අද අපේ බොහෝ දෙනාට සංසාර ගමන් මඟ වගේම නිර්වාණ මාර්ගය ගැන නිසි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. සංසාර මඟ හා ක්ෂණික නිවන් මඟ යන්න ගැන මඳක් හෝ සොයා බැලිය යුත්තේ එම නිසයි.
අපේ සංසාරය දිග්වෙන්නේ කොහොමද? කෙටිම නිවන් මඟ තේරුම් ගන්නේ කොහොමද? බුද්ධ දේශනාවේ මේ බව සඳහන් වෙන්නේ කොහොමද?
“අඤ්ඤාභි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිණී” මේ බුද්ධ දේශනාවයි. ලාභ ලබන මාර්ගය හෙවත් ලෞකික මාර්ගය එකක්. නිර්වාණය කරා යන ගමන තවත් එකක්. ගිිහි හෝ වේවා, පැවිදි හෝ වේවා මේ සිද්ධාන්තය පැහැදිලිව තේරුම් ගත යුතු වනවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාන්තය පැහැදිලි කිරීමට ඉතාම පැහැදිලි ලස්සන වදනක් දේශනා කර තිබෙනවා. ඒ ‘පටිච්ච යන්නයි. පටිච්ච යනුවෙන් අදහස් වන්නේ ප්‍රත්‍ය යන්නයි.
අවිජ්ජා පච්චයා සංඛාරා,සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් ධර්මයේ මේ බව පැහැදිලිව දැක්වෙනවා. මේ එක් ප්‍රත්‍යයක් අනෙකට සාපේක්ෂවයි පවතින්නේ . අවිජ්ජාව ප්‍රත්‍ය කොටගෙන සංස්කාර පවතිනවා. සංඛාර ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාවත් පවතිනවා. අවිද්‍යාව නිසා විඤ්ඤාණයක් හටගන්නවා. එතකොට විඤ්ඤාණය සාපේක්ෂකව සංස්කාරවලට සමාන්තරයි. සංස්කාර විඤ්ඤාණයට සාපේක්ෂකයි නැත්නම් සමාන්තරයි. යම් දෙයකට තවත් යමක් සාපේක්ෂයි නම් එතැන අනිවාර්යයෙන්ම පැවැත්මක් ඇති වනවා. සංසාරයත් එසේ දිගුකාලීන පැවැත්මක් ඇති කරනවා.
සාපේක්ෂ බව තේරුම් ගැනීම අපට එතරම් අපහසු නැහැ. උදාහරණයක් ලෙස සලකනවා නම් අප වම කියල කියන්නේ දකුණ තියෙන නිසා වමට සාපේක්ෂකයි දකුණ දකුණට සාපේක්ෂකයි. වම දකුණ නැත්නම් වමක් නැහැ. වම නැත්නම් දකුණක් නැහැ. එකකට එකක් අනික රඳා පවතිනවා. මේ නිසා සාපේක්ෂ බව ඉතා වැදගත් අප සාපේක්ෂතාවාදයේ පියා යැයි ඇල්බට් අයින්ස්ටයින් හඳුන්වා දුන්නත් සැබෑ ලෙසින්ම ලෝක ඉතිහාසයේ පළමු වරට එය ඉදිරිපත් කෙළේ බුදුරජාණන් වහන්සේ විසින් සංසාරයේ පැවැත්ම තියන තැන ප්‍රත්‍ය කොට සාපේක්ෂව පෙන්නුවා. මෙය ඇති කල ඇත, නැති කල නැත. උපදින කල උපදී. නූපදින කල නූපදී යන්නයි. බුද්ධ දේශනාවේ දී මේ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දක්වා තිබෙනවා.
අස්මිං සති ඉදංහොති
අස්මිං අසති ඉදං න හොති
ඉමස්ස උප්පාදා ඉධං උප්පච්ඡති
ඉමස්ස නිරෝධා ඉධං නිරුඡ්ජති
මේ තත්ත්වය කොහොමද සසර පැවැත්මට හේතු වන්නේ .හොඳින් මේ බව තේරුම් ගන්න. සාපේක්ෂව බලන තාක් අපට දුකමයි ඇති වන්නේ. ශරීරය මහත කෙනෙකු ශරීරය කෙට්ටු කෙනෙකු දිහා බලා දුක් වෙනවා. ශරීරය කෙට්ටු කෙනා රූමත් අයෙක් දැක සාපේක්ෂව කල්පනා කර දුක් වෙනවා.අප දිවිය පුරා මේ සාපේක්ෂකත්වය මතයි සිටින්නේ. අවිජ්ජා යනු පසෙක දමා බලමු. අපගේ ඇස, කන, නාසය, දිව, ශරීරය සිත යන ඉන්ද්‍රියන්ට විවිධ අරමුණු ඇති වෙනවා. ඇස,කන, නාසය, දිව, ශරීරය, සාපේක්ෂකව හිතන තාක් දුකමයි ලොකයේ පවතින්නේ.
ඒ තුළ කොහොමද සංසාරය ඇති වන්නේ. අප ප්‍රායෝගිකව වටහා ගන්න බලමු .ඇස. කන,නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් යන්න සම්පූර්ණයෙන් සිත ඇසුරු කරගෙනයි ජීවත් වන්නේ. වේදනා සඤ්ඤා සංඛාර යන විඤ්ඤාණය පහළ වන්නේ සිත ඇසුරු කරගෙනයි.
විඤ්ඤාණයත් එක්කම පවතින දේ විඤ්ඤාණ යේම හැඩරුව ලක්ෂණ තමයි මේ පෙන්වන්නේ. අප ඉහතින් දැක් වූ ඇස, කන, නාසය, දිව, ශරීරය , සිත යන හය තමයි සත්වයා කියන්නේ.
මේ මගින් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ලබනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ යනුවෙන් හඳුන්වන්නේ ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස , ශරීරයට ස්පර්ශ සිතට සිතිවිලි හෙවත් ධම්ම ඇති වීමයි. මේ සියල්ල ඇති වන විට කුමක්ද සිදුවන්නේ ඒවා අරමුණු වන මිනිසා ඒවා පිළිබඳව දෙපැත්තකට දාල හිතනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ තිබේනම් ඊළගට ඇති වන දේ තමයි “ද්වන්ධ වරණය” මොකක්ද? ඒ ද්වන්ධ වරණය කියන්නේ. දෙපැත්තට යොදා බැලීමයි. ඇත නැත්නම්, නැත යන අන්ත දෙකටයි එය යොදන්නේ. ඇත්තෙන්ම සාපේක්ෂකව බලන බැල්ම තමයි එයින් හඳුන්වන්නේ. උස මිටි,හොඳ නරක , සුදු කලු, මහත කෙට්ටු මේ වගේ දෙපැත්තට දාල බලනවා. විශේෂයෙන් ඇත නැත යන්න නැත්නම් ශාස්වත හා උච්ඡේද වාදයක තමයි මෙහිදී ඉස්මතු වන්නේ. මේ තත්වය ගැඹුරටම ගියාම අප කියනවා මරණයෙන් පසු උපතක් ඇත. මරණයෙන් පසු උපතක් නැත. යන්න.මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නිසා තමයි ඇත. නැත යන දෙපැත්තට හිතන්නේ. මේ ඇත නැත යන දෙක තියෙනවා නම් ඊළගට හටගන්නා දේ තමයි චතුෂ්කෝටිය ඒ අන්ත හතරක් හෙවත් කෙළවර හතරක් ගැන හිතනවා. ඇත. නැත. ඇත නැත. දෙකම පිළිගැනීම,ඇත්තේද නැත නැත්තේද නැත යන්න මේ චතුෂ්කෝටියට අයත්වනවා. මෙය බුදු දහමේ දක්වා ඇත්තේ .
අස්ථී නාස්ථි අස්ථිව නාස්ථිව නේව අස්ථී නව නත්ථි යනුවෙන්
මේ විදිහට දැන් මේ හතර පැත්ත ගැනම හිතනවා. ඇත කියන එකත් පිළිගන්නවා , නැහැ කියන එකත් පිළිගන්නවා. අපි උදාහරණයක් ගනිමු. වෛද්‍යවරයෙක් හමුවන කාන්තාවකට වෛද්‍යවරයා පවසනවා ඔබට සීනි සහ කොලොස්ටරෝල තිබෙනවා. එම නිසා පිටි කෑම ඉඳහිට ගත්තට කමක් නැහැ. සීනි ගන්නම එපා. එහි ඇත සහ නැත යන දෙකම අඩංගු වෙනවා. අර කාන්තාව අහනවා. ඉඳහිට සීනි බනිස් ගෙඩියක් කෑවට කමක් නැද්ද? අන්න දෙපැත්තම පිළිගැනීම (අස්ථිව නාස්තිව) දෙකම පිළිගන්නවා. මේ අයුරින් ඇත්තේද නැත්තේද නැත යන්නත් අප දහමේ දැක්වෙනවා. බුදු දහම හැර ලෝකයේ තිබෙන සියලු ආගම් අයිතිවන්නේ මේ චතුස්කෝටියටයි.
දේවනිර්මාණය වාදය, ඉස්සර නිම්මාන වාදය, ඒක දේව වාදයක් බහු දේව වාදයක් අනෙක් සියලු ඉගැන්වීම් සියල්ල ඊට අයත් වනවා. බුදු දහම ඒ කිසිවකට ඇතුළු වන්නේ නැහැ. එය පටිච්ච සමුප්පන්න දර්ශනයක් පමණයි. ඒ ගැන මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment