Labels

Sunday, October 4, 2015

බල්ලාටිය පේතවත්තුව


අද දින අපගේ අවධානය යොමු වන්නේ වෙළෙඳ පිරිසකට මත්වතුර පොවා ඔවුන්ගේ වස්ත්‍ර සොරකම් කිරීමේ අකුශල කර්මය නිසා නිර්වස්ත්‍රව උපන් පේ‍්‍රතියක් පිළිබඳ කරුණු කියැවෙන බල්ලාටිය පේතවත්තුව විමසා බැලීමටයි.

අතීතයෙහි බරණැස් නුවර දුටු දුටුවන් සිත් පැහැර ගැනීමට සමත් අතිශය රූමත් වු ස්ත්‍රියක්. ඇගේ කේශ කලාපය අතිශය දිග් වූයේ, නිල්වන් වූයේ මෘදු වුයේ, දුටුදුටුවන් වශි කරන සුළු වූයේ ය. ඇගේ කේශ කලාපයට වශී වූ බොහෝ තරුණයෝ ඇය කෙරෙහි සිත් ඇත්තේ වූහ. මේ පිළිබඳව අන් ස්ත්‍රින්ගේ සිත් තුළ ඇති වූයේ ඊර්ශ්‍යාවකි. එබැවින් එම ස්ත්‍රීහු ඇගේ ඒ නිල්වන් සුමුදු කේශ කලාපය විනාශ කිරීමට ක්‍රමයක් කල්පනා කළහ. ඒ සඳහා ඔවුහු දාසියක් තෝරාගෙන ඇයට මුදල් දී ඒ දිග් වු කේශ කලාපය ඇති ස්ත්‍රිය නාන වේලාවෙහි හිසේ ගැල්වීම සඳහා විෂ යෙදු බෙහෙතක් යොදන ලෙස සැලසුම් කළහ. එම දාසියද මුදල් අල්ලස් ගත් නිසා ඒ ස්ත්‍රින් කී ලෙසම ඇය නාන වේලාවෙහි හිසෙහි ගැල්වීම සඳහා විෂ යෙදු බෙහෙත් දුන්නාය. ඇයද ඒ බෙහෙත හිසේ ගල්වාගත් සැණින් ඒ නිල්වන් දිග කේශ කලාපය ගැලවී ගොස් මුඩු හිසක් බවට පත්විය. මෙයින් අතිශය දුකට පත් ඇය හඬා වැළපී කෙස් නැති හිස නිසා ලජ්ජාවට පත්වූවාය. ඉක්බිති ඇය ඇතුළු නුවරට පිවිසීමට නොහැකි වූ හිස රෙද්දකින් වසා නුවර පිටත එක්තරා ප්‍රදේශයක සැඟවී වාසය කළාය. දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව ඇය ජීවත්වීම සඳහා ක්‍රමයක් සොයනුයේ තෙල් සිඳ තෙල් ද, සුරා පෙරා සුරා ද විකුණමින් ජීවත්වීමට සැලසුම් කළාය. මෙසේ එක් දිනක් ඇගේ සුරා සැලෙන් සුරා බිමට පැමිණි මිනිසුන් තිදෙනෙක් සුරා බී මත් වී නින්දට වන්හ. ඒ අතර මේ ස්ත්‍රිය ඔවුන් සතු වු ඇඳුම් හා වස්තුවද පැහැරගෙන සැඟවුණාය.

ඇය එක් දිනක් පිණ්ඩපාතයේ වඩින මහරහතන් වහන්සේ නමක් දැක පැහැදුණූ සිත් ඇතිව උන්වහන්සේ තමන්ගේ නිවහනට වැඩමවා සැදහැ සිතින් වඩා හිදුවා තෙල් සිඳ ඉතිරි වු තෙල් කහ හා දානය පිළිගැන්වූවාය. රහතන් වහන්සේද ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය පිළිගැන්වූ දානය වැළදුවාය. රහතන් වහන්සේ දානය වළදන තෙක් ඇය වියනක් ලෙස කුඩයක් අල්වමින් මතු උපදින සෑම භවයක දීම මට පෙර පරිදි වෙනත් කෙනෙකුට නොදෙවෙනි නිල්වන් මෘදු වූ දීර්ඝ කේශ කලාපයක් ලැබේවායි” ප්‍රාර්ථනා කළාය. රහතන් වහන්සේ ද ඇගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවායි ඉටා දානය වළදා ඇගේ නිවසින් පිටත් වූහ.

ඊට වරෂ ගණනාවකට පසු ආයු කෙළවර ඇය මියගොස් මුහුද මැද එක්තරා රන්විමනක උප්පත්තිය ලැබුවාය. ඇය ප්‍රාර්ථනා කළ පරිදිම නිල්වන් වූ සුමුදු දීර්ඝ කේශ කලාපයක් ඇයට හිමි වූවාය. එහෙත් ඇයට විළි වසා ගැනීමට කිසිදු වස්ත්‍රයක් නොවු නිසා නග්නව විසීමට සිදුවූවාය. එසේ නග්න වීමට හේතු වූයේ ඇය පෙර භවයේ සුරා දී මිනිසුන් මත්කොට ඔවුන්ගේ වස්ත්‍ර පැහැරගත් නිසාය. රහතන් වහන්සේට දන් පිළිගැන්වූ නිසා ඇයට ආහාර පානාදියෙන් අඩුවක් නොවීය. සැදැහැ සිතින් දන් පිලිගැන් වු නිසා ඇගේ දීර්ඝ සුමුදු කේශ කලාපයක් ලැබීමේ ප්‍රාර්ථනාව ඉටුවිය. ආයුෂ අවසානයේ මිය යන ඇය නැවත නැවතත් එම රන් විමනෙහිම පෙර පරිදිම උපන්නාය. මෙසේ බුද්ධාන්තරයක්ම ඇයට එසේ ඉපදීමට සිදු වූවාය.

මෙසේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේද ඇය පෙර පරිදිම එම රන් විමනෙහිම නග්නව උපන්නාය. ෙ ම් කාලයේ එක් වෙළෙඳ කණ්ඩායමක් වෙළෙඳාම පිණිස ස්වර්ණ භූමියට පිටත්වීම සඳහා නැව් නැග මහ මුහුද මැදින් ගමන් ආරම්භ කළාය. මුහුද මැද දී කුණාටුවකට හසු වූ මේ පිරිස අර විමාන පේ‍්‍රතිය වෙසෙන ප්‍රදේශයට පාවී ගියේය. එවිට ඇය තම විමානය සමඟ ඒ පිරිසට පෙනෙන පරිදි දර්ශනය වූවාය. ඉක්බිති ඒ වෙළෙඳ කණ්ඩායමේ නායකයා විමන සහිත වු ඇය දැක ඇය කවුරුන් දැයි ප්‍රශ්න කරයි. එමෙන්ම ඇයට එම විමානයෙන් එළියට එන ලෙසද පවසයි.

කා නු අන්තොවිමානස්මිං,
තිට්ඨන්ති නූපනික්ඛමි
පනික්ඛමස්සු භද්දෙ,
පස්සාම තං බහිට්ඨිත’න්ති 

 
එවිට ඇය ඒ වෙළෙඳ නායකයාට මෙසේ පවසයි. මම මේ විමනෙහි සැඟවී සිටින්නෙමි. එයට හේතුව මට විළි වසා ගැනීමට වස්ත්‍ර නැති බැවින් නග්නව සිටින නිසාය. එය මා කළ පින්කම්වල අඩුවක් නිසාය. මා මේ දීර්ඝ වූ කෙස් කළඹින් විළි වසාගෙන සිටින්නෙමි. යනුවෙන් පැවසීය. එය ඇසු වෙළෙඳ නායකයා තමාගේ උරහිසෙහි වූ උතුරු සළුව ඇයට දීමට අතට ගත්තේය. එවිට ඇය පවසන්නේ ‘පින්වත ඔය සළුව ඔබගේ අතින් මා අතට ගැනීමට නොහැක. ඔබ ඔය සළුව බුදුරජාණන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ පූජාකොට පින් අනුමෝදන් කොට මා වෙත පින් පමුණුවන්න. එවිට ඒ පින් බෙලෙන් මා හට වස්ත්‍ර ලැබෙන්නේය. යනුවෙන් පැවසුවාය.

හතථෙන හත්ථෙ තෙ දින්නං
න මය්හං උපකප්පති
එසෙත්ථුපාසකො සද්ධො,
සම්මාසම්බුද්ධසාවකො
එතං අච්ඡාදයිත්වානථ,
මම දක්ඛිණමාදිස
තථාහං සුඛිතා හෙස්සං
සබ්බකාමසමිද්ධිනී’ති 

 
ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඒ නැවෙහි වූ සැදැහැති උපාසකයෙකු නවහා සරණශීලයෙහි පිහිටුවා එම වස්ත්‍රය පිළිගැන්වීය. ඒ අවස්ථාවේ අර විමාන පේ‍්‍රතියට දිවි සළු පහළ විය. ඉන් පසු විමානයෙන් එළියට පැමිණි අය වෙළෙඳුන් සමඟ පිළිසඳර කතාවෙහි යෙදී ඔවුන්ට දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කොට රන් රුවන් ද දී දිව්‍යමය වු වස්ත්‍ර යුගළක් ද වෙළෙඳ නායකයා අතෙහි තබා ස්වර්ණ භූමියට යන මග පෙන්වා දි නිර්පද්‍රිතව මහ මුහුදින් එතෙර කරවා ආපසු ඔවුන්ගේ නුවරට පැමිණී කල බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පිළිගන්වා තමා දුන් වස්ත්‍රද පිළිගන්වා තමාගේ නමින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට තමාට පින් අනුමෝදන් කරන ලෙසද පැවසුවාය.

එයින් අතිශය ප්‍රසාදයට පත් ඒ වෙළෙඳ නායකයා ඇතුළු පිරිස අර උපාසකයාට ද ගරු බුහුමන් කොට පහසුවෙන්ම සිය රටට පැමිණ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට දන් පිළිගන්වා විමාන පේ‍්‍රතිය දුන් වස්ත්‍රද පිළිගන්වා සියලු පුවත් සැළකර සිටියහ. බුදුරජාණන් වහන්සේ එම කතා ප්‍රවෘත්තිය මුල් කර ගනිමින් විස්තර වශයෙන් ධර්මය දේශනා කළහ. එය එහි රැස් වූ පිරිසට ධර්මාවබෝධය පිණිස හේතු විය. බුදුරජාණන් වහන්සේට දන් පුජාකොට වස්ත්‍ර පිදීමේ ආනිශංස වශයෙන් අර විමාන පේ‍්‍රතිය එයින් චුතව දෙව්ලොව සිරි සම්පත් ඇතිව දිව්‍ය විමානයක උප්පත්තිය ලැබ දෙවඟනක් බවට පත් වූවාය.



 ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment