බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි දී භික්ෂු භික්ෂුණීන්, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම බණ දේශනා කරමින් වැඩ වාසය කළා. ඒ කාලයේ මහ මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ හාමුදුරුවොත් යන දෙනම ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. එක දවසක් ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට මහ මුගලන් මහ රහතන් වහන්සේත්, ලක්ඛණ තෙරුන් වහන්සේත් පහළට වැඩම කරනවා.
උන්වහන්සේලා දෙනම හෙමින් හෙමින් ගිජ්ජකූට පර්වතය පහළට ගමන් කරන්නේ පිණ්ඩපාතය සඳහා වැඩම කිරීමටයි. මේ වෙලාවේ මහ මුගලන් මහරහතන් වහන්සේට දක්නට ලැබෙනවා. ගිජ්ජකූට පර්වතයේ සිටින පේ‍්‍රත ආත්මයක් ලබපු පේ‍්‍රතයකු, එම පේ‍්‍රතයා දිග ගව් සියයක් පමණ විශාලයි. පේ‍්‍රතයාගේ හිසෙහි සිට පත්තු වන ගිනි කඳ සිරුරක් පුච්චාගෙන කකුල් දෙක දක්වා එනවා. කකුල් දෙකෙන් ආරම්භ වන ගිනි කඳ සිරුරක් පුච්චාගෙන හිස දක්වා යනවා. ගින්නෙන් දැවෙනවා. ගින්නෙන් පිච්චෙනවා. නමුත් මේ පේ‍්‍රතයා මැරෙන්නේ නැතිව දුක් විඳ විඳ කාලය ගතකරනවා.
මෙසේ දුක් විඳින පේ‍්‍රතයා දිවැසින් දකින මහා මුගලන් මහ රහතන් වහන්සේට හසරැල් පහළ වෙනවා. මහ මුගලන් මහ රහතන් වහන්සේ තනිවම හිනාවෙන්නේ ඇයිද ? කියා ලක්ඛන හාමුදුරුවන් වහන්සේ විමසනවා. ඒ අවස්ථාවේ මුගලන් හාමුදුරුවේ දේශනා කරනවා “ඔය කාරණය ඔබ මගෙන් අහන්න. සන්ධ්‍යාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දම්සභා මණ්ඩපයේදී කියලා” . සන්ධ්‍යාවේ දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් බුදු බණ අස අසා බණ දහම් සාකච්ඡා කර හිතේ තියෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න වේලාවේ ලක්ඛන හාමුදුරුවො බුදුරජාණන් වහන්සේට ඇසීමත් සමඟ මහ මුගලන් මහ රහතන් වහන්සේගෙන් අහනවා” මහ මුගලන් හාමුදුරුවනේ, අද උදෑසන ගිජ්ජකූට පර්වතය මුදුනේ ඉඳල ඔබ වහන්සේත්, මමත් පහළට වඩින වෙලාවේ ඇයි ඔබ වහන්සේ හිටි ගමන් සිනා පහළ කළේ කියලා. ඊට හේතුව මොකක්ද?
ඒ වෙලාවේ නිවැරැදිව මට පිළිතුර දැනගන්න බැරි වුණා. ඒකට හේතුව කුමක්ද ? කියලා. බුදුහාමුදුුරුවොත් අනෙකුත් හාමුදුුරුවොත් වැඩ සිටින අවස්ථාවේ ලක්ඛන හාමුදුරුවන් මෙහෙම විමසූ විට මහ මුගලන් මහරහතන් වහන්සේ උදෑසන ගිජ්ජකූට පර්වතයේ සිට පහළට බහින වේලාවේ තමන් වහන්සේ තනියම සිනාසෙන්නට හේතු වුණ කාරණාව පැහැදිළි කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ කාරණාව පැහැදිළි කරන්නේ මෙවැනි ආකාරයටයි. ලක්ඛන හාමුදුරුවනේ, මම පර්වතයෙන් පහළට වඩින වෙලාවේ ප්‍රජාව දෙස දිවැසින් විමසමින් කල්පනාකාරි මනසකිනුයි වැඩම කළේ. දිව්‍යඤාණයට සමවැදිලා මානසික වශයෙන් දිවැසින් යම් යම් සිද්ධි පිළිබඳව බලමින් තමයි සිහිනුවණින් පහළට වැඩියේ. ඒ වෙලාවේ මට දක්නට ලැබුනේ, ගිජ්ජකූට පර්වතයේ ඉඳල කවදාවත් නොදැකපු දර්ශනයක්. ඒ දර්ශනය තමයි විශාල ශරීරයක් තියෙන පේ‍්‍රත ආත්මයේ දුක්විදින පේ‍්‍රතයකු, මෙම පේ‍්‍රතයාගේ ශරීරයේ ප්‍රමාණය හරිම විශාලයි.
ඔහුටත් එම ශරීරය දරාගන්න අපහසුයි. ඔරොත්තු දෙන්නේ නැහැ. ශරීරය පෝෂණය කිරීමට තරම් ආහාරයක් ලබාගන්නත් බැහැ. ශරීරය සිය ගව්වක් පමණ විශාලයි. එතරම් විශාල ශරීරයක් තිබුණත් කට හරිම කුඩයි. කටේ යටින් තල්ල හිල්වෙලා තියෙන නිසා වතුර පොදක් බොන්න බැහැ. පිපාසයෙන් දුක්විඳිනවා. බඩගින්නෙන් දුක්විඳිනවා. සමහර වෙලාවට බිම තිබෙන සෙම්,සොටු ටිකක් කන්න කියලා බිමට පහත් වෙන්න සූදානම් වන විට ශරීර විශාලත්වය නිසා ඒකට වෙලාව යනවා. එතකොට වෙනත් පුංචි සතෙක් ඒ දෙය කාල දාලා ඉවරයි. ජීවිත කාලයම කන්න නැතිව බඩසයින් දුක් විඳිනවා.
බඩගින්නෙන් දුක්විඳිනවා. වතුර පොදක් බොන්න නැතිව දුක් විඳිනවා. පිපාසාවෙන් දුක් විඳිනවා. බඩ ගින්නට කන්න නැතිවුණාය කියලා ඒ දුකෙන් මැරෙන්නෙත් නැහැ. වතුර බොන්න නැති වුණාය කියලා පිපාසාවෙන් මැරෙන්ණෙත් නැහැ. නොමැරී මැරී මැරී දුක් විඳිනවා මේ පේ‍්‍රතයාගේ හිසේ සිට ඇවිලෙන ගින්දර ශරීරය පුච්චාගෙන පුච්චාගෙන කකුල් දෙක දක්වා යනවා. කකුල් දෙකෙන් ආරම්භ වන ගිනිකඳ ශරීරය පිච්චි පිච්චී හිස දක්වා යනවා. කොච්චර පිච්චුණත් වේදනාව දැනෙනවා පමණයි. වේදනාව විඳිනවා පමණයි. මැරෙන්නේ නැහැ. නොමැරී මැරි මැරී වේදනා විඳිමින් දුක් විඳින මේ,පේ‍්‍රතයා දැක්කහම වේලාවකට දුකක් හිතුනත් , ඒ වෙලාවේ මට හිනා ගියා.
මනුෂ්‍ය ආත්ම ලබාගෙන ඒ මනුෂ්‍ය ආත්මය ලබපු මිනිස්සු මනුෂ්‍ය ආත්මයේ ඉඳගෙන කරන නරක නපුරු වැඩ නිසානේ මෙහෙම වෙන්නෙ කියලා. මනුෂ්‍ය ආත්මය ලබාගත් අය අනුන්ට හිංසා පීඩා කරන්නේ නැතිව තමන්ගේ කය, තමන්ගේ කට තමන්ගේ මනස තමාගේ යහපත සඳහාත්, සමාජයේ යහපත සඳහාත් යොදවන්න අවශ්‍යයයි. එහෙම යොදවන්නේ නැතිව අයහපත පිණිස වැඩ කරන අය තමයි .මේ ආකාරයට දුක් විඳින්නේ ඒකයි මට හිනහ ගියේ කියලා. ඒ සිද්ධිය මහ මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කළා. මහ මුගලන් මහ රහතන් වහන්සේගේ මේ පැහැදිළි කිරීම බුදුරජාණන් වහන්සේත් අසාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගෙන් මහ මුගලන් හාමුදුරුවන් ඊට පසුව විමසනවා ඇත්තටම බුදුහාමුදුරුවනේ, මේ පේ‍්‍රතයා මේ තරම් දුක්විඳින පේ‍්‍රත ආත්මයක උප්පත්තිය ලබන්නට තරම් මොහු විසින් කරනු ලැබූ අකුසලය කුමක්ද? කියලා. මොන වගේ අකුසලයක් කරපු නිසාද? මේ තත්ත්වයට පත්වුනේ කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛය විවර කොට කවුරුත් නොදන්න කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීත සිද්ධියක් මේ ආකාරයෙන් පැහැදිළි කළා.
මේ පේ‍්‍රතයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මනුෂ්‍ය ආත්මයක් ලබල මනුෂ්‍යයෙකු හැටියට උප්පත්තිය ලබපු කෙනෙක්. කාශ්‍යප බුදුහාමුදුරුවෝ දකින්නත් පින් තිබුණ කෙනෙක්. ඒ කියන්නේ බුදුන් දැක්ක කෙනෙක්. මොහු බුදුන් දැක්කට බුදුන් දැක්කේ ඇස් දෙකෙන් පමණයි. මනැසින් බුදුන් දැක්කේ නැහැ. බුදු බණ අනුව ජීවත් වුනේ නැහැ. බුදු බණ අනුව කටයුතු කළේ නැහැ. ඒ කාලයේ කාශ්‍යප බුදුහාමුදුරුවන් ගේ කාලයේ සුමංගල කියලා සිටුවරයකු හිටියා.
මේ සිටුවරයා බුදුහාමුරුවන්ට හරිම ශ්‍රද්ධාවයි. ගෞරවයයි. වැඩි පැහැදීමයි නිසා විහාරයක් කරවලා බුදුහාමුදුරුවන්ට පූජා කළා. බුදුහාමුදුරුවන් විහාරයක් කරවලා පූජා කරපු දවසේ උදෑසන, ඒ පින්කම සිද්ධ වෙන වෙලාවේ මඩ තැවරුණු අපිරිසුදු ශරීරයක් ඇති එක්තරා මනුෂ්‍යයකු කළුපාට රෙදි කඩකින් ශරීරය වසාගෙන එළිය වැටෙන තුරු නිදාගෙන හිටියා. ඒ නිදාගෙන සිටින මනුෂ්‍යයා දැකලා මේ නම් සොරකු වෙන්න ඕනෑය කියලා හිතලා රාත්‍රියේ හොරකමේ ඇවිදල දවල් වෙනකම් නිදාගන්නවා .මෙයා නම් හොරකු වෙන්නට ඕනේ කියා සිටුවරයා මේ මනුෂ්‍යයාට කිව්වා. ඒ සොරාට සිටුවරයාගේ කතාව ඇසුණා. හොරාට මෙම කතාව ඇසුණාට පසුව එම හොරා තමන්ට අවමානයට අපහාසයට මෙම සිටුවරයා මෙහෙම කිව්වාය කියලා හිතාගෙන වෛර බැඳගත්තා. සිටුවරයා කියපු කාරණාව කුමක්ද කියලා විමසා බලා තමන්ගේ අඩුපාඩු හදාගන්නවා වෙනුවට සිටුවරයාට වෛර බැඳගෙන වෛරයෙන් හිටියා. ඒ සිටුවරයාගේ සිටු මාලිගාවේ බඩු බාහිරාදිය කිහිප වතාවක්ම හොරකම් කළා. ඒ විතරක් නොවෙයි. බුදුරජාණන් වහන්සේට මෙම සිටුවරයා පූජාකළ ආරාමයත් ගිනි තියලා විනාශ කළා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ බුදුන් දකින්නට තරම් බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබීමට තරම් පින් තිබුණත් මනුෂ්‍ය, ආත්මය ලබපු මොහු කළේ මෙවැනි අකුසල්, තමාට සමාජයට, ආගමික පරිසරයට එරෙහිව මොහු වැඩ කළා.
මේ කටයුතු මේ ආකාරයෙන් නරක වැඩ කිරීම නිසා අපායේ ඉපදිලා බොහෝ කාලයක් දුක් වින්දා . අවුරුදු සිය ගණනාවක් දුක් වින්දා. එහෙම දුක් විඳ මනුෂ්‍යය ලෝකයේ ඉපදිලා පේ‍්‍රතයකු හැටියට ගිජ්ජකූට පර්වතයේ තවමත් දුක්විඳිනවා. මේ දුක් විදින්නේ එදා බුදුන් දවස බුදුන්ටත් එරෙහිව, සමාජයටත්, එරෙහිව, අනෙක් අයටත් එරෙහිව කරපු වැරදි වැඩ නිසා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළා. මේ පැහැදිලි කිරීම අහගෙන හිටිය හාමුදුරුවරු කර්මඵල පිළිබඳ හැඟීම දැඩි ලෙස ඇතිකර ගත්තා. තමන් යම්කිසි අකුසල කර්මයක් කළහොත්, යම්කිසි අකුසල කර්මයක් සමාජයට දුන්නොත්, එයින් හැඟෙන්නේ තමන් අකුසලයක් කළාය කියන එකයි. තමන් එහෙම කළොත් තමන්ටත් ලැබෙන්නේ ඒ දෙයම තමයි. තමන් හොඳ දේ දුන්නොත් හොඳ දේ ලැබෙනවා වගේම නරක දේ දුන්නොත් තමාට පෙරලා ලැබෙන්නේ නරක දෙයම තමයි. අජගර නම් පේ‍්‍රතයාගේ කතාව තුළින් පෙනෙන්නේ තමන් කරන නරක වැඩ සංසාර ගතව හෝ තමන්ගේ පස්සෙන් එළවාගෙන එන බවයි.
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment