Labels

Wednesday, October 7, 2015

අතේ ඇති බත්පතින් කුස පුරවා නොගෙන සිතේ ඇති දේවලින් දුක් විඳින්නේ ඇයි?


“දත්වාච භුත්වාච යත්ථානුභාවං
අනින්දිතෝ සග්ග මුපේති ඨානං”

ධර්මානුකූලව උපයා, සපයා ගත්ත දේ තමන්ට අවශ්‍ය පරිදි පරිභෝග කොට, අවශ්‍ය විටක දී අනුන්ටත් උදව්වක්, උපකාරයක් හැටියට දී නිවැරැදි ආකාරයෙන් තමනුත් පරිහරණය කොට සියලු දෙනාගේ ම ප්‍රශංසාවට ලක්ව මරණින් මතු සුගතියට යායුතු බවයි, ධර්මයේ පැහැදිලි කළේ.

ඒ වගේ ම මේ විෂම වූ ලෝභයේ අනෙක් ස්වභාවය නම් අන්සතු වස්තූන් කෙරෙහි පවා ආශාවක් ඇති කර ගැනීමයි. තමාගේ අතේ පවතින බත්පත අතේ තබාගෙන ඒ රසය දැක ගනිමින් කුසට දැනෙන ආකාරයෙන් ආහාර ගන්නේ නැතිව, තමාට නැති දේවල් ගැන සිත සිතා දුකට පත්ව සිටින්නේ ඇයි? තමාගේ අසල්වැසි ගෙදර අයගේ ගේ - දොර ස්වභාවය, ඔවුන්ගේ බඩු මුට්ටු පිළිබඳව හෝ ඔවුන්ගේ ඇඳුම් – පැළඳුම් හෝ ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව සොයමින් තමන්ට නැති දේවල් ගැන සිතමින් හෝ ඔවුන්ගේ දේවල් පිළිබඳව ලෝභයක් ඇතිකරගෙන කටයුතු කිරීමෙන් විපත් වන්නේ කාටද? විපත්ති වන්නේ තමාටමයි. යම් වූ දෙයක් තමාට නැතිනම් පසුගිය පොහොය දිනයන්හි ලිපි මගින් කතා කළාක් මෙන් “උට්ඨාන වීර්යයෙන් දෑතේ බාහු බලයෙන්, දහඩිය මුගුරු වගුරුවා” ධර්මානුකූලව ම ඒ භෝග සපයා ගැනීමට උත්සාහ කළ යුතුයි.

මී කුණක් පොහෝ දිනක විකුණා ධනවත් වූ පුද්ගලයෙක් පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. උත්සාහයයි, ධෛර්යයි, පරික්ෂාකාරී නුවණයි පවතින්නේ නම් අබ ඇට මිටකින්, නමුත්, සුනු සහල් මිටකින් නමුත්, තණකොළ මිටකින් නමුත් අනාගත අභිවෘද්ධියක් ඇති කර ගත හැකි බව මේ ධර්ම කතාවන්ගෙන් මනාව පැහැදිලි කොට දෙනවා. දැහැමි ව යමක් ලබන්නට අවශ්‍ය නම් ධර්මානුකූලව ලැබිය යුතුයි. අනුන්ගේ වස්තූන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකොට, ඒ ඊර්ෂ්‍යාව, වෛරයක්, ක්‍රෝධයක් බවට පත්කොටගෙන තමා ම දුක්විඳීමට වඩා ධර්මානුකූලව වෙහෙස මහන්සි වී ධනයක් ලැබීමට උත්සාහ කිරීමත්, ඒ වගේ ම ‘යථා ලාභ සන්තුට්ඨි’ එනම් ලද දෙයින් සතුටු වෙනවා කියන අදහසින් තෘප්තිමත් භාවයට පත්වීමත් අවශ්‍යයයි.

විෂම වූ ලෝභයෙන් යුතු පුද්ගලයා නිරන්තරයෙන් ම උත්සාහ කරන්නේ එක රැයකින් පොහොසත්වීමටයි. අර අයට මේ තරම් ධනයක් තිබෙයි; ඒ අය මෙවැනි ගෙයක් හදාගෙන තිබෙයි. මේ වගේ යාන – වාහන රැගෙන තිබෙයි. ඒ අයගේ දරුවන් යන්නේ ඉහළ පාසල්වලටය. ඔවුන්ට විදේශ ගමන් පවා තිබේ. මට ඒ කිසිවක් නැත. මා මොනවා කළත් හරියන්නේ නැත. මේ ආකාරයෙන් සිතමින් පවසමින් ඒ පුද්ගලයා ම මනසින් දුක්විඳින අතර, කෙලෙස් ද රැස් කරගන්නා අතර පව් ද සිදුකර ගනී. අනුන්ගේ දේවල් ගැන සිතා ඔවුන්ට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින් සිටීමෙන් තමාට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. යම් විටක යම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යව ඇත්තේ ඔවුන්ගේ ධර්මානුකූල භාවය හා කැපවීම, ධෛර්යවන්ත භාවය නිසා විය හැකිය. එවැනි පුද්ගලයකුට වෛර කිරීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන් රහසේ හෝ කරදර කිරීමෙන් තමා විසින් බලවත් වූ පාපයක් සිදු කරගන්නා බව අමතක නොකළ යුතුය. ධර්මයේ සඳහන් කළේ, නිවැරැදි ගුණ යහපත් වූ අයකුට සිත, කය, වචනය නම් වූ තුන් දොරින් යම් විපතක් සිදු කරන්නේ නම්, උඩු සුළඟට දමන ලද දූවිලි තමාගේ හිසමතට ම වැටෙන්නා සේ තමා තමා විසින් කරන්නා වූ අයහපත තමා වෙතට ම නැවත පැමිණෙනවා.

‘අභූතවාදී නිරයන් උපේති’ විෂම වූ ලෝභය නිසා අන්‍යයන්ට අභූත චෝදනාවක් කරන්නේ නම්, ඒ පුද්ගලයා පැහැදිලිවම නිරයට යන බව, අපායේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇත. ඒ නිසා සද්පුරුෂ මනුෂ්‍යයෝ තමාගේ ම වස්තුව කෙරෙහි දැඩි වූ ලෝභයක් නැතිව පරිහරණය කරමින් ස්වාමි – භාර්යා, දෙමව්පියන්, දරුවන්, ඥාති, හිතමිත්‍රාදීන්ට ද යුතුකම් කරමින් දනට, පිනට යොදමින් පරිත්‍යාග කරමින්, මලගිය ඥාතීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරමින් සුවපත් වූ ජීවිත ගත කරනවා. එයට හේතුව අනිත්‍ය වූ ලොවක් තුළ මොනවා නමුත් මගේ යැයි ගොඩගසා ගත්තත්, එකතු කර ගත්තත් එය තමාට ඕනෑ විදිහට නොපවත්නා නිසා ය. එනම් සදාකාලික නොවන නිසාය. එනම් සදාකාලික කිසිවක් නොවන නිසාය.

මේ ලෝකයේ උපදින විට ලෞකික කිසිදු වස්තුවක් අතට හසුවන දේවල් අපි රැගෙන ආවේ නැතුවා සේ යන විට ද අතට හසු වූ දේ පමණක් නොව ජීවිත කාලය පුරාම පෝෂණය කරගත් අපහසුවෙන් රැකගත්, ශරීර කූඩුව ද මෙලොව තබා යන බව ඔබ සියලු දෙනා දන්නා කරුණකි. ඒ නිසා තමා සතු වස්තුව, ධර්මානුකූලව උපයාගෙන නිවැරැදි ලෙස සතුටින් පරිහරණය කළ යුතු අතර කිසිවිටකවත් අනුන්ගේ වස්තුව කෙරෙහි තෘෂ්ණා අධික පුද්ගලයෙක් නොවිය යුතුය. අන්‍යයන්ගේ දියුණුව දැක ඔබට ආදර්ශයක් ගත හැකිය. එය වරදක් නොවේ. ඔවුන් එතැනට පැමිණෙන්නට කළ කී දෑ නුවණින් දැක හෝ ඒ අයගෙන් දැන හෝ සාකච්ඡා කොට ඔබට ද ඒ මාර්ගයට පැමිණීමට කටයුතු කළ හැකිය.

එලෙසම මතක තබාගත යුතු කරුණක් තිබෙන්නේය, එනම් ප්‍රාණඝාත, සොරකම, කාමමිච්ඡාචාරය, බොරුව, මත්වතුර ආදී පස්පව්වලින් වැළකිය යුතු අතර දියුණු වූ අයට ඊර්ෂ්‍යා කිරීම, වෛරකිරීම, තරහ ඇති කර ගැනීම හා රහසේ හෝ ඔවුන්ට කරදර කිරීම් ආදී බලවත් වූ දුර්ගුණවලින් ද වැළකිය යුතු බව සිත්හි තබාගත යුතුය. එවන් වූ දුර්ගුණවලින් ආඪ්‍ය වන්නට උත්සාහ කළොත් ඔබ ආඪ්‍ය වන්නේ ලෞකික ධනයට වඩා දුෂ්චරිත ධනයකින් බව ඔබ මතක තබාගත යුතුය. මේ අභිජ්ඣා නම් විෂම වූ ලෝභය නම් වූ දුර්ගුණය යහපත් වූ සැපවත් වූ ජීවිතයක් ගත කරන්න කැමැති හැම කෙනෙකුගේ ම ජීවිතයකට ම බලවත් වූ පීඩාවක් බව පැහැදිලියි. දස අකුසල් අතර සිතින් සිදුවන අකුසල් තුන විස්තර කළේ අභිජ්ඣා, ව්‍යාපාද, මිථ්‍යාදිට්ඨි යනුවෙනි. එනම් එහි සිතින් සිදුවන පළමු වැනි බලවත් වූ අකුසලය මේ විෂම වූ ලෝභය පෙන්වා දී තිබේ.
ඒ නිසා අප සෑම කෙනෙක් ම ‘පුබ්බේච කත පුඤ්ඤතා’ පෙර කරන ලද පින් ඇතිව අප මනුෂ්‍ය ජීවිත ලබා තිබේ. මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට බලවත් වූ කුසල් සිදුකරගෙන ඇත්තේ නම් මෙලොව ජීවිතයත්, සුවපත්ව ගත කරන්න තරම් අපට වාසනා ගුණය, කුසල ශක්ති මාර්ගය තනා දී තිබේ. සංසාර ගමනේ රැස්කරගත් පුණ්‍ය ධර්මවල උස් පහත් භේදයක් තිබේ. ඒ පුද්ගලයන්ට ලෞකික ධනය හා පැවැත්මේ දී උස් පහත්කම්වලට මුහුණ පෑමට සිදුවේ. එහෙත් මෙතෙක් විස්තර කළා සේ අභිජ්ඣාව හෙවත් විෂම වූ ලෝභයෙන් තොරව උත්සාහයෙන්, ධෛර්යයෙන්, පරික්ෂාකාරී නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් මෙලොව ජීවිතයේ පුණ්‍ය ධර්මයන් බලවත් කරගෙන තමාට සැපවත් වූ ම ධර්මානුකූල ධනයක ආඪ්‍යත්වයට පැමිණ කටයුතු කළ හැකිය.

ධර්මානුකූල අදහස නම් සිතේ සතුට පවතින්නේ ලැබූ වස්තුවේ ප්‍රමාණයට නොව ඒ ධනය ලැබූ ආකාරය හා පරිහරණය කරන ආකාරය අනුවයි. බොහෝ ධනයක් අධාර්මිකව ලබා විෂම වූ ලෝභයෙන් යුක්තව සිටින්නේ නම් ඔහුට හෝ ඇයට පවතින සැපයක් නැත. එහෙත් ස්වල්ප වූ ධනයක් නමුත් විෂම වූ ලෝභයෙන් තොරව පරිහරණය කරන්නේ නම්, ස්වල්ප වූ ධනය නමුත් ධර්මානුකූලව උපයන්නේ නම් ඔහු මෙලොව සුවසේ නිදාගන්නා අයෙක් බවට පත්වෙනවා. ඔහුගේ මුහුණ ප්‍රසන්න, මුහුණක් ඇති අයෙක් බවට පත්වෙනවා. නිරවුල් පරිසරය තුළ ස්වාමියා බිරිඳ දිව්‍යාංගනාවක් හැටියටත්, දෙමාපියන් දරුවන්, බුදු නොවුනත්, රහත් නොවුනත්, බුදු අම්මා අප්පච්චී කිව හැකි තරමට ගුණයහපත් සද්පුරුෂ පවුල් පරිසරයක් ඇතිවෙනවා නො අනුමානයි. සමාජ පරිසරය තුළ මනුෂ්‍ය ජීවිතයක් ලැබිය යුතු නම් ඒ යහපත්වූ ම මනුෂ්‍ය ජීවිතයක් ලැබූ සද්පුරුෂ මනුෂ්‍යයෙකුගේ චරිත ස්වභාවය ඇති කරගත යුතුය.

ඔබට අවබෝධ වන ආකාරයෙන් මේ කතා කළ දහම් කතාව අවසන් කළ යුතුයි. එනම් එක රැයකින් හිරු සඳු නො ඇල්ලුවත් සද්පුරුෂ මනුෂයෙක් ලෙස මේ මහපොළවේ පය තබා ජීවත්වී, මම නිවැරැදියි සිතමින් කල්‍යාණවන්ත මනුෂ්‍යයෙක් ලෙස ම ඇස් පියාගන්න හැකි නම් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ඔබ උතුම් ම ඵලයක් සැපතක් ලැබූ සුපසන් මනුෂ්‍යයෙක් බවට පත්වන්නේ ය.

 බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
 සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ  බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 04 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment