Labels

Tuesday, October 20, 2015

බුදුරජාණන් වහන්සේගේ ධර්මය වීර්යවන්තයින් උදෙසායි


බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ ස්වයංභූ ඤාණයකින් ධර්මය අවබෝධ කරගෙන යි. ඒ විදියට ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ මේ ලෝකයෙන් නිදහස් වුණා.
උන්වහන්සේගේ බුද්ධ දේශනාවල ‘කළකිරීම’ ගැන විග්‍රහ කරනවා.
ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව කළකිරුණොත් තමා අපි එය අත්හරින්නේ. ඒ වගේම උන්වහන්සේ ගේ ධර්මයේ ‘යථාභූත ඤාණය’ ගැන විග්‍රහ කරනවා. ඒ කියන්නේ යම් දෙයක ඇත්ත ස්වභාවය තේරුණොත් පමණයි අපට ඒ දෙය අත්හරින්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි ඒකට අහුවෙලා යනවා. නමුත් මෙහිදී හොඳ දෙයක් ගොඩ නගන්න, හොඳ දෙයක් දියුණු කරන්න, හොඳ දෙයක් පවත්වන්න වුවමනා කරන ප්‍රධානම පුණ්‍ය බලවේගය තමා වීර්ය කියන්නේ. යම් කෙනෙකුට වීර්ය නැත්නම් ඔහුට මේ ධර්මයේ කරන්න කිසිදෙයක් නැහැ. ධර්මයේ හැම දෙයක්ම ගොඩ නැඟෙන්නේ වීර්ය මතයි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ යාමේදී විශේෂයෙන්ම උදව් කරන කරුණු තුනක් ගැන දේශනා කර තියෙනවා. ඒ තමා ‘සම්මා දිට්ඨිය’. ඒ කියන්නේ ආර්ය සත්‍යය අවබෝධයට ඉලක්ක කරගත් දැනුම. ඊළඟ එක ‘සම්මා සතිය’ අනෙක ‘සම්මා වායාමය’. මේ එකක්වත් උත්සාහයකින් තොරව කරන්න බැහැ. අපට මේ දහම් කරුණු දිහා බලද්දී පේනවා බුදුරජාණන් වහන්සේ උත්සාහය ගැන කොතරම් දුරට පෙන්වා දී තියෙනවාද කියා. සාමාන්‍ය මනුෂ්‍යයාට ලෞකික කරුණකදී වීරියෙන්, දැඩි කැපවීමක් කරන්න ඕන. ළමයෙක් විභාගයකට පාඩම් කරන්න, ගොවිතැන් බතක් කරන්න, ගෙයක් දොරක් පිරිසිදුව තියාගන්න කොයිතරම් වීර්යක් ඕනද? එහෙම නම් එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහාත් කම්මැලිකමට ඉඩනොදී ඒ දේවල් කරන්න ඕන.

බුදුරජාණන් වහන්සේ ‘කුසීත’ කියන වචනය පාවිච්චි කරන්නේ හීන වීර්ය තිබෙන කෙනාට. යම් කෙනෙකුට හීනවීර්ය ඇතිවෙනවා කියන්නේ ඔහු උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීර්ය ගන්නේ නැහැ. නූපන් අකුසල් නූපදවීමට වීර්ය ගන්නේ නැහැ. නූපන් කුසල් උපදවන්න වීර්ය ගන්නෙත් නැහැ. උපන් කුසල් දියුණූ කරගන්න වීර්ය ගන්නෙත් නැහැ. ඔහුට තිබෙන්නේ හීනවීර්ය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හීනවීරීය කිසිසේත් ප්‍රශංසාවට ලක්වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මය තුළ ප්‍රශංසාවට ලක්වෙන්නේ ආරද්ධ වීර්ය යි. ආරද්ධ වීර්ය කියා කියන්නේ අරඹන ලද, පටන් ගත් වීර්ය, ඒ කියන්නේ කෙනෙක් තුළ යම්කිසි උත්සාහයක් තිබෙනවා නම්, අදාළ කරුණ මුදුන්පත් වන තුරුම ඒ උත්සාහය අඛණ්ඩව පැවැත්වීම යි. බුද්ධ කාලයේ එක්තරා වයසක භික්ෂුණියක් හිටියා. එතුමියට ඒ භික්ෂුණී ආරාමයේ තිබෙන සියලු වැඩ කටයුතු කරන්න සිදුවුණා. නමුත් එතුමිය කාලය පිළිබඳ යම්කිසි දැනුමකින් හිටියා. ඒ තමා ‘මට ජීවත් වෙන්න තිබෙන්නේ බොහොම සීමිත කාලයයි’ කියලා. ඉතින් එතුමිය වැඩකටයුතු අවසන් කළාට පසසේ හෙමින් පහළ තට්ටුවට බහිනවා. ශාලාවේ මැද කණුවක් තිබෙනවා. පහනක් පත්තු වෙනවා. ඉතින් ඇය අර කණුව අල්ලගෙන සක්මන් කරනවා කණුව වටේට. මොකද ඈ දුර්වලයි. සක්මන් කරමින් පංච නීවරණයන් යටපත් කරන්න මහන්සි ගත්තා.

එයින් අපට පේනවා උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීර්ය ගැනීමත්, නූපන් අකුසල යළි හට නො ගන්න ආකාරයට හිත රැක ගැනීමත්, ඒ වගේම නූපන් කුසල් උපදවා ගන්න වීර්ය ගැනීමත්, උපන්න කුසල් දියුණු කරගැනීමට වීර්ය ගැනීමත් පින්වන්තයෙක් පමණක් ම කරන එකක්. සාමාන්‍ය ලෝකයා හැම තිස්සේම කරන්නේ නැති අකුසල් උපදවා ගන්න කැමැත්තෙන්ම කටයුතු කිරීමයි. අහක යන අකුසල් තමන්ගේ අකුසල බවට පත්කර ගන්න එකයි. ඊළඟට තිබෙන අකුසල් ප්‍රහාණය කරගන්න කල්පනා නොකරන එක. තමා පිළිබඳ වගකීම අත්හැරපු ලෝකයට බුදුරජාණන් වහන්සේ අදහස් කරන වීරියෙන් වැඩක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අදහස් කරන වීර්ය තමාව පිළිසරණ කරගන්න එකක්. තමාට උදව්ව පිණිස, තමාව අනාථ නොවෙන්න සලස්සන එකක්.

වීර්ය ගැන ලස්සන කථාවක් තිබෙනවා. ඒක තිබෙන්නේ විනය පිටකයේ. එක්තරා භික්ෂුවකට ගහක් කපන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ භික්ෂූව ගහ කපන්න ලෑස්ති වෙනවිට ඒ ගහේ හිටපු දේවතාවා පෙනී සිට ‘අනේ මේක කපන්න එපා. මේ මගේ විමානය කියා කිව්වා. නමුත් ඒ ස්වාමින් වහන්සේ ඒක ගණන් නො ගෙන ගහේ අත්තක් කැපුවා. සමහර විට ඒ මනෝකායික දෙවි කෙනෙක් වෙන්න ඇති. ඒ දෙවියාගේ දරුවෙකුටත් යම්කිසි තුවාලයක් වෙනවා. එවිට ඒ දෙවියාට ‘මට මේ භික්ෂුව මරන්න ඕන’ කියා හිතුවා. නමුත් ඊට පස්සේ ඒ දෙවියා කල්පනා කරනවා. ‘මේ භික්ෂුව සිල්වත් කෙනෙක් මම මෙයාව මැරුවොත් මට ඒක විශාල ප්‍රශ්නයක්. එයින් මට අකුසලයක් සිදුවෙනවා. ඒ නිසා මම මේ පැමිණිල්ල බුදුරජාණන් වහන්සේට කියනවා. මම මොනම හිංසාවක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒ දෙවියා ගිහිල්ලා ‘භාග්‍යවතුන් වහන්ස, අද මෙන්න මෙහෙම දෙයක් වුණා. එක්තරා භික්ෂුවක් මගේ වචනය අහන්නේ නැතුව ගස් කපන්න ගිහින් මගේ දරුවෙකුටත් හිංසාවක් වුණා. මට ඒ භික්ෂුව කෙරෙහි ද්වේෂයක් හටගත්තා. ඒත් ස්වාමීනි, මම ඒ භික්ෂුවගේ ගුණවත්කම සිහිකරලා ඒ හටගත්තු ද්වේෂය ප්‍රහාණය කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට ප්‍රශංසා කරමින්, දෙවිය ඔබ බොහෝම උසස් දෙයක් කළේ. ඔබ උපන්න අකුසලය ප්‍රහාණය කරන්න වීර්ය ගත්තා. ඒ භික්ෂුව සීලවන්ත කෙනෙක්. ඔබ ඒ භික්ෂුවට කරදරයක් කළා නම් ඒක ඔබේ ජීවිතයේ විශාල හානියකට බලපානවා. ඊට පස්සේ තමා බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා කැඳවලා ‘ගස්වැල් සිඳලීම පචිති ඇවතක්’ කියා ශික්ෂා පදයක් පැනෙව්වේ. ඒ ශික්ෂා පදය පනවන්න හේතුවුණේ ඔය සිද්ධිය යි. ඒ නිසා දෙවියෙක් වේවා උපන්න අකුසලය ප්‍රහාණය කරන්න වීර්ය ගන්නවා නම් ඔහුට ඒ සඳහා වීර්යත් එක්ක ඤාණයත් ඕන. ඒ දෙවියාට ඒ ඤාණය නො තිබෙන්න බොහෝ අකුසල් රැස්කර ගන්න තිබුණා. සමහර අය දැඩි තීරණ අරගෙන යම් යම් අකුසල් කරන්න පෙළෙඹෙන අවස්ථා එනවා. නමුත් සමහර අය උත්සාහයෙන් ඒ අකුසලය නොකර ඉන්නවා. ඒ විදිහට අකුසලය නොකර ඉන්න ඉදිරිපත් වෙන්නේ ඤාණය යි. ඒ ඤාණය ක්‍රියාත්මක කෙරෙව්වේ වීර්ය යි. ඒ කියන්නේ ඤාණය යි, වීර්යය කියන්නේ එකට පිහිටිය යුතු ගුණධර්ම දෙකක්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘සෝණ’ කියා ස්වාමින් වහන්සේ නමක් හිටියා. ඒ සෝණ තෙරුන්ගේ වීර්ය ගැන සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතා ගන්නවත් බැහැ. උන්වහන්සේට බොහෝ කල් චිත්ත සමාධියක් ඇති වුණේ නැහැ. ඉතින් උන්වහන්සේ සමාධිය ඇතිකර ගැනීම පිණිස සක්මන් කරද්දී අන්තිමට සක්මනේම කකුල් තුවාල වුණා. දැන් දණ ගාගෙන සක්මන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේ හිතුවා මට පින මදි ඇති, මට කුසල් වඩන්න වාසනාව මදි ඇති. ඒ නිසා ගෘහස්ථ ජීවිතයක් ගෙවමින් මම ආයෙත් පින් දහම් කරගෙන වාසය කරනවා’ කියා. නමුත් උන්වහන්සේ ඒ සිතිවිල්ලට ඉඩ නොදී ආයෙත් වීර්ය කරලා අන්තිමට අරහත්වයට පත්වුණා. ඒක අසාමාන්‍ය වීර්යක්.

ථේර ගාථාවල තවත් එක රහතන් වහන්සේ නමකගේ සිද්ධියක් තිබෙනවා. ඒ රහතන් වහන්සේ අරහත්වයට පත්වෙන්න කලින් දවසක් රාත්‍රියේ සක්මන් කරනවා. සක්මන් කරද්දී නිදිමත වැඩි නිසා නින්ද ගිහිල්ලා සක්මනේම වැටෙනවා .අප නම් සාමාන්‍යයෙන් භාවනා කරන්න ගිහිල්ලා පොඩ්ඩක් නිදා වැටුණොත් එතැනම වැටිලා නිදා ගන්නවා නේ. අපට සමාධියක් වඩන්න කොපමණ ආශාවක් තිබුණත් සමාධිය වඩන්න තිබෙන ඒ ආශාව මැඩගෙන අපේ හීන වීර්ය ඉස්මතු වෙනවා. ඒ තමා අපි හේත්තු වෙන්න තැනක් හොයනවා මිසක් කොන්ද කෙලින් තියාගන්න තැනක් හොයන්නේ නැහැ. හේත්තු වෙන්න තැනක් හොයාගෙන වාඩිවෙන කොට ඊළඟට වැඩ කරන්නේ නීවරණයක්ම යි. ඒ නිසා අප එකපාරටම ‘අනේ මට බැහැ මේක කරන්න කියා ඒ වීර්ය අත්හරිනවා. නමුත් අර තෙරුන් වැටුණට පස්සේ නැගිට්ටා. නැගිටලා වැලි පිහදාගෙන හොඳට සිහිය පිහිටුවාගෙන දෙවෙනි වරටත් සක්මන් කළා. එය සාර්ථක වුණා. උන්වහන්සේගේ සමාධිය අරහත්වය දක්වා වැඩී ගියා.

සමහර අවස්ථාවල අපට හිතෙනවා අප ගන්න උත්සාහය අසාර්ථකයි කියා. නමුත් ඒ අසාර්ථක බව මැඬගෙන අපි යළි උත්සාහ කළොත් ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ එක තමා අප ශ්‍රේෂ්ඨ ගුණධර්ම ඇතිකර ගැනීම ඉතා වේගයෙන් අපේක්ෂා කරනවා. අප ක්ෂණිකව ඉතා වේගවත් වර්ධනයක් ඇතිවෙයි කියා හිතනවා. පොඩ්ඩක් භාවනා කරලා සමාධියක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට පොඩ්ඩක් ධර්ම මනසිකාර කරලා අවබෝධයක් බලාපොරෙත්තු වෙනවා. ඒක අපට සිද්ධ වෙන ලොකු වැරැද්දක්. බලාපොරොත්තු වුණත් නැතත් අඛණ්ඩව කළොත් එය ඉෂ්ඨ වෙන්න පුළුවන්.



පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment