Labels

Saturday, October 3, 2015

බුදුවරයකු ලොව පහලවීම දුර්ලභය


‘කරුණා සීතල හදයං - පඤ්ඤා පජ්ජොත විහත මොහතමං
සනරාමර ලෝක ගරුං - වන්දෙ සුගතං ගතිවිමුත්තං”

“කරුණාවෙන් සිහිල් වූ හෘදය ඇති, නුවණ නැමැති පහනින් මෝහ නැමැති අඳුර නැසූ , දෙව් මිනිසුන් සහිත ලොවට ගුරු වූ සියලු භව උපතින් මිදුණාවූ, තුන්ලෝකාග්‍රවූ බුදුරජාණන් වහන්සේ මා පළමුව නමස්කාර කරමින් මෙම ලිපිය ලිවීමට ආරම්භ කරමි.”
පුහුදුන් සත්වයන්ගේ නුවණට හසුනොවන අසිරිමත් දේ ලෝකයේ සිදු වන්නේය. මෙම අසිරිමත් දේ අතර කලාතුරකින් අසිරිමත් මනුෂ්‍යයන්ගේ පහළ වීම ද සිදු වෙයි. එවන් එක් අසිරිමත් පුද්ගලයකු පිළිබඳව අංගුත්තර නිකායේ මෙසේ සඳහන් වේ.

“ඒක පුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චරිය මනුස්සෝ, කතමෝ ඒක පුග්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ.”
මෙයින් පෙන්වා දෙන අදහස නම්, එක් පුද්ගලයෙක් ලෝකයේ උපදනේ ආශ්චර්ය මනුෂ්‍යව උපදින්නේය. එම ආශ්චර්යවත් පුද්ගලයා කවරෙක්ද යත්, තථාගත වූ අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේලාගේ මුවින් ම ප්‍රකාශ කරන ලද්දේ.

“ඒක පුද්ගලස්ස භික්ඛවේ පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙනි. තථාගත වූ සම්මා සම්බුද්ධ වූ ඒ ආශ්චර්ය මිනිසාගේ පහළ වීම දුර්ලභය යන්නය.
සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම ඉතා දුර්ලභ කාරණයක් වනුයේ එය ඉතා දුෂ්කර කටයුත්තක් නිසාවෙනි. සම්බෝධිඥානය ලැබීම එක ආත්ම භාවයක දී කරන ලද උත්සාහයකින් ලැබිය නොහැකිය. එසේ කිරිමට හැකි වන්නේ නම් ලෝකයේ උපාධිධාරීන් බිහි වන්නාක් මෙන් සම්මා සම්බුදුවරු ද ලෝකයේ දැකිය හැකිය. පරම පවිත්‍ර වූ චේතනාවකින් දැඩිව අදිටන් කොට සම්මා සම්බෝධිය අරමුණු කළා වූ ඒ බෝධි විඤ්ඤාණය සංසාරයේ අති දීර්ඝ කාලයක් තිස්සේ නොයෙකුත් ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් පෝෂණය කොට එහි අවසාන ඵලය නෙළා ගැනීම වූ කලී සම්මා සම්බෝධියට පැමිණීමයි.
සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම උදෙසා ගත කළ යුතු කාල ප්‍රමාණය අවුරුදු මෙපමණය කියා වර්ෂ ප්‍රමාණයෙන් ගිණිය නො හැකිය. කල්ප වශයෙන් ද එය ගණිනු ලබන්නේ අසංඛ්‍යය කල්ප වශයෙනි. සම්මා සම්බුද්ධත්ව සිතුවිල්ල ඇති එම බෝසත් තෙමේ සසර සැරිසරනුයේ මෙම අට වැදෑරුම් හේතු සම්පත් ඇතිව නියත විවරණ ලබන්නේ ය.

1. මිනිසත් බව ලැබීම.

2. පුරුෂාත්මභාවය

3. අර්හත්වයට හේතු සම්පත් ඇති බව.

4. ජීවමාන සම්මා සම්බුදුවරයෙකු හමුවීම

5. පැවැදිව සිටීම

6. අෂ්ට සමාපත්ති ලාභී බව

7. බුදුන් උදෙසා ජීවිත පරිත්‍යාග කළ හැකි බව.

8. බුද්ධකාරක ධර්මයන් පිරීමේ කුසලච්ඡන්දය ඇති බව.

මෙසේ නියත විවරණ ලබනුයේ සද්ධා අධික වූයේ නම් සොළොස් අසංඛ කල්ප ලක්‍ෂයක්ද, පඤ්ඤා අධික වූයේ නම් අට අසංඛ්‍යය කල්ප ලක්‍ෂයක් ද වීර්යාධික වූයේ නව් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්ද බුද්ධ කාරක ධර්මයෙන් වූ දස පාරමිතාවන් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් තිස් වැදෑරුම් කොට පූර්ණය කළ යුතු වන්නේ ය.
මෙම සියලුම කරුණු මගින් සම්මා සම්බුදුවරයකු ලොව පහළවීම දුර්ලභව සිදුවන කරුණක් බව අපට මනාව වැටහෙනු ඇත. අප ගෞතම බුදුරජාණන් වහන්සේද මෙසේ සාරාසංඛ්‍යය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. ගෞතම බෝසතුන්ගේ පළමු බෝධිචිත්තය රෝපණය වූයේ කෙසේද? යන්න මෙහිදී අවබෝධ කර ගැනීම ඉතා වටනේ ය.

ඈත අතීතයේ එක් දිනෙක මව සමඟ නැව් නැඟ සයුරු තරණය කරද්දී කුණාටුවකට හසු වී නැව විනාශව ගොස් විපතට පත් වූයෙන් ඒ පින්වත් පුතණුවෝ මවද කර පින්නාගෙන සයුරු තෙර කරා පිහිනන්නට වූහ. පුත, මා අතහැර ඔබ තනිව එගොඩව සුවපත් වන්නැයි මෑණියන් ඉල්ලා සිටිද්දී ම සිතට දිරියත් කයට වීර්යත් ඇති කරගත් ඒ පිංවත් පුතණුවෝ අදිටන පරිදි සයුරු තෙරව ලං වූවාහු,

“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා”

යනුවෙන් සඳහන් වන පරිදි මහ සයුර පිහිනා මවට පිහිට වූවා සේ මම බුදුව ලෝක සත්වයාටද සිව්සස් අවබෝධ කරවන්නෙම්. දුකින් මිදුනුයෙමි ලෝක සත්වයා ද මුදවා ගන්නෙම්. බියකරු වූ සංසාර සැඩ පහර ඉක්මවනුයෙම් මේ ලෝ සතුන් ද එතෙර කරවන්නෙම්යි සම්මා සම්බෝධිය අරමුණු කොට සකල සත්ත්වයා කෙරෙහි පතළා වූ කරුණාවෙන් මංගල බෝධි චිත්තය රෝපණය කළ අයුරු මෙහිදී අවබෝධ කර ගත යුතුය.

ලීකයේ බුදුවරයෙකු පහළ වීම ඉතා දුර්ලභ කරුණක් බැවින් බුදුරජාණන් වහන්සේගේ ගුණය අවබෝධ කොටගෙන වර්තමානයේ ජීවත් වන්නා වූ අප සැම ජීවත් වන්නේ නම් අපේ ජීවිතය යහපත් වනු නො අනුමානය. බුදුවරුන්ගේ ගුණය ඉතා උතුම් බව මෙසේ පසක් කර දෙමින් මා මේ ලිපිය අවසන් කරන්නෙමි.

“බුද්ධෝ’ ති වචනං සෙට්ඨං
බුද්ධෝති පද මුත්තමං
නත්ථි තේන සමං ලෝකේ
අඤ්ඤං සොත රසායනං.”

“බුද්ධ” යන වචනය ශ්‍රේෂ්ඨය. “බුද්ධ” යන පදය ඉතා උතුම් ය. ඇසීමට මිහිරි ඒ හා සමාන වෙනත් වචනයක් ලෝකයේ නැත්තේ ය.


No comments:

Post a Comment