Labels

Monday, October 19, 2015

නොපමා බව රකින – දනන් තුටු වෙති නිවන් ලබමින




මිනිස් ක්‍රියාකාරීත්වය තුළ සරු නිසරු කියල නිවැරදිම බෙදීමක් කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර වෙන කිසිවෙකුට බැහැ. හේතුව පුද්ගලයෙකුගේ කායික වාචසික හා මානසික ක්‍රියාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් දෙකම නිවැරැදි ලෙස දකින්නෙ උන්වහන්සේ නිසා. ආස්වාදයේ කෙටි කාලීන ස්වභාවයත් ආදීනවයේ දීර්ඝ කාලීන ස්වභාවයත් දකින නුවණ බුදු කෙනෙකුන් සතු එකක්.
මෙලොව විපාක දෙන කොටසේ ස්වභාවයත් ඊළඟ භවයට බලපාන උපපජ්ජ වේදනීය ස්වභාවයත් සසර පුරාම විඳින්නට වෙන අපරාපරියවේදනීය ස්වභාවයත් උන්වහන්සේට මනාව දකින්න පුළුවන්.

ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළවෙනකොට මිථ්‍යා දෘෂ්ටි 62 ක් සරණ ගිය පිරිස ඉන්දියානු සමාජයේ හිටිය. ඒ හැම ඉගැන්වීමක් තුළම සරු දේවල් බොහොමයක් නිසරුයි කියලයි ඉගැන්නුවෙ. නිසරු දේ සරුයි කියල පෙන්වමින් මහා හිංසාකාරී පිළිවෙත් හඳුන්වා දුන් තැනුත් තිබුණ. ඒව සියල්ලම වගේ හුදු විශ්වාසය මතම පමණක් පදනම් වූ ඉගැන්වීම්. ඒ හැම තැනම තිබුණෙ බණක් නැති අණක් නිසා සිතීමේ, විමසීමේ නිදහසින් බැහැර වෙල කියන දේ පිළිගත්තු අනුගාමික පිරිස් තමයි විශාල වශයෙන් ඒ වටා එකතු වී සිටියෙ.

බුදුරජාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් පුරා තම අනුගාමිකයන් වූ සිව්වනක් පිරිසට දේශනා කළේ පිරිපුන් බණක්. එතැන පිරිපුන් බණක් තියෙන නිසා අණක් ඕන කළේ නැහැ. සෑම කායික වාචසික මානසික ක්‍රියාවකම ආස්වාදය පිටුපස තියෙන ආදීනවය ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ හුදු විශ්වාසය මත පමණක් දේශනා කළ කිසිවක් ත්‍රිපිටක ධර්මය තුළ නැහැ. ප්‍රත්‍යක්ෂ දේශනා පමණයි උන්වහන්සේගේ දහම තුළ තියෙන්නෙ. අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් පෙන්වා දෙමින් අකුසල් විපාක වගේම කුසල් විපාකත් හැදෙන හැටි ඒහිපස්සික දහමකින් කියා දුන්න. අවබෝධයෙන් බැහැර කළ යුතු අකුසල් බැහැර කළ මිනිස්සු අවබෝධයෙන් වැඩිය යුතු කුසල් වඩන්න පටන් ගත්ත. ඒ නිසා අණ පණත් කිසිවක් බුදු දහමට ඕන කරන්නෙ නැහැ.

බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභ කාරණයක්. ඒ වගේම බුදු උපත කියන්නෙ අසිරිමත් උපතක්. බුදු සිරිතේ විශේෂ අවස්ථා සියල්ලම මුළු තුන් ලොවටම දැනෙනව. පින් තියෙන කුසල් වැඩුණු බොහෝ ජනයාට සංසාර දුකෙන් අත මිදෙන්න ඒ පහළවීම භාග්‍යවන්ත වෙනව. ඒ වගේම පින් කුසල් නොවැඩුණු අඳබාල ජනයාට ඒ උපතෙන් ඵල නෙළාගන්න බැරුව යනව.

නැකැත් උත්සව වගේම නැකත් ක්‍රීඩා බොහොමයක් ඉස්සර දඹදිව තිබූ ආගම් මුල් කරගෙන පැවතුණා. ඒ සමහර උත්සව පොදු පිළිගැනීම් මත සිදුවන සාමුහික උත්සව වුණත් සමහර උත්සව ඉතාම ප්‍රාථමික දේවල් වලින් පිරී තිබුණ. ‘බාලනක්කත්ත’ කියන්නෙ ඒ වගේ බාලයන්ගෙ උත්සවයක්. සිතිවිලි බාල, කතාව බාල, හැසිරීම බාල මිනිසුන්ගෙ ඉතාම පහත් ගනයේ උත්සවයක් ඒක.
සතියක් පුරා පැවැත්වෙන ඒ උත්සවයේ දී අඳබාල ජනයන් විසින් ගවයන්ගෙ ගොමයි, අලුයි ගා ගන්නව ඇඟේ. හමු වෙන හමු වෙන කෙනාටත් ගොම ගහනව. අලු ගහනව. හැංගිල ඉඳලත් ගොම අලු විසි කරනව. වයස් භේදයකුත් නැහැ. වැඩිහිටිකමට ගරුත්වයකුත් නැහැ. කටක් ඇරියොත් කියන්නෙ අසභ්‍ය දේවල්මයි. මේ උත්සවවලට සල්ලි ඉල්ලනව. නොදෙන අයටත් අසභ්‍ය වචනෙන් තමයි කතා කරන්නෙ. ඒ නිසා කහවනුවක් හෝ කහවනු භාගයක් හෝ ඔවුන්ට දෙන්නෙ කැමැත්තකින් නම් නෙවෙයි. අමිහිරි අපිරිසුදු වචනයෙන් බැනුම් අහන්න බැරි හින්ද. මිහිරි වචනයක්වත්, අර්ථවත් විහිලුවක්වත් කිසිදු තැනක ඒ කාලෙට ඇහෙන්නෙ නැහැ.

මේ තත්ත්වය සතියක් පුරාම පවතිනව. ඒ කාලේ සීලාචාර මිනිසුන්ට මහා අප්‍රසන්න කාලයක්. ගෙදරින් එලියටවත් එන්නෙ නැතුව තම තමන්ගෙ ගෙවල්වල දොරවල් වහගෙන තියෙන දෙයක් උයාගෙන කාල. හැංගිල වගේ ඒ සතිය ගෙවා දමන්නෙ. පින් පව් දන්න කුසල් අකුසල් දන්න ජනතාව ඒ නිසරු මිනිස්සු එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ. තමන්ගෙ හිත අකුසල් පැත්තට හැරෙන්න දෙන්නෙත් නැතුව සමාජයෙන් ඈත් වෙල තමයි කල් ගෙවන්නෙ.
මෙහෙම සතියක් ගෙවී ගියා. අටවෙනි දවසෙ මේ බොළඳ කෝලහලය අවසන් වෙල නිසා. තිසරණයෙහි පිහිටා ජීවත් වෙන සීලාචර මිනිස්සු ඇතුල් නුවර පොදු ස්ථානයක බුද්ධප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයක් පිළියෙල කරනව. යම් යම් කළකිරීම් තිබූ අයටත් මේ නැකැත් කෙළියෙන් පීඩා වින්ද අයටත් මේ පින්කම මහා අස්වැසිල්ලක් වෙනව.

එදා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය ඇතුල් නුවරට වැඩම කළේ සැදැහැති, සැදැහැතියන්ගෙ කාරුණික ආරාධනාවට අනුවයි. දානෙට කලින් මේ පිරිස ඇවිල්ල උන්වහන්සේට වන්දනා කළා. වැඳල එකත්පසෙක ඉඳගෙන මෙහෙම කිව්ව.
“අනේ ස්වාමීනි, මේ සතිය අපට ගෙවන්න වුණේ බොහොම දුකෙන්. ලජ්ජා භය දෙක නැති, වැඩිහිටි ගරුත්වයක් නැති, ශ්‍රමණ බ්‍රාහ්මණයන් හඳුනන්නෙ නැති කාලයක් ඒක. ඒ නිසයි ඔබ වහන්සේලාට මේ සතිය තුළ අපි ඇතුල් නුවරට වඩින්න දුන්නෙත් නැත්තෙ. අපිත් ගෙවල්වලින් එළියටවත් ආවෙ නැහැ. ස්වාමීනි”
“පින්වත් උපාසක උපාසිකාවනි, අනුවණ බාලයන්ගෙ හැටි එහෙම තමයි. ඒක අනුවණ කමේ ලක්ෂණයක්. ඒ අය අප්‍රමාදයේ වටිනාකම දන්නෙත් නැහැ. පමාවෙහි ආදීනවය දන්නෙත් නැහැ. එදත් අදත් හැමදාමත් අනුවණයන්ගෙ ස්වභාවය එකයි. ඒත් ප්‍රඥාවන්ත මිනිසුන් එහෙම නැහැ. කවදත් බුද්ධිමත් කෙනා අප්‍රමාදීව ප්‍රතිපත්ති රකින්නෙ මහා ධනස්කන්ධයක් රකිනව වගේ. සීල සමාධි ප්‍රඥා මාර්ගය වඩමින් කම් සැපතට ඇලෙන්නෙ නැතිව අප්‍රමාදී බවෙහිම ඇලෙන ඔවුන් නිවන සාක්ෂාත් කර ගන්නව.”

මෙලොව පරලොව දෙකම දන්නෙ නැති කෙනාට තමයි බුදුරජාණන් වහන්සෙ බාලයන් කියල කියන්නෙ. ඒ අනුවණ මිනිසුන්ගේ ජීවිතේ ප්‍රමාදයෙහිම ඇලුන ජීවිත. මිනිස් භවයක් ලැබීමේ දුර්ලභ බව නොදන්න එවැනි අය එදත් තමාට ලැබුණ මේ උතුම් මිනිස් ජීවිතය විනාශ කර ගත්ත. අදත් විනාශ කර ගන්නව. එවැනි අයට නැවත මිනිස් භවයක් ලබන්න තව කල්ප කීයක් මේ සසරේ දුක විඳිමින් යන්න වේවිද දන්නෙ නැහැ.
එදා බුදුරජාණන් වහන්සෙ අප්‍රමාදී පුද්ගලයන්ගෙ ස්වභාවය ඉතා හොඳින් පැහැදිලි කර දුන්න. නුවණැති කෙනා කියන්නෙම අප්‍රමාදී කෙනෙක්. තමාගෙ ජීවිතය ගෙවන්නෙ හොඳ සිහියෙන්. අකුසල් වැඩෙන්න ඉඩ දෙන්නෙ නැහැ. කුසල් වැඩෙන මගක්මයි අනුගමනය කරන්නෙ. විවාහ ජීවිතයත් සුන්දරයි. අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධයෙන් කල් ගෙවන්නෙ. යුතුකම් ඉටුකරන්නෙ බොහොම වුවමනාවෙන්. තම තමන් දැහැමි වෙනව විතරක් නෙවෙයි. අන් අයත් දැහැමි කර ගැනීමට කටයුතු කරනව. ඒ කියන්නෙ තමන් අන් අයට කල්‍යාණ මිත්‍රයෙක් වෙනව කියන එකයි. ඒ නිසාම මෙලොවත් දිනන ඔවුන් පරලොවත් දුගතියෙන් අත්මිදෙනව. සසර ගමනත් දික් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ.

එදා දානෙ අවසානෙ දේශනා කළ ධර්ම දේශනාව බොහෝ දෙනෙකුගේ ප්‍රඥාව තව තවත් අවදි කළා. අප්‍රමාදීවම කල් ගෙවන්න ඒ අයට ඒ දේශනාව මහත් පිටුබලයක් බවට පත් වුනා.


පමාවෙහි ඇලිලා
පව් මග තුළම ගිලිලා
නිසරු මග වඩලා
බාලයන් ඇත අඳුරෙ ගිලිලා

එහෙත් දිවි කෙලවර
මෙලොවම විඳිති කරදර
සිව් අපායෙහි දොර
හැරෙයි ඔවුනට නොමැත අවහිර

නුවණැති දනන්නේ
දිවි මග උතුම් වන්නේ
නොපමා බවින්නේ
අරි අටඟි මග නිති වඩන්නේ

නොපමා බව නිතින්
රකිති ධනයක් විලසින්
දෙලොව ජය ලබමින්
නිවී සැනසෙති සසර අඳුරින්


කැලණිය, වේවැල්දූව,
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 21 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment