Labels

Thursday, October 22, 2015

සැනසීම උදාකර ගත හැකි සරල ජීවිතය


බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ අන්තර්ගත වී ඇත්තේ පුද්ගල ජීවිතයක් තුළ සැනසිල්ලක් විඳීමට නම් අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. අල්පේච්ඡතාවය යනු බලාපොරොත්තු, අරමුණු ආශාවන් අඩු බවයි. බොහෝ දේ පිළිබඳ අපේක්ෂාවක් නොමැතිබවයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සමාජයක ප්‍රගතියට ඉවහල් වන්නේ අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දෙලොව සාර්ථක කරගත හැකි බවයි.

භෞතික සැප සම්පත් කෙරෙහි ඇති කරන්නාවූ ගිජුකම නිසා එය පරිහානියට හේතුවක් වෙයි. තමන්ගේ ජීවිතයට අදාළව ආදායමට සරිලන ආකාරයට වියදම් කළ යුතු ය. එහිදි අල්පේච්ඡතාවය ඉතා වැදගත් වේ. අසහනයෙන්, මානුෂික ගැටුම්වලින් තොරව ක්‍රියා කළ හැකිය. ගැටලු, ප්‍රශ්න බහුල වීම පුද්ගලයකුගේ මෙලොව පරලොව දෙලොව පිරිහීමකට හේතුවක් වන්නේ ය. ධම්මපදයේ එන මෙම ගාථාවට අනුව

“තණ්හාය ජායති ශෝකෝ
තණ්හාය ජායති භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ තුජේ භයං” 


තණ්හාව නිසා සෝකය හටගනී. තණ්හාව නිසා බිය හටගනී. තණ්හාවෙන් වෙන් වුණ තැනැත්තාට ශෝකයක් නැත. බියක් නැත. මෙලොව ජීවිත්වන පුද්ගලයා බියෙන්, ශෝකයෙන් තොරව ජීවත් වන්නේ නම් යහපත් සුවදායි ජීවිතයක් ගතකළ හැකිය. වර්තමානය දෙස බලන විට පුද්ගල ජීවිතය මහත් වූ ව්‍යසනයකට, අගාදයකට පත්ව ඇත්තේ මේ නිසා ය. එනිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර සුවදායි මානසික සුවය විඳින්නට නම් මෙම කරුණ අවධාරණය කරගෙන ජීවිතය ගොඩනඟා ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් උදෙසා අට පිරිකර තුළින් ජීවිතය ගොඩනඟා ගත හැකි බවත්, බහුභාණ්ඩික වීම ජීවිතය ගැටලු රැසකට හේතුවන බවත්, අවධාරණය කර ඇත. එහිදී සිවුපසය වැළඳිය යුතු ආකාරයත් අවධාරණය කරමින් අල්පේච්ඡව තම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට හේතුවන බව වදාළ සේක.
දේපොළ, ධන සම්පත්, වස්තු සම්භාර රැස් කරන්නට රැස් කරන්නට දුක වේදනාව, අසහනය, සොර සතුරු බිය උග්‍ර වෙයි. භෞතික සම්පත් රැස් කිරීම අල්පේච්ඡතාවය ගිලිහී ගොස් මහේච්ඡතාවය වැඩිවීමට හේතුවක් වෙයි. සමාජයේ පවතින තරඟකාරීත්වය තුළ ඇත්තේ මෙවැනි අසහනකාරී ස්වභාවයකි. මිනිසා තුළ මිනිස් ගුණාංග පහවගොස් තිරිසන් ගති මතුවන්නේ මේ නිසා ය.

“න කහාපණ වස්සේන
තිත්ථි කාමේසු විජ්ජති
අප්පස්සාදා දුක්ඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ” 

 
මිනිසාට කහවණු වැස්සකිනුත් වස්තුකාම, ක්ලේශ කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. මේ නිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආශ්වාද ඇතියෝය. බොහෝ දුක් ඇතියෝ ය. එසේ සිතා පණ්ඩිතයෝ එය නුවණින් දැනගත යුතු ය. “කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං” මිනිසත් බව ලැබීම දුර්ලභ බවත්, මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු බවත් මෙම ගාථා පාඨයෙන් ස්ඵුට වේ. ඒ අනුව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ආශා තෘෂ්ණාදියෙන් පොදිබැඳ නොගෙන සරල චාම් ජීවිතයක් හුරු කර ගැනීම සසර දිවිමාවත දිනන්නට හේතුවක් වෙයි.

පරාභව සූත්‍රයේ දැක්වෙන ආකාරයට සුරාව, සූදුව, මස් මාංශ ආදියෙහි ලොල් වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු තම වස්තු පරිපාලනයෙහි යොදවයි නම් එය පිරිහීමට හේතුවක් වෙයි. එසේම යම් මිනිසෙක් නිතර නිදන සුළු වේද? පිරිස් සමඟ එකට සිටීමට කැමතිවෙයිද? උට්ඨාන වීර්යයෙන් තොරවෙයිද? අලස් වෙයිද, නිතර කිපෙන සුළු වේද? එය පුද්ගලයාගේ පිරිහිමට හේතුවක් වෙයි. මෙම කරුණු අවධාරණයට ගෙන ක්‍රියා කරන්නෝ දියුණුවට පත්වෙයි. දියුණුව හෝ පරිහානිය පුද්ගලයා සතුව පවතින්නක් මිස වෙනත් අයකුට කෙසේවත් වෙනස් කළ නොහැකිය. එනිසා ජීවිතයට අවැසි, සමබරතාවය පවත්වා ගැනීමට මෙම කරුණු මනාලෙස ඉවහල් වෙයි. අනෙක් අතට අල්පේච්ඡ බවෙන් තොර වූයේ නම් පුද්ගල විනාශය ඉක්මන්වේ.

“අලසෝ ගිහි කාමභෝගි නසාධු - අසඤ්ඤතො සබ්බජිතාන සාදු
රාජාන සාදු අභිසම්මකාරි - යො පණ්ඩිතො කෝධනොතංහසාධු”

 
ජාතක පාලියේ රට්ලට්ඨ ජාතකයේ සඳහන් වන මෙම ගාථාවට අනුව නොමනා පුද්ගලයෝ සතර දෙනෙක් ඇත. අලස වූ ගිහියා යහපත් නොවේ. අසංවර වූ පැවිද්දා යහපත් නොවේ. විමසා බලා කටයුතු නොකරන පාලකයා යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කෙරේද ඔහුගේ ක්‍රෝධය, කිපෙන සුළු බව යහපත් නොවේ. මේ සියලු කාරණා පුද්ගලයාගේ පිරිහීමට හේතුවක් වෙයි. එම නිසා ජීවිතයක තිබිය යුතු ලක්ෂණ අවබෝධ කරගත යුතු ය. පියුම හට ගන්නේ ගොහුරු මඩෙහිය. නමුත් පියුම සුන්දරය, පිවිතුරුය, සුවදායි වීමේම එම පද්මාකාර ලක්ෂණය හඳුනාගෙන පුද්ගලයා සමාජය තුළ ක්‍රියා කළ යුතු ය. එහිදී ප්‍රධාන වශයෙන් බලපාන සාධක වන්නේ අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නා හට මේ සියල්ල දෙස මැදිහත් ස්වභාවයෙන් බලා කටයුතු කළ හැකි බවකි.

අප නිතර නිතර භාවිතා කරන “කරණීය මෙත්ත සූත්‍රයේ” දැක්වෙන “අප්පකිච්චෝච සල්ලහුක වුත්ති” පාඨයෙන් දැක්වෙන්නේ කටයුතු බහුල නොවීම, සරල ගතිපැවැතුම් ඇති බවයි. අල්ප කෘත්‍ය තාවයෙන් හා සැහැල්ලු දිවිපැවැත්මෙන් කටයුතු කිරීම පුද්ගල ජීවිතය යහපත් වීමට හේතු සාධක වෙයි. සමස්ත කරුණු දෙස අවධාරණය කරද්දී, කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු කෙතරම් දුරට ජීවිතයට සම්බන්ධ වනවාද යන්න සරල අර්ථය මෙනෙහි කිරීමෙන් පැහැදිලි වේ. එම නිසා කටයුතු බහුල නොවන සමාජයක හිතකර ආකල්ප වර්ධනය කර ගත හැකිය.

සිදුහත් බෝසතාණන් වහන්සේ වසර හයක් අත්ථකිලමතානු යෝගය, කාම සුඛල්ලිකානු යෝගය, යන අන්ත දෙක අනුගමනය කොට එහි නිස්සාරත්වය අවබෝධ කරගෙන මැදුම් පිළිවෙත තුළින් සම්මා සම්බුදු බව අවබෝධ කර ගත්හ. ඒ තුළින් ලෝකය දක්නා මාර්ගය සලසා ගත්හ. එම නිසා බුදුවරු අවබෝධිත දහම තුළ කටයුතු කළ පුද්ගලයා විමුක්ති කාමියකු වෙයි. පෘථග්ජනයා පංචකාම වස්තු පිනවීමට උත්සාහ දරනඅතර ඒ තුළ ඇලී ගැලී කටයුතු කරයි. සැපයි, මිහිරිය කියා ගන්නා දේ සංසාර දිගු පැවැත්මට මාවතක්, මෙවලමක් කර ගනී. එනිසා සියල්ල දෙස මොහොතින් වෙනස්වන මොහොතින් නැති වී විනාශ වී යන ස්වභාවය අවබෝධ කර ගත යුතු ය. ගිහියා සැමවිටම “සුඛ කාමරාගි භුතානි” සියලු දෙනා සැප විඳීමට කැමතිය. ‘දුක්ඛ පටික්කුලා’ දුක් පිළිකුල් කරති, දුක් විඳීමට අකැමැතිය. නමුත් සසර ගමනේ දී, සියල්ල එක හා සමානව සිදු නොවේ. දුක් විඳීමට පවා සිදුවේ. ඒ යථාර්ථය අවබෝධ කර ගත් උත්තමයෝ සසර සැනසීම උදාකර ගනිති. “සංයුක්ත නිකායේ මේඝතරණ සූත්‍රයේ” පුද්ගලයෙක් සැඩ පහරට හසුව දැඩි පරිශ්‍රමයකින් යුතුව එගොඩට පීනා යයිද, එහෙම සැඩ පහරට හසුව පහළට ගසාගෙන යයිද ඔහු විනාශයට පත්වේ. එසේම ජීවිතයේ ස්වභාවය හඳුනාගෙන ක්‍රියා කරන්නා සැඩ පහරින් ගසා නොගොස් ජීවිතය ජය ගන්නා සේ ක්‍රියාකළ යුතු ය.

එනිසා ලබාගත් මනුෂ්‍ය, ජීවිතය දෙස මොහොතක් බලා විමසීමෙන් කටයුතු කරන්නාට එය සුවදායී කරගත හැකිය. ඒ සඳහා ඉවහල් වන මුලික ධර්ම කාරණයක් ලෙස අල්පේච්චතාවය හැඳින්විය හැකිය. ඇල්පේච්ඡතාවයෙන් තොර වූ විට ජීවිතයේ විනාශය ඇතිවේ. එනිසා මෙම කරුණු පිළිබඳ අවබෝධ කරගෙන ඒ අනුව ජීවිතය සැපවත් කර ගැනීමට උත්සුක විය යුතුය. ඒ සඳහා වහා ධර්ම ඥානය පහළ වේවා. තෙරුවන් සරණයි.



හලා/ ආනන්ද ජාතික පාසලේ ධර්මාචාර්ය බංගදෙනිය
රතන සෙවණ බෞද්ධ මධ්‍යස්ථාන වාසී
එළුවාපිටියේ මහින්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 20 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment