මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්.
අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත් සෑම ආගමික භක්තිකයන් විතරක් නොවෙයි. කිසිදු ආගමක් අදහන්නේ නැති නිදහස් මත දරන වෙනත් ජන කොටස් පවා මරණය අත්දැකීමෙන් දැන හඳුනාගෙන ඒ කවුරුත් මරණයට භයෙන් ජීවත්වෙනවා. ඒනිසාම බුදුරජාණන් වහන්සේත් පැහැදිලිව දේශනා කරලා තිබෙනවා සියලු සත්වයෝ මරණයට භය වීම සාධාරණ දහමක් බව (සබ්බේ තසන්ති දණ්ඩස්ස) සබ්බේ භායන්ති මච්චුනො–) අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මරණය පිළිබඳ නිරන්තරයෙන් තැති ගෙන ජීවත්වෙනවා කියන මේ දහම පුහුදුන් අප සැම දෙනාටම රහසකුත් නොවේ.
සිතිවිලිවලින් පෙළෙමින්
ඒ විතරකුත් නොවෙයි. මරණයට දැන් අප කිට්ටු වෙනවා. දැන් අප ලෙඩ රෝගවලින් පෙළෙනවා. වයසටත් දැන් ගිහිල්ලා කියා සිතන බොහෝ දෙනෙක් අපේක්ෂාවන් හෙවත් අසහනකාරි සිතිවිලිවලින් පෙළෙමින් දුක් විඳිනවා. මානසික වශයෙන් අසහනයට පත්වෙනවා. තමන්ගේ සිත්වල බලපවත්නා රාගාදි අකුසලයන් බහුල වශයෙන් ක්‍රියාත්මකවීම මෙයට හේතුවයි. ඉතාමත් බරපතළ ලෙස සමීපව ආදරයෙන් වෙළිලා අඹුසැමි ජීවිත ගත කරන අය තුළ මෙය වඩාත් දැඩි වෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. ධනවත්ව විශාල මිල මුදල්, රන් රිදී, මුතු මැණික් වැනි වස්තූන් ගොඩගසාගෙන ඒවාට ඇලුම්කරන අයටත් මෙය දැඩි ලෙස බලපානවා. කුමක්ද? කියනවා නම් මම මැරුණාට පස්සේ මේ ධනයට කුමක් වෙයිද, මේ මගේ ව්‍යාපාරයට මොනවා වෙයිද? මගේ ආදරබර භාර්යාව වෙනත් පුරුෂයෙකු හා හාද වී කම්සැප විඳියිද? මගේ දරුවන් මගේ ව්‍යාපාර කටයුතු කාබාසිනියා කර ගනිවීද? මේ වාගේ විවිධ විපරීත අදහස් ඇතිවන්නේ අප යම් යම් දේ පිළිබඳ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන ජීවත්වීම නිසයි. මෙය මානසික වෛද්‍යවරයෙකුගේ පැත්තෙන් බැලුවොත් මානසික රෝගී තත්වයක්. බුදුදහමේ එන කරුණු අනුව බැලුවොත් අප තවදුරටත් යම් යම් දේ පිළිබඳ දැඩි ලෙස අල්ලා ගැනීමක්. සසර දිග් වීමට හේතුවක්. ඇත්තෙන්ම මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. ඒ වුණත් එම අදහස සිහිනයක් පමණක් වන්නේ අප ජීවත් වෙන හැම විටම ඇති කරගෙන තිබෙන බලාපොරොත්තු අපේක්ෂාවන් අප තුළ ගොඩක් තහවුරු වෙලා තිබෙන නිසයි.
නකුල පිතා
මේ සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දවස සිදුවීමක් දැන් මතකයට නඟා ගනිමු. මෙයින් කියැවෙන්නේ නකුල පියා ගැනයි. නකුල පිතූ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයකුත් දේශනා කරලා තිබෙනවා. එමෙන්ම මේ නකුල පියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වන දිනයේදී ම නකුල මාතාවත් සමඟ එනම් තමන්ගේ ආදරණීය භාර්යාවත් සමඟම සෝවාන් ඵලයට පත් ධාර්මික උවසුවෙක්. මේ දෙපළම ඉතා හොඳ ධාර්මික අඹුසැමි ජීවිතයක් ගත කළ දෙදෙනෙක්. ඒ විතරක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කර ඇදහිය යුතු උපාසකයන් අතර නකුල පියා ශ්‍රේෂ්ඨතමයා බවට පත් කළ කෙනෙක්. පසු දිනක නකුලපියාගේ නිවසෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහා දානයක් පිළිගන්වා අනතුරුව එකත් පසෙකට වූ මේ උපාසකතුමන් නකුල උපාසිකාවන් දෙස යොමු වී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස,මේ කියන නකුල උපාසිකාව මගේ පි‍්‍රයභාර්යාව මා හා සරණ පාවාගත් දින සිට මේ භද්‍රයෞවනයෙහි සිටි මා මේ වනතුරු මනසින්වත් වෙනත් කාන්තාවක් පිළිබඳ කිසිදු හැඟීමක් ඇති වූයේ නැහැ. අප ඉදිරි භවයේදීත් ඔවුනොවුන් දැකීමට කැමැත්තෙන් ජීවත්වෙන්නෙ” මෙසේ තම භාර්යාව පිළිබඳ ආදරබර සබැඳියාව බුදුරජාණන් වහන්සේට මේ උපාසකතුමා පෙන්වා දුන්නා. නකුල මාතාවත් සෝවාන් ඵලයට පත් උපාසිකාවක් වුවත් නකුල පියාට ඒ කී ආකාරයෙන්ම මහත් වූ බැඳීමකින් තමයි විවාහ දිවිය ගෙව්වේ. එමෙන්ම මේ දෙපළම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ භක්තියකින් වගේම වරක් භේසකලා වනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේට පළමු වරට දුටු අවස්ථාවේ සිට ම බුදුරජාණන් වහන්සේගේ දෙපා මතවැටී ඇඬු කඳුළින් වැඳ වැටුණේ තම දෙපළගේ දරුවෙකු යන හැඟීමෙන් බුදුරජාණන් වහන්සේට මහත් දරු සෙනෙහසක් පාමිනුයි. මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ මේ දෙපළගේ අතීත භවයන් මෙනෙහි කරන්නට වුණාම උන්වහන්සේට පෙනී ගියේ පෙරභවයන් ගණනාවක ම මේ දෙපළ තමන් වහන්සේට මව හෝ පියා වෙලාත් තවත් බාප්පා හෝ පුංචි අම්මා , මහප්පලා හෝ මහම්මා වෙලා සසර ඉපදී ඇති බවයි. මේ ආකාරයෙන් මේ සසර දීර්ඝ කාලයක් තුළ පැවැති මේ සෙනෙහස මේ භවයෙහිද තිබෙන ආකාරයයි. මේ නිසා මේ ශාසන ඉතිහාසයෙහි නකුල මවත් නකුල පියාත් සුවිශේෂ බෞද්ධ චරිත දෙකක් බවට පත්වෙනවා.
නකුල මවගේ කලණමිතු ඔවදන්
ඒක එහෙම වුණත් සෝවාන් ඵලයට පත්ව සිටි මේ නකුල පියා මරණ මංචකයට වැටුණ අවස්ථාව උදා වුණා. අන්න ඒ අවස්ථාවේ බුද්ධිමත් වූ සැදැහැති සෝවාන් ඵලයෙහි ද පිහිටා සිටිය නකුල මාතාව තම ස්වාමිපුරුෂයාට කරන අවවාදය කොතරම් බුද්ධිමත් ලක්ෂණවලින් යුක්ත ද යන්න අපට පැහැදිලි වෙනවා.මේ අවවාද වලින් කියැවෙන අර්ථය අද දවසේ දහසකුත් බලාපොරෙත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන සසර කල් යවන අපට හුඟක් වැදගත් වෙනවා. දැඩිව රෝගීව මරණමංචකයට පත්ව සිටින තම ස්වාමිපුුරුෂයා ළඟට ඇය ගියේ තවත් ඇය ගැන වෙනත් රාගාශි‍්‍රත හැඟීමක්වත් තම පුරුෂයාට ඇති වුවහොත් එයද ඔහුගේ සසර දුක විඳීමට හේතුවන බව තේරුම් ගෙන බව අපට පේනවා.ඇය තම ස්වාමිපුරුෂයාට කියනවා පින්වත් ස්වාමීනි , නුඹ දැන් බොහොම අසාධ්‍ය තත්වයෙන් තමා පසුවන්නේ, අප හැම දෙනා වගේ නුඹත් මෙලොව අත්හැරදාලා පරලොව යනවා. ඒක කාටවත් වළක්වාලන්නටත් බැහැ. හැබැයි අප මිය යන අවස්ථාව වෙනකොට අප තවදුරටත් අපේක්ෂාවන් ඇති කරගෙන තෘෂ්ණාවෙන් හෝ වෙනත් අකුසල සිතිවිලිවලින් පෙළෙමින් කලුරිය කිරීම සසර දුක් ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා මොන විදියකින්වත් දැන් මේ භවයෙහිදී ඇලීම් බැඳීම් හා බලාපොරොත්තු ඇති කර ගන්න එක කොහොමත් සුදුසු දෙයක් නොවෙයි. මෙවැනි අවස්ථාවක නුඹට විවිධ සිතිවිලි ඇතිවෙන්නට පුළුවනි. නුඹට එන්නට ඉඩ තිබෙන සිතිවිලි මෙන්න මේ වගෙයි . ‘මම මියගියාට පස්සේ මගේ මේ භාර්යාව නකුල මාතාවට මේ දරුවන් ටික රැක බලාගෙන ඉදිරි කාලය ගත කරන්නට හැකියාවක් නැති වේවි. මට වගේ කපු කටින්නට එළුලොම් සපයා ගෙන ඒවායින් පලස් ආදිය කරලා ඒවා මිල කරලා යමක් උපයා ගන්නටත් නකුල මාතාවට නො හැකි වුණොත් අනේ,ඇය කොහොමද, මේ දරුවන් ටික රැකබලාගෙන ඇති දැඩි කරන්නේ කියා සිතේවි. කවදත් මගේ මේ භාර්යාව මා මිය ගියාට පස්සේ මෙච්චර කාලයක් එකට ආදරයෙන් බ්‍රහ්මචර්යාවද රකිමින් ජීවත් වූ වත් මා නැති නිසා මා වෙනත් පුරුෂයන් සොයා ගොස් සතුටු වේවි” කියා සිතලා ඒ ගැන කුකුසක් ඇති කරගන්නටත් එපා. එයත් සසරට මහ දුකක්. මා මේ වර්ෂ දාසයක සිට රැක්ක බ්‍රහ්මචරියාවේ කිසිදු වෙනසක් මොන විදියකින්වත් ඇතිවන්නේ නැහැ. තවත් නුඹට සිතෙයි. “මා මළපසු මේ නකුල මාතාව බුදුරජාණන් වහන්සේ දකින්නට නො යාවි, භික්ෂූන් වහන්සේලා දකින්නට විහාරයට නො යාවි” මෙහෙම සිතන්නටත් එපා. මම එතකොට වැඩියෙන් මත් විහාරස්ථානයට ගිහින් බුදුන් දකිනවා. මහා සංඝයා වහන්සේ දකිනවා. තවත් නුඹට සිතන්නට පුළුවනි. “මා මැරුණාට පස්සේ මේ මගේ නකුල මාතාව ශීලය මනාව නො රකියිද? එහෙම හිතන්නටත් එපා. මම මේ සුදුවත් දරමින් සිල් පුරන අනික් උපාසක උපාසිකාවන් වගේ නෙවෙයි. ඊට වඩා තරමක් වෙනස්ව මහත් සැලකිල්ලකින් සිල් ආරක්ෂා කරන තැනැත්තියක්. එහෙම නුඹට සැකයක් තිබෙනවා නම් අපි මේ ළඟ සුසුංමාරගිිරියෙහි භේසකලා වනයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගනිමු. තවත් හිතෙන්නට පුළුවනි.”මේ මගේ නකුල මාතාව මා මළ පසු සිතේ සමාධියක් ඇති කරගන්නට නො හැකිව දැන් මේ වෙනකොටත් තිබෙන චිත්ත සමථය පලුදු කර ගනීවි.ආධ්‍යාත්මය බිඳ වැටේවි” කියලා එහෙම හිතන්නට එපා. මමත් සේ සුදුවත් හැඳගෙන සිල් සමාදන් වෙලා චිත්ත සමථය ඇති කරගන්නට භාවනාවෙහි යෙදෙන අනිත් සිල් පූරණ භාවනා කරන උපාසක උපාසිකාවෝ වගේ නෙමෙයි. ඒ ගණයට දාලා හිතන්නට එපා. ඊට වඩා වෙනස් ආධ්‍යාත්මයක් තිබෙන කෙනෙක්. තවත් නුඹට සිතෙන්නට පුළුවනි. “මේ නකුල මාතාව ‘දැනටමත් ඇගේ දියුණු වී පවතින ධර්මවිනය පිහිට කොට මමය මාගේය කියන මේ දැකීමෙන් මිදිලා බුද්ධාදී උතුමන් ගැන නොබිඳෙන සැදැහැ ඇතිව ඒ කරුණු ගැන සැක හැරලා, වෙනත් පිහිටක්, වෙනත් දහමක් වැරදි ලෙස අදහන තත්වයකටවත් පත් වෙයිද?”කියා සිතාගන්නටත් පුළුවනි”.මේ විදියට ඔබ හිතලා සසර දුකක් කර ගන්න එපා. මම මේ දක්වා වැඩූ ආර්ය ගුණබලයෙන් ඔබට රෝගී තත්වය තරමක් යටපත් කරගෙන නැඟිට සිටින මට්ටමට සත්‍යක්‍රියා කරනවා කියා ඇය අධිෂ්ඨාන කළා. ඒ අවස්ථාවේ ඇයගේ ඒ සත්‍යක්‍රියාවෙන් නකුල පියා සයනයෙන් නැඟී සිටියා.
බුදුරදුන් හමුවීම
මෙතෙක් ඇති වූ මේ සැක දුරු කර ගැනුමට බුදුරජාණන් වහන්සේ දකින්නට කතිකා කර ගෙන භේසකලා වනයට ගියේ බුදුරජාණන් වහන්සේ හමුවන්නටය, මෙසේ ගිය මේ දෙදෙනා මේ ගැටලුව උන්වහන්සේට ඉදිරිපත් කළ විට බුදුරජාණන් වහන්සේ වදාරනවා “නකුල පියාණෙනි,මේ නකුල මාතාව නුඹට ලැබුණේ නුඹේ මහත් වාසනා ගුණයක් නිසයි. නුඹට අනුකම්පාවෙන් ඔය ලබා දුන් අවවාද අදහා ගන්න. ඇය වෙනත් සුදුවත් හැඳගෙන සිල් පුරණ අය හා සමකරලා සිතන්න එපා. ඇය සුවිශේෂ උපාසිකාවක් කියලා. ඒ නිසයි නුඹට ලැබුණ මහත් ලාභයක් මේ නකුල මාතාව කියලා මම කියන්නේ.”
දැන් මේ කියපු නකුල මාතාව මිය යන්නට සූදානම් වන ස්වාමි පුරුෂයාට මොන තරම් කල්‍යාණ මිත්‍ර ගුණ ඇති තැනැත්තියක් වූවා දැයි සිතා බැලීමයි අපට වැදගත් වන්නේ. ඇය උතුම් භාර්යා ගුණ ඇති පුුරුෂයාට මාතුසම. එහෙම නැත්නම් මවක් වගේ, සඛීසම මිතුරියක් වගේ. දාසිසම, දාසියක් වගේ, භගිනිසම, සහෝදරියක් වගේ උතුම් ගුණ ඇති භාර්යාවක් නොවේද? මරණාසන්න අයෙකුට පහළ විය හැකි ඔවැනි සිතිවිලි අප ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇති වෙලා අපේ සසර ගමනත් දිගුවන්නට පුළුවන් නිසා අප කවුරුත් බොහොම සීරුමාරුවෙන් පරිස්සමෙන් මෙම භවයෙහි සුවිශේෂ කල්‍යාණ මිත්‍ර භජනයට යොමුවීමේ වැදගත්කම මෙයින් හොඳට ම අපට පැහැදිලි වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි
No comments:
Post a Comment