බුදුරජාණන් වහන්සේගේ අසහාය පෞරුෂයෙහි ලක්ෂණ විවිධ සන්දර්භයන් ඔස්සේ විමර්ශනයට හසු කළ හැකි ය. අපමණ වූ කලෙකට වරක් ලොව පහළ වන එබඳු වූ මහ පුරුෂ ශ්‍රේෂ්ඨතමයෙකුගේ අගය නම් කෙලෙස පමණ කළ හැකි වේද? නොහැක් කේ ම ය
බුදුගුණ වර්ණනා විෂයයෙහි වුවද යෙදෙන ගුණපද මගින් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය විශද කෙරේ. එහිදී අනුගාමිකයන් විසින් සම්මා සම්බුද්ධො, විඡ්ඡාචරණ සම්පන්නො, සුගත, තථාගත, සනරාමර, ලෝක සිවංකර, දිපතෝත්තම, “වදතං පවරො” ආදී වූ ගුණ විශේෂයෙහිලා බුදුහු අනුපම කළහ. උන්වහන්සේ වනාහි ත්‍රිවිධ විලාසයන්ගෙන් ප්‍රමුඛ වූහ. එනම්,
ගඪඝ රූප විලාසය
ගඪඪඝ දේශනා විලාසය
ගඪඪඪඝ වාග් විලාසය
බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය අතිශයින් සිත්කලුය. මනබන්දනීය ය, ළගන්නාසුලුය, චිත්තප්‍රසාදවහ ය. මිනිස් සමාජයෙහි ඔවුනොවුන් අතර අන්තර් සබඳතා පවත්නා ගැනීමෙහිලා ඈත කලෙක පටන් ම නොයෙකුත් උපාය මාර්ග අනුගමනය කළ බව මානව සමාජ විද්‍යාඥයින් සහ භාෂාවේදීන් අදහස් දක්වා ඇත. එහෙත් වසර දෙදහස් හයසිය වසරකට මත්තෙහි ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා ලෙසත් භාෂාවේදියා, සමාජ විද්‍යාඥයා, මනෝ විද්‍යාඥයා ලෙස උන්වහන්සේව හඳුනාගැනීමෙහිලා පෙළ දහමින් හමුවන සාක්ෂ්‍යයන්හි කිසිදු ඌණතාවක් නොමැත. ලොව සාමාන්‍ය වූ ලෞකික විෂයීය දැනුම, අවබෝධය ඉක්ම වා ලූ ශාස්තෘවරයෙකු අධ්‍යාත්මික උතුමෙකු, අසාහය වීරයෙකු, පුරුෂ ශ්‍රේෂ්ඨයෙකු, වශයෙන් ලොව විද්වතුන් අතරෙහි උන්වහන්සේ සම්පූජිතය.
රිස් ඩේවිඩ්සන් නම් විද්වතා විසින් වරෙක “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයේ හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත අලංකාරවත් සාරගර්භ කරුණු අභිබවා යන වෙනත් කිසිම ආගමික ඉගැන්වීමක් නැතැ”යි ප්‍රකාශ කළේ එබැවිනි. “සබ්බදා සබ්බ සත්තානං හිතාය ච සුඛාය ච” බොහෝ වූ පුහුදුන් ලෝක සත්වයන්ට හිත සුව සලසාලනු වස් බුදුවරු ලොව පහළ වෙති. බුද්ධ නම් “බොධෙතා පජායති බුද්ධො” 1 යන අර්ථ දැක්වීමට අනුව ප්‍රජාවට ධර්මය අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වේ.
මෙම ධර්ම සන්නිවේදනම ය පරමාර්ථය සාක්සාත් කරනු වස් වාග් විලාසය මහෝපකාරී වේ. මජ්ඣිම නිකයේ උදුම්බර සීහනාද සූත්‍රයෙහි බුදුවරයෙකුගේ මුඛ්‍ය කාර්යභාරය අවධාරණය කෙරේ. එම කාර්යයෙහිලා වාග් විලාසය අනුපමය වූ සබැඳියාවක් දක්වයි. එනම්,
බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති. තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති. දන්තො සො භගවා දමතාය ධම්මං දෙසෙති. සන්තො සො භගවා සමතාය ධම්මං දෙසෙති. පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බාණාය ධම්මං දෙසෙති.
බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයෙහි විශිෂ්ටත්වය විශද වූයේ දේශනාවන්හි යම් යම් පැහැදිලි කිරීම්වල දී ය. එබැවින් දේශනා විලාසය ද මෙහිදී ප්‍රස්තුත මාතෘකාව හා බැඳී පවතී. බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයා වෙත නිවන අරමුණු කරගෙන
අනුශාසනා කළහ. එබැවින් අනුගාමිකයෝ රත්නත්‍රයෙහි ශ්‍රද්ධා සම්පන්න වූහ.
“යථා යථා බො භික්ඛවේ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති. උත්තරුත්තරිං පණිත පණිතං
කණ්හ සුක්ක සප්පටිභාගං; තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං
ධම්මෙසු නිට්ඨං ගච්ඡති. සත්ථරි පසීදති. සම්මා සම්බුද්ධො භගව; ස්වාක්ඛාතො
භගවතා ධම්මො; සුපටිපන්නො සංඝොති. 3
මහණෙනි තථාගතයන් වහන්සේ යම් යම් ආකාර වූ භික්ෂුනට දම් දෙසති. මතු මතුත් ප්‍රණිත වූ කලු සුදු හෙවත් කුසල අකුසල ධර්මයන් කොටස් කර ධර්ම දේශනා කරේ ද? ඒ ආකාරයෙන් ඒ භික්ෂුව එම ධර්මය මනා සේ දැනගෙන ධර්මය පිළිබඳ නිගමනයකට එළඹෙයි. ශාස්තෘන් වහන්සේ කෙරෙහි පහදියි. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මනා සේ ධර්මය දේශනා කරන ලදී. සංඝයා මනා පිළිවෙත්වලට පිළිපන්නේ ය.
බුදුහු ස්වකීය ශ්‍රාවකයාගේ චරිත හා චිත්ත ස්වභාවය මෙන් ම බුද්්ධි මට්ටම අනුව දම් දෙසුහ. දේශනා ක්‍රම භාවිත කළේ ද ඔවුනට යථා යෝග්‍ය පරිදි ම වේ. සාමාන්‍ය අනුශාසනා ක්‍රමය වූයේ අනුපුබ්බි කතා ක්‍රමයයි. එනම් දාන කතා, සීල, සග්ග කතා, කාමානං ආදීනවං ආදී ආකාරයෙන් අනුපිළිවෙළින් ප්‍රතිපදා මග පැහැදිලි කර දුන්හ. බුදුහු ස්වකීය වචන භාවිතය හෙවත් කතා ව්‍යවහාරය භාෂණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස උපකරණ අර්ථයෙන් සත්‍යය වුද නිරවද්‍ය වූ ද අර්ථසම්පන්න ලෙස ද භාවිත කළහ. එහෙත් ලෝක ව්‍යවහාරයෙහි භාෂණය පස් ආකාරයකට යොදා ගත් බව පෙළ දහමෙහි පැහැදිලි ය. ඒ අනුව,
1. කාලෙන අකාලෙන – කාලයට ගැලපෙන සහ කාලයට නොගැලපෙන භාෂණය
2. භූතෙන අභූතෙන – ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශනව භාෂණය සහ අභූතය හෙවත් අසත්‍යය
3. සණ්හෙන එරුසෙන – මෘදු ප්‍රකාශණ සහ රළු ප්‍රකාශන
4. අත්ථ සංහිතෙන අනත්ථ සංහිතෙන – අර්ථවත් ප්‍රකාශන සහ අනර්ථවත් ප්‍රකාශන
5. මෙත්ත චිත්තෙන දෙසන්තරො - මෙත් සහගත වචන සහ ද්වේශ සහගත වචන භාවිතය
සමාජයක් තුළ පුද්ගල සංවර්ධනය සහ සමාජ සංවර්ධනය අපේක්ෂා කරන්නේ නම් මේ අතුරෙන් කාලයට ගැළපෙන, සත්‍යවාදී වූ, මෘදු මොලොක්, පි‍්‍රයශීලී, අර්ථවත්, මෛත්‍රී පූර්වංග වචනය ම සාධනීය වේ. බුදුරජාණන් වහන්සේගේ අසහාය පෞරුෂ ලක්ෂණ සම්භාරය ම නිසා ශ්‍රාවකයා උන්වහන්සේ වෙත ශ්‍රද්ධා සම්පන්න වූයේ ය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හෙවත් කතා කළේ “හිතානුකම්පි සම්මා සම්බුද්ධො යදඤ්ඤමනුසාසති” (සංයුක්ත නිකාය, පළමු පණ්ණාසකය) යනුවෙන් දැක්වෙන පරිදි නිරන්තරයෙන්ම හිතවත් බවින් යුතු වූයේ ම අනුකම්පා සහගතභාවයෙනි.
බුදුරජාණන් වහන්සේගේ දේශනයක් ශ්‍රාවකයා ශ්‍රවණය කළේ එහි ගැබ් වූ අපමණ වූ දයාව කරුණාව අන්තර්ගත වූ හෙයිනි. බුදුරදුන්ගේ දේශනයන්හි හුදෙක් අර්ථ සහ ශබ්ද මාධුර්යය පමණක් ම නොව, මානවවාදී සියලු සත්වයන් කෙරෙහි වූ ලතෙත් බවින් පරිපූර්ණ විය.
“යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයංගමා පොරි බහුජන කාන්තා බහුජන මනාපා තථාරූපං වාචං භාසිතා හොති”
ඒ බැව් “නේලා” නිර්දෝෂී “හදයංගමා” සිත් ඇද ගන්නා සුළු “පෙමනීය” ඇල්ම ඇති කරන “පොරී” ව්‍යක්ත “බහුජන තණ්හා” බොහෝ දෙනා කැමැති වූ “නෙල ගලා” කෙල තොලු නොවූ යනාදී වූ හැඳින්වීම් මගින් පැහැදිලි වේ.
මෙමගින් යමෙකු තවෙකෙකු සමඟ කතා බහ කිරීමේ දී වචනයෙහි පැවැතිය යුතු ආචාර සමාචාර ස්වභාවය පැහැදිලි කර ගත හැකි ය. පුද්ගලයාගේ භාෂණයෙහි කෙල තොලු බව හෙවත් බොහෝ කොට අනෙකට අවස්ථාවක් නොදී කතා කිරීම මෙන්ම වාචාල බව ශික්ෂිත වූයේ නොවේ. එබඳු පුද්ගලයා බෙහෙවින්ම පිරිහෙන අයෙකු වේ. “සභාසීලී” යනුවෙන් පරාභය සූත්‍රයෙහි පිරිහෙන කරුණු අතර මෙය විග්‍රහ කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනය හෙවත් වාග් විලාසයෙහි ස්වලක්ෂණ “සො ධම්මං දෙසෙති. ආදි කල්‍යාණංමඡ්ඣ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ඡනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං” මුල මැද අග යහපත් වූ සියලු ආකාර වූ ව්‍යඤ්ජනා ශක්තියෙන් හෙබි අර්ථවත් වූ සත්වයාගේ පාරිශුද්ධිය හෙවත් නිර්වාණාබෝධයට හේතු වන භාෂාණයයි.
“බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසගේ බුද්ධිමය හා චර්යාමය පරිපූර්ණ පෞරුෂයත්, නිවේදක පිරිසගේ අරමුණ වන බොහෝ දෙනාගේ හිතසුව පිණිස යන අරමුණත්, සන්දේශය වන මුල මැද අග සම්පූර්ණ වූ යථාර්ථවාදී ධර්ම විග්‍රහයත්, මාධ්‍ය වන පුද්ගලාන්තර සහ සමූහ සන්නිවේදන ක්‍රමත්, එහි ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රාවක පිරිස තුළ ඇති වූ සාධුවාදී චර්යාමය වෙනසත්, සලකා බැලීමෙන් සාර්ථක සන්නිවේද ක්‍රම විධ්‍යාවත් සම්භාවිතා කර ඇති බව“ උගතුන් අදහස් දක්වා ඇත.
බුදුරදහු ගේ වාග් විලාසය මතු වූයේ ධර්ම සන්නිවේදන විෂයෙහි ය. එබැවින් බුද්ධ දේශනාව නූතන සන්නිවේදන සිද්්ධාන්ත සියල්ල ම කැටි වූ අනභිභවනීය දේශනා මාර්ගයක් බව ගම්‍ය වේ. බුදුහු රාහුල පොඩි හාමුදුරුවන් අමතා කුසල අකුසල ධර්මය පදනම් කරගෙන දේශනා කළ කරුණු වලින් වුවද පැහැදිලි වනුයේ භාෂණයෙහි පැවතිය යුතු මූලික අභිමතාර්ථ වේ. “න අත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය න පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය න උභයවය්‍යාබාධාය සංවත්ත්‍යෙ” මෙමගින් තමාට, අනුනට, උභය හෙවත් දෙපාර්ශවයට ම අහිත අයහපත අනර්ථය පිණිස ඉවහල් වන වචනය කතාව හෙවත් භාෂණය අතහැරිය යුතු යැයි අවවාද කළහ. තවද “සම්පජාන මුසාවාද ලජ්ජා” යනුවෙන් දැන දැන බොරු කීම වනාහි අධ්‍යාත්මික හිස් බවක් හෙවත් ලැජ්ජා විය යුතු කරුණකැයි දැක් වූහ.
ශාස්තෘවරයෙකු වශයෙන් ලෝක ඉතිහාසයෙහි බුදුරජාණන් වහන්නේ වනාහි අතිශයින් සුවිශේෂීය. උන්වහන්සේගේ වාග් විලාසය හෙවත් වචනය ශබ්දය හෙවත් ස්වරය අංග 08 කින් යුක්ත වූයේ ය. ධර්මය සන්නිවේදනයෙහිලා බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය ප්‍රධානතම මාධ්‍යය වූයේ එහෙයිනි. උන්වහන්සේගේ වචනයෙහි ශික්ෂිත වූයේ මනුෂ්‍යයන් පමණකුදු නොව; දෙව් බඹුන් මෙන් ම තිරිසන් සතුන් පවා එම හඬෙහි සුශික්ෂිත වූයේ ය. සුමංගල විලාසිනි අටුවාවේ පැණෙන විග්‍රහයකට අනුව බුදු වදන “විස්සටිඨ” සිනිඳු බව “මඤ්ඡු” මිහිරි බව “විඤ්ඤෙය්‍ය” පහසුවෙන් අවබෝධ වන බව “සවණීය” සවන් දීමට පි‍්‍රය බව “අවිසාරී” නොවිසුරුණු හෙවත් නිරවුල් බව “බින්දු” පරිපුර්ණත්වය හෙවත් ඒකමිතිය “ගම්භීර” ගැඹුරු බව “නින්නාද” 10 පිළිරැව් දීම හෙවත් පැතිරෙන බව යනාදී වූ මෙම ලක්ෂණ ධර්ම සන්නිවේදකයෙකු සතුව පැවතීම කෙතරම් අගනේ ද? මෙයට වඩා වූ පුද්ගලයෙකුගේ වචන භාවිතයෙහි පැවතිය යුතු නිරවද්‍යභාවය නම් කුමක්ද? ලෝක ව්‍යවහාරය තුළ ලෞකික ලෝකෝත්තර කවර වූ අර්ථ සිද්ධියක් සලසනු වස් බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය කෙතරම් සුවිශේෂී බවින් යුක්තදැයි සිතා බැලිය යුතුය.
මොරටුමුල්ල
ශ්‍රී බෝ්ධිරුක්ඛාරාම වාසී,
පැපිළියානේ සුමිත්ත හිමි
2012 මැයි මස 02 වනි දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment