වත්මන් සමාජය දෙස විමසුමෙන් බලද්දී ලොව දහම් දිවයින ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධ අසරණ තත්ත්වයට පත් වී සිටින මවු පියන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බව පෙනෙයි.
මං මාවත්වල, අම්බලන්වල, කඩපිල්වල අසරණ බවින් යුක්තව දිවි ගෙවන මවුපියන්ගේත් හෙට දින එවන් තත්ත්වයකට මුහුණපෑමට දොරගුළු විවර වෙමින් පවතින මවුපියන්ගේත්, ශෝචනීය ඉරණමට යම් අස්වැසිල්ලක් ලබා දෙනු පිණිසත්, අසරණ මවුපියන්ට නොසළකන දරුවන් ගේ නැණැස පාදනු සඳහාත් මෙය ලියමි.
ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට ප්‍රථම අතීත භවයක දී සෙනෙහෙබර මෑණියන් කරේ නංවා ගෙන මහ සමුදුර තරණය කර ඈ මරණයෙන් මුදාගත් දින ලැබූ විවරණය තුළින් ලොව්තුරා බුද්ධත්වයට පැමිණීමේ මාර්ගයට පිළිපන්හ. සාරාසංඛ්‍ය, සොලසා සංඛ්‍ය, සූවිසි අසංඛ්‍ය වශයෙන් කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරා බුද්ධ රාජ්‍යයට පත් වූ පසුව ද තම මෑණියන් පරලොව ගොස් මාතෘ දිව්‍යරාජයා හැටියට දිව්‍ය සම්පත් විඳිද්දී දෙව්ලොවට වැඩම කර ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට තරම් කෘතවේදීත්වයක් දක්වා ඇත්තේ බුද්ධත්වයට පත් වුවද මවුපිය උපස්ථානයෙහි (මවුපියන්ට) සැලකීමේ අනගි ගුණාංගය ලොවට විදහා දක්වමිනි.
බුදු බව ලැබීමට පෙර උපත ලද විවිධ ආත්මවල දී මව්පියන්ට සැලකීමේ අනගි බව විදහා දැක්වෙන තම බෝසත් චරිත උපමා වශයෙන් ගෙන බුදුබව ලැබීමෙන් පසු සුවහසක් ජනී ජනයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාළහ.
කෙසේ නමුත් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය වැනි පවුවලට නැඹුරුවෙමින් පංචශීල ප්‍රතිපදාවෙන් ක්‍රමයෙන් මිනිසුන් ඈත් වී යද්දී ඔවුන් තුළ හිරි - ඔතප් බිඳී - සමාජ සාර ධර්ම ගිලිහී අද වන විට තිරිසන් සතුන්ගේ තත්ත්වයට ඇතැම් අය වැටී හමාර ය.
තමන් මෙලොවට ජාතක කර ඉපැද්දූ, පියාට පිහි පහර දී මරා දමන පුතුන් ද, ඉඩකඩම්, දේපළ ලියාගෙන මවුපියන් මහ මගට ඇද දමන දූ පුතුන් ද වත්මන් සමාජයේ ඇති බව විවිධ අවස්ථාවල ජනමාධ්‍ය මගින් මේ වන විට එළිදක්වා ඇති බව අපි දනිමු. දෙමවුපියන් නොසලකන දූ දරුවන් එවන් තත්ත්වයට පත් වී ඇත්තේ මක් නිසා ද? යන්න පිළිබඳ විමසුම් ඇසින් බලන ඕනෑම කෙනකුට වටහා ගත හැකි එකම කරුණ වී ඇත්තේ, මිනිසා ආගම දහම තුළින් ඈත්වීමෙන් පවිටු අධම තත්ත්වයට පත් වී ඇති ආකාරයයි.
වත්මන් සමාජය මෙවන් තත්ත්වයෙන් මුදාගත හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳ මෙහි දී සිහි නුවණින් බැලිය යුතු ය.
පංචශීල ප්‍රතිපදාවෙන් ඈත් නොවීමට අවශ්‍ය අඩිතාලම කුඩා අවධියේ පටන්ම දරුවන්ට ලබා දීමට බෞද්ධ මවුපියන් ක්‍රියා කළ යුතු ය. අන්‍යාගමිකයන් ද තම තමන්ගේ ආගම දහමට අනුරූපී වන අයුරින් සමජ සාර ධර්ම වලින් ඈත් නොවී පිළිවෙත් ගරුක විය යුතු ය.
දහම් අධ්‍යාපනයට නැඹුරුවන දරුවන් වෙතින් සමාජය පිළිකුල් කරන සමාජ සාර ධර්මවලට පටහැනි ක්‍රියා සිදු වෙතැයි සිතිය නො හැකි ය. මන්ද යත්, දහම් අධ්‍යාපනය ලද අය තුළ ලැජ්ජා - භය (හිරි ඔතප්) පිහිටන බැවිනි.
නමුත් අද වන විට ඇතැම් පාසල් දරුවන් (වයස අවුරුදු 14 ත් 20 ත් අතර) මධ්‍යසාර, ගංජා වැනි මත්ද්‍රව්‍යවලට නැඹුරු වී ක්‍රමයෙන් සමාජ සාර ධර්ම වලින් ඈත් වී යන තැනට කරුණු යෙදී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව ඇත.
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණි, අපාය සහාය යන පවිටු මිතුරන් නිසා වත්මන් සමාජයේ ඇතැම් තරුණ පිරිස් විනාශ මුඛයට පිවිසී ඇති අයුරු පැහැදිලි වෙයි.
කිසියම් පුද්ගලයෙක් තමන්ගේ දියුණුව සලසා ගනිමින්, මවුපිය උපස්ථානයට මුල් තැනක් දෙමින් තමන් ලැබූ උතුම් මිනිස් ජීවිතය මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන් ද සාර්ථක කර ගැනීමට නම්, වැරැදි මාර්ගයට තමන් ඇද දමන දොරටු සය ප්‍රතික්ෂේප කළ යුතු ය.
1. මත්වීමට සහ ප්‍රමාදයට හේතු වන මත්වතුර පානය
2. අවේලාවේ වීදි සංචාරය
3. සැණකෙළි - විනෝදයට යොමුවීම
4. පමාවට හේතු වන දූ කෙළිය (සූදුව)
5. නරක මිතුරන් ඇසුරු කිරීම
6. අලසව කටයුතු කිරීම
කෙනෙකුගේ දියුණුවේ දොරටු වසා දමනු ලබන දොරටු හැටියට මේවා පෙන්වා දී තිබේ.
තව දුරටත් කරුණු පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා බලා සිටියදීම ඒ අයගේ ධනය විනාශ වී යෑම, නොයෙකුත් කළ කෝළහලවලට පැටලීම, විවිධ රෝගවලට ගොදුරුවීම, අපකීර්තිය වැඩිවීම, ලජ්ජා නැතිවීම, ප්‍රඥාව දුබලවීම ආදිය සිදුවන බව පෙන්වා දී ඇත.
මිනිසාගේ දියුණුව පහතට ඇද දමන ද්වාර සයෙන් දෙවැන්න වූ අවේලාවේ වීථි සංචාරයට හුරු පුරුදු වූ තැනැත්තා තමාගේ රැකවරණය නැති වී යෑම, අඹු දරුවන්ගේ රැකවරණය නැති වී යෑම,, තමන්ගේ ධනයෙහි රැකවරණයක් නොමැතිවීම, අන් අයගේ සැකයට භාජනයවීම , අභූ®ත චෝදනාවලට ලක්වීම, බොහෝ දුක් කරදරවලට භාජනයවීම යන දුර්විපාක ඉන් ලබයි.
සැණකෙළි - විනෝදමේලා ආදියට ඇබ්බැහිවීම තුළින් කිසියම් පුද්ගලයකුගේ දියුණුව පහතට ඇද දමන ආකාරය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලිකර ඇත.
දූ කෙළියට ලොල් වූ පුද්ගලයා පිරිහෙන ආකාරය පෙන්වා දී ඇත්තේ මෙසේ ය.
1. දිනීම නිසා පරාජිතයන්ගේ වෛරකාරයකු බවට පත්වීම,
2. පැරදීම නිසා තමාම ශෝක කර ගැනීම,
3. බලා සිටියදීම ධනය ක්ෂයවීම,
4. අන් අය තමාගේ වචන නොපිළිගන්නා තැනට පත්වීම,
5. මිතුරු කුළුපග අයගේ පිළිකුලට ලක්වීම,
6. විවාහයට නුසුදුසු අයකුවීම.
අලසකමෙහි ආදීනව දක්වන බුදුරජාණන් වහන්සේ,
1. අලස පුද්ගලයා හීතල වැඩි යැයි වැඩ නොකරයි,
2. උණුසුම වැඩි යැයි වැඩ නොකරයි,
3 සවස් වුණා වැඩි යැයි වැඩ නොකරයි,
4. උදෑසන වැඩි යැයි වැඩ නොකරයි,
බඩගිනි වැඩි යැයි වැඩ නොකරයි.
බඩ පිරී ඇතැයි වැඩ නොකරයි. මෙසේ වැඩ කටයුතු නොකිරීම නිසා නැති වස්තුව ඇති නොවේ. ඇති වස්තුව පිරිහෙයි.
කිසියම් පුද්ගලයකු විනාශය කරා ඇද දමන මේ දොරටු හයට සම්බන්ධ වුණහොත් එම තැනැත්තා විනාශයට ඇද වැටෙන ආකාරය මෙම කරුණු විශේලේෂණාත්මකව බලද්දී පැහැදිලි වෙයි.
පුද්ගල විනාශය කරා වැටෙන දොරටු හයෙන් යම් කිසිවකු එක් දොරටුවක් වෙත හෝ ගමන් කරන්නේ නම් එවන් අයගෙන් තම මහලු දෙමවුපියන්ට කිසිසේත් මෙහෙවරක් - සැලකීමක් සිදු වේ යැයි සිතීමටත් අපහසු ය.
වත්මන් සමාජයේ තරුණ පරපුර දෙස බලද්දී මිනිසා විනාශ මුඛයට ඇද දමන මේ ද්වාර හයෙන් එකම ද්වාරයකින් හෝ ඇතුළු නොවූ තරුණයන්ගේ ප්‍රතිශතය සිතා ගැනීමට බැරි මට්ටමකට පත්ව ඇති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු වේ.
වයෝවෘද්ධව, අසරණව, විවිධ හිංසනයන්ට ගොදුරු වන මවුපියන්ගේ දූ දරුවන් තමන් ගැන ආවර්ජනයක යෙදී මෙහි සදහන් වූ කරුණු විමසුම් ඇසින් බලා තම සෙනෙහෙබර - පියාට - මවට - තමන්ගෙන් ඉටු විය යුතුකම් ඉටුවුණාද නැද්ද යන තමන්ම නිගමනය කළ යුතු ය.
“ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන බුදු වදන මතක් කරමින් මෙම සටහනට විරාමය තබමි.
කුඩාවේ ගුණරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ
නොවැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment