගැනීමයි.

දෙවන උත්තරීතර කරුණ වන්නේ සවනුත්තරියයි. එනම් දෙසවනින් සිදු කෙරෙන එකම කාර්යය ශ්‍රවණයයි. ඇසීමයි අපි දසතින් ඇසෙන හඬ, ශබ්ද තරංග කනට ඇතුළත් කර ගන්නෙමු. එහි ඇලී ගැලී සෝත විඤ්ඤාණයෙහි විවිධ කෙලෙස් ඇති කර ගනියි. හෑම ඉන්දද්‍රියකට ඇතුළත් වන හැම අරමුණක්ම ග්‍රහණය කර ගන්නේ විඤ්ඤාණයයි. කනින් ශබ්දයක් පදනම්කරගෙන සෝත විඤ්ඤාණය ඇති වන බව පෙන්වා දෙයි. එසේ නම් අප කනට ඇතුල්වන හැම ශබ්දයකින්ම සිතේ විවිධ කෙලෙස් වැඩි කරවයි. එය නිවන ඈත් කරවන අතර සසර දුක වැඩි කරවයි. එපමණක් නොව ඔබේ මෙලොව ජීවිතය අවුල් වන්නේ මේ වැඩකට නැති කතාබහ ඇසීම තුළින් නොසිතන කරදර පවුල් අවුල් වීම් ඇති වන්නේ ද මේ වැඩකට නැති කතාබහ නිසයි. කාලය, විනාශ කරමින් විවිධ දේ ඇසීම ද සසර දුක වැඩි කරන අතර නිවන් මඟ ඈත් කරවයි. එමනිසා උතුම්ම ශ්‍රේෂ්ඨම ඇසීම වන්නේ බුදුරදුන්ගේ හෝ රහතුන්ගේ ධර්මය ඇසීමයි. එම ධර්ම ශ්‍රවණය මෙලොව යහපතට හේතුවන අතර නිවන් මඟ ද හෙළි කරවයි. සද්ධම්මො පරම දුල්ලභො යන්නෙන් පැහැදිලි කර ඇත්තේ ශ්‍රී සද්ධර්මය අතිශය දුර්ලභ බවයි. මේ බුද්ධෝත්පාද කාලයක සද්ධර්මය පවතින කාලයක උපත ලද බව අප අතිශය වාසනාවන්තයි. එම වාසනාවේ ප්‍රතිඵල නෙළා ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? එම ශ්‍රී සද්ධර්මය මැනවින් ශ්‍රවණය කොට සසර දුක තේරුම්ගෙන එය ක්ෂය කරණ මාවතේ ගමන් කිරීමයි. එවිට බෞද්ධ ඔබේ මුඛ්‍යාරම්ණය උදාකරගත හැකි වෙයි. එසේ නම් නිවන් මඟට ශ්‍රේෂ්ඨතම කරුණක් වන්නේ ධර්ම ශ්‍රවණයයි.

තුන්වන ශ්‍රේෂ්ඨ කරුණ වන්නේ ලාභානුත්තරියයි. ලාභ අතර ශ්‍රේෂ්ඨම ලාභය කුමක්ද? අපට භෞතික වශයෙන් විවිධ ලාභයන් ලැබෙන අතර එම ලාභ ප්‍රයෝජන මතම හඹ යෑම බොහෝ අයගේ සිරිතකි. ප්‍රත්තාමත්ථි ධනම්මත්ථි, ඉති මාලෝ විහඤ්ඤති යන ධම්මපද ගාථාවට අනුව දූ දරුවන් ධනය ඇතැයි සිතා බාල ජනතාව ඒ මතම වෙහෙසෙන අතර එයම ලබා ගැනීමට විශාල දුකක් විඳියි. ඒ සියලුම ලැබීම් වලින් ඔබට සිදු වන්නේ දුකක් වේදනාවක් මිස සැපතක් සුවයක් නොලැබෙයි. එසේම එම ලාභ ප්‍රයෝජනයේ මතම ගැලෙන අයට කිසිදු කලෙක නිවන් කරා යොමු විය නොහැකි ය. සසර දික්කරගෙන දුකේම ගැලෙති. එමනිසා සුළු තාවකාලික සතුටක් වෙනුවෙන් වෙහෙසීම ඤාණවන්ත ක්‍රියාවක් නොවේ.

එසේ නම් ඉහළම ලාභය කුමක්ද? එය මෙහිදී ශ්‍රද්ධාව ලෙස නම් කර ඇත. බුදුන්, දහම්, සඟුන් පිළිබඳ විශ්වාසයෙන් පිළිගැනීම ශ්‍රද්ධාවයි. මේ ශ්‍රද්ධාව බුදුදහමේ පදනම ලෙස නම් කරයි. මෙහි ප්‍රභේද රාශියක් ඇත. ඉන් අමූලික ශ්‍රද්ධා, ආකාරවති ශ්‍රද්ධා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. ප්‍රඥාවෙන් තොරශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව ලෙසත් ප්‍රඥාවෙන් යුතු ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව ලෙසත් පැහැදිලි කෙරෙයි. මේ ශ්‍රද්ධාව නිවනට පාදක වෙයි. සද්ධා බීජං, සද්ධාධනං, සද්ධින්ද්‍රියං, යන නම්වලින් විග්‍රහ කරමින් ශ්‍රද්ධාව සෑම කුසල භාවනාවකටම මූලික වන අතර එයම නිවනට පාදක වෙයි. මේ නිසා බෞද්ධයාට ඇති විශාලම ලාභය මේ ශ්‍රද්ධාව බව ඔබට පැහැදිලි වෙයි.

ඊළඟට නිවන සඳහා උපනිශ්‍රය වන ශ්‍රේෂ්ඨම ධර්ම කරුණ වන්නේ

සික්ඛානුත්තරියයි.විවිධ ශිල්ප ශාස්ත්‍රවල බොහෝ අය හික්මෙයි. එහි දක්ෂ වෙයි. ඒ මොන විදියේ ශිල්පයන්හි හික්මීමක් දක්ෂතාවක් ලැබුවත් එය සසරගමන දිග් කරවයි. දුක වැඩි කරවයි. ඒ නිසා ඒ මොන විධිහේ ශිල්පයන්හි දක්ෂතාවයක් ලැබූවත් එය තාවකාලිකයි. මෙලොවට පමණක් සීමා වෙයි. ඒ නිසා නිවනට පාදක වන ශ්‍රේෂ්ඨතම හික්මීම වන්නේ ශීලයයි. ශීලය යනු කය, වචන දෙකෙහි හික්මීම පාලනය කර ගැනීමයි. ‘කාය වාචානං සමෝදානං සීලං’ යනුවෙන් පැහැදිලි කරන්නේ එම අදහසයි. ශීලයෙහි ද ප්‍රභේද රැසකි. ඔබේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම පංච ශීලය රකිමින් කටයුතු කරන විට කය වචන දෙක පාලනය වෙයි. මිනිසා පරිපූර්ණ සදාචාරාත්මක තත්ත්වයට පත් වන්නේ මේ ශීලය තුළිනි. එය නිවනට උපනිශ්‍රය ශ්‍රේෂ්ඨ මාර්ගයකි.

සසර දුක නිවීම සඳහා අනුගමනය කළ යුතු පස් වන ශ්‍රේෂ්ඨ කාරණය වන්නේ ඒ සඳහා සුදුසු අනුගාමිකයෙකු තෝරා ගැනීමයි. පාරිචරියානුත්තරියං ච කථං හොති යනුවෙන් පෙන්වා දී ඇති පරිදි මිනිසා විවිධ අය අනුගාමිකයන් ලෙස තෝරා ගෙන ඇත. උතුම්ම ශ්‍රේෂ්ඨ අනුගාමිකයා ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී නම් කොට ඇත. බුදුරදුන් මෙන්ම වීත රාගී මහරහතුන් අනුගමනය කිරීම නිවනට ඇති ශ්‍රේෂ්ඨතම මාර්ගයයි. අපි උන්වහන්සේලා සරණ යමින් එම ධර්මය ඔස්සේ ගමන් කිරීමෙන් පමණයි දුක නිවා ගත හැක්කේ එම නිසා බෞද්ධ අපට සිටින උත්තම අනුගාමිකයා බුදුරදුන් සහ නික්ලේශී රහතුන් පමණි. අද උන්වහන්සේලා ජීවමානව නැතත් ඒ ධර්මය, ඒ ගමන් මඟ විද්‍යාමාන වෙයි. අන්න ඒ ධර්මය අනුගමනය කිරීම බුදුරදුන් ඇතුළු මහරහතන් වහන්සේලා අනුගමනය කිරීමකි. එය නිවනට පාදක වෙයි.

අවසාන අනුත්තරිය ධර්මය වන්නේ අනුස්සතානුත්තරියයි. එනම් අතීතය සිහිපත් කිරීම හෙවත් ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. පින්වත් ඔබ විවිධ අතීත සිදුවීම් ආවර්ජනා කරමින් නිරන්තරයෙන්ම කටයුතු කරයි. තම දරුවන් ගැන ඤාතීන් ගැන ධනය ගැන, දේපල ගැන, තම සතුරන් ගැන, තම ලාභ අලාභ ගැන නිතර නිතර සිහි කරමින් පසු වෙයි. මේ සියලු සිහි කිරීම් වලින් ඔබට සිදුවන්නේ පසු තැවීමක්, දුකක් පමණි. ඒ සියල්ල ඔබේ සසර දුක වැඩි කරවයි. නිවන ඈත් කරවයි. එමනිසා නිතර සිහි කළ යුතු වන්නේ දුක නිවන, සිත සනසන දෑ පමණි. ඒ සඳහා ඇති උතුම්ම දේ වන්නේ බුදුගුණ සිහි කිරීමයි. දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීමයි. මේ තෙරුවන් ගුණ සිහි කිරීමෙන් සිත තුළ අලෝභ අද්වේශ අමෝහ ආදී ශෝභන චෛතසික හට ගනියි. මේ හොඳ කුසල චෛතසික නිසා පුද්ගලයාගේ සිත කය වදනින් සිදු වන්නේ යහපත් කුසලයකි.එය පුද්ගලයාගේ මෙලොව දියුණුව සාදන අතර පරලොව යහපත් විපාක ගෙන දෙයි. මෙය පාදක කරගෙන සසර දුක නැසිය හැකිය. නිවන් සුව ලැබිය හැකිය. මෙම ධර්ම කරුණු හය පිළිබඳව පින්වත් ඔබේ අවධානය යොමු කොට මනාව තේරුම් ගෙන ක්‍රියාත්මකවන්න. එවිට ඔබට සසර දුක නිවාලන උතුම් නිවන්සුව ලැබිය හැක. ඒ සඳහා තිසරණ සරණින් සැමට සෙත්වේවා.



බද්දේගම සමථ මූල මණ්ඩලයේ ප්‍රධාන සභාපති
විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment