Labels

Friday, October 2, 2015

මෙලොව ජයගන්නා ස්‌ත්‍රිය



 සකුණි ඛෝ විසාඛෙ, ධම්මෙහි සමන් නාගතො මාතුගාමො ඉධලෝක විවියාව පටිපන්නොහොති අයං ලොකො අරද්ධොහොති කත මෙහි චතුහි? ඉධ විශාඛෙ, මාතු ගාමො සුසංවිහිත කම්මන්තො හෝති සංගහිත පරිප්නො, භන්තුමනාපං චරති සම්භතං අනුරක්‌ඛති'


මෙම වදන තථාගතයන් වහන්සේ විසින් විශාඛා මහ උපාසිකාවට වදාරණ ලද්දකි.

'මනාකොට කළ යුතුද කිරීමය. පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍රහ කිරීම, සිය සැමියා සතුටු වන පරිදි හැසිරීම, ස්‌වාමියා උපයන ධනය ආරක්‌ෂා කර ගැනීම යන කරුණු සතරින් යුක්‌ත ස්‌ත්‍රිය මෙලොම ජයගන්නා බව ප්‍රකාශිතය.

01. ආහාර පිසීම, මැසීම, ගෙතීම, ගේ දොර පවිත්‍ර කිරීම, සැකසීම, කැඩුම් බිදුම් අලුත්වැඩියා කර ගැනීම, නිවසක්‌ තුළ කළ යුතු සියලු දේ අනලසව සිදුකිරීම

2. නිවස තුළ කළ යුතු දේ නොකළ යුතු දේ දැන ගැනීම, සේවිකාවන්ට පැවරීම, ඔවුනට සංග්‍රහ කිරීම, ගිලන්වූ කල සැලකීම, පිටතින් පැමිණෙන අය පිළිගැනීම සංග්‍රහ කිරීම.

3. සැමියා සතුටු වන පරිදි හැසිරීම. මෙසේ නොවන්නේ නම් සැමියා ධනය ඉපයීමට පසුබට වෙයි. අන්‍ය ස්‌ත්‍රීන් ඇසුරු කරන්නට පටන් ගනී. එයින් පවුල පරිහානියට පත් වේ.

4. සැමියා උපයන ධනය පරෙස්‌සම් කර ගැනීම හා නිසි ලෙස කළමනාකරණය කිරීම. පමණ නොදැන ඉක්‌මවා වියදම් කරන්නියක්‌ වුවහොත් දිළිඳු බවට පත්වනු ඇත.

පරලොව ජයගන්නා ස්‌ත්‍රිය.

1. සද්ධා සම්පන්නො හෝති - ශ්‍රද්ධාවෙන් යුක්‌ත වීම.

2.සීල සම්පන්නො හෝති - ශීලයෙක්‌ යුක්‌ත වීම

3. චාග සම්පන්නො හෝති - දෙන ස්‌වභාවය ඇතිවීම

4. පඤ්ඤා සම්පන්නො හෝති - නුවණින් යුක්‌ත වීම

මෙම කරුණු අටෙන් යුක්‌තවූ කාන්තාව මෙලොව ප්‍රීතියෙන් වාසය කොට මරණින්ම මතු, 'චනාපකායික' දෙවියන් කෙරෙහි උපදින්නීය.

දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු ව්‍යග්ඝපච්ච සූත්‍රයේ කෝලිත රාජ පුත්‍රයාට දිවි පැවැත්ම යහපත පිණිස පවත්නා කරුණු අටක්‌ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සේක.

1. උට්‌ඨාන සම්පදාය - ගොවිකමින් හෝ වෙළ¹මින් හෝ ශිල්පයකින් හෝ ශාස්‌ත්‍රයකින් රාජකාරියකින් ජීවත්වන තැනැත්තාගේ තමා ඒ කරන කටයුත්ත නුවණින් යුක්‌තව දක්‌ෂව අනලස්‌ව කරන බවය.

2. ආරක්‌ඛ සම්පදා - මාපියන්ගෙන් අයින්වීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයාගෙන තමා සතු ධනය රජුන් විසින්, සොරුන් විසින් පැහැර නොගන්නා පරිදි විනාශ නොවන පරිදි ගින්නට, දියට, වේයන්ට, මීයන්ට හසුවී විනාශ නොවන පරිදි ආරක්‌ෂාකරන බවය.

3. කල්‍යාණ මිත්තා - ශද්ධා, සීල, ප්‍රඥ ගුණධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍රය කරන බවය.

4. සමජීවිකතාය - ආදායමට වඩා වියදම් වැඩිකර නොගෙන ණය ගැතිනොවී පමණට වියදම් කොට දුක්‌ නොවිඳ සමව ජීවිකාවකරන බවය.

5. සද්ධා සම්ප්‍රදාය - බුද්ධ, ධම්ම, සංඝ රත්නය කෙරෙහි ගුණ හා කර්ම පලයන් විශ්වාස කරන බවය.

6. සීල සම්පදාය - ගිහියන්ට නිරන්තරයෙන් පන්සිල් රක්‌නා බවය.

7. චාග සම්පදාය - ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී, මගී, යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන, වස්‌ත්‍රාදිය දෙන බවය.

8. පඤ්ඤා සම්පදාය - ස්‌කන්ධවාදී ධර්මයන්ගේ පොදු ලක්‌ෂණ ධර්මතාව සහ අනිත්‍ය ලක්‌ෂණයන්ගෙන් දක්‌නා විදර්ශනා ඥනය ඇති බවය.

ධනවත් හා උසස්‌ පවුල් විනාශවීම හා බිඳ වැටීම හේතු 'නට්‌ඨංන ගවෙස්‌සන්ති - ජිණ්‌නං ත පටිසංක රොන්ති. අපරිමිත පාන භෝජනා හොන්ති - දුස්‌සීලං ඉත්ථිංවා පූරීසංවා, ආධිපච්චෙ ඨ පෙන්ති'

නැතිවූ දෙය නොසෙවීම, දිරූ දෙය අලුත් නොකිරීම, පමණක්‌ නැතිව කෑම බීම පරිභෝජනය, දුශ්ශීල ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ ප්‍රධානත්වයේ තැබීම යන කරුණු සතර පොහොසත් පවුල වැටීමට හේතුවනු ඇතැයි බුදුන්වහන්සේ වදාළ සේක.

වස්‌තු විනාශයේ හේතු සය

මෙය බුදුන් වහන්සේ සිගාල නම් ගෘහපති පුත්‍රයාට දේශනා කරන ලද්දකි.

ගෘහපතිය, මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම, වස්‌තු විනාශයක හේතුවකි. නොකල්හි වීථිවල නැවත නැවත හැසිරීම් වස්‌තු විනාශයේ හේතුවකි. නෘත්‍ය ගීතාදිය පවත්වන තැන්වල නැවත නැවත යෙදීම වස්‌ විනාශයට හේතුවකි. ප්‍රමදයට හේතුවූ සූදුවෙහි නැවත නැවත යෙදීම වස්‌තු විනාශයට හේතුවකි. පාප මිත්‍රයන් නැවත නැවත සේවනය කිරීම වස්‌තු විනාශයට හේතුවකි. අලස බවෙහි නැවත නැවත යෙදීම වස්‌තු විනාශයට හේතුවකි.

මීට වසර 2600 කට මත්තෙන් ලොව පහළ වුණ අප තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බොදු පවුල නමැති ජන එකමුතුව වෙනුවෙන් වදාළ ඒ උතුම් දහම් පද ඇසෙන, ලියෑවෙන, කියෑවෙන හා හඬ නැගෙන මෙවන් යුගයක අදත් ඒ අයුරින්ම රැව්දේ. අප අතරේ එම සිරිත් විරිත් ඇත්තේද, නැත්තේද නොවේ. එහෙත් වත්මන් පුංචි පවුල නමැති ජන සමාජයට අද පත්වී ඇති ඉරණම ෙ€දජනකය.

අතීතයේ පවුල තුළ තිබූ සහජීවනය, එකතුමුතුකම, එකිනෙකා අතර තිබූ සමීප බව, ලෙන්ගතු බව, ආදරය දැකිය නොහැක. අධ්‍යාත්මිකයනට වඩා භෞතික අවශ්‍යතා උදෙසා රැයක්‌, දවාලක්‌ නොසලකා දුවති. ස්‌වාමියා, බිරිඳ අතර තිබූ බැඳීම දුරස්‌ථව ඇත. දරුවන් මව්පිය ආදරය සෙනෙහස නොලබා හුදකලාවී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්‌ මත්ද්‍රව්‍යHට, දුරකථනයට, අන්තර්ජාලයට, පරිගණයකට තම ආත්ම සුවය පතා ගැතිවී ඇත.අතීතයේ දහදෙනකුගෙන් යුත් යෝධ පවුල වෙනුවට අද පුංචි පවුල රත්තරන් වී ඇත. එයට හැඩ ගැසුණු අය දැන් කාත් කවුරුත් නොමැතිව මහගෙදර, මහලු මඩම්වල තනිවී වතුර පොදක්‌වත් නොලබා හුස්‌ම ටික පිටකරන අම්මලා, තාත්තලා කොතෙකුත් ඇත.

සෑම සිංහල අවුරුදු සමයට සතියක්‌ කල් තියා සුරාසැල් ඉදිරිපිට පැය ගණන් පෙළගැසී සිටි ආකාරය කුමකටදැයි කිව යුතු නැත. සමස්‌ත පිරිස මේ වෙනුවෙන් වැය කරන කෝටි ප්‍රකෝටි මහා ධනස්‌කන්ධය තම තමන්ගේ පවුලේ සුබ සිද්ධියට යොදනවා නම් මොනතරම් භාග්‍යයක්‌ද? වටිනා පිං ඇති සත්කාර්යක්‌ නොවේද? සිදුවූයේ කුමක්‌ද?තම ආයුෂත්, ආර්ථිකයත්, ආත්ම ගෞරවයත්, පරලොව ජීවිතයත් කෙලෙසා ගත්තා යෑයි නොසිතෙන්න ඇත.

මේ ජාතික ව්‍යසනයෙන් බැහැර විය යුතු කාලය එළැඹ ඇත. එසේ නොවන්නට නම් සමස්‌ත ලෝකයෙන්ම සාරධර්ම අතුරෙන් සත්පුරුෂ ගුණධර්ම අතුරෙන් ගෞරවයක්‌ හිමිවී තිබූ සිංහල බොදු ජනතාව මිලේච්ඡ ජාතියක්‌ බවට පත්වනු ඇත. ඔබ හිතන පතන සුබවාදී සුන්දර ලෝකය බොඳ වී සිහින ලෝකයක්‌ වනු නොඅනුමානය. දයාබර අම්මේ, තාත්තේ, නංගියේ, මල්ලියේ, ඔබට හෙට දවසක්‌ ඇත. අනාගතය ගැන ධනාත්මකව සිතන්න. සුබවාදී වන්න. එදාට ලෝකයේ සියලු පවුලක්‌ම සුවඳ හමන කුසුමක්‌ බවට පත්වනු ඇත.


 වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්‌ථානයේ හොරණ කල්‍යාණධම්ම හිමි

2015 බිනර මස 27 වැනිදා ඉරිදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment