Labels

Sunday, October 11, 2015

සිල්වත්ව ජීවත්වීම උතුම්


සැවැත්නුවර උසස් කුල තිහකින් කුමාරවරු තිස්දෙනෙකු පැවිදි විය. මෙම තරුණයන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වූයේ තමන්ගේ ගිහිගෙවල්වල බොහෝ සල්ලි ධන ධාන්‍යයෙන් ආඩ්‍යව තිබියදීයි. එසේ තිබෙන සියලු සැප සම්පත්වලට වඩා නිදහසේ බණ භාවනා කරමින් ලබන මානසික සුවය උතුම් බව ඔවුන්ට කල්පනා විය. මෙම යහළුවන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ ළඟ පැවිදි වූ නිසා ඔවුන්ගේ දෙමව්පියන් බුදුහාමුදුරුවන් සමඟත් යම් යම් අමනාපකම් හදාගත්තා.

එසේ වුවත් මේ කුමාරවරු තිස්දෙනා තම පැවිදි ජීවිතයේ උතුම් අරමුණුවල ඉන්නවාය කියන අධිෂ්ඨානයෙන් මහණකම ආරක්ෂා කරගත්තා. ඔවුන්ගේ වැඩි අවධානය යොමුවූයේ ධර්මය ඉගෙන අනෙකුත් පිරිසට ධර්ම දේශනා කිරීම සඳහා නොවේ. පිළිවෙත් පුරමින්. විදර්ශනා භාවනා වඩමින්, තමන්ගේ මනසෙහි දියුණුව ඇතිකරගැනීම ඔවුන්ගේ වැඩි අරමුණ විය. මේ නිසා නාගරික පන්සල් ආශි‍්‍රතව වැඩ වාසය කරමින් මේ කටයුත්ත කිරීම අපහසු බවට කල්පනා කළා. මේ කුමාරවරු තිස්දෙනා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. “බුදුහාමුදුරුවනේ, අපට වුවමනා නිදහස් නිසංසල ප්‍රදේශයක ඉඳගෙන බණ භාවනා කරලා ආර්ය මාර්ගයට පත්වීමයි.”යන බව. ඒ අනුව මේ හාමුදුරුවන් තිස් නම බුදුපියාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගත්තා. කමටහන් යනුවෙන් සඳහන් කරන්නේ භාවනා කරන්නට සුදුසු අරමුණු ලබාගැනීමයි. සැම දෙනාටම සැම භාවනාවක්ම එකවගේ පිහිටන්නේ නැහැ. ඒ ඒ අයට ගැළපෙන භාවනාව කුමක්ද? කියන එක හරියටම නියම කරන්නේ බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේගෙන් එසේ අවවාද ලබාගැනීම කමටහන් ගැනීමයි.

කමටහන් ලබාගත් හාමුදුරුවරු තිස් නම ඈත පිටිසර ගමකට වඩින්න සූදානම් වුණා. මේ හාමුදුරුවන් තිස්නම ඈත පිටිසර ගමකට වැඩම කරල. බණ භාවනා කරල අනාගතයේ මොනවද වෙන්නේ කියලා බලන බුදුරජාණන් වහන්සේට පේනවා අනාගතයේ මේ හාමුදුරුවන්ට විශාල කරදරයකට මුහුණදීමට සිදුවන බව. බුදුපියාණන් වහන්සේ හාමුදුරුවන්ට අනාගතයේ විශාල කරදරයකට මුහුණදීමට සිදුවන බව වදාරමින් හාමුදුරුවන් වඩින ගමනට සංකිච්ච රහතන් වහන්සේත් එකතු කරගන්නා ලෙසට බුදුපියාණන් වහන්සේ වදාළා. සංකිච්ච හාමුදුරුවන් රහත් උතුමකු වුවද, අනෙකුත් හාමුදුරුවන් රහත්බව ලබා සිටියේ නැත. බුද්ධ නියමයට අනුව මේ හාමුදුරුවන් තිස් නම සංකිච්ච රහතන් වහන්සේත් සමඟ ඈත පිටිසර ගමකට වැඩම කළා.

බොහොම දුර බැහැර ගෙවාගෙන නිස්කලංක ගමකට වැඩම කළ උන්වහන්සේලා බණ භාවනා කරමින් කැමැති ආකාරයට කාලය ගත කරමින් මනසට විවේක දෙමින් බොහොම සැහැල්ලුවෙන් කාලය ගත කළා. මේ හාමුදුරුවන් තුළ පවතින තැන්පත්කමත්, සංවරකමත්, සන්සුන්කමත් නිසාම ගමේ හතර පේරුවේ දායක ඇත්තන් මේ හාමුදුරුවන් කෙරෙහි පුදුම ආකාරයේ ප්‍රසාදයක් පළ කළා. නිතරම පන්සලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙනත් දෙන්න පටන් ගත්තා. දානය, සිවුරු පිරිකර හාමුදුරුවන්ට අවශ්‍ය කරන බේත් හේත්, තමන් වහන්සේලා වැඩ වාසය කරන සෙනසුණේ අලුත්වැඩියා කිරීම් හාමුදුරුවන්ගෙන් කිසිම දෙයකින් බලාපොරොත්තුවකින් තොරව උන්වහන්සේලාගේ සංවර තැන්පත් අවංක තත්ත්වය නිසාම මේ ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්නට පටන් ගත්තා.

එක දවසක් හිඟන මනුස්සයෙකු කුසගින්නෙන් කෑම සොයාගෙන යන අතරතුර රෑ වුණා. ඔහු පාර හොයාගෙන මේ හාමුදුරුවරු වැඩ වාසය කරන ආරාමයට ආවා. කුසගින්නෙන් හෙම්බත්ව මහන්සියෙන් හිටපු නිසා හාමුදුරුවරු එකතුවෙලා දවල් ලැබී තිබුණ දානයෙන් ඉතිරිවෙලා තිබුණ දේ ලබා දුන්නා. දින ගණනාවක් කුසගින්නේ සිටි නිසාත,් රසවත් ආහාරයක් ලැබුණ නිසත් හොඳින් ආහාර ලබා ගත්තා. මේ ලබා දුන්න ආහාරය කන ගමන් මේ පුද්ගලයා මෙහෙම සිතනවා. “රෑ දවල් මහන්සි වෙලා වැඩ කරන අයටත් මේ වගේ රසවත් ආහාර හම්බවෙන්නෙ නෑ. කිසිම වැඩක් පලක් කරන්නේ නැති මේ හාමුදුරුවරු හැමදාම මේවගේ රසවත් ආහාර වළඳනවා” කියලා මේ සිතිවිල්ලත් සමඟ කෑම කාලා අවසන් වෙලා මහන්සිය මඟ හැරීමට නිදාගත්තා. මේ හිඟන්නාට මේ පන්සල දාලා යන්න හිතුනෙම නැහැ. පන්සලෙන් කමින් බොමින් එහිම රැඳුණා.

කෙට්ටුවෙලා තිබුණ ශරීරය වැඩෙමින් බොහොම උස මහත ශක්ති සම්පන්න කෙනකු බවට පත්වුණා. එක දවසක් මේ පුද්ගලයා පන්සලෙන් නික්මිලා තමන්ගේ නිවසට යන මාර්ගයට අවතීර්ණ වුණා. එය කැලෑ පාරක් වූ නිසාම මඟ රැක සිටි හොරු රංචුවක් මේ ශක්ති සම්පන්න පුද්ගලයා අල්ලා ගැට ගැසුවා. මේ සොර කල්ලිය සූදානම් වෙන්නේ මේ පුද්ගලයා මරලා බිලි පූජාවක් පැවැත්වීමට. මෙවැනි ශක්තිසම්පන්න පුද්ගලයකු මරල බිලිපූජාවක් පැවැත්වීමෙන් වන දෙවියෝ සතුටු වෙන බවට ඔවුන් සිතුවා.

මරණ බයෙන් බියට පත් වූ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්න උපායක් සිතා සිටින වෙලාවේ සොර රංචුවෙන් ගැලවෙන්න ඔහු මෙහෙම ප්‍රකාශ කළා. “මම හිඟන්නෙක් මම සල්ලිය භාගය තියෙන කෙනෙකු නොවෙයි. මම දුප්පත් මනුෂ්‍යයෙක්. මම වගේ දුප්පත් හිඟන්නෙක් මරල බිලිපූජාව පැවැත්වූවාට වන දෙවියෝ සතුටු වෙන්නේ නැහැ. මටත් වැඩිය හොඳට ඇඟපත බොහොම ශක්ති සම්පන්න බව තියෙන හාමුදුරුවරු අසවල් පන්සලේ වැඩ සිටිනවා. ඒ කෙනෙක් රැගෙන මරල බිලිපූජාව පවත්වන එකෙන් වන දෙවියොත් සතුටු වෙනවා. ඒ සතුටෙන් ඔබලාටත් යහපතක් වෙනවා. මම මරණ එකෙන් ඔබලාට යහපතක් වෙන්නෙත් නැහැ. වන දෙවියෝ සතුටු වෙන්නෙත් නැහැ.” කියලා. මේ පුද්ගලයා ප්‍රකාශ කළ කතාව අහල සොර දෙටුවන් මරන්න තීරණය කළ මනුෂ්‍යයා මරන්නේ නැතිව අතහැර දැමුවා. අසාගත්ත පාර අනුව පන්සලට ගිහිල්ල පන්සලේ වැඩ සිටි හාමුදුරු නමක් අල්ලගෙන මරන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේ සංකිච්ච මහරහතන් වහන්සේ කියනවා “ඔබලාට බිලි පූජාව පවත්වන්න ඕනේ කොතනද?

කවදද? ඔබලා තැන කියන්න. ඒ දිනයට ඒ වෙලාවට මම එතනට එන්නම්. දැන් කලබල නොවී මට දිනයයි වෙලාවයි කියලා යන්න.මම ඒ වෙලාවේ ඒ බිලිපූජාවට එතනට එන්නම්. ඔබලාට පහසුවෙන් ප්‍රයෝජනවත් ආකාරයට ඒ කළ හැකි බව“, සොර දෙටුවා කියපු වෙලාවට සංකිච්ච මහරහතන් වහන්සේ බිලිපූජාව පවත්වන ස්ථානයට වැඩම කළා. සොරදෙටුවන් ඇතුළු පිරිසත් හරිම සතුටෙන් හිටියා. සොරදෙටුවන් තුළත් සැකයත් පැවතුණා. මැරෙන්න කවුද කැමති, මේ රහතන් වහන්සේ කියන වෙලාවට ඒ විද දන්නේ නැති නිසා.නමුත් ඒ කියූ පරිදි එලෙසම එය සිදුවෙලා තිබෙන නිසා සොරදෙටුවන් සතුටු වුණා. එම ස්ථානයේ සංකිච්ච හාමුදුරුවන් වාඩිකරවල බිලිපූජාව පවත්වන සූදානම් වුණා. සොරදෙටුවා කඩුව රැගෙන එය හොඳට මැදල බිම වැඩ සිටින හාමුදුරුවන්ගේ බෙල්ලට ශක්ති සම්පන්න ආකාරයට කඩුපහරක් ගැසුවේ බෙල්ල එසැණින් කැපී යන්නයි. රහතන් වහන්සේගේ බෙල්ලට වැදුණ කඩුව නැමිල ගියා.

මරණාසන්න මොහොතට කලින් රහතන් වහන්සේ සමවතට සමවැදී සිටිය නිසා එම කඩුව නැමී ගියා. එක පහරින් බෙල්ල කැපෙන්න කියලා බෙල්ලට ගැහුවත් කඩුව නැමිල ඇදවෙලා ගියා. කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැති නිසාත් මේ තරම් මුවහත් කඩුවට මෙහෙම වුණ නිසාත් සොර දෙටුවන්ට හරිම පුදුමයි. සොර දෙටුවාට සිතාගත නොහැකිව වුණ සිද්ධිය පිළිබඳව සොර දෙටුවාත් කල්පනා කරන්න පටන් ගත්තා. ඔහු මෙසේ සිතන්න පටන් ගත්තා.
“හිත් පිත් නැති මේ කඩුව පවා නැමිල ගියෙත් මේ පුද්ගලයාගේ ගුණධර්ම නිසා. එසේ වූ ඒ ගුණධර්ම අපට නොතේරෙන්නේ ඇයි? අකුසල් වැඩියෙන් කරන නිසාද? මේ ආකාරයට කල්පනා කරන්න පටන් ගත්තට පසුව සොර දෙටුවටන් තමන් කරන වැරැදි ක්‍රියාවේ වරදත් මේ හාමුදුරුවන්ගේ උතුම් ගුණවල තියෙන සුවඳත් ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා. ඊට පසුව මේ හාමුදුරුවන්ට වැඳල තමන් කළ වැරැද්දට සමාව ඉල්ලමින් සොරදෙටුවා ඇතුළු පිරිස කියා සිටියේ හාමුදුරුවනේ අපි මහණ කරන්න කියලා” ඒ අනුව මේ පිරිස සංකිච්ච මහරහතන් සමීපයෙහි පැවිදි වුණා. පැවිදිව බණ භාවනා කරල පසුකාලීනව ආර්ය මාර්ගයට පත්වුණා.

මේ සිද්ධි දාමය අනුව බුදුපියාණන් වහන්සේ මේ ආකාරයේ දේශනාවක් කරනු ලැබුවා. “දුසිල්වූ එකඟ සිත් නැති කිසියම් කෙනකු අවුරුදු සියයක් ජීවත් වන්නේද? සිල්වත් වූ එකඟ සිත් ඇති කෙනකු ජීවත් වන එක දවස ඊට වඩා උතුම් වනවාය කියලා” ඒ බණ පදය අහල ඒ අසල හිටිය විශාල පිරිසක් රහත් භාවයට පත්වුණා.


 මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment