Labels

Thursday, October 22, 2015

දිවිය කිලිටි කරන මලකඩ


යකඩයෙන්ම හටගත් මලකඩ ඒ යකඩය පුරාම පැතිරී ගොස් එය විනාශ කර දමන බව එම ගාථා පදවලින් පැහැදිලි වෙනවා. එමෙන් සමහර උදවිය තමන්, තමන්ගේ ජීවිතයට මලකඩක් වී තමන් ම විනාශයට පත්වෙනවා.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨාන මලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදො රක්ඛිතො මලං
මලිත්ථියා දුච්චරිතං
මචෙඡරං දදතො මලං
මලාවේ පාපකා ධම්මා
අස්මිං ලොකෙ පරම්හි ච  


කාරුණික පින්වතුනි!

මල බඳිනවා, මල අල්ලනවා. මලකඩකනවා මේ අන්දමට සමාජයේ නිතර නිතර භාවිතාවන වචන සමූහයක් තිබෙන බව අපි දනිමු. යමක් හෝ යමෙක් විනාශවීමට මේ මල බැඳීම හේතුවෙනවා. කොතරම් ශක්ති සම්පන්න යකඩයක් වුවත් මල බැඳීම හේතුවෙන් විනාශයට පත්වෙනවා.

‘අයසාච මලං සමුට්ඨිතං
තදුට්ඨාය තමෙව මාදති’ 

 
යකඩයෙන්ම හටගත් මලකඩ ඒ යකඩය පුරාම පැතිරී ගොස් එය විනාශ කර දමන බව එම ගාථා පදවලින් පැහැදිලි වෙනවා. එමෙන් සමහර උදවිය තමන්, තමන්ගේ ජීවිතයට මලකඩක් වී තමන් ම විනාශයට පත්වෙනවා.
පින්වතුනි! අපේ ජීවිතවල මල බැඳෙන, මල අල්ලන කරුණු කීපයක් ඉහත සඳහන් කළ ගාථාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

මෙහි සඳහන් පළමු ගාථාවෙන් පෙන්වාදෙන්නේ නිතර නිතර භාවිතා නොකිරීමෙන් යම් යම් කරුණු අමතකව යනවා, එය හරියට අපේ මතක ශක්තියට මල බැඳුනා හා සමානයි. මන්තර, ගාථා, ශ්ලෝක කවි ආදිය වරක් දෙවරක් කියවූවට ඒවා මතක තබා ගැනීම අපහසුයි. එම නිසා එම මන්තර ගාථා ආදිය නිතර නිතර භාවිතා කළ යුතුයි. ළමා කාලයේ දී අපි භාවිතා කළ කවි, ගාථා ආදිය තවමත් අපට මතක තිබෙන්නේ ඒවා නිතර නිතර භාවිතා කරන නිසයි. ඇතැම් දේවල් අමතකව ඇත්තේ නිතර ඒවා භාවිතා නොකිරීම හේතුවෙනි. කවි, ගාථා, පිරිත් සූත්‍ර ආදිය නිතර නිතර භාවිතා නොකිරීමෙන් ඒවා සියල්ල අමතකව යනවා.

පින්වතුනි, බුද්ධ කාලයේ වැඩ සිටිය හාමුදුරුවන් වහන්සේ නමක් තමයි. ලාලුදායි තෙරුන්වහන්සේ, දිනක් මුන්වහන්සේ සැරියුත් මුගලන් දෙනමගෙන් බණ අසා උන්වහන්සේලාගේ ගුණ කියමින් යන පිරිසක් මුණ ගැසුනා. ඒ අයට මේ හාමුදුරුවෝ කියනවා. සැරියුත්, මුගලන් දෙනටම විතරක් නොවෙයි මටත් හොඳට බණ කියන්න පුළුවන් කියල. ඒ මිනිස්සුත් හිතුවා එහෙනම් මේ හාමුදුරුවොත් දක්ෂ ධර්ම කථිකයෙක් වෙන්න ඇති මුන්වහන්සේටත් බණ කියන්න ආරාධනා කරන්න ඕනෑ කියලා. මේ විදියට සිතා මේ අය ලාලුදායි හාමුදුරුවන් වහන්සේට බණ දේශනාවක් සඳහා ආරාධනා කළා. මේ හාමුදුරුවන් වහන්සේත් ඒ නියමිත දවසේ ධර්ම ශාලාවේ පනවා තිබූ ආසනයට වැඩම කර බණ දේශනා කරන්න පටන් ගත්තා. නමුත් ගාථා එකක් වත් මතක නැතිව වැඩ සිටිය, මිනිසුන් කළබල වුණා. මේ හාමුදුරුවෝ කියනවා. පින්වතුනි! මම හෙට බණ කියන්නමි අද බැහැ කියලා. පසු දිනත් එසේම බණ කියන්න ගොස් ගාථා අමතකව බණ කියන්න නොහැකි වුණා. මෙහෙම කීපවරක්ම ලාලුදායි හාමුදුරුවන්ට බණ කියන්න බැරි වුණ පුවත බුදුරජාණන් වහන්සේටත් දැන ගන්න ලැබුණා. එතනදී බුදුරජාණන් වහන්සේ ඉහත දැක් වූ ගාථා දේශනා කරමින් නිතර නිතර භාවිතා නොකිරීම නිසා උන්වහන්සේට බණ දේශනා කරන්න නොහැකි වුනු බව වදාළා. එමෙන්ම, පින්වතුනි තවත් අපේ ජීවිතවලට බැඳෙන මලකඩ වර්ග කීපයකුත් එම ගාථාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව තවත් මල බැඳෙන දෙයක් වන්නේ, තම ගෙදර දොර වල අපිරිසුදු කමයි. එය සිදුවන්නේ උනන්දුව උත්සාහය අඩුවීමයි. නිවෙස් හා අවට පරිසරය පිරිසුදු නොවීමෙන් ඒ සැමට මල බැඳුනා හා සමාන වෙයි. එයට ප්‍රධාන හේතුව ඒ ගෙවල්වල සිටින අයගේ උනන්දුව අඩුවීමයි. ඊළඟට පෙන්වා ඇත්තේ, තම ශරීර වර්ණය රැක ගැනීමට යමෙක් කම්මැලි වීම ශරීරය මලබැඳීමක් වීමයි. දිනපතා දත් මැදීම, මුහුණ සේදීම, ස්නානය කිරීම අත්‍යවශ්‍යයි. යම්කෙනෙක් ඒ සඳහා අලසකමක් කම්මැලිබවක් දක්වන්නේ නම් එය ඔහුගේ සිරුරට මලකඩ එකතු කර ගත්තා හා සමාන වේ. මීළඟට දක්වා ඇත්තේ, යමක් ආරක්ෂා කරගන්නාට පමාවීම මල කඩක් වන බවයි. යම් යම් ආරක්ෂා කරගත යුතු දේවල් රැක ගැනීමට ප්‍රමාදවීමෙන් ඒවා විනාශ වීමට අහිමි වීමට හේතුවෙයි. එයත් මල බැඳීමක් හා සමාන වෙයි.

පින්වතුනි, දෙවෙනි ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ දුසිරිතෙහි යෙදීම ස්ත්‍රීන්ට මලකඩක් වන බවයි. යම් ස්ත්‍රියක් වැරදි ක්‍රියාවල යෙදෙමින් දුෂ්චරිතවත් ජීවිතයක් ගත කරයි ද, ඇය සමාජයෙන් පිළිකුල් කරයි. ඒ නිසාම ඇගේ ජීවිතයට කිලුටක්, මල බැඳීමක් සිදුවේ. එබැවින් කාන්තා පක්ෂය හැකිතාක් දුරට සුචරිතවත් වීමට සිතට ගත යුතුයි. යමක් යමෙකුට දීමට නොහැකිවීම මසුරු කමයි. ලෝභ කමයි. එයත් විශාල මලකඩක්, මසුරුකම් අතහැර දීමනාව පුරුදු පුහුණු කළ යුතුයි. එය දෙලොවම යහපතට හේතුවෙයි.
මෙම ගාථාවලින් පෙන්වා දී ඇති මලකඩ වර්ග අතහැර නිර්මල ජීවිත ගත කිරීමට අදිටන් කර ගනිමු.



පේරාදෙණිය, උඩඊරියගම, දෙවෙල්කොණ,
පුරාණ විහාරවාසී,
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
දුම්බර සෝරත හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 20 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment