Labels

Tuesday, October 6, 2015

සුඛෝපභෝගි ජීවිතය හා සැනසිලිදායක ජීවිතය



”සැප” යනු “සම්පත්” නොවේ. සම්පත් යනු සැපය නොවේ. මෙය දෙකක් මිස එකක් නොවේ. විශේෂයෙන්ම සැප යන සම්පත් යන දෙක වෙනස්වන ආකාරය දාර්ශනිකව තේරුම් ගැනීමට ආධ්‍යාත්මිකව තේරුම් ගැනීමට හොඳ ක්‍රමයක් තිබෙනවා. සැප තුළින් එන ජීවිත සුඛෝපභෝගී ජීවිතයක්. සම්පත් වලින් එන ජීවිතය සැනසිලිදායක ජීවිතයක්. සුඛෝපභෝගි ජීවිතයයි, සැනසිලිදායක ජීවිතයයි එකකට එකක් වෙනස් දෙකක්.
සුඛෝපභෝගි ජීවිතයෙහි සැනසිල්ල තිබෙන්නත් පුළුවන්. සැනසිල්ල නොතිබෙන්නත් පුළුවන්. සැනසිලිදායක ජීවිතයෙහි සුඛෝපයෝගි ජීවිතයක් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්.
අප මෙය තේරුම් ගැනීමට බෝධිසත්වයන් වහන්සේගේ චරිතයයි. බුද්ධ චරිතයයි තේරුම් ගැනීම අවශ්‍යයි. බෝසතාණන් වහන්සේ කියන්නේ ජීවිතයක් වශයෙන් බුද්ධ ජීවිතය නොවෙයි. බෝසත් සිරිතයි බුදු සිරිතයි දෙකක්.

සම්පත් සහ සැප

 

බෝසතාණන් වහන්සේ ගත කළේ සම්පත් සහිත ජීවිතයක්. බුදුපියාණන් වහන්සේ ගතකළේ සැප සහිත ජීවිතයක්. සම්පත් තිබුණ විට සැප තිබෙන්න පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්, සම්පත් නිසා සැප ලැබෙන්නත,් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. සැප බොහෝ වෙලාවට සම්පත් නිසා එන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ සම්පත් පිරුණු ජීවිතයක්. බුදුපියාණන් වහන්සේ සැප පිරුණු ජීවිතයක්. සම්පත්වලින් අනූන වූ බෝසත් චරිතයේ ඇත්,අස්, රථ,පා බල, මහ සෙනඟ ,රම්‍ය, සුරම්‍ය, සුබ, මහ මාලිගාව යන මාලිගා හතර දැසි දසුන් ආදීකොට ඇති, නැතැයි කියන්නට නැති තරම් වන සම්පත් තොගයක් එතන තිබුණා. සැප සොයා බෝසතාණන් වහන්සේ අභිනිෂ්්ක්‍රමණය කිරීම කියල කියන්නේ. බෝසත් ජීවිතය අතහැර බුද්ධ ජීවිතයට ගමන් කිරීම.
සම්පත් අතහැර සැප සොයා ගිය ගමනක් නිසයි එය ලොකු ගමනක් වෙන්නේ. මහ මාලිගාවත් සමඟ මාලිගා හතරක් වන සම්පත් අතහැර සුවසේ සැපදාය ජීවිතයක් ගත කරන විට හිටියේ මහා ගන වනාන්තරය කි. මහා ඝන වනාන්තරයක බවුන් වැඩූ බුදුරජාණන් වහන්සේ ආවරණයක් යට බුදු වුණාද නොවේ. ටෝච් එකක් ළඟ තබාගෙන බුදුවුණා නොවේ. ආලේපන ළඟ තබාගෙන, ආහාර පාර්සල් ළඟ තබාගෙන, බුදුවුණා නොවේ.

බැටරි කෑලි ළඟ තබාගෙනද, ඉටිපන්දම් ළඟ තබාගෙනද ආරක්ෂිත උපකරණ ළඟ තබාගෙනද බුදු වුණා නොවේ. අව්වටද, වැස්සටද, ශීතලටද ,පින්නටද, මදුරුවන්ටද, මැස්සන්ටද සර්පයන්ට යන සියල්ලන්ටම සමසේ ගෝචර වන බිමක වැඩ සිටිය බුදුපියාණන් වහන්සේ සැප තිබුණාට සම්පත් තිබුණේ නැහැ. මහ මාලිගාව සමඟ රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා හතරෙහි බෝසතාණන් වහන්සේට සම්පත් තිබුණාට සැප තිබුණේ නැහැ. මෙම කාරණාවත් සමඟ ගැඹුරට කිඳාබැස යුතු කරුණු වන්නේ සම්පත්වලින් ලැබෙන්නේ සුඛෝපභෝගි භාවයක්. සැපවලින් ලැබෙන්නේ සැනසිලිදායක ජීවිතයක්. සුඛෝපභෝගි ජීවිතය යනු සැනසිලි දායක ජීවිතයක් නොවේ. සුඛෝපභෝගී කියන්නේ භාණ්ඩ පරිහරණය කිරීමක්. බුදුපියාණන් වහන්සේ භාණ්ඩ පරිහරණය අගය කළ කෙනෙකු නොවේ. භාණ්ඩ පරිහරණය පිටු දැකල සාමාන්‍ය ජීවිතයක ජීවත් විය නොහැකි වන්නා සේම, ගිහි හෝ පැවිදි හෝ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයෙකු සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරිම වැරැද්දක් හෝ මහා අපරාධයක් කියා කිසිවකුටවත් කිව නොහැකියි . නමුත් සුවදායි නැහැ. සැපදායි නැහැ. සැනසිලිදායි නැහැ. බොහෝ දේවලින් අනූනයි කියන මානසිකත්වය පමණයි. එම තත්ත්වයට කියන්නේ පහසුව කියලයි. පහසුවයි, සැපයයි දෙකක්. සුඛෝපභෝගී ජීවිතයක් භාණ්ඩ වලින් අනූනයි. එහි කිසිඳු අඩුවක් නැහැ. බඩු බාහිරාදියෙන් පිරිල ඉතිරිලා ගිහිල්ලා. පහසුකම් වලින් සමන්විතයි. නමුත් ශක්තීන්ගෙන් දුර්වලයි.

ශක්ති සම්පන්න බව 

 

අප අදවන විට දියුණු වෙලා තිබෙන්නේ හැකියාවන්ගෙන්ද ? දේවල්වලින්ද ? දියුණුව ලඟා වී ඇත්තේ දේවල්වලින් පමණයි. ඒ කියන්නේ ඉස්සර කාලයයි, දැන් කාලයයි ගත් විට කියනවා අප කියනවා ආශ්චර්යවත් විදිහට දියුණුයි කියලා. නවසිය හැට ගණන්වල උපන් අයටයි. නවසිය හතලිස් ගණන්වල ඉපදුණ අයටයි ලංකාව තුළ පහසුකම් හරිම අඩුයි. සුඛෝපභෝගිකම හරිම අඩුයි. නමුත් හැකියාව වැඩියි. අවුරුදු හැට එහා ජීවත්වන බොහෝ දෙනා සැතපුම් දහය පහළොව පයින් ගමන් කිරීම අරුමයක් ලෙස සළකන්නේ නැහැ. වයසින් අවුරුදු අසූව ඉක්මවු බොහෝ දෙනෙකු දිනපතාම වගේ සැතපුම් හත අට පයින් ගමන් කරපු අය. රැකියාවට යාමේදී පයින් ගමන් කළා. රැකියාව අවසන්ව ගෙදර ඒමේදී පයින් ගමන් කළා. පාසල් යන්නේ පයින්. පාසල් ඇරී නිවස කරා පැමිණෙන්නෙත් පයින් ගමන් කිරීමෙන්. වාහන තිබුණේ නැහැ. ඔවුන්ට පයින් ගමන් කිරීමේ හැකියාවක් තිබුණා. දහඩිය පිට කිරීමේ හැකියාව තියෙනවා. විශාල වශයෙන් ශක්තිජනක ආහාර හොඳට භුක්ති විදීමේ හැකියාව තිබුණා. හොදට කෑම කන්න පුළුවන්. වගේම හොඳට වැඩ කළ හැකියි. දහඩිය දමන්න වැඩකළත් මහන්සි නැහැ. ශක්තිසම්පන්න ශාරීරික ස්වභාවයක් ඔවුන්ට තිබුණා.

ඔවුන්ට සුඛෝපභෝගිභාවය නොතිබුණත් හැකියාව තිබුණා. අද පාසල් යන ඇතැම් දරුවන්ට සැතපුම් පහක් ගමන් කළ නොහැකියි. ඇතැම් විට ඈත බැද්දේ ගම්මානවල ජීවත්වන වාසනාවන්ත දරුවන් තවමත් සිටිනවා විය හැකියි. අවාසනාවකට මෙන් නගරයේ ජීවත්වන දරුවන්ට එම හැකියාව නැහැ. ඉස්සර ළමයි පාසල් ඇරී නිවස කරා පැමිණෙමින් සිටින විට අසල තිබෙන කජු ගහකට නැගලා ඇලට පනින්නේ පිණුමක් ගහල. ඇලට පිණුමක් ගහල අපි ඇලේ නානව.ඇලේ පීනනවා. ඇලේ ගහගෙන යනවා. පාසල නිමවී ඒ සියලුම දේවල් කරල ගෙදර යන විට සවස තුන හමාර වෙනවා. පාසල තිබෙන්නේත් ගෙදරට බොහෝ නුදුරිනි. අපට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. කජු ගහට නැග්ගට ලෙඩක් නැහැ. කජු ගහෙන් ඇලට පැන්නට ලෙඩක් නැහැ. ඇලේ නෑවා කියලා ලෙඩක් නැහැ. නාන කාමරය තුළ නාන නූතන සුඛෝපභෝගි දරුවාට සමහර වෙලාවට විනාඩි දෙකක් වැඩිපුර නෑව නිසා හෙම්බිරිස්සාව වැළඳුණා වෙන්න පුළුවන්. වැඩිවෙලා තියෙන්නේ පහසුකම් හෙවත් සුඛෝපභෝගිභාවය. අඩුවෙලා තියෙන්නේ හැකියාව අප පැහැදිලි ලෙස තේරුම් ගත යුතු කරුණ තමයි අපේ සුඛෝපභෝගිකම බොහෝ දුරට විශාල වශයෙන් ද්‍රව්‍යාත්මක සංවර්ධනය වෙලා තියෙනවා. හැකියාව නැතිවෙලා තියෙනවා. බුදුපියාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ අවධියට වඩා පයින් ඇවිද්දා. ඒ කියන්නේ සැප සහිත ජීවිතයක සම්පත් අඩු විය හැකියි. සිවුපසය නමින් හඳුන්වනු ලබන අත්‍යවශ්‍ය වන මූලික අවශ්‍යතා මිසක් සම්පත් නොවේ. චීවර , පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යනුවෙන් හඳුන්වනු ලබන ස්වාමීන් වහන්සේ නමකට අදාල වන සිවුරු, දාන මාන, බේත් හේත්, සෙනසුන් හා ගිහියකුට අදාල වන ආහාරපාන, ඇඳුම් පැලඳුම්, බේත්හේත් ,ඉඳුම් හිටුම් සහ මූලික වන අත්‍යවශ්‍යතා හතර පහසුකම් හරි සුඛෝපභෝගිකම් හරි නොවේ. ඒ මිනිස් අවශ්‍යතා හතර තිබිය යුතුමයි. ඒක තියෙන්න අවශ්‍යයයි. නමුත් ඒක ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩිකර ගැනීම තුළිණුයි මේ සුඛෝපභෝගීභාවය එන්නේ. ඒ කියන්නේ ගෙයක් යනු මිනිසුන්ට වහලයක් බිත්ති සහ නිදාගත හැකි බිමක්.

 ඒක අදවන විට සුඛෝපභෝගි කමින් උපරිමයට යනවා. එවිට සමහර වෙලාවට පැලේ තියෙන සැපය මහා මන්දිරයේ නොතිබෙන්න පුළුවන්. මහා මන්දිරය තුළ සැපක් නැහැකියා එයින් කියවෙන්නේ නැහැ. සමහර කෙනෙකුට එය තියාගන්නත් පුළුවන්. ද්‍රව්‍යාත්මක සුඛෝපභෝගි භාවය මත නොවෙයි. සැපය රඳාපවතින්නේ . ඒ නිසා බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කළාවූ ජේත කුමාරයාගේ මනස්කාන්ත උද්‍යානයේ මහා මන්දිරයෙදීත් බුදුපියාණන් වහන්සේ එහි ඇලෙන්නේ ,ගැටෙන්නේ නැතිව සැපට තුවාල නොවී සම්පත් භුක්ති වින්දා. එසේ විය හැකියි. මෙතන ගොඩනඟා ගත යුතු පළමු කරුණ සැප යනු සම්පත් නොවේ. සම්පත් යනු සැප නොවේ. සම්පත් වලින් ලැබෙන්නේ සුඛෝපභෝගිභාවයයි. සැපයෙන් ලැබෙන්නේ සැනසිල්ලයි.මේ කාරණා දෙක අපට අද වන විට ඉතාමත් ලස්සනට අදාල වෙනවා. එය එසේ කල්පනා කළ යුතු වන්නේ මේ නිසයි.
අපේ ආදරණීය දරුවන්ට දෙමාපියන් හැටියට ලබා දෙන්න උත්සාහ කරන්නේ ඇත්තටම සැපද? සාමාන්‍යයෙන් දරුවන්ට සුඛෝපභෝගීකම දෙන්න තමයි වෑයම් කරන්නේ. දරුවා වෙනුවෙන් ගිණුමක් විවෘත කරමින් ඔහු වෙනුවෙන් මුදල් තැන්පත් කිරීම, ඔහු වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාගැනීම. ඔහුගේ අධ්‍යාපනය සඳහා අරමුදල් රැස්කිරීම . ඔහුට නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් රැගෙන දැමීම. ඔහු සඳහා සම්පත් මිලදීගෙන තබා ගැනීම, දරුවන් වෙනුවෙන් කළ යුතු දේවල් වේවා යැයි දෙමාපියන් සිතනු ලබනවා. ඒ දරුවාගේ සුඛෝපභෝගිකම වෙනුවෙන්. දරුවාගේ හැකියාව වෙනුවෙන් දරුවා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. ඒ වෙනුවෙන් කොතරම් දේවල් කරනවද? දරුවා සෞඛ්‍ය සම්පන්න වීමට නම් හොඳ ආහාර පද්ධතියක් දිය යුතුයි. පිළිකා කාරක, රස කාරක, වසකාරක වලින් තොර ආහාර වේලක් දිය යුතුයි.

දරුවා වෙනුවෙන් මිලියන ගණනක් තැන්පත් කිරීමට උදේ සිට රෑ වෙනකන් මහන්සි වෙන්නාවූද රෑ සිට එලිවෙනකම් මනසින් තැවෙන්නා වූද දෙමාපියන් පාන්දර නැගිටල දරුවාට කොළ කැද ටික හදලා දෙන්නේ නැහැ. ඒ තියා එම දරුවාට පීනන්න බැහැ. දරුවාට පයින් යන්න බැහැ. දරුවන්ට ජවන හා පිටිය මලල ක්‍රීඩා කරන්න බැහැ. දරුවා ක්‍රියාශීලි නැහැ.ශාරීරිකව ඔරොත්තු දිය හැකි ප්‍රතිශක්ති භාවයක් නැහැ. මානසික ප්‍රතිශක්තිකරණයක් නැහැ. අසල්වැසියා සමඟ ජීවත්වීමට ඔහුට හුරු නැහැ. මේ නිසා ගැමියන් සමඟ ඔහු ඒකාත්මික වන්නේ නැහැ. ගැමියන් අතර අතරමං වුණ ගෙදරට හුදකලා වුණ බිත්ති හතර ලෝකය කරගත්ත අම්මා තාත්තා සහ ගෙදර උපන් සහෝදරයන් පමණක් ආශි‍්‍රතයන් කරගත්ත හුදකලා ජීවිතයක් නරුම තැනකට දරුවාව ගෙනත් මහා ගිණුමක් සමඟ දරුවාව අතරමං කරනු ලබනවා. ඒක තමයි සම්පතක් ඉතිරි කොට සැප නැතිකිරීම දරුවා හැකියාවන්ගෙන් පෝෂණය කරන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න කායිකභාවයකුත්, සෞඛ්‍ය සම්පන්න මානසිකභාවයකුත් නැහැ.



නිරෝගී කයක් සහ නිරෝගී මනසක් නැහැ. බෝසතාණන් වහන්සේට කවර නම් වූ අඩුවක්ද ? උන්වහන්සේට සුඛෝපභෝගීකම නොතිබුණා නොවේ. බුදුපියාණන් වහන්සේ ට යොදුන් ගණන් පයින් යන්න පුළුවන් වුණේබෝසත් කාලයේ තිබුණ සැප වෙනුවට සුඛෝපභෝගීකම අත්නොවින්ද නිසා. බුදුපියාණන් වහන්සේට වාහනයක් තිබුණේ නැහැ. බුදුපියාණන් වහන්සේට උපස්ථායකයෙක් සිටිය බව ඇත්ත. උපස්ථායකයාගේ කාර්ය භාරය වුණේ කියපු කියපු දේවල් මතක තබාගැනීම ආනන්ද හාමුදුුරුවන් වහලකු හෝ සේවකයකු නොවේ. උන්වහන්සේ ඇලෙන් දොළෙන් නාගෙන පයින් වැඩම කළා. උන්වහන්සේ ගස් යට වැඩ හිටියා කියා හෙම්බිරිස්වාව හැදුනේ නැහැ. අව්වට වැස්සට තෙමුණා. වේලුණා, උන්වහන්සේට වෙනත් ආසාදන මොනවත් නැහැ. උන්වහන්සේ ශාරීරිකව ප්‍රතිශක්තිකරණීයයි. ඒ කියන ප්‍රතිශක්තිකභාවය තිබුණා. බුදුපියාණන් වහන්සේට නොතිබුණ සැපක් නැහැ. නොතිබුණ සම්පතක් නැහැ. සම්පත්වලින් අනූන එහෙත් ජවයෙන් සම්පන්න ශරීරයක් නිර්මාණය කළ තාත්තෙක් වුණා. සුද්ධෝදන රජතුමා.

අපේ සාමාන්‍ය ජනතාව පොල්අතු පැලෙන් වහළය හදාගත්තාට පසුව ගොම මැටි පොළොවට ටයිල් දමාගත් පසුව එතැන් සිට පහසුව නැතිකරගෙන සුඛෝපභෝගි වෙනවා. දරුවන්ට දුවන්න පනින්න දෙන්නෙ නැහැ. දරුවා ක්‍රීඩාශීලි කරන්නේ නැහැ. ඒ අය දෙන්න උත්සාහ කළේ සුඛෝපභෝගි ජීවිතයක්. දරුවන්ට දිය යුත්තේ හැකියාවයි. දුවන්න පනින්න පුළුවන් හැකියාව, ශරීරය නම්‍යශීලි හැකියාව, දහඩිය පිට කිරීමේ හැකියාව, ක්‍රීඩාව නිසා ඇතිවන්නා වු ඔරොත්තු දීමේ හැකියාව, මානසිකව දරාගැනීමේ හැකියාව, සමබර ජීවිතය ,සැප දුක එකසේ සමව දරාගැනීමේ හැකියාව, සහ ජය පරාජය එකසේ දරාගත හැකි වීම මෙකි සියලු කායික මානසික ප්‍රතිශක්තිභාවය ඇතිකළ හැකියාව සුඛෝපභෝගි පන්නයේ ජීවිතයත් කැරට් අලයක් මෙන් පෙන්වාපු පාරිභෝගික ආර්ථික රටාව විසින් නොවේ. පාරිභෝගික අර්ථ රටාවේ උපක්‍රම වෙළෙඳ දැන්වීම්, දරුවන් වෙනුවෙන් පාන්දරට කැඳ පොවන එක, දරුවන් පාන්දරට දිවිය යුතු බව, දරුවාගේ අනාගත යහපත වෙනුවෙන් පාන් පිටි ආශි‍්‍රත නිෂ්පාදන වෙනුවට ධාන්‍ය ආහාර ලබාදිය යුතුය කියල වෙළෙඳ දැන්වීම් තුළින් කියන්නේ නැහැ. කැඳ වෙනුවට කිරි බොන්න උගන්වනවා මිස කිරි වෙනුවට කැඳ බොන්න උගන්වන්නේ නැහැ. දේශීයභාවය සහ විජාතිකභාවය කියල කියන දෙකේ විජාතිකභාවය වෙනුවට දේශීයභාවය ලබාදීම දරුවාට අනාගතයක් දීම යැයි කියන මට්ටමට දැන්වීම් තුළින් උගන්වන්නේ නැහැ. එය බරපතළ මාධ්‍යය වරදක්, අධ්‍යාපනික වරදක්, සෞඛ්‍යමය වරදක් උපදේශනමය වරදක්, ක්‍රීඩාමය වරදක්, අපි ළඟ තිබෙනවා. දරුවාගේ අනාගතය පිළිබඳව නිවැරැදි දැක්මක් නැතිවීම පිළිබඳ වරදකුත් තියෙනවා.


කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත
අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි



 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment