Labels

Saturday, October 17, 2015

මිත්තා මහ රහත් තෙරණින් වහන්සේ



උත්තම වූ රහත්භූමියට පිළිපන් මහරහත් උතුමෝ නැවත නැවත ඉපදෙන මැරෙන සසර ගමනට හසුනොවෙති. ජාති වශයෙන් උපාදාන කර ගැනීමක් නොකරති. ඒ උතුම් රහත් භූමියෙන් සැනසෙන දිවිය කෙතරම් සුන්දර වනු ඇතිදැයි විටක විවේකී මනසකින් විමසන කළ දැනෙනුයේ විරාගික සුවයකි. නික්ලේශ හදවතින් පිරිපුන් වූ මහරහත් තෙරුන් වහන්සේලා , තෙරණින් වහන්සේලා පිළිබඳව සිතන සිතිවිල්ලද රාගයෙන් වියුක්ත වූවකි. මහත් වූ අස්වැසිල්ලකි.

සසරගත සත්වයෝ අණ්ඩජ වශයෙන්, ජලාබුජ වශයෙන්, සංසේදජ වශයෙන් , ඕපපාතික වශයෙන් පේත , තිරිසන්, අසුර, නරකය යන සතර අපායෙහිද දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ලෝකයන්හිද උපදිති. බිජුවටින් සමහර සත්වයෝ අණ්ඩජ වශයෙන් උපදිති. දළඹුවෙක් හෙවත් මවුකුසින් ජලාබුජ වශයෙන් උපදිති. කුණු කාණු වැසිකිළි තුළ සංසේදජ වශයෙන් සත්වයෝ උපදිති. ඕපපාතික වශයෙන් දෙවියකු හෝ බ්‍රහ්මයෙකු වශයෙන් ඉබේ හදිසියේ පහළවෙති.
දුක්ඛිත වූ ජාතියක් ලැබීම මහත්වූ දුකකි. ඒ දුකින් සඳහටම මිදුණු මිත්තා මහරහත් තෙරණියෝ නැවත සසරෙහි ඉපිද දුක්ඛිත දිවියකට නොපිළිපන්නිය. මිනිස් දිවියට සැබෑ අරුතක් එක් කිරීමට ඕ තොමෝ සමත්වූවාය.
සත්වැදෑරුම් වූ ජාති දුකක් මවුකුසක උපත ලබන සත්ත්වයෝ විඳින බැව් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සත්ත්වයෝ මවුකුසක නෙළුම්මලක උපදින රේණු මෙන් නූපදිති. පිත්, සෙම්, සැරව, ලේ, පැසුණු ආහාර, නොපැසුණු ආහාර යනාදි කුණු ගන්ධයෙන් ගැවසුණු අතිශයින්ම දුර්ගන්ධ වූ පැසක් බඳු මවුකුසක කුණු අහරක, කුණු මසක, ගවරවලක උපන් පණුවෙකු සෙයින් සත්ත්වයා මනුෂ්‍ය කුස උපදනා කොට වාසය කරති.
දස මාසයක් මුළුල්ලේ උෂ්ණයෙන් ගිනියම් වූ යකඩ තැටියක තැම්බෙන පිටිපිඬක් සේ, පිච්චෙමින් අතපය දිගහැරීමක්, හැකිලීමක් නොමැතිව අතිශයින් තිව්‍ර වූ දුක්වේදනා විඳිමින් මවුකුස තුළ වසන සත්ත්වයා ගබ්භොක්කන්තික මූලක දුක්ඛය මවුකුස තුළදී විඳීනු ලබන්නේ ජාති දුකේ මූලාරම්භය සනිටුහන් කරමිනි.
මෙසේ මව්කුස වසන බිළින්දා මව විසින් සිසිල් දෙයක් අනුභව කරන කල සිත නරකයෙහි වැටුනාක් මෙන්ද මව උණු කැඳ බත් ආදිය අනුභව කරන විට උණු අලු නරකයෙහි වැටුණු කලක මෙන්ද මව ලුණු,ඇඹූල් ආදිය අනුභව කරන කල දැලිපිහියකින් ඇඟ ඉරාදමා ලුනු, ගොරක දමන කලක මෙන්ද මහත්වු කටුක වූ දැඩි වූ දුකක් කුස තුළ වසමින් විඳිනු ලබයි. මෙය ගබ්භපරිභරණමූලක දුක්ඛය නම් වේ.

සැබැවින්ම පෘථග්ජන මනසට මෙය දුකක් ලෙස නොදැනේවි. අනන්තභව සංසාරෙහි කෙතරම් කාල පරිච්ඡේදයක් , කෙතරම් ආත්ම ගණනක් අනන්ත දුක් විඳින්නට ඇතිද,කෙතරම් ආත්ම ගණනක් දුක්විඳ විඳ මව යන එන හිඳින, නැඟිටින පෙරළෙන සෑම අවස්ථාවකදීම අහිකුණ්ඨිකයෙකු අතට පත් නයි පැටවකු ලෙස මවුකුස තුළ සිටියදී කිරිකැටියා අනන්ත දුක් විඳින පීඩා විඳී මවුකුසින් බිහිවන මොහොතේදී තියුණු ආයුධ යොදා ගනිමින් දරුවා කඩකපා පණපිටින් හෝ අප්‍රාණිකව එළියට ගනී. සියුමැලි ශරීරයට ආයුධ ආදිය වදිනා විට කෙතරම් වේදනාකාරි වනු ඇතිද? මෙලෙස උපදින දරුවා ගර්භ විපත්ති මූලක දුක්ඛය විඳිනු ලබයි. මවටද මහත් වූ වේදනා දෙමින්, ලේ සැරව ආදියෙන් අපවිත්‍රව සියුමැලි දරුවන් මෙලොවට බිහිවෙති. මවුකුසින් බිහිවූ කල නොවැඩුණු කය අසාධ්‍ය වනයක් හා සමානය.

සියුමැල් මොළකැටි ශරීරය නාවන සෝදන රෙදි කඩකින් පිසදමනා විට ආයුධයකින් කැපීම් කෙටීම් සිදුකරන්නාක් මෙන් එම ගතට මහත්වු වේදනාවෝ දැනෙනු ඇත. කඳුළු වගුරුවමින් මහා දුක් ගොඩක වෙලී සිටින සියුමැලි සිරුර අල්ලන මොහොතක් පාසා හඬමින් දුක් විඳිනුයේ මෙලොව උපන් සත්වයා ගර්භනිෂ්ක්‍රමණමූලක දුක්ඛය අනුභව කරන නිසාවෙනි.

මෙසේ අනන්ත දුක්විඳිමින් උපදින සත්වයෝ වඩා වර්ධනය කිරිම එතරම් පහසු කාර්යයක් නොවේ. ජාතියට, හසු වූ, භවරැල්ලට හසු වූ සත්වයාට නිතැතින්ම උරුම වන්නකි. ජාතිදුක, මවුකුසින් උපාදාහ කරගනිමින් බව තෘෂ්ණාවට හසුවන සත්වයාට මිදීමේ මඟ උතුම් ශ්‍රී සදහම මිසෙක අන් කිසිවක් නොවන්නේය.
එසේ භව තෘෂ්ණාව ක්ෂය කළ උතුමෝ නැවත ජාතියක් නොලබති. මවුකුසක අනන්ත පීඩාවන්ට හසුනොවෙති. අප්‍රමාදි නොවූ ප්‍රමාදයෙන් කල් ගෙවන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙන්නේ ගහ වට කරගෙන එතෙන මාළුවා වැලක් සේය. වනයේ ගස්වල ගෙඩි කෑමට කැමති වඳුරෙකු ගහෙන් ගහට පැන පැන යන්නා සේ තෘෂ්ණාවෙන් යුක්ත වූ තැනැත්තා භවයෙන් භවයට මාරුවෙති.

එවන් වූ භවයකට නැවත හසුනොවන ජාති දුකින් මිදුනාවූ නික්ලේෂි හද සන්තානයකට උරුමකම් කියන්නාවූ මිත්තා මහරහත් තෙරණියෝ තම සිත දක්ෂව දමනය කළ සේක.
විමුක්ති මාර්ගය පිළිපන් ඕ තොමෝ ධර්මයට අනුගත සිතක් ඇතිකරගැනීමට විමුක්තිය මාර්ගය වැඩූ අයුරු තම සිතට අවවාද කරන අයුරු මිත්තා මහරහත් තෙරණියගේ අපූර්ව උදාන පාඨයෙන් ප්‍රකට වන්නේය.


‘සද්ධාය පබ්බජීත්වාන මිත්තෙ මිත්තරතා භව
භාවෙහි කුසලෙ ධම්මේ යෝගක්ඛේමස්ස පත්තියාති” 

 
“පින්වත් මිත්තාවෙනි. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ ඔබ කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයට කැමති වන්න. සිවුවැදෑරුම් යෝගයන්ගෙන් මිදුනා වූ උවදුරු රහිත වූ නිවන ලබනු පිණිස ආර්යමාර්ග ධර්ම වූ බෝධිපාක්ෂික ධර්මයෝ වඩන්න.
බුද්ධ,ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳව පවත්නා වූ අචල ශ්‍රද්ධාව නිසාවෙන් ආර්යමාර්ගයට ඕ තොමෝ පිවිසුනහ. කල්‍යාණ වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය දැක ධර්මකාය සම්පත්තිය ලැබීමට භාග්‍යවන්ත වූහ. සසරගත සත්ත්වයා හට සිටින්නාවූ පරම පූජනීය උත්තම වූ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ලොව්තුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේය. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පූරණය කොට උතුම් අභිසම්බෝධිය ලැබ සත්වගට දහම් දෙසුයේ තුන්ලෝවාසී සත්වයාහට කල්‍යාණ මිත්‍රයා වූ නිසාවෙනි. උන්වහන්සේගේ රූපකාය පිරිනිවී වැඩියද, දේශිත ශී‍්‍ර සද්ධර්මය තවමත් ජීවමානය. ඒ උතුම් ශ්‍රී සදහටම අනුගතව අවබෝධය, නිවීම පිණිස පවතින්නාවූ බෝධිපාක්ෂික ධර්මයන් අනුගමනය කිරීමෙන් නිවන සාක්ෂාත් කරණයට හේතුවන බැව් විද්‍යමානය.

එදවසින් සැනසුණු මිත්තා තෙරණියෝ උතුම් අර්හත් සුවයෙන් විනිවිද ගිය සිතක් දරමින් සසර ඕඝයෙන් මිදුනාහුය. නෙළුම් පෙත්තක පිණිබිඳකුදු නොරැෙඳන්නා සේ අර්හත්භාවයට පත්කළ සිත කිසිදු දිනෙක මවුකුසක, ගොහොරු මඩවලක, දිව්‍යලෝතලයක , බ්‍රහ්මලෝකයක, අසුර නිකාය පේ‍්‍රත ආත්මභාවයක තිිරිසන් යෝනියක, අටමහානරකය යන තැන්හි නොරැදෙන්නේය. ජාති දුකකට නැවත හසු නොවන්නේය.
මිත්තා තෙරණියෝ ශ්‍රද්ධාව ප්‍රකට කරමින් කල්‍යාණ වූ ලොව්තුරා බුදුපියාණන්- වහන්සේගේ ඕරස දියණියක වෙමින් මාර්ගයට නිවැරදිව පිළිපන්ව නිවනේ, නිවීමේ නැවතීමේ දොරගුළු, විවරකරගනිමින් සසරින් එතෙර වැඩ මිත්තා මහරහත් උත්තමාවියක ලෙසින් පිරිනිවන් පාන්නට ඇති.

ශ්‍රද්ධාව යම් හදවතකට මැනවින් ඇත්තේ වීනම්, සත්පුරුෂයා,අසත්පුරුෂයා කවරෙක්ද, යනුවෙන් වෙන්කර ගැනීමේ ප්‍රඥාවෙන් යුක්ත වේ නම්,ප්‍රත්‍යක්ෂ වශයෙන් ඵල ලැබිය හැකි දහමක් විරාජමානව අප සතුව වේ නම් අප්‍රමාදී බවම පෙරටුකොටගෙන මේ උතුම් සම්බුදු සසුනින් ඵල ලැබිය හැකි වන්නේය. සංසාරය නම්වූ නොනවතින ගමනේ වෙහෙස දැනෙනා යමෙකුට අර්හත්භූමියට පිළිපන්වා දමනය කළ සිතක් සකස් කරගැනීම පිණිස, ලොව සැම දේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම ලෙස විදසුන් නුවණින් දකින්නට ශ්‍රද්ධාවේම බලවත් බව ප්‍රකට කරන්නට ගෞතම බුදුසසුනින් සැනසුණු මිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ උදාන පාඨයෝ දිරිමත් පියවරක් වනු නො අනුමානය.


 


 මොරගොල්ලාගම උපසමා සිල්මාතාව







 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 12 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment