Labels

Sunday, October 4, 2015

දෙලොව දියුණුව සලසා ගන්නේ කෙසේද?


බුදුන් වහන්සේ දේශනා කළ නිර්වාණගාමී මාවතට එළඹීමට ප්‍රථම අප කළ යුතු ඉතා වැදගත් වූ කාරණාවක් නම් අපේ දෙලොව දියුණුව ඇති කර ගැනීමයි. බොහෝවිට ධර්මය පිළිබඳ මනා වැටහීමක් නොමැති පිරිස් පෙන්වා දෙන්නේ සම්බුදු හිමියන් දේශනා කළ ධර්මස්ඛකන්ධය අදාළ වන්නේ පරලොව සැප පිණිස හේතු වන්නේය යන කාරණාවයි.
නමුදු ඔවුන් නිසි අවබෝධයකින් තොරව පදනම් විරහිත එවන් ප්‍රකාශයන් සිදු කරතත්, මහාමංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, වේළුද්වාර සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනා මඟින් ඉහත සාවද්‍ය ප්‍රකාශයන් ඛණ්ඩනය වනු නියතය. උන්වහන්සේ නිරන්තරව ම දේශනා කළේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් කෙරෙහි එකසේ කටයුතු කළයුතු බවයි. එහි දී මෙලොව ජීවිතයේ සැපයන් උදා කර ගත හැකි වන්නේ කෙලෙස ද? යන්න මුලින් ම අපි විමසා බලමු. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් කරුණු පෙන්වා දී ඇත. එහිදී මෙලොව වැඩ සලසන කරුණු හතරක් දේශනා කර ඇත. එනම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජිවිතකා යන අංගයන් ය.

මෙලොව ජීවිතය 

 

මෙලොව ජීවිතය කෙරෙහිත් විශේෂයෙන් ම තමා පිළිබඳ සිතන තැනැත්තා තුළ නිසැකයෙන් ම තිබිය යුතු ගුණාංගයක් වන්නේ උත්සාහයයි. එයට හේතුව නම් තමන්ගේ සියලු කාරණා සඵල කරගැනීම පිණිස බෙහෙවින්ම ඉවහල් වන ප්‍රධාන සාධකය එය වන බැවිනි. අධ්‍යාපනය ලද යුතු කල එය සාර්ථකව කිරීමටත්, තරුණ වයසට පත් වූ කල්හි ආර්ථීකය සාරවත් කර ගැනීමට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට කුසල් දහම් රැස් කිරීමට ආදී වූ අප සාමාන්‍යයයෙන් කරන්නා වූ සෑම ක්‍රියාවක් ම අදිටන් කළ පරිදි ඉටුවන්නේ උත්සාහය නිසාවෙනි. අපේ ජීවිතය වාසනාවන්ත කරගැනීමට විශේෂයෙන් ම අපට බලපාන්නේ ආර්ථිකයයි. එනම් මුදල් අප සතුව තිබිය යුතු බවයි. උට්ඨාන සම්පදාවෙන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බව පෙනේ. සම්බුදු හිමියන් ඉහත කී සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ “උට්ඨාන සම්පදා ඉධ ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ යේන කම්මට්ඨා නේන ජීවිකං කප්පේති. යදි කසියා යදි වාණිජ්ජාය යදි ගෝරක්ඛේන යදි ඉස්සත්ථේන යදි රාජ පෝරිසේන යදි සිප්පඤ්ඤතරේන තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්‍රෑපායාස වීමංසාය සමන්නාගතෝ අලං කාතුං අලං සංවිධාතුං අයං වුච්චති ව්‍යග්ගපජ්ජ උට්ඨාන සම්පදා” යනුවෙනි.

යහපත් උත්සාහය 

 

ඉහත සූත්‍ර පාඨයෙන් පෙන්වා දී ඇත්තේ ගොවිතැන් බත් කරමින් හෝ වෙළෙඳාමෙන් හෝ ගව පාලනයෙන් හෝ රාජ්‍ය සේවයේ යෙදීමෙන් හෝ නැත්නම් වෙනත් කර්මාන්තයක යෙදෙන්නේ නම් හෝ සෑම කටයුත්තක් පිළිබඳව ම දක්ෂතාවක් තිබිය යුතු බවයි. විමර්ශනශීලීව කටයුතු කළ යුතු අතර අනලස් විය යුතු බව මෙහි දී පෙන්වා දේ. තමන්ට හොඳින් ජීවත් වීමට තරම් ධනයක් ඇතැයි සන්තුෂ්ටිය ඇති වන්නේ එවිටය. එහි දී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ ධනය ඉපැයීමේ දී කෙදිනකවත් අනුන්ට හිරිහැර වන පරිදි හෝ සමාජය පරිහානියට පත් වන විදියේ ක්‍රම මගින් ධනය ඉපැයීමෙන් වළකින ලෙසයි. සත්ව, ආයුධ, විෂ, වහල්, මත්පැන් ආදී වෙළෙඳාම්වලින් වළකින ලෙස උන්වහන්සේ දේශනා කර ඇත්තේ එයින් මහත් විපතක් තමන්ටත් සමාජයටත් සිදුවන නිසාවෙනි. ඉහත වෙළෙඳාම් නිසා සැමට ම පීඩා විඳීමට සිදුවනු නියතය. එබැවින් ඒවා මිච්ඡා ආජීවයට අයත් කර දක්වන ලද්දේ උත්සාහය ඇති කිරීමේ දී අප සිතට නිතැතින් ම ඇතුළු වන සතුරෙකු වන්නේ අලසකමයි. ආලස්සානු යෝගෝ භෝගානං අපාය මුඛං ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ අලසකමින් සිටීම තුළින් තම ධනය බලා සිටිය දී ම පරිහානියට විනාශයට යන බවයි. සමහර පිරිස් සාර්ථකත්වය සඳහා වෙහෙසීමෙන් තොරව තම ජීවිතය දෛවයට, අතීතයේ කළ කර්මයන්ට නතු කරයි. එය ඔහුගේ පරිහානිය පිණිස ම හේතුවනු නිසැක ය. උනන්දුව තම ජීවිතයේ දී පුදුම තරම් දියුණු කළ යුතු ය. නොඑසේ නම් මේ ලබාගත් ජීවිතය හිස් එකක් ම වන්නේ ය. බුදුන් දවස විසූවන් පමණක් නොව මෑත යුගයේ බිහි වූ බොහෝ දෙනෙක් උත්සාහය නිසා තම ජීවිතය මෙන්ම ලෝකය ම දියුණු කළහ. ඒ නිසා අපත් දැන් සිට ම උත්සහයෙන් ක්‍රියා කරන්නට අදිටන් කළ යුතු ය.

ආරක්ෂා සම්පත්තිය 

 

මෙලොව දියුණුවේ දෙවැනි අංගය වන්නේ ආරක්ඛ සම්පදාවයි. එනම් මෙහිදී පෙන්වා දෙන්නේ තමන් සොයා සපයා ගන්නට යෙදුණ භෞතික මෙන්ම අභෞතික වස්තුව ආරක්ෂා කරගත යුතුයි යන කරුණයි. එහිදී අප දුක් මහන්සියෙන් බාහු බලය යොදවා ධාර්මිකත්වයෙන් උපයා ගන්නට යෙදුණු (උට්ඨාන විරියාධිගතා සේදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා) ධනය හැකි හොඳ ම විදියෙන් සුරක්ෂණය කළ යුතු ය. සොරුන්ගෙන්, ස්වභාවික ව්‍යසනයන්ගෙන්, (ඉමේ භෝගා නේව රාජානෝ හරෙය්‍යුං න අග්ගි ඩහෙය්‍ය න උදකං වහෙය්‍ය නා අප්පියා දායාදා හරෙය්‍යුන්ති) මෙන්ම කුමන හෝ අයුරකින් විනාශ වීමට ඉඩ නොදී මනා සිහියෙන් යුතුව ආරක්ෂා කළ යුතු වන්නේ ය.
කෙසේ නමුදු අප ධනය ආරක්ෂා කරගත යුතු සේ ම සුදුසු පරිදි යෙදවීමට ද මහන්සි ගත යුතු ය. ධනය ලෝභකමින් ආශාවෙන් තබාගෙන සිටියාට ඇති ඵලයක් නැත. මෙහිදී බුදුන් වහන්සේ පත්තකම්ම සූත්‍රය ඇසුරින් පෙන්වා දෙන්නේ තමන් විසින් ඉටු කළ යුතු දේ එලෙස ම ඉටු කිරීමට මහන්සි ගත යුතු බවයි. තමනුත් තමන්ගේ අඹුදරුවනුත් දෙමාපියනුත් තමා යටතේ සිටින සේවකයින් පෝෂණය කිරීම මුලින් ම කළ යුතු ය. ඉන්පසු හිතමිතුරන්ට සංග්‍රහ කිරීම් ද නිසි පමණට කළ යුතු ය. විපතක දී ධනය අවශ්‍යය ම දෙයක් වන නිසා උපය ගන්නා මුදලින් කොටසක් ආරක්ෂිතව ව්‍යසන සමයේ පරිභෝජනය කිරීමට තබා ගත යුතු ය. කුසල පක්ෂයේ දියුණුව සඳහා දන් දීම්, පරිත්‍යාග කිරීම් ආදිය ද කළ යුතුය යනුවෙන් මෙහිදී සඳහන් වේ. මේවා අප කළ යුතුකම් වන්නේ ය. මත්පැනට ඇබ්බැහි වීමත් අනිසි වේලාවන්හි දී සංචාරය කිරීමත් නාට්‍ය චිත්‍රපට ආදිය කෙරෙහි ලෝලත්වයෙන් යුතු වීමත් සූදුවට යෑමත් පාපී මිතුරන් ආශ්‍රයත් අලස බවින් යුතු වීමත් නිසා ධනය විනාශ විය හැකිය. ඒ පිළිබඳව හොඳින් සිතා කටයුතු කළ යුතු ය. තෙවැනිව පෙන්වා දෙන්නේ කල්‍යාණ මිත්‍රතාවයි. හැකි අයුරින් හොඳ මිතුරන් ආශ්‍රය කළ යුතු බවයි සම්බුදු හිමියන් අපට දේශනා කළේ.
 එනම් ජීවිතය විනාශ වීමේ ප්‍රධානතම හේතුව ලෙස මිතුරන් ලෙස පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හෙවත් පාපී මිතුරන් නිසා සිදුවන බැවිනි. විටෙක බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කළේ මේ ශාසනය රැඳී පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාවෙන් බවයි. (සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා) මෙලොව පරලොව දියුණුවත් ලෝකෝත්තර විමුක්තිය සලසා ගැනීමටත් පහසුව උදාවන්නේ කල්‍යාණ මිතුරන් නිසාවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නට යෙදුණේ. වචීපරම (වචනයෙන් පමණක් උදව් කරන්නා), අඤ්ඤදත්ථුහර (තමන්ගේ යමක් කඩාවඩා ගැනීමේ අදහසින් ඇසුරු කරන)අනුප්පියභාණි (තමා සිටින විට හොඳත් නොමැති විට නුගුණත් ප්‍රකාශ කරන) අපාය සහාය (තමාගේ පරිහානිය පිණිස ම උපදෙස් දෙන) යන මිත්‍ර ප්‍රතිරූපකයින් ආශ්‍රයෙන් තොර වීම නිසැකයෙන් ම කළ යුතු බවයි සම්බුදු හිමියන්ගේ අනුශාසනය වන්නේ.

වටිනා ක්‍රමවේදයක් 

 

ඇසුරු කළ යුතු පිරිස් ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ උපකාරක (අවශ්‍ය වේලාවෙහි දී උපකාර කිරීම) සමාන සුඛදුක්ඛ (දුකේ දී සැපේදී ළඟ සිටින) අත්ථක්ඛායි (අර්ථවත් ම දේ ප්‍රකාශ කරන), අනුකම්පක (කරදරයන්හි දී අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කරන) කල්‍යාණ මිත්‍රයින් ය. එසේ ආශ්‍රය කළ හැකි පිරිස් නැත්නම් හුදෙකලාව දිවි ගෙවීම සැපයට හේතුවන බව දේශනා කළ සේක. පාපි මිතුරන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍රයින් සොයා යෑම සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ භය සහිත මාර්ගයන් හැරදා යන්නාක් මෙනි. (ආරකා පරිවජ්ජෙය්‍ය මග්ගං පටිභයං යථා) යනුවෙනි. සිව් වැනිව දක්වා ඇත්තේ අතිශයින් ම අපට වැදගත් වන කාරණයකි. එනම් තමන් උපය ගත් ධනය කෙසේද පරිභෝජනය කළ යුත්තේ (සමජිවිකතා) යන කාරණාවයි. එහි දී ධනය නිකරුණේ විනාශ වන ක්‍රම කිහිපයක් දේශනා කර ඇත. ස්ත්‍රීන්ට ලොල්වීමත්, සුරාවට ඇබ්බැහි වීමත්, සූදුවට ලොල් වීමත්, පාපමිත්‍ර සේවනයත් ඒ කාරණාවන් ය. (ඉත්ථි ධුත්තෝ හෝති සුරා ධුත්තෝ හෝති අක්ඛ දුත්තෝ හොති පාපමිත්තෝ පාපසහායෝ පාප සම්පවඩ්ඪකෝ) බුදුන් කල සිටි මහධන සිටුපුත්‍රයා විනාශ වූයේ ධනය නිසි ලෙස පරිභෝජනය නොකළ නිසාවෙනි. ධනය පරිභෝජනයේ දී ඉතා වටිනා ක්‍රමවේදයක් පෙන්වා දී ඇත්තේ සම්බුදු හිමියන් ම ය.

ආහාරපාන සඳහා කොටසක් ද කර්මාන්තය විෂයයෙහි කොටස් දෙකක් ද අනෙක් කොටස කරදර බාධක අවස්ථාවන් තුළ දී ගැනීමටත් තබා ගත යුතු බව උන්වහන්සේ එහි දී වදාළ සේක. (ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති) තමාට ජීවත් වීම සඳහා අවශ්‍යතාවක් නොමැති වන ආහාරපාන හෝ ඇඳුම් පැලඳුම් හෝ යානවාහන හෝ ගෘහ භාණ්ඩ හෝ නොගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ. එම ක්‍රමවේදය අප නිසි ලෙස අනුගමනය කරන්නේ නම් අප බලා සිටිය දී ම දියුණු තත්ත්වයට පත් වේ. ණය ගැනීම්වලින් තොරව නිසි ලෙස අයවැය තුලනය කර ගැනීමට ඉහත සූත්‍රය අතිශය වැදගත් ය. අණන සූත්‍රයේ පෙන්වා දුන් පරිදි අනුන්ට ණයක් නොමැති බව නිසා ඇතිවන සතුට අතිශයින් ම හොඳ මානසිකත්වයක් සඳහා වැදගත් වේ.
ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ මෙලොව ජීවිතය සාර්ථකත්වයට වැදගත් වන ක්‍රමවේදයයි. පරලොව ජීවිතය සුගතිගාමීත්වය උදෙසා ද ක්‍රියා කළ යුත්තේ ද මෙලොව දී ම ය. එහිදී ද, වැදගත් වන කරුණු හතරක් පෙන්වා දී ඇත. එනම්, සද්ධා, සීල, චාග, පඤ්ඤා යන සම්පදාවන් ය. ශ්‍රද්ධාව යනුවෙන් පෙන්වා දී ඇත්තේ තෙරුවන් කෙරෙහි අචල වූත් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ය. බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණ පිළිගැනීම, සදහම් ගුණ විශ්වාස කිරීම හා සංඝරත්නය පිළිබඳ ගරු කිරීම ආදිය මෙයට අයත් ය. ඒ ශ්‍රද්ධාව කිසි ලෙසකින්වත් වෙනස් නොවන්නකි. තමන්ගේ දුක්ඛදෝමනස්සයන් නිසා කිසිදිනෙක තෙරුවන් කෙරෙහි සැකයක්, විචිකිච්ඡාවක් ඇති කර නොගනී. තෙරුවන් කෙරෙහි අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතුව තෙරුවන් ගුණ සජ්ඣායනා කිරීම නොව ඒ ගුණයන් පිළිබඳව නිසි වැටහීමෙන් යුතුව සරණ යෑමයි ශ්‍රද්ධාව උපදවා ගැනීමයි වැදගත් වන්නේ.

සීලය 

 

මෙහි දෙවැනි අංගය වන්නේ සීල සම්පදාවයි. පඤ්චශීලය ආරක්ෂා කිරීම මෙන් ම සිතින් කයින් වචනයෙන් දුෂ්චරිත සිදු කිරීමෙන් වැළකීම මේ සම්පදාවට අයත් වන්නේ ය. (පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චේතනාදයෝ ධම්මා සීලං නාම) ශීලය, වාරිත්‍ර, චාරිත්‍ර වශයෙන් ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් ද හීන – මජ්ක්‍ධිම – පණීත වශයෙන් ද භික්ඛු - භික්ඛුණී වශයෙන් ද අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද බෙදීම් දක්නට ඇත. පැවිද්දෙකු නම් ඔහු විසින් රැකිය යුතු ගුණ ධර්ම මනාව පූරණය කරමින් ජීවත් වීම වටී. ගිහියෙකු නම් පඤ්චශීලය ආරක්ෂා කරමින් සද්පුරුෂයින් ආශ්‍රය කරමින් ජීවත් වීම වටී.

චාගය 

 

තෙවැනිව පෙන්වා දෙන්නේ චාග සම්පදාවයි. එනම් පරිත්‍යාගශීලීත්වයෙන් යුතුව දීමයි. මෙහිත් ක්‍රම දෙකකි. පූජා බුද්ධියෙන් දන් දීම යනු සිල්වතුන් වහන්සේලාට දෙන දීමනාවන් ය. අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම යනු දුප්පතුන්ට තිරිසන් සත්ත්වයන්ට හෝ පරිත්‍යාගයක් අවශ්‍ය පුද්ගලයින්ට දීමය. දන්දීම යනු පාරමිතාවක් ද වන්නේ ය. එය නිසි පරිදි කුසල චේතනාවෙන් ම ඉටු කිරීමට මහන්සි ගත යුතු ය. ප්‍රඥාව සිව්වැනි කරුණ නම් පඤ්ඤා සම්පදාවයි. එනම් ප්‍රඥාවෙන් සම්පූර්ණ වීමයි. මෙලොව ජීවිතය සාර්ථකත්වයටත් හොඳ නරක මනාව අවබෝධ කර ගැනීමටත් අවිද්‍යාව දුරලා නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමටත් ප්‍රඥාව ඉවහල් වනු නියතය.
සම්බුදු හිමියන් දේශනා කළ අයුරින් මේ ක්‍රමවේදය මනාව පිළිපදින්නා මෙලොව පරලොව අභිවෘද්ධිය සලසගෙන අවසන දී සියලු කෙලෙසුන් ප්‍රහීණ කර නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේ ම ය. පින්වත් ඔබ සැමදෙනාත් මේ අනුව කටයුතු කිරීමෙන් දෙලොව සැප ලබාගෙන අවසන ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් සම්පත්තිය සලසා ගන්න.


 බිබිල, යල්කුඹුර,
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ,
පදියතලාවේ ඤාණවිමල හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment