Labels

Sunday, October 4, 2015

උතුම්ම දානය කුමක්ද?


යම්කෙනෙකු වෙත යමක් දීම, පරිත්‍යාග කිරීම, පිරිනැමීම දානය නම්වේ. එසේ දෙන වස්තුව උපභෝග පරිභෝග වශයෙන් කොටස් දෙකකට බෙදේ. තමා සමීපයෙහි තිබෙන දේ ළඟපාත තිබෙන ගෙවල් ඉඩකඩම් ආදිය උපභෝගයන්ය.
තමන් පරිභෝජනයට ගන්නා ආහාරපාන, ඇඳුම් පැළදුම් ආදිය පරිභෝග වස්තුව නම් වේ.
දානවිධිද කීපයකි. ආමිස දාන, අභයදාන, පුද්ගලික දාන, සාංඝික දාන, ධර්මදාන යනාදි වශයෙනි. ආමිස දාන නම් ඇඳුම් පැළඳුම් ආහාරපාන ගෙවල් දොරවල් ඉඩකඩම් වතුපිටි කෙත් වතු ආදි දේ පරිත්‍යාග කිරීමය. අභයදානය නම් මරණයට කැපවූ මිනිසකුට හෝ සතෙකුට මරණින් බේරාගෙන ජීවත්වීමට අවස්ථාව සලසා දීමය. සබ්බේසං ජීවිතංපියං සියලු දෙනාම ජීවිතයට පි‍්‍රය කරති. ජීවිතය රැක ගැනීමටත් හැකිතාක් කල් ජීවත් වීමටත් හැකිතරම් උත්සාහ කරති. තවත් සතකුගේ හෝ මිනිසකුගේ ජීවිතය උදුරාගන්නේ නම් එය බරපතළ වරදකි. යමෙකුට ජීවත්වීමට අවස්ථාව සලසා දෙන්නේ නම් මරණින් බේරා ගන්නේ නම් එය මහා පුණ්‍යකර්මයකි. එය අභයදානයයි.

 පුද්ගලිකව යම් යම් දෙනාගේ ගුණ යහපත්කම් හෝ ශීල, සමාධි, ප්‍රඥා ආදි විශිෂ්ට ගුණ කදම්බයන් සිහිකොට දානයක් දේ නම් එය පුද්ගලික දාන සංඛ්‍යාවට අයත් වේ. එදා බුදුන් ධරමානු කාලයේ සමහර විද්වතුන් විසින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණ සලකා උන්වහන්සේට දන් පිළිගැන්වූහ. සමහර කෙනෙක් මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදී උන්වහන්සේට දන් පිළිගැන්වූහ. තව කෙනෙක් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් උන්වහන්සේට දන් පිරිනැමූහ. ඒ අනුව ස්වර්ග මානුෂික සම්පත් ලබා ගත්හ. සමහර පින්වතුන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සාංඝික වශයෙන් දන් පූජාකළහ. ඒ අනුව බොහෝ දෙනෙකු දෙව්මිනිස් නිවන් කියන්නා වූ ත්‍රිවර්ග සම්පත්තියම ලබා ගත්හ. මේ හැම දානයකටම වඩා ධර්මදානය උතුම් බව දේශනාවේ සඳහන් වේ. ධර්මදානය නම් යම් කිසි කෙනෙකුට ධර්මය දේශනාකිරීමය. තමන් දන්නා වු බුද්ධ දේශිත වලට අඩංගු බණ පදයක් හෝ තව කෙනෙකුට කියා දෙන්නේ නම් එය ධර්මදානය නම් වේ. ධර්ම දේශනා කිරීමද දස පුන්‍ය ක්‍රියාවන්ගෙන් එකකි.

කලෙක තව්තිසා දෙව්ලොව දෙවියන් අතර ප්‍රශ්න හතරක් මතු වේ.

1.දානයක් අතර කවර දානයක් උතුම්ද?

2.රසයන් අතර කවර රසයක් උතුම්ද?

3.සිත ඇලීමෙන් කවර සිත ඇලීමක් උතුම්ද?

4.තෘෂ්ණාව ක්ෂය කළ තැනැත්තා කුමක් දිනුවා නම් වේද ?


තව්තිසා වැසි දෙවියෝ දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි මේ ප්‍රශ්න හතර විසඳීමට කෙනෙක් නැතිව දස දහසක් දෙවියෝ මෙම මගුල් සක්වලට රැස්ව සතර වරම් දෙවියන් සමීපයට රැස්වූහ. ඔබලා කුමකට රැස් වූයෙහි දැයි සතර වරම් දෙවියෝ ප්‍රශ්න කළ කල්හි.අපට මේ ප්‍රශ්න හතරක් මතු වී තිබේ. එය අප කිසිවෙකුටත් විසඳිය නොහැකිව ඔබලා හමුවට ආම්හයි. ඔවුහු ප්‍රකාශ කළහ. වරම් දෙව්වරුන්ටද එම ප්‍රශ්න හතරටය පිළිතුරු දිය නොහැකිව ශක්‍ර දේවේන්ද්‍රයන් අසලට ගොස් ඒ ප්‍රශ්න හතර ශක්‍ර දෙවියන්ට ඉදිරිපත් කළහ. එවිට ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ ප්‍රශ්න හතර නම් තුන්කල් දත් බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙකුට විසඳිය නොහැකිය. එබැවින් මේ ප්‍රශ්න හතර අපි “සර්වඥයන් වහන්සේට ඉදිරිපත් කරමු”යයි දේව ගණයා පිරිවරා බුදුන් හමුවට පැමිණ ප්‍රශ්න විචාළහ. බුදුරජාණෝ මේ ප්‍රශ්න හතරට සම්පිණ්ඩනය වශයෙන් මෙසේ වදාළහ.

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්ම රතී ජිනාති 

තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති 


සියලු දානයන් අතර ධර්මදානය උතුම්ය. සියලු රසයන් අතර ධර්ම රසය උතුම්ය. සියලු රතින් අතර ධර්ම රතිය උතුම්ය. සියලු දුක් දිනන්නෙ තෘෂ්ණාව ක්ෂය කිරීමෙනි. ශක්‍ර ද්වේන්ද්‍රයෙනි. බඹලොව අවසන්කොට ඇති මේ මුළු සක්වල පහළ වු බුදු පසේ බුදු මහ රහත් උත්තමයන් වෙති. ළපටි කෙසෙල් දළු සමාන මට සිලිටු සිවුරු පුජා කළත් තුන්සිවුරුම පුජා කළත් සතර පදයකින් යුත් ගාථාවකින් ධර්ම දේශනාකිරීමෙන් ලැබිය හැකි කුශල ඵලයෙන් සොළොස්භාගයෙන් එකක්වත් නොලැබේයැයි ප්‍රකාශ කළහ. විශේෂයෙන් සක්වළ පුරා වැඩවසන්නාවූ බුදු පසේ බුදු,මහරතන් වහන්සේලාට උක්සකුරු ගිතෙල් මීපැණි ආදිවූ ඖෂධවර්ග පාත්‍රා පුරවා දන් දුන්නේ වී නමුත් එක සතර පදයකින් යුක්ත ගාථාවකින් ධර්මදේශනා කරන තරම් ආනිසංසයක් නොලැබේ’. ලක්ෂයක් විහාර කරවා පුජා කරණවාටත් වඩා එක සතර පදයකින් යුක්ත ගාථාවකින් ධර්මදේශනා කරනවා නම් කුමක් නිසාද යත් බණ ඇසීමත් බණ දේශනාකිරිමත් මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කමක් බව අප දැනගත යුතුය. ඒවා දශ පුණ්‍යක්‍රියා වලට අයත්වන ඒවාය. බණ ඇසු අයම පින්කරති. බණ නෑසු අය පිංනොකරති. පින් කිරීම මෙලොව පරලොව ඇදහීම කර්ම කර්ම ඵල විශ්වාස කිරීම මිථ්‍යාදෘෂ්ටිය දුරුකිරීම සද්ධාවන්ත බව හා තුණුූරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති වීම ධර්ම ශ්‍රවණයෙන්ම සිදුවේ. බුදු,පසේ බුදුවරු හැර අනෙකුත් රහතන් වහන්සේලා බණ ඇසීමෙන්ම රහත්බව ලබා ගත්තෝ වෙති. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළ ‘යේධම්මා හේතුප්පභවා” යන ගාථාවේ මුල්පදය ඇසීමෙන්ම සෝවාන් ඵලයෙහි පිහිටුවීය. ඒ ගාථාවම උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකයාට දේශනා කිරීමෙන් එම ගාථාවේ දෙපදයම අසා සෝවාන් පලයෙහි පිහිටියේය. මෙය රහත්බව ලබා ගැනීමට හේතු වන පරතෝ ඝොෂප්‍රත්‍ය” නමින් හැඳින්වේ. මෙලොව ඇති රස අතර පුෂ්ප රසය. ඵලරසය, කන්ධරසය ආදියෙහි යම් රසයක් ඇද්ද, ඒ හැම රසයක්ම තෘෂ්ණාව ඇති කොට සසර ගමන දිග් කරයි. නමුත් ධර්මරසය තෘෂ්ණාව ක්ෂය කොට සසර දුක නිවාලයි. රතිය නම් ඇල්මයි. මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු ධනධාන්‍යවලට ඇලුම් කරති. රිදී රත්තරං වලට ඇලුම්කරති. ගීතවලට චිත්‍රපටවලට ඇලුම් කරති.

ඒවා සසර ඇද බැඳ තබා දුක් දෙති. සසර ගමන දිගු කරති. නමුත් ධර්ම රතිය සසර දුක් ගිනි නිවාලයි. තණ්හක්ඛය කියන්නාවු තෘෂ්ණාව නැතිකරන්නාවූ අර්හත් ඵල සංඛ්‍යාත වු මේ නිර්වාණය සියලු සසර දුක්නිවාලයි. එබැවින් සියලු දානයන්ට වඩා මේ ධර්ම දානය උතුම්ය. වෙනත් දෙයක් දන්දෙන විට ඒ දෙය ඉවර වෙයි. ධර්මය නම් එකම ගාථාවක් වුණත් සියලු දෙනාට දුන්නත් ඉවරයක් නොවේ’. සියක් වාරයක් දේශනා කළත් ඉවරයක් නොවේ’. ධර්මය පිළිබඳ යම් අභිරතියක් ඇත්නම් එය ඉතා උතුම් සංකල්පයකි.
ධර්මය හොදින් ඇසිය යුතුය. එය හිතේ ධාරණය කරගත යුතුය. එසේම ධර්මය පිළිපැදිය යුතුය. එවිට අපේ ජීවිතයේ එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටද හැකිවනු ඇත. සියලු සත්වයෝ ධර්මදානයෙන් සැනසුම් ලබත්වා .


 කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී
කලාශූරි පස්යොදුන් කෝරළයේ
සහ හේවාගම් කෝරළයේ
ප්‍රධාන සංඝ නායක පණ්ඩිත
බෝතලේ ඤාණිස්සර නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment