ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප හැමදෙනාටම දෙලොවම යහපත පිණිස පවතින උතුම් සද්ධර්මයක් “ධම්මං විනානන්ති සුඛා තන්තා” ධර්මය හැරෙන්න මනුස්සයෙකුට ඉතිරි වන දෙයක් අවසානයේ නැහැ. අතට ගත්ත හැමදෙයක්ම දාලා යද්දී හිතට ගත්ත දේවල් සසරට අරන් යද්දී ඒ සසර ගමන රැකගන්න යහපත් කර ගන්න නිවන් දකින්න තියෙන්නේ බුදු මඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ගත් මඟ පමණයි.
අප සියලු දෙනාම ඒ බුදු මග ගමන් කරන පිරිසක් ලෙස “බුද්ධං සරණං ගච්ඡාමි” මම බුදු හාමුදුරුවෝ ගිය මග යන කෙනෙක් කියන ප්‍රකාශය නිරන්තරයෙන් පවසනවා.බුදුරජාණන් වහන්සේගේ බුදු මග ගමන් කිරීම කියලා කියන්නේ ලෞකික ජීවිතයට වත් හානියක් සිදුවන දෙයක් නොවෙයි. සියලුම ජීවන ප්‍රතිපත්තිවල සිටිමින්ම වඩා සුවපත් වූද, දැහැමි වූද, සරල වූද, ක්‍රමවත් වූද මානසික සුවතාවයෙන් යුක්තව ගමන් කිරීමට අවශ්‍ය කරන ඥානය හික්මීම ලබා දෙන ධර්මයක්. ඒ නිසා අප වඩ වඩාත් ගැඹුරින් දහම තේරුම් කර ගන්න ඕනේ.බුදු හාමුදුරුවන් අපට මතක් කළේ හැමදේම නැසෙනවාය , මැරෙනවාය කියන කාරණය පමණක් නෙමෙයි. එය ඉතාම ගාම්භීර ධර්මයක් අපේ සිත පිළිබඳව, අප අපේ සිත මැනවින් අවබෝධ කරගත් විට අපට පුළුවන්කම තිබෙනවා මානසික ගැටලු වලින් තොරව ජීවත් වන්නට වඩාත් පී‍්‍රතියෙන් සතුටින් ජීවත්වෙන්න.
“යමක් දුක නම් මහණෙනි "එය අතහරින්න" මෙතනදී මහණෙනි නැත්නම් “භික්ඛවේ” කියන වචනයෙන් අදහස් කරන්නේ සසර භය දකින ඕනෑම කෙනෙක්. එකල බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම අමතලා තියෙන්නේ භික්ඛවේ කියලා. ඒ සියලු දෙනාම මේ සසර ගමනේ ගැටලු දකින අය, පැවැත්මේ ගැටලු දකින අය, සසර බය දකින අය, ඒවායින් නිදහස් වෙන්න උත්සාහ කරන අය, එනිසයි භික්ඛවේ යනුවෙන් හඳුන්වලා තියෙන්නේ.
“යංඛෝ භික්ඛවේ දුක්ඛං තත්‍රතේ චන්දෝ පහාතබ්බෝති” යමක් දුක නම් මහණෙනි,’ එය අතහරින්න, සාමාන්‍යයෙන් මානව ලක්ෂණයත් එයයි. විදුලි සරක් වැදුනොත් වයර් එක ඉක්මනින් අතහරිනවා, අත පිච්චුනොත් එතනින් අත ඉවතට ගන්නවා. කටුවක් ඇනුනොත් වේගයෙන් කකුල එතනින් ඉවත් කර ගන්නවා. අන්න ඒ වගේ තමයි යමක් දුක බව දැණුන සැණින් එතනින් ඉවත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මනස දෙසත් බලන්න. බලන්න ගැටලුකාරි මානසික ස්වභාවයන් වල අප වෙළිලා ඉන්නවා. ඒ මානසික ස්වභාවයන්ගෙනුත් අප ඉවත් වෙන්න ඕනේ.අන්න ඒ වගේ. මේ මානසික සොභාවය හඳුනා ගන්නවා. වගේ ඉන් ඉවත්වීම සඳහාත් ක්‍රමවත් ගමන් මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දොරක් අරින්න යතුරක් වුවමනා කරනවා වගේම නිවන් දකින්නත් ක්‍රමවේදයක් තියෙනවා. එයට ප්‍රතිපදාවක් තියනවා. ඒ තමයි එය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් හඳුනාගත් කෙනෙකුගෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීම හා උපදෙස් ආදිය ලැබීම එය තමන්ට ශක්තිමත් බලයක් බවට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. එහිදී අපට පෙන්වා දෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිළිබඳව. මෙය නිවන් මඟට ඉතාම වැදගත් කාරණයක් බව, ශ්‍රද්ධාව කියන එක එක් එක් කාරණා ඔස්සේ මිනිසුන් යොදාගෙන තිබෙනවා. නමුත් එහි වැදගත් දේ තමයි නිර්වාණය කරා යොමුවූ ශ්‍රද්ධාව, එය හුදෙක් පුද්ගලයෙක් කරා ඇති වූ ශ්‍රද්ධාවක් නෙමෙයි. එය නිර්වාණ ධර්මය කරා ඇතිවුණ ශ්‍රද්ධාවක් . එය තමයි වඩාත් වටින්නේ, සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවෙන්න නම් යම් පමණක හෝ ධර්මය පිළිබදව අවබෝධයක් තියෙන්න ඕනේ. එනම් ධර්මය අවබෝධ කර ගැනීමටය, මට දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරනවයි කියන කාරණයත් සමඟම ධර්මයට ඇති කැමැත්ත නැතිනම් ශ්‍රද්ධාව ඇතිවන්න ඕනේ.
ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි. එවැනි අයත් අප අතරේ ඉන්නවා. සමහර පින්වතුන්ට නිවන කරා යන්න ශ්‍රද්ධාව වගේම වීර්යයත් තියෙනවා. එවැනි අයට ධර්මය කරා තමන්ගේ සිත යොමු කරවන්න පුළුවන්. එයට තමන්ගේ ඥානය මෙහෙය වීමේ හැකියාව තියෙනවා. ඒවගේම ඒ ලබන ධර්මය ඔස්සේ ප්‍රතිලාභයක් ලැබෙන තෙක්ම මනැස මෙහෙය වීමේ ශක්තියක් නොඅඩුව තියෙනවා. ඒක තමයි වීර්යය කියලා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ අප හැම දෙනාටම පෙන්නලා දුන්නා විර්යවන්ත වෙන්න ඕනේ කියන කාරණය මේ හිත ජය ගන්න, හිත තේරුම් කරගන්න එයට බුදුරජාණන් වහන්සේ උදාහරණ ලෙස දක්වලා තියෙන්නේ යුද බිමට පිවිසි යුද ඇතෙක් වගේ වීර්ය වන්ත වෙන්න කියලා මේ ධර්මය අවබෝධ කරගත්ත නම්. එදා බුදුරජාණන් වහන්සේ අතිශය දුෂ්කර ක්‍රියාවක යෙදී තේරුම් කරගත්ත මේ අසිරිමත් ධර්මය අද අපට පුළුවන් ඉතාම පහසුකම් සහිතව තේරුම් කරගන්න, සද්ධර්මය අහන්න, නිවසේ සිට වුවද අන්තර්ජාලය ඔස්සේ වුනත් පහසුවෙන් ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්. මෙම ධර්මයට ආගමක්,ජාතියක්, වර්ගයක් නැහැ. මෙය මානව ධර්මයක්. අප සියලු දෙනාම මේ මානව ධර්මය අවබෝධ කරගත යුතුයි. ඒක තමයි තමන්ගේ ජීවිතය සනහන ධර්මය, ජීවිතය සැපවත් කරන, සුවපත් කරන ධර්මය නිර්වාණය කියන්නෙ පරම සුවයක්, එය මැරුණාට පස්සෙ ලැබෙන දෙයක් නෙමෙයි. ජීවත්ව සිටියදී මනුෂ්‍යයෙකු ලබන දෙයක්.
නිවන කරා යෑමේදී තවත් සුවිශේෂී බලයක් තමයි සමාධී ඉන්ද්‍රිය කියලා කියන්නේ. සිතේ හටගන්නා ඒකාග්‍රතාවය සමාධිය කියලා අපට හඳුන්වා දෙන්න පුළුවන්. බෞද්ධයකු තුළ නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්න සමාධියක් ඇතිවෙන්න ඕනේ. ඉගෙන ගන්නා ළමයෙකුට අධ්‍යාපන කරුණු පිළිබඳව සමාධියක් ඇති කරගත් විට විභාගය ජයගන්න පහසු වෙනවා වගේම ධර්මය කෙරෙහි සමාධියක් ඇති කරගත් විට එය අවබෝධ කර ගැනීමට පහසු වෙනවා. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක්, වීර්යයක් සමාධි බලයක් ගොඩ නඟා ගැනීම කෙනෙකුට ඉතාම වැදගත්.
ඊළඟට සුවිශේෂීම කාරණය හැටියට අපට පෙන්නලා දීලා තියෙන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය. මෙය බුදුරජාණන් වහන්සේ ඉතාම අගය කළ ඉන්ද්‍රියක්. ප්‍රඥාව නමැති ඉන්ද්‍රිය හරිම වැදගත් මනුස්සයෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා මේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය ගොඩ නඟා ගන්න ඕනේ. ලෞකික ජීවිතය ගොඩ නඟා ගැනීමටත් ලෝකෝත්තර ජීවිතය ගොඩ නඟා ගැනීමටත් කුමක්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව යම් ස්ථානවලදී හඳුන්වලා දීලා තියෙන්නේ. ආලෝකයක් හැටියට ආලෝකයක් කියන්නේ යම්කිසි කාරණයක් පැහැදිලිව දැකීමේ ගුණයටය. තමන්ට ප්‍රත්‍ය වනදේ, ඇති දේ, වෙනස් වන දේ ආදියෙහි ස්වභාවය තමන්ට හඳුනාගැනීමට ඇති හැකියාවයි. උදාහරණයක් විදිහට තමන්ට තරහ ගිහින් නම් තියෙන්නේ එය අඳුනගන්න පුලුවන් වෙන්න ඕනේ. තරහා අඩු වෙනවා නම් මට තරහා අඩුවෙමින් යන්නේ කියලා පැහැදිලිව දැනගන්න ඕනේ. මගේ හිතට දැඩි ලෝභයක් ඇවිත් නම් ලෝභය ඇති වෙලා තියෙන්නේ ආදි කොට ගෙන ඇති මේ ස්වභාවික තත්ත්වයන් මනා කොට හඳුනා ගන්න පුළුවන් නම් එය තමයි ප්‍රඥාව කියන්නේ. එවැනි ප්‍රඥා ගුණයක් තියෙන අය සිතේ ඇතිවන ස්වභාවයන්ට මුලා වෙන්නෙ නැහැ.
යම් යම් කරුණු කාරණා පිළිබඳව තමන්ටම ස්වයං අධ්‍යයනයකින් වටහා ගැනීමට අවකාශයක් දෙමින් තමයි කෙනෙකු තුළ මේ ප්‍රඥාව කියන දෙය වඩන්න ඕනේ. උදාහරණයක් ලෙස බුදුහාමුදුරුවෝ චූලපන්ථක හාමුදුරුවන්ට සුදු රෙදි කඩක් ලබා දීලා පිරිසුදු වේවා කියමින් පිරිමදින්න කිවුවා.තමා පිටින් බැලුවිට මෙහි ඇති ධර්මයක් නැහැ. නමුත් යම් අධ්‍යයනයකින් පහළ වෙන ධර්මය හරි විශිෂ්ටයි. එම ක්‍රියාව රහතන් වහන්සේ නමක් බිහි කළා. ඒ නිසා ඉගෙන ගන්නවට වැඩිය මේ උගන්වන්න බැරි ධර්මය දකින්න අපිත් උත්සාහවත් වෙන්න ඕනේ. ඥානවන්ත වෙන්න ඕනේ. එවිටයි ප්‍රඥාව කියන උත්තරීතර ගුණය අප තුළ පහළ වෙන්නේ. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි ඕනෑම ගැටලුවක් ඇති වූ විට ගැටලුව හටගන්නේ කොතනින්ද ගැටලුව පවතින්නේ කුමක් නිසාද? ඒ වගේම එය සංසිදින්නේ කොහොමද? සංසිදීමේ මාර්ගය කුමක්ද කියලා නිවැරදිව තේරුම් ගැනීම ඒක හරියට දුක්ඛ, සමුදය, නිරෝධ ,මාර්ග වගේ. ප්‍රඥාවන්තයට තමයි චතුරාර්ය සත්‍ය මනාකොට වැටහෙන්නේ. අන්න ඒ ආකාරයෙන් ධර්මය තම ජීවිතය තුළ ගොඩ නඟා ගන්නා කෙනෙකුට, දියුණු කරගන්නා කෙනෙකුට තමයි මේ සද්ධර්මය කියන දෙය බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන්නේ. මිනිසුන් සතුට සොයන්නේ භෞතික දෙයින්, නමුත් භෞතික දේ තුළ සතුට නැහැ. සතුට පවතින්නේ ධර්මය තුළයි. ධර්මයෙන් සෙවූ විටයි කෙනෙකුට සතුට ලැබෙන්නේ. ආත්ම සංවේදී පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ ධර්මය තමා තුළින් මතුකර ගන්න. ඒ ආත්ම සංවේදී ධර්මය තුළින් හුදෙක් කරුණාව, මෛත්‍රිය, දයාව පමණක් නෙමෙයි කුමක්ද මේ සිත? කුමන ආකාරයකින්ද මේ සිත පවතින්නේ? කුමන ආකාරයකින්ද මේ ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල ධර්ම, කුසල ධර්ම හටගන්නේ. හිතේ ස්වභාවය කුමක්ද? හිතෙන් නේද සැනසිලිදායක තැනක් කියලා කල්පනා වෙන්නේ.
බුදු හාමුදුරුවෝ සොයා ගත්තා සිතේ සැනසිලිදායක තැන. අපට ඒක මතුකර ගන්න බැරිවුනා. අප මතුකර ගන්නේ බිය, සෝකය මසුරුකම, තරහව ආදී දේවල්. නමුත් මේ නිවීම කියන දෙය මතුකර ගන්නේ නැහැ. මාර්ග ඵල ඥානයක් උදා කර ගත්ත ඒ අෂ්ඨ ආර්ය පුද්ගලිකත්වය මතුකර ගන්නේ නැහැ. සැමදෙනාගේම සිත තුළ සැඟවී රහතන් වහන්සේ නමක් රහත් මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. නමුත් කෙලෙස් වලට යට වෙලා ඉන්නේ මතුවෙන්න විදිහක් නැහැ. ඒ රහත් ගුණය ඔබේ හිතෙත් තියෙනවා. මතුවෙන්නෙ නැත්තේ කෙලෙස් බර නිසා. ඔබේ හිතෙන් කෙලෙස් දියකර හැරියා නම් ඒ නිවන මතුකර ගන්න පුළුවන් වෙනවා. කොහොමද මේ කෙලෙස් දියකර හරින්නේ?
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ තත්තාකාර ධර්මය කියලා. මනසේ ඇති ස්වභාවය එමගින් පෙන්වා දෙනවා. ඒ නිසා තත්තාකාරය කියලා කියන්නේ මේ මනෝභාවයන් තුළින් සාදාගත්තා වූ අවිද්‍යා සහගත ස්වභාවයන් මනා කොට පෙන්වා දීමයි. එය තේරුම් ගැනීම සඳහා මනා කොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, වීර්ය ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, සමාධි ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කර ගනිමින් සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ධර්මය ගැඹුරින් සිතා බලා අධ්‍යයනය කරමින් තම ජීවිතයට ගලපා ගන්නවා නම් සද්ධර්මයේ ප්‍රතිලාභය අප සියලු දෙනාටම භුක්ති විඳින්න පුළුවන් වේවි!
ඇඹිලිපිටියේ ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර්
12 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment