Labels

Friday, October 23, 2015

පරමාදර්ශී සංඝ සමාජය


තම ශ්‍රාවක සංඝ සමාජයේ ශික්ෂණය සඳහා බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තුරු බුදුන්වහන්සේ කිසිදු විනය ශික්ෂාවක් පනවා නැත. එසේම කිසිදු විනය විරෝධී ක්‍රියාවක් වැළැක්වීම සඳහා කිසිදු විනය නීතියක් කල් ඇතිව පනවා නැත.

ලොව පහළ වූ සෑම ශාස්තෘවරයෙක් ම තම ශාසනයේ චිරස්ථිතියත්, සුරක්ෂිතභාවයත් සඳහා ශ්‍රාවක සමාජයක් ඇති කර ඇත. මෙයින් බුදුරදුන් විසින් ඇති කරන ලද ශ්‍රාවක සමූහයා සංඝ සමාජයයි. ක්‍රි.පූ. හයවන සියවස වන විට දඹදිව පුරා විවිධ ආගමික මතවාද හා දෘෂ්ටිවාද ව්‍යාප්ත කරමින් සිටි පිරිස බොහෝ වූහ. ඔවුන් අතර බ්‍රාහ්මණ, ජටිල, තාපස, ආජීවක, නිඝණ්ඨ ආදීහු ප්‍රධාන වූහ. ප්‍රාතිමෝක්ෂ, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධිය ප්‍රත්‍යය සන්නිශි‍්‍රත යන චතුපාරිශුද්ධි ශීලය පදනම් කර ගත් ශ්‍රාවක සංඝ සමාජය මෝක්ෂය අරමුණු කර ගත් පරෝපවාද රහිත පරමාදර්ශී සමාජයකි.

තම ශ්‍රාවක සංඝ සමාජයේ ශික්ෂණය සඳහා බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තුරු බුදුන්වහන්සේ කිසිදු විනය ශික්ෂාවක් පනවා නැත. එසේම කිසිදු විනය විරෝධී ක්‍රියාවක් වැළැක්වීම සඳහා කිසිදු විනය නීතියක් කල් ඇතිව පනවා නැත. මුල් කාලයේ සසුන් ගත වූ සියල්ලන් හේතු සම්පත් (උපනිශ්‍රය සම්පත්) ඇති ශික්ෂා සම්පන්න පිරිසක් වීම ඊට හේතුවයි. එහෙත් පසු කලෙක සසුන්ගත වූ විවිධ මත දරන්නන් විසින් සිදු කරන ලද විනය විරෝධී ක්‍රියාවන් නිසා විනය ශික්ෂා පැනවීම අවශ්‍ය විය.

‘විනයෝ නාම සාසනස්ස ආයු’ ශාසනය රැකෙන්නේ විනය රැකුණොත් පමණි. එනිසා පාරාජිකාපත්තියේ පටන් 227 ක් වූ ප්‍රධාන විනය ශික්ෂා ප්‍රඥප්තීන් පමණක් නොව දුක්කටාපත්තිය දක්වා සියලු විනය නීති දිවි දෙවෙනි කොට රැකීම ආර්යමාර්ගයට පිළිපන් භික්ෂුවගේ වගකීමයි. එසේ වුවද සතර පාරාජිකා හැර සෙසු ශික්ෂාවන් සඳහා අනුප්‍රඥප්ති මෙන්ම ප්‍රතිකර්ම ද දක්වා ඇත. විනය ශික්ෂාවන් උල්ලංඝනය කිරීමෙන් ඇවැත් සිදු නොවන පුද්ගලයෝ කොටස් 3 කි. එනම්,

ආදි කම්මික – පළමු වරට වරද කළ භික්ෂුව

උම්මත්තක - ප්‍රකෘති සිහියෙන් තොර උමතු රෝගියා

ගිලාන - වෛද්‍ය උපදෙස් ලබන රෝගියා යන මේ තිදෙනායි.

පළමුවරට වරදක් කළ භික්ෂුවට එයින් ඇවතක් නොවන්නේ ඔහු එම වරද කරන විට එවැනි විනය නීතියක් නොතිබුණු නිසා ය. උමතු භික්ෂුවට ඇවතක් නොවන්නේ ඔහු එම වරද පියවි සිහියෙන් නොකළ නිසාය. රෝගී භික්ෂුව ඇවතින් නිදහස් වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළ යුතු නිසා ය.

විනය ශික්ෂාව තම ශ්‍රාවක සංඝයාගේ යහපත පිණිස මිස ශ්‍රාවක සංඝයා විනය නීති පිණිස නොවන බව අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය සංශෝධන හා ලිහිල් කිරීම් සිදු කර ඇති ආකාරයෙන් පැහැදිලි වේ. මෙම ශික්ෂණ සම්ප්‍රදාය තුළින් මහා කාරුණික බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ මෙම චර්යා ධර්ම පද්ධතිය කෙතරම් මානව හිතවාදී හා විශ්ව සාධාරණදැයි පැහැදිලි වේ.

තත්කාලීන දඹදිව සමාජයේ අචේලක ආදී නිවටුන්ගේ නිර්ලජ්ජි චර්යාව නිසා උකටලීව සිටි බුද්ධිමත් අප්පසන්නානං පසාදාය යන සංකල්පය මත ත්‍රිමණ්ඩල ප්‍රතිවිඡාදනයෙන් හා ආදර්ශවත් පැවැත්මෙන් යුත් තථාගත ශ්‍රාවක සංඝ සමාජයේ ශික්ෂාසම්පන්න ආකල්ප සම්පත්තිය බුදුදහමේ ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රබල සාධකයක් විය.

කවර කුලයකින් පැමිණ පැවිදි වුවත් සසුන්ගතවූ පසු සමණ, සක්‍යපුත්තියා යන පොදු නමින් හැඳින්වුන තම ශ්‍රාවක සමූහයා උස් මිටි භේදයකින් තොරව සමගි සම්පන්න වූහ. කෙසේ වුවද තම අවවාද නොසලකා හළ ඇතැම් පුහුදුන් ශ්‍රාවකයින් සමගි කරලීම සඳහා දැඩි පියවර ගත් අවස්ථා ද ඇත. කොසඹෑ නුවර කලහකාරී භික්ෂූන් හික්මවීම සඳහා බුදුන් වහන්සේ පාරාලේය වනයට වැඩමවීම මීට එක් උදාහරණයකි.
කිසි විටෙකත් කායික දඬුවම් අනුමත නොකළ උන්වහන්සේ ශ්‍රාවකයින් සඳහා පණවා වදාළ ලොකුම දඬුවම ඡන්න තෙරුන් වහන්සේට දුන් බ්‍රහ්ම දණ්ඩයයි. ඡන්න තෙරුන් සමඟ කථා කිරීම හා ඇසුරු කිරීම ආදියෙන් වැළකීම ‘බ්‍රහ්ම දණ්ඩය’ නමින් හැඳින්වේ. මේ නිසා ඡන්න තෙරුන් නොබෝ දිනකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ බව සඳහන් වේ.

ගෙපිළිවෙළින් පිඬු සිඟා යාම තමන්ට යැපෙන පමණ පිඬුසිඟා යාම කාය විඤ්ඤත්ති වචී විඤ්ඤති (යමෙකුගෙන් යමක් ඉල්ලීම) භික්ෂුවට කැප නැත. අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේට වරක් දරුණු උදරාබාධයක් ඇතිවිය. මෙය දුටු මුගලන් මහ රහතන් වහන්සේ ඇවැත්නි ගිහි කල මෙවැනි රෝගයක් හටගත් කල ඔබේ මෑණියන් ඒ සඳහා කළ ප්‍රතිකාරය කුමක්දැයි විමසූහ. ඇවැත්නි, මගේ මව ගිතෙල් මිශ්‍ර කිරිබතක් සාදා දුන් කළ එය සුව වී යැයි කීහ. මේ අනුව මුගලන් තෙරුන් වහන්සේ ගිතෙල් කිරිබතක් ලබනු පිණිස පිඬු සිඟා වැඩියහ.

මෙය දැනගත් එක්තරා සැදැහැවත් ගෙදරක උළුවස්සට අධිගෘහිත දේවතාවියක් එම ගෙදර සිටි කුමරියකට ආරූඪ වී මුගලන් මහරහතන් වහන්සේට ගිතෙල් කිරිබතක් පූජා කරන ලෙස කීවා ය. මේ අනුව පිණ්ඩපාතයෙන් ලද එම කිරිබත සැරියුත් තෙරුන්ට පිළිගැන්වූ විට එය ලැබුණේ කෙසේදැයි විමසූහ. සැරියුත් තෙරණුවෝ එය වාග් විඤ්ඤප්තියෙන් ලද දෙයකැයි වහා ප්‍රතික්ෂේප කළහ. උන්වහන්සේගේ රෝගයද එකෙණෙහි ම සුව විය.



 උනන්විටියේ ශ්‍රී විජයාරාමාධිපති
ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
වැයිහේනේ සුමන නාහිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 20 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment