Labels

Friday, October 16, 2015

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා



 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින ලිපිය

බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය

සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායේ පටිසම්භිදාමග්ග මහා වග්ගයට අයත් ඤාණ කතා විස්තරයෙහි තථාගතයන් වහන්සේ සතු ඤාණ හැත්තෑ තුනක් පිළිබඳ විස්තර සඳහන් වෙනවා. අප තෙසැත්තෑ බුද්ධ ඤාණ නමින් හඳුන්වන්නේ ඒවායි. ‘සොතාවධානෙ පඤ්ඤා සුත්මයෙ ඤාණං’ කියා පටන් ගන්නා පළමුවන ඤාණයෙහි පටන් ‘පටිභාණ පටිසම්භිදෙ ඤාණං’ කියන ඤාණය තෙක් වන ඤාණ හැට පහ සියලු රහතන් වහන්සේලාට ලැබෙන ඤාණයි. එනිසා ඒවා පොදුයි. සාධාරණයි, අවිශේෂයි සියලු රහතන්වහන්සේලාට පොදු සාධාරණ අවිශේෂ ඤාණ හැට පහක් බව එයින් අප තේරුම් ගත යුතුය.
ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණයේ පටන් අනාවරණ ඤාණය තෙක් ඇති ඉතිරි ඤාණ හය ලැබෙන්නේ, තිබෙන්නේ බුදු කෙනෙකුට පමණයි. එනිසා ඒවා පුද්ගලිකයි. අසාධාරණයි. සුවිශේෂයි. මේ අනුව බුදු කෙනෙකුටම ආවේණික අසාධාරණ, සුවිශේෂී ඤාණ හයක් ඇති බව අප දැන ගත යුතුයි. ෂඩ් අසාධාරණය ඤාණ නමින් ධර්ම විස්තරවල දැක්වෙන්නේ ලොව කවරම රහත් කෙනෙකුටවත් නැති තථාගත බුදුරජාණන් වහන්සේලාට ම පමණක් ඇති සුවිශේෂි බුද්ධ ඤාණ හයකි. රහතන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය කුමක් ද සිතා මතු වන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ මේ ෂඩ් අසාධාරණ ඤාණය දැන ඉගෙනීමෙනි.
බෞද්ධ සාහිත්‍යයේ තථාගතයන් වහන්සේ හැඳින්වීමට යොදා තිබෙන ගුණ පද අතර අපට අසන්නට දකින්නට ලැබෙනවා අසම, අසමසම, අප්පටිම, ඒකාතා, අදුතියෝ වැනි පද රාශියක්. මේ සියලු පදවලින් අදහස් කරන්නේ උන්වහන්සේ තුන් ලොවම කිසිවෙකුටත් සම නොවන අසම, අසාධාරණ, සුවිශේෂ බුද්ධ ලක්ෂණයෙන් හා ගුණයෙන් පිරී සිටින බවයි. බුද්ධ චරිතයත් බුද්ධ ධර්මයත් විමසා බලන විට අපට ඒත්තු ගන්නට පුළුවනි.
එය වචනයට සීමා වූ කරුණක් නොවෙයි. අර්ථයෙන් ම, සත්‍යයෙන් ම, පවත්නා නිසාම අනුරූප වූ ගැළපෙන කියමනක් බව, අසාධාරණ බුද්ධ ලක්ෂණ බුදු ගුණ එකින් එක සියල්ලක් විස්තර කිරීම හෝ ඉදිරිපත් කිරීම අප හට කළ හැකි කාර්යයක් නොවෙයි. එනිසා තමයි එබඳු අචින්ත්‍ය (සිතන්නට බැරි) අභව්‍ය (කියන්නට බැරි) අවෙද්‍ය (අවබෝධ කරගන්නට බැරි) බුදු ගුණ කල්පයක් පුරා එවැනි ම බුදු කෙනෙක් වර්ණනා කළත් කල්පය ගෙවෙනවා මිස බුදු ගුණ නොගෙවෙන බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ, එමෙන් ම ගංගා නම් ගඟේ වැලි අවසන් කළත් මහා සාගරයේ දිය බිඳු අවසන් කළත් බුදු ගුණ කියා නිම කළ නොහැකි බව කියා ඇත්තේ බුද්ධ ශක්තියෙහි ඇති අසාමාන්‍ය අසාධාරණ සුවිශේෂත්වය නිසයි. ලොව කිසිම රහතන් වහන්සේ නමකටවත් නොතිබෙන, නොලැබෙන බුදුවරයන් වහන්සේ නමකට ම පමණක් තිබෙන ලැබෙන මේ අසාධාරණ ඤාණ හය එසේ ම උන්වහන්සේගේ සුවිශේෂත්වය මූර්තිමත් කරන බුද්ධ ශක්තියකි.

ඒ නිසා බුදුන් දැන හඳුනා ගැනීමට ආශාවක් ඕනෑකමක් ඇති සැමදෙනා විසින් ම ෂඩ් අසාධාරණ ඤාණ වැනි සුවිශේෂ බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘවහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය. උන්වහන්සේ වැඩ සිටි අවධියේ ගම් නියම්ගම් දනව් සැරිසරා වඩින විට දායකයන් නොවන, හිතවතුන් නොවන නන්නාදුනන්නන් පවා උන්වහන්සේ පිළිබඳ ‘ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ’ ආදී වශයෙන් පැතිරුණු කීර්ති රාවය අස අසා කිය කියා සිත සිතා එවැනි උතුමකුගේ දැකීමත් මහ වාසනාවක් කොට සලකා රංචු රංචු වශයෙන් ඇඳී බැඳී ගිය සැටි අපේ පොත් පත්වල විස්තර වෙනවා. තත්ත්වය එසේ නම් බුදුන් සරණ පරායණ කොට ඇති කෙනෙක් උන්වහන්සේ හඳුනා ගැනීමට කෙතරම් උත්සාහක්, වෑයමක්, පරිශ්‍රමයක් දැරිය යුතු ද? බුදුරදුන් සරණ පරායණ කොට ගන්නා අපට සරණ වීමට, පිහිටවීමට, උන්වහන්සේට ඇති ශක්තිය කුමක් ද? මහිමය කුමක් ද? කියා අප විමසිය යුතුයි. සලකා බැලිය යුතුයි. පිහිටක් පිළිසරණක් ලබා ගත හැක්කේ ශක්තිමත් බලයක් ඇති තැනකින් මිස නැති තැනකින් නොවෙයි. එහෙම නම් සියලු දුකින් සතුන් මිදවීමට තථාගතයන් වහන්සේට ඇති ශක්තිය කෙබඳු ද? කවරාකාර ද? එහි සත්‍යාර්ථයේ දී තිබේ දැයි විමසා බැලීම දැන ඉගෙනනීම ඉතා වැදගත් වන කරුණක්.

මිනිස් ඉතිහාසයේ පහළ වූ මහා ප්‍රාඥයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන්ට යථාර්ථය දැක්වීමට සමත් වූයේ උන්වහන්සේ පසක් කළ තෙසැත්තෑ ඤාණ සම්භාරය නිසයි. මෙයින් ඤාණ හැට හතක් ම රහත් බව පසක් කරන කවරම ශ්‍රාවකයෙකුට වූවත් සාධාරණය. එම තත්ත්වයත් ඉක්මවා ගිය බුදුරජාණන් වහන්සේට අන් කිසිවෙකුටත් සාධාරණය නොව අසාධාරණ ඤාණ හයක් වන බව මුලින් සඳහන් කෙළෙමු. මෙම ලිපියෙන් අප අදහස් කරන්නේ එහි සියලු ඤාණ විස්තර කිරීම නොව ෂඩ් අසාධාරණ ඤාණ ඇතුළත් ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණය ගැන ගැඹුරින් විභාග කර බැලීමයි. පටිසම්භිදා මග්ගයෙහි එය විස්තර කර ඇත්තේ මෙසේයි.

“තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණය කුමක් ද? තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි අල්පරජස්ක – මහාරජස්ක ක සත්ත්වයන්, තියුණු ඉන්ද්‍රීය ඇති, මෘදු ඉන්ද්‍රීය ඇති සත්ත්වයන්, හොඳ ආකාර ඇති නරක ආකාර ඇති සත්වයන්, පහසුවෙන් කරුණු අවබෝධ කරවිය නොහැකි සත්වයන්, ලෝක වජ්ජයෙහි බිය දන්නා සුලු ලෝක වජ්ජයෙහි බිය නොදන්නා සුලු සත්වයන් දනිති. මෙම තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රීය පරොපරියත්ත ඤාණයයි”

මෙයින් පැහැදිලි කරන්නේ ඉන්ද්‍රීය පරොපරියත්ති ඤාණයයි. එම ඤාණයේ ස්වභාවයත් කාර්යයත් මෙම විස්තරයෙන් මනාව එළිදරව් කොට තිබෙනවා. ඒ අනුව තවදුරටත් එය මෙසේ විමසා බැලිය හැකි ය. බුදු දහමේ ඉන්ද්‍රීය ධර්ම විසි දෙකක් උගන්වා තිබෙනවා. එයින් මෙතැනට අදාළ වන්නේ ඉන්ද්‍රීය ධර්ම පහක් පමණයි. සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා යන පහයි. ඒ බුදු දහමේ උගන්වන ලෝකයේ යථා ස්වභාවය දුකයි. මේ පොදු දුක දුරලීමට මඟ පෙන්වීම බුද්ධ ධර්මයේ පරමාර්ථයයි. බුදු සරණින් දම් සරණින් නිවී සැනසීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වන මිනිසාට ඇසුරු කළ යුතු, වැඩිය යුතු, දියුණු කළ යුතු, ප්‍රමුඛ ප්‍රධාන ධර්ම පහක් තිබෙනවා. ඒ පහ තමයි මේ සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා කියන ධර්ම පහ. ඉන්ද්‍රීය ධර්ම යන වචනයේ තේරුම අධිපති, නායක, ප්‍රමුඛ, පුරෝගාමී කියන එකයි. නිවන නමින් හඳුන්වන දුක්ඛ නිරෝධය හෙවත් නිවන පසක් කිරීම සඳහා බුදුසරණ, දම්සරණ පතන මිනිසා විසින් ඒ සඳහා අනිවාර්යයෙන් ආධිපත්‍යය දරන, ප්‍රමුඛත්වය දරන, නායකත්වය දරන, පෙරමුණ ගන්නා පුරෝගාමී ධර්මයක් වන සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා යන කරුණු පහ ඇසුරු කළ යුතුයි. වැඩි දියුණු කළ යුතුයි. බහුල කළ යුතුයි. එය බෞද්ධ ශික්ෂාවයි. නායකත්වයෙහි ලා සැලකෙන මේ පිළිවෙත ධර්මවලින් සිදුවන්නේ දුකට පත්කොට නිවනට පටහැනි අශ්‍රද්ධාදි විරුද්ධ ධර්ම මැඩපැවැත්වීම, යටපත් කිරීම, සහමුලින් නසා වනසා දැමීමයි. එබැවින් නිවන් පසක් කරන තුරු සතර භූමියෙහි ම මේ ආධිපත්‍යය, නායකත්වය, පුරෝගාමීත්වය තිබිය යුතුවෙයි. දැන් ඉන්ද්‍රීය යන වචනයේ තේරුමත් ඉන් අදහස් කළ දේත්, එහි කාර්යයත් පැහැදිලි වන්නට ඇතැයි සිතමි.

පරෝපරියත්ති යන වචනය තේරුම් ගැනීමට ඊළඟට සලකා බලමු. පරෝපරියත්ති කියන්නේ පරභාවය සහ අපරභාවයයි. පරභාවය කියන්නේ වෘද්ධියයි. එනම් දියුණුවයි. අපරභාවය නම් හානියකි. එනම් පිරිහීමයි. තවත් විධියකින් තේරුම් කළ හොත් ශ්‍රද්ධාදිය කෙතරම් අලාමක ද, ලාමක ද, යන යථා තත්ත්වයයි. ඇති තතුයි, තත් වූ පරිද්දයි. දැන් ඉන්ද්‍රීය පරොපරියත්ති කියන්නේ ශ්‍රද්ධාදියෙහි උසස් පහත් බව කියා අපට තේරුම් ගැනීමට පුළුවනි. ඤාණ නම් ප්‍රඥාවයි. යථා තත්ත්වයෙන් ඇති සැටියෙන් අවිපරිතව දැකීම ඤාණයයි. අවබෝධයයි. දැනීම, දැනීම ඤාණයයි. මේ අනුව ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණ කියන්නේ නිවන් පසක් කිරීමට ඇසුරු කළ යුතු, වැඩිය යුතු, පුහුණු කළ යුතු පුරෝගාමී ප්‍රමුඛ අධිපති ධර්ම වශයෙන් දැක්වූ ශ්‍රද්ධා, සති, වීර්ය, සමාධි, ප්‍රඥා යන ධර්ම කෙතරම් උසස් පහත් තත්ත්වයක පවතින්නේ ද කියා යථා තත්ත්වයෙන් ඇති සැටියෙන් තත් වූ පරිද්දෙන් දන්නා ඤාණයයි. මෙය බුදුරජාණන් වහන්සේට ම මිස ඉන් මෙපිට කිසිවෙකුටත් නොලැබෙන, නොතිබෙන අසාධාරණ ඤාණයක් ලෙස සඳහන් වෙනවා.

2015 ක් වූ ඔක්තෝබර් 04 වනදා ඉරිදා  දින ලිපිය

සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ.


මේ අසාධාරණ ඤාණය ඇති නිසා උන්වහන්සේට මේ මිනිසුන් අල්පරජස්ක ද? මහාරජස්ක ද? කියා බලන්නට පුළුවන්, දකින්නට පුළුවන්, දැනගන්නට පුළුවන් . “අප්පරජ්ඣෙ මහාරජ්ඣෙ සතේත පස්සති” කියා සඳහන් කළේ ඒ නිසා ය. රජස් කියන්නේ කෙලෙස්වලටයි. අල්ප රජසක කියන්නේ කෙලෙස් අඩු මහා රජස්ක කියන්නේ කෙලෙස් වැඩි, රජස් යන වචනයේ මතුපිට තේරුම දුර්වලයි. දූවිල්ලෙන් වන්නේ කිලිටිවීමයි. අපවිත්‍රවීමයි. දූවිල්ලෙන් අපිරිසුදු වන්නා වාගේ ම කෙලෙස්වලිනුත් අප අපිරිසුදු වෙනවා. එම තේරුමෙන් කෙලෙස්වලටත් රජස් නම යොදනවා. අපවිත්‍ර කාය කර්ම, වාක්කර්ම, මනෝකර්ම කෙරෙන්නේ කෙලෙස් නිසා ලෝභ, දෝස, මෝහ යන අපවිත්‍ර කර්මවල කෙලෙස් මුල් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණයෙන් කෙලෙස් හෙවත් රජස් අඩු වැඩි තත්ත්වයන් හරියට ම නියමාකාරයෙන් ම දන්නවා. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කිසියම් ප්‍රමාණයකට හෝ තිබෙන තැනැත්තා අල්ප රජස්කයි. කෙලෙස් අඩුයි. කුණු අඩුයි, අපිරිසුදුකම එමටයි. කෙලෙස් කසට කුණු වැඩි අපිරිසුදු පුද්ගලයා හරියට ම දැනීම, දැන ගැනීමට අසාධාරණ බුද්ධ ඤාණයට පුළුවනි.
ඊළඟට මේ ඤාණ බලයෙන් උන්වහන්සේට මේ මිනිසුන් ඉන්ද්‍රියයන් තියුණු වූ අය ද? මෘදු වූ අය ද කියා දැන ගන්නට දකින්නට පුළුවනි. ‘තික්බින්ද්‍රියේ මුදින්ද්‍රියේ සතේත පස්සති’කියා සඳහන් කළේ එයයි. මේ සතුන්ගේ ශ්‍රද්ධාව, වීර්යය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව තියුණු ද? දියුණු ද, නිරෝධගාමිණී පටිපදාව පිරීමට සැසදේ ද කියාත් එම ප්‍රතිපදාවට සැසඳෙන ගැළපෙන තරමට නැති ලිහිල් මොට්ට ඉන්ද්‍රීය ඇත්තෝ ද කියාත් දැනගන්නේ එයිනි. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, ප්‍රඥාව ඇති මිනිසා තික්ඛීන්ද්‍රීයයි. එනම් තියුණු දියුණු ඉඳුරන් ඇති තැනැත්තාය. අශ්‍රද්ධාව, තුසිතකම, සිහිමුළාව, නොතැන්පත්කම, දුෂ්ප්‍රඥා බව ඇත්තා මුද්‍ර ඉන්ද්‍රීයයාය. එනම් ලිහිල් මොට වූ ලාමක ඉඳුරන් ඇති තැනැත්තායි.

එසේ ම මේ ඤාණයෙන් යුත් බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන් හොඳ ස්වභාව ඇති අය ද නරක ස්වභාව ඇති අය ද කියා දැන ගැනීමටත් සමර්ථ වෙනවා. ‘ස්වාකාරේ දුවාකාරේ සත්තා පස්සති’ කියා සඳහන් කළේ එයයි. සු + ආකාර = ස්වාකාර කියන්නේ හොඳ ආකාරයයි. යහපත් ස්වරූපයයි. දු + ආකාර = ද්වාකාර කියන්නේ නරක ආකාරයයි. අයහපත් ස්වරූපයයි. මිනිසෙකුගේ ආකාරය හොඳ වන්නේ ස්වරූපය යහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් දෙගොල්ලන්ට ම හිතවත්, ඵලවත් වන තරම අනුවයි. එමෙන් ම මිනිසාගේ ආකාරය නරක්වන්නේ ස්වරූපය අයහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් අහිතවත් අපලදායක වන තරමටයි. හොඳ ආහාර ඇති යහපත් ස්වරූපය ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට ශ්‍රද්ධාව, වීර්යය ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව නායකත්වය දෙයි. පුරෝගාමී වෙයි. ආධිපත්‍යය දරයි. නරක ආකාර ඇති අයහපත් ස්වරූප ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට නායකත්වය දෙන්නේ
පුරෝගාමිවන්නේ ආධිපත්‍යය දරන්නේ අශ්‍රද්ධාව, කුසීතතාව, සිහිමුළාව, වික්ෂිප්තභාවය හා දුෂ්ප්‍රාඥතාවයයි.
එමෙන් ම තථාගතයන් වහන්සේ මේ නුවණින් මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය හැකි අයෙකි. මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි අයෙකි. කියා දැන ගන්නවා, දකිනවා, ‘සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ සත්තේ පජානාති’ යන කියමනෙහි තේරුම එයයි. පහසුවෙන් කරුණු තේරුම් ගැනීමට, වටහා ගැනීමට, අවබෝධ කර ගැනීමටත්, තේරුම් ගැන්වීමටත්, වටහා දීමට, අවබෝධ කරවීමටත් ශ්‍රද්ධාව, ස්මෘතිය, වීර්යය, සමාධිය, ප්‍රඥාව යන ධර්මවල නායකත්වයෙන්, පුරෝගාමීත්වයෙන්, ආධිපත්‍යයෙන් ක්‍රියාකරන්නකු විය යුතුය. අශ්‍රද්ධාව, මුළාසිහිය, කුසීතබව, වික්ෂිප්තබව, මෝඩකම, නායකත්වයෙහි තබාගෙන පුරෝගාමී කොට ගෙන අධිපතිකොටගෙන ක්‍රියාකරන්නෙකුට හොඳ නරක වටහා දීම එසේ මෙසේ පහසු වැඩක් නොවෙයි.

මේ හැර බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණ බලයෙන් පරලොව වරදෙහි බිය දකින සුළු සමහර මිනිසුන්, පරලොව වරදෙහි බිය නොදකින සුළු සමහර මිනිසුන් දැක ගැනීමට දැන ගැනීමට සමත් වෙනවා. ‘අප්පේකච්චේ පරලොක වජ්ජ භය දස්කචිනෝ, සත්තේ පස්සති’ යන්නෙන් එය පැහැදිලි වෙයි. මෙහි ලෝක යන්නට ඇතුළත් වන්නේ ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක, ආදියයි. එනම් සසරයි. ස්කන්ධ, ධාතු ආයතන යන්නෙහි නොසිඳ පැවැත්ම සංසාරය බව විසුද්ධ මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථවල පැහැදිලිකොට තිබෙනවා. එම නිසා ලොවට බිය වීම නම් සසර බිය ඇතිකොට ගැනීමයි. වජ්ජ කියන්නේ වරදවලටයි. මෙහි සියලුම කෙලෙස්, සියලුම දුශ්චරිත, සියලුම අභිසංස්කාර, සියලුම භවගාමී කර්ම වජ්ජ යන පදයෙන් හැඟෙනවා. මේ හැම වරදකමත් සසරටත් බිය වීම නිසා බිය දන්නා සුළු බවයි. සකල විධ පීඩනවලට මුල සසරත් අපේ වරදවලුත් නිසා එය බියකරු තැනක් බව නුවණින් දැකිය යුතුය. නමුත් අප අතර සමහරු නුවණින් විමසා එසේ බිය යන නමුත් සසරට හෝ වරදට බියක් නොදක්වන අය ද අපමණ බව ඉතා ප්‍රකටයි. එසේ බිය වන්නා වූත්, බිය නොවන්නා වූත්, සත්ත්වයන් ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණය ඇති තථාගතයන් වහන්සේට නොරහසකි. ඔවුන් වෙන් වෙන් ව දැන ගැනීමට දැකීමත් උන්වහන්සේට ඉතා පහසුය. ශ්‍රද්ධා, වීර්යය, ස්මෘතිය, සමාධිය ඇති පුද්ගලයා සසරත්, වරදත් පිළිබඳ බිය දන්නා සුළු කෙනෙකි. අශ්‍රද්ධාව, කුසීත බව, සිහිමුළාව, වික්ෂිප්ත බව, මෝඩකම, අධිපති කොට ගත්, පුරෝගාමී කොටගත්, නායකත්වයට ගත්, මිනිසාට සසර බියකුත් වරදෙහි බියකුත් ඇති නොවෙයි. යථාභූත දැකීමේ ඕනෑකමක් තිබෙනවා නම් නිවී සැනසීමක් අපේක්ෂා කරනවා නම් හැබවින් ම ඔවුන්ට ලෝකයත් වරදත් පිළිබඳ තියුණු අන්දමින් දැඩි ඇසුරින් භය සංඥාව පෙරදැරි විය යුතුය. හරියට තමන් කඩුව අමෝරා ගත් වධකයෙකු ළඟ සිටින්නාක් මෙන් බිය විය යුතුයි. එසේ නොවන විට ඔවුන්ගේ තත්ත්වය හරියට ම ‘මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය’ කීවාට වඩා කිසිම වෙනසක් නැත්තේය.

මෙසේ සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ. පනස් ආකාරයකින් දන්නවා කීම තවදුරටත් පැහැදිලි කර ගත හොත් මෙසේයි. සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා, යන ඒ පහයි. ඒවා ඇති ඒවා නැති පුද්ගල ජෝඩු පහයි. කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්ද්‍රීය ඇති, මෘදු, පහසුවෙන් වටහා දිය නොහැකි, ලෝකවද්‍යයෙහි බිය දන්නා සුළු ලෝකව්‍යයෙහි බිය නොදක්නා සුළු ඒ ජෝඩු පහයි. එනම් පුද්ගලයන් දහ දෙනයි. නිරෝධගාමිණී පටිපදාවට පුරෝගාමී බව, නායකත්වය, ආධිපත්‍යය, දෙන ඉන්ද්‍රීය ධර්ම පහ මේ දහ දෙනාට බලපා තිබෙන තරම හරියට ම දැන දැන පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේට ඇති සුවිශේෂ ඤාණය ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණයයි.

දැන් අවසාන වශයෙන් මිනිසා කෙලෙස් අඩු තියුණු ඉන්ද්‍රීය යුත් හොඳ ආකාර ඇති පහසුවෙන් කරුණු වටහා දිය හැකි ලොකවජ්ජදෙකෙහි බිය දන්නා සුළු කෙනෙකු බවට පත් කිරීමටත් කෙලෙස් භරිත මොට ඉඳුරන් ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි, ලෝකවජ්ජ බිය නොදන්නා සුළු එකකු බවට පත් කිරීමටත් බලපාන නියාමකත්වය ගන්නා ආධිපත්‍යය දරන මේ ඉන්ද්‍රීය ධර්ම ගැනත් යන්තම් හෝ ඉඩගනිමින් ලබා ගැනීම ප්‍රයෝජනවත්ය. ඉන්ද්‍රීය යන්නෙහි අර්ථය අධිපති බව, ප්‍රමුඛ බව යයි මුලින් කියැවුණි. එසේ අධිපති බව කියැවෙන ඉන්ද්‍රීය පහක් මෙහි දී සලකා බැලුණි. මෙම ඉන්ද්‍රීය සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලත් ඇතුළත් වෙනවා. එහිදී එම ධර්ම පහම නැවත බල ධර්ම වශයෙනුත් දක්වා තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ ඉන්ද්‍රීය ධර්ම නිර්වාණගාමී මාර්ගයට කෙතරම් වැදගත් වෙනවාද කියලයි. එම නිසා ඉතා කෙටියෙන් එම කරුණු පහ මෙසේ පැහැදිලි කළ හැකිය.

2015 ක් වූ ඔක්තෝබර් 12 වනදා සඳුදා  දින ලිපිය

පළමුවන ඉන්ද්‍රිය ධර්මය සද්ධා හෙවත් ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධා ඉන්ද්‍රීය ධර්මයක් වෙනවා වාගේ ම බල ධර්මයක්, එයින් කරන්නේ පැහැදීමයි, අවිචාරයෙන් ඇදහීම නොවෙයි. පැහැදීමටයි ශ්‍රද්ධාව කියන්නේ, ශ්‍රද්ධාව තේරුම් කිරීමට ‘මිලින්ද ප්‍රශ්නයේ හොඳ උපමාවක් දැක්වෙනවා. ශ්‍රද්ධාව සක්විති රජතුමාගේ උදකප්පසාදක මැණික වගෙයි කියනවා ඒ උපමාව. සක්විති රජ්ජුරුවන්ට පින් බලයෙන් පහළ වන මැණිකක් තිබෙනවා.
එය ඕනෑම බොර වතුරකට දැමීමෙන් ඒ වතුර පැහැදිලි වෙලා පානයට පරිභෝජනයට සුදුසු වෙනවා. ඒ වගෙයි මේ ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව හිතේ යෙදුනාම හිතේ බලපාන කෙලෙස් රජස් යටපත් වෙලා සිත නිර්මල වෙනවා. ඒ බලෙයන් සිත ශික්ෂාකාමී වැඩට යොමු කරන්නට පුළුවනි. මේක ශ්‍රද්ධාවේ තිබෙන සම්ප්‍රසාදන ලක්ෂණයයි. පහදවන ලක්ෂණයයි. තවත් විදිහයකින් බැලුවාම තොටුපළක සිටින කිඹුලන් මෝරුන් මෙල්ල කොට මගීන් එගොඩ මෙගොඩ කරවන යෝධයකු වගෙයි. හිතට වදින අයහපත් පාප සිතිවිලි මැඬ ගෙන එය යහපතට නැංවීමට ආධාර වන බලයත්, එය ශ්‍රද්ධාවේ තිබෙන සම්පක්ඛන්දන ලක්ෂණයයි. ඉදිරිපත්වීමේ ලක්ෂණයයි. ශ්‍රද්ධාව ඉබේ පහළ වන දෙයක් නොවෙයි. යථාර්ථය දැකීමෙන් ලබාගත යුත්තකි. අවෙච්චප්පසාද කියා ශ්‍රද්ධාව කියන්නේ ඒ නිසාය. දැන දැන පැහැදීම යනු එහි තේරුමයි. බුද්ධත්වය, ධර්ම තත්ත්වය, සංඝ තත්ත්වය දැකීමෙන් ඇති වන සත්‍යාවබෝධය නිසා ම පමණයි කෙනෙකුට බුදු සරණයි, දම් සරණයි, සඟ සරණයි කියා අර්ථවත් බෞද්ධයෙකු විය හැක්කේ, මේ ශ්‍රද්ධාව එතැන් පටන් එළඹීම, ඇසුරු කිරීම ආදි වශයෙන් පරම සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම තෙක් නායකත්වය දෙනවා. එහෙයින් එය ඉන්ද්‍රීය ධර්මයක් වශයෙන් ප්‍රගුණ කිරීම නිරෝධගාමිණී පටිපදාව තහවුරු කිරීමට අවශ්‍යම දෙයක්.



දෙවැන්න වීර්යයි, මෙයත් ඉන්ද්‍රීයන් වගේ ම බල ධර්මයකුත් වෙනවා. බොජ්ඣංග ධර්මයකුත් වෙනවා. පාරමිතාවකුත් වෙනවා. කෙසේ වුවත් වීර්යාරම්භය හැම ආකාර සම්පතක් සඳහා මුල් වෙනවා. ලෞකික වශයෙන් අප ලබන ආර්ථික, සාමාජික, විද්‍යාත්මක, අධ්‍යාපනික කවර අන්දමේ ජයග්‍රහණයකට වුවත් මුල වීර්යයි. මෙය වීරභාවය, වීර කර්මය කියාත් විග්‍රහ කරන්නට පුළුවන. විධියකට, ක්‍රමයකට, උපායශීලිව, පවත්වා ගැනීම එසේත් නැත්නම් පවත්වා ගත යුතු තත්ත්වය තමයි වීර්යය. උත්සාහවත්වීම එහි ලක්ෂණයයි. සහජාත ධර්මවලට උපස්ථම්භක වීමයි එයින් කෙරෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර සැප සම්පත් ලැබීම වීර්යයෙන් තොරව කිසිසේත් ම සිදු නොවන්නේ, දුක්ඛනිරෝධගාමිණී පටිපදාව පතළ වීමට වීර්යයෙන් තොර වෙනත් කිසිම පිහිටක් නෑ. මෙය සපුරාලන විමුක්තිකාමීන්ගේ පැවැත්වීම ගැන ප්‍රකාශ වන ත්‍රිපිටක දේශනාවල දැක්වෙන්නේ කාය ජීවිත නිරපේක්ෂව යන වචනයයි. කය නොතකා, දිවි නොතකා, ක්‍රියාරම්භ කරන පුද්ගලයා නියත ජයග්‍රහණය ලබා මිස පසු බසින්නේ නෑ. බෝසත් සිරිත මීට කදිම උදාහරණයකි. හමත්, ඇටත්, නහරත් පමණක් ඉතිරි වුණාවෙ මස්, ලේ සියල්ල සිඳී වියළී ගියාවේ. බෝධිය ලබා මිස මේ වෑයම අත් නොහරීමි යනු උන්වහන්සේගේ වීර්යාධිෂ්ඨානයයි. මෙයින් අපට පේනවා සම්බාධක මැඬීමට ජයග්‍රහණ සකස් කිරීමට මේ වීර්යය කොපමණ ප්‍රමුඛත්වයක්, පුරෝගාමිත්වයක්, නායකත්වයක් ගන්නවා ද? ආධිපත්‍යයක් දරනවා ද? යන බව, එනිසා තමයි එය ඉන්ද්‍රීය ධර්මයක් වන්නේ, කුසීතකම ඉහ වහා ගිය මිනිසුන් ආගමික සංකල්පනාවලින් ආගමික ඇවතුම් පැවතුම්වලින් තොරව කොච්චර ශෝභන වැඩ කරන බව පෙන්නුවත් ඔවුන් එය කරන්නේ සසරට, වරදට සැකක් බියක් නැතිව ද කියන එක බුදුහාමුදුරුවන්ට පෙන්වා ඇයි උන්වහන්සේට ඉන්ද්‍රීයපරෝපරියත්ත ඤාණය තිබෙන නිසා, කාගේ ඇස් වැහුවත් බුදු ඇස වැසීමට බැරි බව බෞද්ධ අප ඉතා හොඳින් තේරුම් ගත යුතු කරුණකි.

තුන්වන ඉන්ද්‍රීය ධර්මය සතියයි. මේකත් හොඳ ම හොඳ බලයක්, එමෙන් ම බොජ්ඣංග ධර්මයත්, බුදු දහමේ ඉගැන්වෙන උසස් භාවනාවක්, සතිපට්ඨාන භාවනාව කියන්නේ එයයි. සතියෙන් කරන්නේ සිහි කිරීමයි. ඒ නිසා සතිය උපමාකොට තිබෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරික හැටියටයි. භාණ්ඩාගාරිකගේ කාර්යය සම්පත් ප්‍රමාණය මෙච්චරයි. මෙච්චරයි කියා රජුට සිහිගැන්වීමයි. එමෙන් සතිය මේ කුසල් මේ අකුසල්, මේ දේ කළා මේ දේ කළේ නෑ කියා සිහිගැන්වීම කෙරෙන්නේ සතියෙන්. මේ සිහිපත් කිරීමට අපිලාපනය කියා කියනවා. ඒ වගේ ම සිතූ සිතූ දේ තෝරා බේරා එහි යෙදවීමට එනම් හොඳ දෙයෙහි යෙදවීමට සිහිපත් කරන්නේත් සිහියයි. මේක උපගණන ලක්ෂණය කියලයි හඳුන්වන්නේ. එක අතකින් අප කතා කරන හෘදය සාක්ෂිය තමා මේ සිහිය. අපට කළ කී දේවල් වචනයෙන් වසන් කරන්නට පුළුවන්, පැවැත්මෙන්, ධනයෙන්, බලයෙන්, තර්ජනයෙන් ඒ වගේ ම නොයෙක් ක්‍රමෝපක්‍රමවලින් වසන් කරන්නට පුළුවන්. නමුත් කවදාවත් ම සතියට වසන් කරන්නට බෑ. තමා කළ දේත්, තමා නොකළ දේත් සතියට සිහියට එනවාමයි. තමන් ගැන සාක්කි කියන්නට තමන්ට ඉහළින් කෙනෙක් නැත්තේ මේ නිසාය. අනික් අතින් තමාගේ තත්ත්වය පැවැත්ම හා ක්‍රියාදාමය මොන උපායෙන් මොන බලයෙන් හැම දෙනාට ම සඟවා තැබුවත් තමාට සඟවන්නට නොහැකි වනවා මෙන් ම බුදුරජාණන් වහන්සේට සඟවන්නටත් බැහැ. මක්නිසාද ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය උන්වහන්සේට ඇති නිසා, සසරට වරදට බියෙන් ක්‍රියාකරන කෙනෙක් ද? සසරට වරදට බියෙන් ක්‍රියා නොකරන කෙනෙක් ද? යන බව උන්වහන්සේ දකිනවාමයි. එසේ වීමට ඔහුට ඉන්ද්‍රිය ධර්මත් බලපාන අන්දමත් උන්වහන්සේ දැන ගන්නවා. හොඳ නොහොඳ දෙපැත්තට මෙහෙයවීමට මිනිසාගේ නියාමකයෙකු වශයෙන් සිහිය දරන මේ තත්ත්වය නිසා එයත් ඉන්ද්‍රීය ධර්මයකි.

හතරවැන්න සමාධියයි. සමාධියත් ඉන්ද්‍රීය ධර්මයක් වගේ ම බල ධර්මය. එනම් සිතේ කැළඹෙන ස්වභාවය මැඬ පැවැත්වීමේ බලය සමාධියට ඇති නිසා සමාධිය බලයක්, ඒ සඳහා ආධිපත්‍යය දරන නිසාය ඉන්ද්‍රිය ධර්මයක් වන්නේ, චිත්ත ලක්ෂණ දක්වන තැන්වල පෙන්වනවා ස්පන්දනයේ චපල බවත් (ඵනදනං චපලං) එහි ලක්ෂණ හැටියට සැලෙන චපල සිතකින් තිරසාර පරමාර්ථයකට පත්වීම කොහෙත් ම කළ හැකි දෙයක් නොවෙයි. හරියට කුළු හරකෙකු වැඩට යොදා ගන්නට නොහැකිවාක් වගෙයි. ඒ කියන්නෙ වළක්වන්ට අසීරු හෙයිනි. ඒ වගේ ම හිත තැලෙනවා නම් චපල නම් එබඳු හිතක් රකින්ට වළක්වන්ට අපහසු නිසා අර්ථවත් දෙයක යෙදීම ඉතාම දුෂ්කරයි. මෙය පාලනය කළ යුතුයි. පාලනය කළ හැක්කේ සමාධියෙන් පමණයි. සිත එක අරමුණක සමව ස්ථාපනය කිරීම පවත්වා ගැනීම කරන නිසයි, එයට සමාධි යයි කියන්නේ. චිතේතකග්ගතාව තමයි මින් අදහස් කරන්නේ. උද්ධච්චය නමින් හැඳින්වෙන නොසන්සුන් නොතැන්පත් බව සමනයෙන් සිත පාලනය කොට පවත්වා ගැනීමෙන් ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමට පුළුවන. උද්ධච්චය පිටුදැකීමට නියාමන තත්ත්වය දරන්නේ සමාධිය නිසා එම අර්ථයෙන් ඉන්ද්‍රීය නාමය ලබනවා. මෙය දුර්වල වන්නට වන්නට මිනිසා සසරටවත් වරදටත් බියක් නැහැ. එය දියුණු වූ තරමට සසරටත් බියයි. වරදටත් බියයි. මේ තත්ත්වය පැහැදිලිව දැකීමට දැනීමට ශක්තිය ඇත්තේ තථාගතයන් වහන්සේටයි. උන්වහන්සේට ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය ඇති නිසයි. එබැවින් ලොවට වරදට බය නැතිව අප කරන වැඩ අප කාගෙන් සඟවාගන්නේ නම් ශාස්තෘන් වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ධර්මයෙන් සැඟවීමට නුපුළුවන් බව පිළිගත යුතුයි. සඟවා තැබීමෙන් කවදාවත් වැඩක් නොසිදුවන අතර, ඉන්ද්‍රීය දියුණුවෙන් පමණක් අර්ථ සිද්ධියක් වන බව අප තේරුම් ගත යුතුයි.

අවසාන ඉන්ද්‍රිය ධර්මය ප්‍රඥාවයි. ප්‍රඥාව ද බලයක් වශයෙන් පැහැදිලිකොට ඇත. අවිද්‍යාවෙන් කම්පාවට පත් නොවන ප්‍රඥාව බල ධර්මයක් වශයෙන් සැලකේ. විමංසා ඉද්ධිපාද, ධම්මච්චය, සම්බෝජ්ඣංග, සම්මාදිට්ඨි යන නම්වලින් හැඟෙන්නේ මේ ප්‍රඥාවයි. හඳුනා ගැනීමේ ලක්ෂණ තේරුම් ගැනීමට වඩා ගැඹුරින් ප්‍රඥාව තිබෙනවා. එනිසා සඤ්ඤා විඤ්ඤාණ දෙකෙන් කෙරෙනවාට වඩා ගැඹුරු කාර්යභාරයක් ඇති බව වටහා ගත යුතුය. ලෝකුරුවෙකුට කහවනුවක් පිළිබඳ ඇති අවබෝධය මෙන් යම් දෙයක් යථා තත්ත්වය අවබෝධකොට ගත හැක්කේ ප්‍රඥාවෙනි. සත්‍ය ඤාණය, ප්‍රඥාව හැටියට විස්තර වන්නේ එහෙයිනි. ප්‍රඥාවේ ප්‍රභේද දහසයක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මෙය සර්වඥතා ඤාණය තෙක් දියුණු කළ හැකි දෙයක්. ඒ වගේ ම ප්‍රඥා වෘද්ධියට ප්‍රඥාව දියුණු තියුණු කිරීමට උපකාර වන ප්‍රධාන කරුණු හතරක් ඇසුරු කළ යුතු බව දේශ නාවෙහි සඳහන් වෙනවා. ඒ හතර නම් සත් පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. අර්ථානර්ථ හඳුනාගෙන ආත්මාර්ථය මෙන් ම පරාර්ථය ද හඳුනාගෙන සදාචාර සම්පන්නව ක්‍රියාකරන පරහිතකාමී පුද්ගලයන් ඇසුරු කිරීමෙන් බුද්ධිමය ජීවිතයක් නොගැනීමට මං පෑදෙන බව ලෝක ජීවිත ගෙවන අපට පහසුවෙන් සිතා ගත හැකිය. ධර්මය නම් සත්‍යයි. සත්‍යය ඇසීමෙන් ප්‍රඥාව දියුණුවනු මිස අසත්‍යයෙන් අධර්මයෙන් ප්‍රඥාව ලැබෙන්නේ නැත. අයථා පරිද්දෙන් නොමඟින් මෙනෙහි කිරීමෙන් කිසිදාක ප්‍රඥාවක් ලැබෙන්නට බැරිය. ධර්මානුකූල සත්‍යයට එහා පිළිවෙත් මඟකින් පිටපැන කවදාවත් සත්‍ය දර්ශනයක් ලබා ගත නොහැකිය. එබැවින් මේ සතර කරුණු ඇසුරු කොට ගනිමින් අවිද්‍යාව අභිබවනය කිරීමට විද්‍යාවේ හෙවත් ප්‍රඥාවේ ආධිපත්‍යය ලබා ගැනීම නිරෝධගාමිණී ප්‍රතිපදාව සඵල කර ගැනීමට කළ යුතු දෙයයි. එහි දියුණු කිරීම හැකිතාක් අපට සසරට හෝ වරදට බියක් ඇති නොවන බව පිළිගත යුතුය. මිනිසාගේ මේ ඉන්ද්‍රියයන්ගේ තත්ත්වය දකින බුදු නුවණ ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණයයි.



කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ  බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වන ඉරිදා දින   බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 04 වන ඉරිදා දින හා  බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 12 වන සඳුදා දිනයන්හි  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපිතුනකි

No comments:

Post a Comment