Labels

Sunday, October 4, 2015

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට


උස් ප්‍රාසාදයකට නැගුණු අයෙකුට පහළ සිටින ජනතාව හොඳින් දකින්න පුළුවන්. එහෙත් එතනට පෙනෙන්නේ මතුපිට දසුන පමණයි. ඒ මේ අත යන එන චලන මිනිසුන් දෙස මතුපිටින් දැකල, කලු සුදු හෝ තලෙලු බව හඳුනා ගන්න පුළුවන්. ඔවුනොවුන්ගෙ ගමන් වේගය දකින්නත් පුළුවන්. එකිනෙකා තුළ පවත්නා උස් මිටිකම් හඳුනා ගන්නත් පුළුවන්. ඒත් ඒ සම්පූර්ණ දැකීමක් නොවෙයි.
ඒ වගේම පැහැදිළිම දැකීමකුත් නොවෙයි.
ඒත් ප්‍රඥාවන්ත කෙනෙකුගේ දැකීම ඊට වඩා වෙනස්. සාමාන්‍ය ජනතාව සිතන මතන පිළිවෙල ඔහුට වැටහෙනව. අන් අය විසින් කියන ලද දේ වගේම නොකියන ලද දේත් තේරුම් ගන්න ඔහුට පුළුවන්. හැසිරීම්වල සරු නිසරු බවත් අවබෝධයෙන් දකිනව. ඒ වගේම කුසල් අකුසල් වෙන් වෙන්ව දැනගන්නත් හැකියාව ලැබෙනව. කුසල විපාක අකුසල විපාකත් අවබෝධයෙන් දැන ගන්නව. ඒ දැකීම පැහැදිලියි. ඒ වගේම සම්පූර්ණයි.
ඒ නිසාම ප්‍රඥාවන්තයා අකුසලින් බැහැර වෙනව. කුසල් දහම්හි නිරත වෙනව. තමාගේ වර්තමාන සතුට ආරක්ෂා කර ගන්නව. අනාගත දුගති බිය නැති කර ගන්නව. බොහොම ඉක්මනින් සසර ජය ගන්න ඔහුට පුළුවන් වෙන්නෙ ඒ නිසයි. ඊට පස්සෙ අකුසල් සිත් පහළ වෙන්නෙත් නැහැ. අන් අය තමා කෙරෙහි කවර ප්‍රතික්‍රියා දැක්වූවත්, මෙරමා කෙරෙහි තමා තුළ හටගන්නෙ කරුණා මෛත්‍රී ස්වභාවයක්.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ දවසේ බුද්ධගයාවේ ඇසතු රුක් සෙවනෙදි පහළ කරගත් එක් නුවණක් තමයි, පුබ්බේ නිවාසානුස්සති ඥානය. අනාදිමත් කාලයක් තිස්සේ සසර සැරි සරණ සත්වයාගේ අතීතය දැකීමට ඒ නුවණින් පුළුවන්. ඒ දැකීමත් පරිපූර්ණ එකක්. ඉපදුන වාර ගණන සංඛ්‍යාත්මකව කියන්න බැරි තරම්. ඒත් සසර ගත සත්වය උපදින මැරෙන ස්ථාන තියෙන්නෙ 31 යි කියල බුදු නුවණට පෙනුන.
මේ තල තිස් එකේම වෙන් වෙන් වශයෙන් සත්වයා උපදින්නෙ වෙනත් කිසිවෙකුගෙ බලපෑමකින් නොවෙයි. තමාගෙම කර්මයේ බලපෑමෙන්. ඒ බව දකින්න පුළුවන් නුවණක් වෙසක් පොහෝ දවසෙ මැදියම් කාලයෙදි උන්වහන්සේට පහළ වුණා. ඒ චුති උපත දකින චුතුපපාත ඤාණය. ඒ නුවණින් උන් වහන්සේට දකින්න පුළුවන් වුණා උත්පත්තිය කියන්නෙම කර්මයක් බව. ඒ උපතේ තියෙන හීන ප්‍රණීත බවත් කර්මයමයි. තමා අතහැර නොයන හොඳ හෝ නරක නෑයා වෙන්නෙත් ඒ කර්මයමයි. ඒ වගේම සත්වයාට පිළිසරණ පිණිස පවත්වන්නෙත් කර්මයමයි. ඒ අවබෝධය බුදු කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට පහළ වෙන්නෙ නැහැ.

දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවා කාලෙ සැවැත්නුවර පිණ්ඩපාත චාරිකාවෙ යෙදුණ. ප්‍රමාණවත් පිණ්ඩාහාර ලැබුණට පස්සේ පිණ්ඩපාත චාරිකාව අවසන් කරල පිප්ඵලී ගුහාවට වැඩම කළා. ටික වෙලාවකට පස්සෙ උන්වහන්සේ ආලෝකයක් පතුරවා හැරල දිය, ගොඩ, කඳු හෙල් අතර ප්‍රමාදීව සහ අප්‍රමාදීව කටයුතු කරල කර්මානුරූපව උපදින මැරෙන සත්වයන් දෙස දිවැසින් බලමින් හිටිය.
එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙ දෙව්රම් විහාරෙ. උන්වහන්සේ ඒ වෙලාවෙ බැලුව මගේ පුත්‍ර මහා කාශ්‍යපයන් වහන්සේ මේ වෙලාවෙ කිනම් විහරණයකින් වාසය කරනවද කියල. එතකොට උන්වහන්සේට පේනව, කාශ්‍යප මහරහතන් වහන්සේ ආලෝකය උපදවගෙන කර්මානුරූපව උපදින මැරෙන සත්වයන්ගෙ චුතිය හා උත්පත්තිය බලමින් සිටින බව.

ඒ හැම එකක්ම උන්වහන්සේට අවබෝධයෙන් දකින්න පුළුවන් වුණා. ඇතැම් සත්වයන් මව්පියන් නොදැනම මව්කුසේ ඉපදින බවත් මව්පියන් නොදැනම මැරී යන බවත්. ඒ යථා ස්වභාවය බුදු කෙනෙකුට හැර වෙනත් කිසිදු අයෙකුට දක්නට නොලැබෙන දෙයක්. ඒ වගේම ගණනය කළ නොහැකි තත්ත්වයක්. ඒ නිසා මහා කාශ්‍යපයන් වහන්සේ තුළ පවතින්නේ අසම්පූර්ණ දැකීමක්.
බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙත ආලෝක ධාරාවක් යොමු කළා. උන්වහන්සේ ඉදිරියෙ ඉඳගෙන බණ කියනව වගේ රූප කයක් මවාගෙන මෙහෙම දේශනා කළා.
“පින්වත් කාශ්‍යප, මැරෙන උපදින සත්වයා පිළිබඳ ඔබගේ දැනීම අල්ප මාත්‍රයි. ඒක බුදු කෙනෙකුටම පමණක් විෂය වන කරුණක්. ඔබේ දැක්මට හසු නොවෙන අප්‍රමාණ සත්වයන් චුත වෙමින් උපදිමින් සිටනව. ඒ නිසා ඔබේ දැකීම අසම්පූර්ණයි” මෙහෙම අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ ගාථාවකුත් දේශනා කළා.

“පමාදං අප්පමාදේන
යදානූදති පණ්ඩිතෝ
පඤ්ඤාපාසාදමාරුය්හ
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝව භුම්මට්ඨෝ
ධීරෝ බාලේ අවෙක්ඛතී” 

 
ඒ ගාථාවෙ තේරුම අවබෝධ කර ගැනීමත් ඉතාම වැදගත්. “නුවණැති පුද්ගලයා යම් දවසක අප්‍රමාදය බලවත් කරල ප්‍රමාදය දුරු කරනවද, එදාට ඔහු ප්‍රඥාව නමැති ප්‍රාසාදයට නැඟල, සෝක රහිතව ඉඳගෙන ප්‍රාසාදය පාමුල සිට සෝක කරණ සත්වයන් දකින්නට පටන් ගන්නව. එතකොට ඒ නුවණැති පුද්ගලයාට සෝක කරමින් සිටින සත්වයන් පේන්නෙ, කඳු මුදුනක සිටින කෙනෙකුට පහළ සිටින අය පේනව වගේ.”

හැබැයි උපමාවක් කියන්නෙ සර්ව සම්පූර්ණ එකක් නොවෙයි. එක පැත්තකින් පමණක් යමක් පිළිබඳව සමානත්වයක් පෙන්වන්න යොදා ගනු ලබන එකක්. අප තේරුම් ගත යුත්තේ ඒ සමීප අර්ථය විතරයි. මේ උපමාවත් ඒ වගේ තේරුම ගත යුත්තක්.
මුලින් සඳහන් කළා වගේ ප්‍රාසාදයක් කියන්නෙ උස් තැනක්. උස් තැනකට නැඟ ගත්තම පහළ සිටින අය පේනව. ඒ භෞතික උපමාව යොදා ගන්නෙ ආධ්‍යාත්මික දෙයක් විස්තර කරන්න. ප්‍රඥාව කියන්නෙ භෞතික දෙයක් නෙවෙයි. ප්‍රඥාව කියන්නෙ උසස් තත්ත්වයක්. මෙලොව පරලොව දෙලොවම ජය ගන්නෙ ප්‍රඥාවෙන්. සසර දුක් නිවාලන්නෙත් ප්‍රඥාවෙන්. ඒ ප්‍රාසාදයට නැඟ ගත්තට පස්සෙ ප්‍රඥා ප්‍රාසාදය පාමුල සිටින අය එහෙම නැත්නම් ප්‍රඥාව නැති අයගේ ස්වභාවය තමාට හොඳින් පේන්න පටන් ගන්නව. බුදුරජාණන් වහන්සේට චුතුපපාථ ඤාණය ඇති වූ වෙලාවෙ දුගතියෙන් අත නොමිඳුණු සසර දුක නොහඳුනන සත්වයා කෙරෙහි මහා දයානුකම්පාවක් ඇති වුණා කීවෙ ඒකයි.

ලෞකික ප්‍රඥාව හා ලොව්තුරු ප්‍රඥාව වශයෙන් ප්‍රඥාවෙ කොටස් දෙකක් තියෙනව. කාමාවචරාදී සිත් හා බැඳුණු ප්‍රඥාව ලෞකික ප්‍රඥාව කියල හඳුන්වනව. සෝවාන් ආදී අට වැදෑරුම් මඟඵල හා බැඳුණු ප්‍රඥාව ලොව්තුරු ප්‍රඥාව කියල හඳුන්වනව. ප්‍රඥාව කියන්නෙ ආලෝකයක්. ඒ ආලෝකයෙන් පේන්නෙ සඳඑළිය නිසා හෝ හිරුඑළිය නිසා හෝ ගින්දර එළිය නිසා හෝ අපේ ඇසට පේන දේ විතරක් නොවෙයි. ඇසට නොපෙනෙන තමාගෙ අභ්‍යන්තරයත් ප්‍රඥාවට පේනව. පෙර මාගෙ යථා ස්වභාවයත් පේනව. ලෝක යථාර්ථයත් පේනව. ඒ නිසාමයි ප්‍රාසාදයකට නැඟුණ වගේ පහළ සිටින අය පේනව කියන්නෙ.

ප්‍රඥාවේ ආලෝකය ඇතිවීමට බලපාන කරුණු හතරක් ධර්මයේ පෙන්වා දෙනව. පළවෙනි එක සද්පුරුෂ ආශ්‍රය, දෙවැන්න සද්ධර්ම ශ්‍රවණය, තුන්වැන්න යොනිසෝ මනසිකාරය, හතර වැන්න ධර්මානු ධර්ම ප්‍රතිපදාව. සද්පුරුෂයන් අතර අප ජීවත් වුණත්, ආශ්‍රය කළේ නැත්නම් ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ. අදනම් ධර්ම ග්‍රන්ථයක්, ධර්මය ඇතුළත් සංයුක්ත තැටියක් වුණත් ඇසුරට උචිත සද්පුරුෂයන් සේ සැලකීමේ වරදක් නැහැ. ඒත් පොත පත හෝ සංයුක්ත තැටිය හෝ ඇසුරු කළේ නැත්නම් ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ. විෂයානුබද්ධ දැනුම් ලබාගෙන උගත්කම ඇතිකර ගන්න පුළුවන් වුණත් ප්‍රඥාව ඇති වෙන්න නම් ධර්මය ඇසීමත් ධර්මය කියවීමත් කළ යුතුමයි.

සාමාන්‍ය ජීවිතයේ දී පවා අකුසල් නූපදින ආකාරයට, කුසල් වැඩෙන ආකාරයට නුවණින් විමසා බලා කටයුතු කිරීම යෝනිසෝමනසිකාරය කියල කියන්නෙ. අසා දරාගත් දහමට අනුවම ජීවිතය මෙහෙයවීම ධර්මානුධර්ම ප්‍රතිපදාව වෙනව. මේ කරුණු හතර ප්‍රඥාව ඇති කරන්න හේතු වෙනවා. ඒත් සිහියෙන් අප්‍රමාදීව නොසිටියොත් මේ කරුණු හතර සිදුවෙන්නෙ නැහැ. එහෙනම් ප්‍රඥාව කියන්නෙ ප්‍රාර්ථනා කළාට ලැබෙන දෙයක් නොවෙයි. අප්‍රමාදීව ආයාසයෙන් දියුණු කර ගත යුත්තක්. එදා පිප්ඵලී ගුහාවේදි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කළ ධර්ම දේශනාව බොහෝ දෙනෙකුගේ ප්‍රඥාව තව තවත් අවදි කළා. අප්‍රමාදීවම කල් ගෙවන්න ඒ අයට ඒ දේශනාව මහත් පිටුබලයක් බවට පත් උනා. නොපමාවෙන්ම සත

පමා බව නැසුවොත් සිත
ඔවුන්ගේ ජීවිත
සාර ඵලයෙන් පිරී යනු ඇත
ප්‍රඥාව පහයකි
දිනුවොත් එතැන සැපයකි
පහය යට දත හැකි
දනන් අනුවන බවෙන් නොවැළකි
සෝක නැති මෙලොවද
පරලොවද පිනකින් ලද
සැබෑ සුව විඳ විඳ
දිවි ගෙවනු ඇත ලෙවන් පුද මැද 





කැලණිය, වේවැල්දූව,
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment