ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය සෘජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත් පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ.
එහිදී අපට බුදුහිමිගේ මඟ පෙන්වීම ඉතා, වැදගත් වේ. විවිධ සූත්‍රාශ්‍රයෙන් බුදුහිමි ඒ පිළිබඳ කියා දුන් කරුණු කාරණා දැන ඉගෙන ගෙන ඒවා අනුගමනය කිරීමට උත්සාහවන්ත වන්නේ නම් කාගෙ කාගේත් ජීවිත සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත.
ඇසුර පිළිබඳව කතා කිරීමේ දී එහි දෙපැත්තක් තිබෙන බව බුදුරදුන් දේශනා කළහ. එනම් හොඳ ඇසුර හා නරක ඇසුර යන්නයි. එහිදී අප ඇසුරට පත් කර ගත යුත්තේ හොඳ ඇසුරයි. නරක ඇසුර නිරන්තරයෙන්ම ජීවිතයක විනාශය, අසාර්ථකත්වය, අවැඩ පිණිස පවතී. නරක ඇසුර තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත්
අයහපතක්ම සිදු කරනු ඇත. එබැවින් අපි නරක අය හඳුනාගෙන ඔවුන්ගෙන් මිදී හොඳ ඇසුරක් ලබා ජීවිතය යහපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඒ සම්බන්ධව බුදු හිමි දේශනා කළ කරුණු කාරණා ස්වල්පයක් විමසා බලා ඒ තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට සිතට ගනිමු.
හොඳ අය නම් සත්පුරුෂයින් කල්‍යාණ මිත්‍රයින්, සිල්වත් ගුණවත් යනාදී පිරිස් ය. ඔවුන් පිළිබඳ හැදෑරීමේ දී අපට වැදගත් සූත්‍රයක් ලෙස මංගල සූත්‍රය ගැනීමට පුළුවන. එහි සඳහන් මංගල කරුණු තිස් අට අතර “පණ්ඩිතා නඤ්ච සේවනා” යනුවෙන් (පණ්ඩිතයන් සේවනය කිරීම) යන මංගල කරුණ වැදගත් වේ. එයට හේතුව වන්නේ පණ්ඩිතයන් නිරන්තරයෙන් හොඳ දේකටම මඟ පෙන්වන බැවිනි. ඔවුන් බහුශ්‍රැත තැනැත්තෝය. සිල්වත් හා ගුණවත්කමින් අනූනය. ඔවුන් ඇසුරු කරන්නන් හට සදා යහපතක් මිස අයහපතක් සිදු නොවේ.
දී. නි ට අයත් සිඟාලෝවාද සූත්‍රය දෙස විමසා බැලීමෙන් එහි කල්‍යාණ මිත්‍රයින් හතර දෙනෙක් දක්වා ඇත. එනම්,
01. උපකාරක (ප්‍රමාදව හෝ සිහි මුලාවෙන් සිටින කල රැකීම)
02. සමාන සුඛ දුක්ඛ (තම රහස් මිතුරාට පවසන හා මිතුරාගේ රහස් රකින අය.)
03. අත්ථඛායි (පවින් වළක්වා යහපතෙහි යොදවා නිවන් මඟ පහදා දීම)
04. අනුකම්පක (දුකේ දී දුක්වීම හා සැපේ දී සතුටුවීම)
ඉහතින් සඳහන් කළ මිතුරන් හොඳ කල්‍යාණ මිතුරන්ය. ඔවුන් ඇසුරු කිරීම කෙනෙකුගේ තම ජීවිතයක්, පවුලේ අන් අයගේ ජීවිතත්, දේපළත් ආරක්ෂාවීමට හේතුවෙනවා සේම, ගුණ ධර්ම අතින් දියුණුවීමට හේතුවක් ද වේ. මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද යහපත් වීමට හේතු වේ. නිවන් මඟ පාදා ගැනීමටද කල්‍යාණ මිත්‍රාශය බලපානු ඇත. එබැවින් එවැනි මිතුරන් ද ඇසුරු කොට ජීවිතය යහපත් කර ගැනීම ඉතා වැදගත් වේ.
අංගුත්තර නිකායට අයත් ව්‍යග්ග පජ්ජ සූත්‍රය තුළ කල්‍යාණ මිත්‍රයා යනු කවරෙක්ද? යන්න පිළිබඳ දීර්ඝ විස්තරයක් කොට ඇත. එනම්,
ව්‍යග්ගපජ්ජය කල්‍යාණ මිත්‍රත්වය යනු කවරේද? ව්‍යග්ගපජ්ජය මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ගමක හෝ නියම් ගමක හෝ එහි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ තරුණ වූ හෝ මහලු වූ හෝ ශ්‍රද්ධා සම්පන්න, ශීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න අය සමඟ එක්ව සිටී. කතා කරයි. සාකච්ඡා කරයි. ශ්‍රද්ධා සම්පන්නයන් අනුව ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි. ශීල සම්පන්නයන් අනුව ශීල සම්පත්තිය අනුව හික්මෙයි. ත්‍යාග සම්පන්නයන් අනුව ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි. ප්‍රඥාසම්පන්නයන් අනුව ප්‍රඥාසම්පත්තිය අනුව හික්මෙයි. මෙය කල්‍යාණ මිත්‍රත්වය යයි කියනු ලැබේ. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ගෙන් හෙබි ඒ අනුව ඇසුරු විසුරු කරන කටයුතු කරන පිරිස හොඳ මිතුරන් සේම ඔවුන් ඇසුරු කිරීම යහපත කැඳවන්නක් බව සඳහන් වේ. එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවන් වහන්සේ, බුදු හිමියන්ගෙන් මෙම බුද්ධ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද? කියා ඇසූ ප්‍රශ්නයකට බුදුරදුන් දේශනා කරන්නේ “මා හේවං අනන්ද, මා හේවං ආනන්ද සකල මෙව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යද්දිං කල්‍යාණ මිත්තතා” යනුවෙනි එනම් ආනන්දය, හරි අඩක් නොව මේ බුද්ධ ශාසනයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත බව දේශනා කළහ.
සමාජයේ ජීවත් වීමේ දී කල්‍යාණ ඇසුරක්ම ලැබිය යුතු ය. හොඳ කෙනෙකුගේ ඇසුරක් නැත්නම් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට අපහසුය. ධම්ම පදය තුළ ඒ පිළිබඳ දේශනා කොට ඇත්තේ මෙලෙසිනි.
කල්‍යාණ මිත්‍රයකු සොයන්නාහට තමාට වඩා ගුණයෙන් උසස් අයකු හෝ සමාන අයෙකු හෝ නොලැබේ නම් තනිව විසීමේ අදහස දැඩි කර ගත යුතු ය. ගුණවන්තයෙකුගෙන් ලැබෙන සහායකත්වය බාලයකුගෙන් නොලැබේ.
බුදුරදුන් වරක් බාලයින්ගේ ඇසුරට වඩා හුදකලාව විසීම සැපයයි සිතා පාරිලෙය්‍ය වනයට වැඩම කළ ආකාරය ද ඉතා වැදගත් ය. සැරියුත් මුගලන් චරිත කතා තුළින් වුවද කල්‍යාණ මිත්‍රත්වය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන. අද යුගයට බුදුසිරිතෙන් හා ශ්‍රාවක චරිත තුළින් ගත යුතු කරුණු බොහෝ ය. ඒවා සිතට ගෙන හොඳ ඇසුරක් ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට පසුබට නොවිය යුතු ය.
සැළලිහිණි සන්දේශය තුළ සඳහන් වන එක් පද්‍ය පන්තියක් විමසීමේ දී ද හොඳ මිත්‍රයකුගේ ලක්ෂණ පැහැදිලි වේ.
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී
හොඳ මිතුරා දුකත් සැපත් දෙකේදීම මධ්‍යස්ථව ළඟ හිඳී. හරියට සිතුවම් රූප පිටු නොපාන්නක් මෙනි. ඒ අනුව යහපත් ජීවිතයක්, නිරවුල් ජීවිතයක් ගත කිරීමට නම් හොඳ ආශ්‍රයක් තිබිය යුතු බව ඉහත කරුණු තුළින් පැහැදිලි වේ. අපට හොඳ ආශ්‍රයක් තුළින් බොහෝ දේ ලබා ගත හැකිය. අංගුලිමාල, ආලවක, නාලාගිරි, ආදී මිනිස් තිරිසන් බොහෝමයක් බුදුහිමිගේ ඇසුර හා අවවාද අනුශාසනා මත සුමඟට පත් වූ ආකාරය ඉතා පැහැදිලිය. ජාතක පොත් වහන්සේ තුළ බැලුව ද විවිධ ජාතක කතා තුළින් ජීවිත සාර්ථක කරගත් ආකාරය ඉතා ප්‍රකටය.
අප නොයෙක් පින්කම් කොට අවසානයේ කරන ප්‍රාර්ථනා ගාථාව තුළ ද අන්තර්ගතය වන්නේ හොඳ ඇසුරක් ලැබීමයි. එනම්,
ඉමිනා පුඤ්ඤ කමෙමන
මාමේ බාලසමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
(මේ පින්කමේ බලයෙන් මා හට අසත්පුරුෂ ආශ්‍රයක් නොවේවා, නිවන් දකිනා තුරා සත්පුරුෂයන්ගේම ආශ්‍රය ලැබේවා)
මේ ආදි විවිධ තැන්වල හොඳ ආශ්‍රයක ඇති වැදගත්කම පැහැදිලි කොට ඇත. ත්‍රිපිටකය හා බුද්ධ චරිතය ඇසුරු කොට ගෙන අපට හොඳ ආශ්‍රයක් ලබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. හොඳ අය ඇසුරු කිරීමෙන් මෙලොව ජීවිතය ප්‍රශ්න ගැටලු පැන නොනැගෙන ආකාරයෙන් සකස් කර ගැනීමට පුළුවන. මව්පිය, දූදරු, ගුරු සිසු, ස්වාමි භාර්යා, ස්වාමි සේවක, ගිහි පැවිදි යන සමාජයේ සියලු කොටස් තුළ හොඳ ආශ්‍රය පැවතිය යුතු ය. එවිට මුළු මහත් සමාජයම යහපත් වනු නිසැක ය. ඒ අනුව අප සෑම කෙනෙක්ම හොඳ ඇසුරක් ලබා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් උතුම් නිවනින් සැනසීමටත් අධිෂ්ඨානය කර ගත යුතු ය.
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති,
මාස්පොත ශ්‍රී ගංගාරාම වාසි,
ගලගෙදර රතනවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 04 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment