අද දවසෙහි මේ දහම් කතාවෙන් බලාපොරොත්තු වන්නේ, එසේ වූ ඒ ලෝභය විෂම වූ ලෝභය නැතිකර ගන්න අප විසින් ධර්ම පරියායක් හැටියට, පිළිවෙත් මාර්ගයක් හැටියට ගත හැකි දහම් පෙළකුයි. එවිට දැඩි ආශාවන් ඒ වගේ ම ඒ තුළින් ඇතිවන ඊර්ෂ්‍යාව, තරහව, අනුන්ගේ දොස් සෙවීම, දැකීම, මේ ආදී උපක්ලේශ බැහැර කර ගන්නට ඉතාම පහසුවෙනවා. ඒ සඳහා අද සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් ‘නතුම්හ සූත්‍ර’ දේශනාවයි.
‘නතුම්හ’ කියන වචනයේ අදහස නුඹගේ හෝ නුඹලාගේ නොවේ කියන අදහසයි.
ඔබ ඔබට අයිති නැහැ, මම මට අයිති නැහැ කියන අදහස, අපට සරලව සිතට ගෙන පරමාර්ථ වශයෙන් ගැඹුරු අදහසක් ගන්නට පුළුවනි. සරල වශයෙන් ලෞකික ජීවිතයේ දකින බොහෝ දේවල් අප කැමැති හා අකැමැති වශයෙනුයි සිතෙහි පවත්වා ගන්නේ. කැමැති දේ ලබන්නටත්, අකැමැති දේට අකැමැති ආවේගය හෙවත් තරහව, අමනාපය නොඉවසන ස්වභාවය පහළ කිරීමත්, සාමාන්‍ය ස්වභාවයයි. ලෝභයෙහි අතුරු ප්‍රතිඵල ලෙස මේවා අපට දකින්නට පුළුවනි. මේ නිසා ඔබ ඔබගේ නොවෙයි කියන මේ අදහස ඔස්සේ අපේ සිත තේරුම් ගන්නට පුළුවනි නම්, සම්මුති ලෝකයෙ හි අප අපේ ජීවිතය පැවැත්වූවත් කිසිවිටකවත් මේ අනිත්‍ය වූ ලෝකයේ කිසිදු වස්තුවක් කෙරෙහි, මගේය මම වෙමි, මගේ ආත්මය එනම් මගේ වසඟයේ පාලනයෙහි යටත්ව පවතිනවාය කියන අදහසින් ක්‍රියා කරන්නෙ නැහැ.
තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘නායං භික්ඛවේ න තුම්හාකං’ - ඔය ශරීරය නුඹලාට අයිති නැහැ. ‘නාපි අඤ්ඥේසං’ - කාටවත් අයිතිත් නැහැ. ‘පුබ්බේ ඉදං භික්ඛවේ කම්මං’ - පෙර කරන ලද කර්මයක ඵලයකුයි. ‘අභිසංඛතං’ - හේතූන් ප්‍රත්‍යයන්ගෙන් හටගත් වස්තුවකුයි. ‘අභිසඤ්ඥේඤතයිතං’ - චේතනාවට වස්තුවී පවතිනවා. ‘වේදයිතං දට්ඨබ්බං’ - වේදනාවට වස්තුවක්ව පවතිනවා. නැවතත් පාලි අදහස සඳහන් කරනවා නම්, ඔය ශරීරය නුඹලට අයිති නැහැ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයක ඵලයකුයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ දෙයක්, චේතනාව මුල්වෙලා තියෙනවා. විඳීමට වස්තු වී පවතිනවා කියන අදහසයි.
මේ අදහස මැනවින් අපට තේරුම් ගන්නට පුළුවනි නම්, අපේ ජීවිතවල සිදුවිය හැකි පස්පව් දස අකුසල්වලින් බැහැර වීමට පරමාර්ථ වශයෙන් ඉතා යහපත් වූ අදහස් පෙළක් සිත තුළ පුරුදු කරන්නට පුළුවනි. මේ ශරීරය නුඹලාට අයිති නැහැ කියන අදහස ඔස්සේ අප අප ගැන සිතුවොත් මේ ශරීරය මට අයිති නැහැ. සම්මුතිය තුළ මම බව මගේ බව සැබෑය. අනුමාන වශයෙන් අපේ ජීවිතයේ පැවැත්ම ගැන සලකාගෙන, ඉගෙනීම, රැකියාව ගිහි ජීවිතවලට අනුව විවාහය, දරුවන් ගේදොර මේ ආදී ලෙසින් කටයුතු පවත්වනවා. එහෙත් පරමාර්ථ වශයෙන් ගළපා බලන විට මේ සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව තේරුම් ගත යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔය ශරීරය නුඹලාට අයිති නැහැ යනුවෙන් පැහැදිළි කළේ, අර දෙවනුව සඳහන් කළ පරමාර්ථ අදහස තේරුම් ගන්නටයි. පරමාර්ථ වශයෙන් ජීවිතය ගැන පෙන්වා දෙන දහම තේරුම් ගත්තෙ නැති වුණොත් සම්මුතියේ පමණක් ජීවත්වෙන්නට මනුෂ්‍යයන් උත්සාහ කරනවා. එනම් “ඒතං මම - මෙය මගේය, ඒසෝ හමස්මි - එයම මම වෙමි. ඒසෝ මේ අත්තා - එය මගේ ආත්මයයි. එනම් එය මගේ යටතේ පවතිනවා. මට පාලනයක් තියෙනවා. එය ස්ථිරව පවතිනවා කියන අදහසයි.
එතැන දී සිදුවන්නේ කුමක් ද? මම කියා, අර පළමු අදහසින් තමාගේ ජීවිතය ගැන සිතුවත් මේ මම කියා අදහස් කරන ශරීරය ස්ථිර නොවන බව පැහැදිලියි. එනම් ලෙඩවීම දිරාගෙන යාම මරණය ආදී ලෝකස්වභාවයන්ට පත්වීම උරුමයි. එයට හේතුව කුමක් ද? මෙලොව පවත්නා සියලු දේම එනම් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සෑම වස්තුවක් ම සංඛත හෝ සංඛාර නමින් හඳුන්වනවා. එවිට මේ සංඛතයක් වූ සවිඤ්ඤාණකව පවත්නා මේ කයත්, අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වෙනවා. එයට හේතුව කුමක් ද? මේ සංඛතය සවිඤ්ඤාණක වුවත් අවිඤ්ඤාණක වුවත් නිර්මාණය වී පවතින්නෙ සතර මහා භූත හෙවත් ධාතු කොටස් හතරකිනුයි. පඨවි – තද ගතිය, ආපෝ - වැගිරෙන ස්වභාවය, තේජෝ - උණුසුම, වායෝ - සුළඟ නම් වූ මේ සතරෙනුයි.
පඨවි ආදී ධාතුන්ගෙන් නිර්මාණය වූ සියලුම වස්තූන්ගේ ස්වභාවය, එම පඨවි ආදී ධාතූන්ගේ විසිරීම සිදුවන විට එම ධාතූන්ගෙන් නිර්මාණය වූ ඵලය ද විසිරී යාමයි. එනම් වෙනස්වීමයි. සවිඤ්ඤාණක වස්තුවක් නම් ලෙඩවීම, දිරාගෙන යාම ආදියට මුහුණදීමයි.
"හේතු පඨිච්ච සම්භූතං - හේතු භංගා නිරුජ්ජති " යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේ ද එම හේතු ප්‍රත්‍යය බිඳී විසිරී යන විට යමක් නමින් හැඳීන්වූ ඵලය ද විසිරී යන්නේය, බිඳී යන්නේය. එසේ නම් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව සම්මුතියේ පමණක් පිහිටා මම මගේය කියමින්, අප අපේ ම ජීවිතය සිතින් උපාධානය හෙවත් දැඩිව අල්ලාගෙන සිටියොත් කුමක් ද? සිද්ධවෙන්නෙ. එම පරමාර්ථ ධර්මය පිළිබඳව ඇති අනවබෝධය නිසා මෙම වෙනස්වීම සිතට පිළිගන්නට බැහැ. වෙනස්වීම පිළිගැනීමට තරම් සිත පුරුදුකොට නැහැ. බෞද්ධ දර්ශනයේ එය හඳුන්වන්නේ අභාවිත සිතක් හැටියටයි. මේ අභාවිත සිත නිතරම බලාපොරොත්තු වන්නේ ඇසෙන් දුටු රුව ඒ ආකාරයෙන් ම පවතිනවා දකින්නට හෝ පවත්වා ගැනීමටයි.
කනෙන් අසන ශබ්දය, තමා ප්‍රිය නම් එහි ඇලී ඒ ආකාරයෙන් ම පවත්වාගන්නට, තමා කෙරෙහි රඳවා ගන්නට අභාවිත සිත බලාපොරොත්තු වෙනවා. කනින් ලැබූ හඬ වගේ ම නාසයෙන් ලබන ආඝ්‍රාණය මෙයට තමා කැමැති නම් ප්‍රිය නම් ඒ ස්වභාවයෙන් ම තමා කෙරෙහි පවත්වා ගන්නට උත්සාහ කරනවා. දිවෙන් ලබන රසයට පි‍්‍රය නම් ඒ ප්‍රිය ස්වභාවය තමා සතු කරගෙන පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. කයෙන් ලබන ස්පර්ශයට තමා කැමැති නම් ඒ ප්‍රිය ස්පර්ශය තමා සතු කරගෙන පවත්වා ගන්නට උත්සාහ කරනවා. සිතින් ලබන ධර්ම හෙවත් අරමුණුවලට තමා ප්‍රිය නම් කැමැති නම් ඒවා තමා සතු කරගෙන ඒ ආකාරයෙන් ම පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. එයට තව එක් හේතුවක් පවතිනවා. එනම් අභාවිත සිතක ස්වභාවයෙන් ම ප්‍රියවස්තූන් කෙරෙහි ඇලීමටත්, බැඳීමටත් පොළඹවන ආවේග චෛතසික සකස් වී තිබෙනවා. මේවා හඳුන්වන්නේ කාමච්ඡන්දයට උපකාරීවන ධර්ම හැටියටයි. පංචකාම ගුණ හැටියටත් ධර්මයේ විස්තරකොට තිබෙනවා. අපි නිදසුනක් ගනිමු ඒ ඇස හා රූපය සම්බන්ධවයි.
“චක්ඛු විඤ්ඤේයයා රූපා
ඉට්ඨා ඛන්තා මනාපා
ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනීයා” යනුවෙනුයි. ඇසෙහි චක්ඛු විඤ්ඤාණය පහළවන විට ඒ චක්ඛු විඤ්ඤාණය සකස් වන්නේ මෙවැනි ගුණයි. එනම් ඉටුවඩන, මනවඩන, ප්‍රිය දෙයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන නම් වූ ස්වභාවයයි. මේ පංච කාම ගුණයන්ගෙන් යුක්තව රූපය මුල්කොටගෙන චක්ඛු විඤ්ඤාණය සකස් වුණොත් එතැන කාමච්ඡන්දයක් වෙනවා. එනම් ඒ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක රූපයට ඇලෙනවා. බැඳෙනවා. එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා. ප්‍රාර්ථනා කරනවා. සිතෙහි ඒ රුවට මුල්තැනක් දෙනවා. එනම් සිත ඒ වස්තුවෙහි ම ඔසවා තබනවා කියන අදහසයි.
අභාවිත සිතක් නම් වූ එනම් මේ සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමට පුරුදු නොකරන ලද මේ සිත මෙම රූපය දැන් තමා සතුකරගෙන තිබෙනවා. ඉහත සඳහන් කළා සේ සිත සතුටු කරන ප්‍රිය ස්වභාවයෙන් අරමුණු කුල්මත් කරන ආකාරයෙනුයි දැන් ඒ රුව සිතින් අල්ලාගෙන තිබෙන්නෙ
2015 ක් වූ ඔක්තෝබර් 20 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපිය
නුවණැති මනුෂ්‍යයා සීලයේ පිහිටා සිත හා ප්‍රඥාව වඩයි
චක්ඛුනා රූපං දිස්වා
සුඛාය වේදනාය ඵුට්ඨෝ
සමානො අභිනන්දති අභිවදති
අජ්ඣෝසාය තිට්ඨති
ඇසෙන් රූපය දැකල ස්පර්ශ කරමින් නිමිති අනු නිමිති වශයෙන් ගනිමින්, විඳීමට හසුකරගනිමින් එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම සිත ඔසවා තබනවා කියන අදහසයි.
දැන් මේ ප්‍රිය වස්තුව සංඛතයක් නිසා එම සංඛතයේ සැබෑ ස්වභාවය අනිත්‍යතා දහමට යටත්ය. එම නිසා දුක්ඛ ලක්ෂණය එහි ඇත්තේය. අනිත්‍ය ස්වභාවය ද උරුමයි. ඒ අනුව ඒ රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වන විට මේ අභාවිත සිත එය පිළිගන්නට කැමැති නැහැ. ඒ මොකද? අභාවිත සිත බලාපොරොත්තු වුණේ රුව, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි තමා කැමැති ආකාරයෙන් ම තමා සතු කරගෙන පවත්වා ගැනීමටයි. දැකීමටයි. පරිහරණය කිරීමටයි. නමුත් ලෝක ස්වභාවය අනුව එය එසේ වන්නේ නැහැ. ඉහත සඳහන් කළ අයුරින් සෑම සංඛතයක ම හටගැනීම හා වෙනස්වීමත්, නැතිව යෑමත් උරුමව පවතිනවා. එය ධර්මයේ පැහැදිලි කළේ,
තීණිමානි භික්ඛවේ සංඛතස්ස
සංඛත ලක්ඛණානි
කතමානි තීණි?
උප්පාදෝ පඤ්ඤායති
වයො පඤ්ඤායති
ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති
සංඛත වස්තුවල ලක්ෂණ තුනක් දක්නට තිබෙනවා. එම ලක්ෂණ තුන නම් හටගැනීම, නැතිවීම, හා පවතින්නකුගේ වෙනස්වීමක් ද දකින්නට තිබේ යන අදහසයි. කෙටියෙන් සඳහන් කළොත් “උප්පාදඨිති භංග“ යනුවෙනි.
දැන් අභාවිත සිතක් ඇති පුද්ගලයාට කුමක් ද සිද්ධවන්නේ? ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මගේය මම වෙමි මගේ ආත්මය කියල එනම් මට ඕනෙ විදිහට පවතිනවා කියන අදහසින් සිතින් උපාදානය කරගත්ත රූපය, ශබ්දය, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි හෝ වේවා, වෙනස්වීමට භාජනය වන විට සිතට දරාගන්නට නොහැකි වෙනවා. එවිට කුමක් ද සිද්ධ වෙන්නෙ. මේ අභාවිත සිත් ඇති පුද්ගලයා ‘සෝචති’ - සෝක කරනවා. ‘පරිදේවති’ – හඬනගා එනම් විලාප දී හඬනවා. ‘උරත්තාලින් ඛන්දති’ – ළයේ හෙවත් පපුවේ අත්ගසා ගන්නවා. ‘ඛිලමති’ – ක්ලාන්ත වෙනවා. ‘සමූහං ආපජ්ජති’ – මුලාවෙනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ නැවතත් මතක් කරනවා නම්; ඔය ශරීරය නුඹලාගේ නොවේ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයේ ඵලයක්, සංඛතයකුයි. චේතනාවට මුල් වී තිබෙනවා. විඳීමට වස්තුවී තිබෙනවා කියන අදහසයි.
දැන් මේ ශරීරය වෙනස්වී යන විට අභාවිත සිතක් ඇති පුද්ගලයා වඩ වඩාත් හඬමින්, වැළපෙමින්, ශෝක කරමින් තමාට අයත් යැයි සිතාගෙන සිටිය දේ වෙනස්වීමේ ස්වභාවය පිළිගන්නට බැරුව මහත් සේ දුකකට පත්වෙනවා. එපමණක් නොවෙයි ඔහු විසින් හෝ ඇය විසින් වෙනත් ආකාරයකින් හෝ වෙනත් රූපයක් හඬක් ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි ලබන්නට පෙළඹෙනවා. එය අටුවාවන්හි පැහැදිලි කරන්නේ ලෝල ගති ඇති, වානරයකුගේ ස්වභාවය හැටියටයි, ලෝල ගති එනම් දැඩි ආශාවන්ගෙන් යුක්ත මේ වානරයා කිසිදු ඵලයකින්, ගෙඩියකින්, පලතුරකින් සෑහීමකට පත්වන්නේ නැහැ. පැසුණු, නොපැසුණු, මධ්‍යස්ථ ගෙඩි, මේ හැම ගෙඩියක් ම කඩා ලෑටිගා, පැත්තකට දමනවා ඔබ දැක ඇත. කිසිවක් සම්පූර්ණයෙන් ආහාරයට ගන්නෙ නැහැ. ලෝල වානරයකුගේ ස්වභාවය එයයි.
අභාවිත සිත් පවතින අශ්‍රැතවත් පෘතග්ජන සිතක ස්වභාවය ද එයයි. ආශාවෙන් ළංවෙනවා. එය තමා සතු කරගන්නට හදනවා. වෙනස්වීම පිළිගන්නට කැමැති නැහැ. වෙනස් වන විට හඬනවා, වැළපෙනවා. දුක්වෙනවා. වෙනස්වීමට හේතුව කුමක්දැයි සොයන්නට තරම්; එනම් පරමාර්ථ ධර්මය වශයෙන් මෙනෙහි කරන්න තරම් පුරුදු නොකරන ලද සිතක් ඇති නිසා, අලුත් රුවක්, හඬක්, ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි සොයන්නට පෙළඹෙනවා. වෙනස් වූ රුව, හඬ, වෙනස් වීම නිසා තමාට නොලැබුණ බවත් එය ශෝකයක්, දුක්ඛ වේදනාවක් හැටියටත් පමණක් හඳුනාගෙන, ඒ ශෝකය දුක්ඛවේදනාව නැති කර ගැනීමට එකම පිළියම නැති වූ වස්තුවට සමාන යමක් හෝ එයට ගැළපෙන යමක් නැවත තමා සතුකර ගැනීම බව මේ අශ්‍රැතවත්, පෘතග්ජන සිතක් ඇති එනම් අභාවිත සිතක් ඇති පුද්ගලයා කල්පනා කරනවා. ඒ නිසා නැවත කැමැති රුවක්, ප්‍රියයි කියන හඬකට, කැමැති ආඝ්‍රාණයක්, තමා කැමැති රසයක්, ස්පර්ශයක්, සිතිවිල්ලකට බැඳෙනවා. එහෙත් නැවතත් මේ පුද්ගලයාට යථාර්ථයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එනම්
‘යං කිඤ්චි සමුදය ධම්මං
සබ්බංතං නිරෝධ ධම්මං’ යමක් හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි, කියන මේ ධර්ම ස්වභාවය අනුව අර නැවත අරමුණු කරගත් රූපය, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි ද “උප්පාදථිතිභංග“ හට අරගෙන වෙනස් වී නැතිව යනවා. එවිට අභාවිත සිතක් ඇති මේ අශ්‍රැතවත් පුද්ගලයාට හිමිවන්නේ ශෝකය, පරිදේව හෙවත් විලාප දී හැඬීම, කායික හා මානසික දොම්නස්, උපායාස හෙවත් බලවත් සිත් තැවුල් මෙන් ම පරිලාහය නම් වූ ශරීරයේ ඇතිවන ඇවිලීමක්, දැවීමක්, පිළිස්සීමක් බඳු කායික පීඩාවක් පමණක්මයි. මේක කෙළවරක් නැති ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන්ගේ ගමනකුයි. අප මුලින් සඳහන් කළා සේ පරමාර්ථ ධර්මයට එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට සවිඤ්ඤාණය, අවිඤ්ඤාණක වස්තු නම් වූ සියලු සංඛත යටත්කොට දකින්නට නොහැකි වුණොත් සම්මුතිය තුළ පමණක් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අරමුණුගෙන ජීවිතය පවත්වන හැම කෙනෙකුට ම මෙවැනි වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපාන්නට සිද්ධ වෙනවා. දැඩි වූ ලෝභය, විෂම වූ ලෝභය, තරහව, වෛරය, නොඉවසීම, ගුණමකුකම, ආදී බොහෝ උපක්ලේශයන්ට හේතු සාධක සකස්වෙන්නේ මේ අභාවිත සිතේ පවත්නා නොදැනීම නිසා බව දැන් පැහැදිලියි.
සියල්ල හටගත්තා වගේ ම නැතිව යනවා කියන මේ පරමාර්ථ, ධර්ම කතාව සිතට පුරුදු කරන්නට පුළුවනි නම් සිතට වැටහෙන්නට අවබෝධය ලබාදෙන්නට පුළුවනි නම් දැඩි වූ ලෝභය, තරහව, වෛරය, පලිගැනීම් ආදී කෙලෙස්වලින් බැහැරවීමක් සංසිඳීමක් ඇතිකර ගැනීමට පහසුයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවිටකවත් සම්මුතිය ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, මංගල, ධම්මික ආදී සූත්‍ර දේශනා කළේ විශේෂයෙන් ම ගෘහස්ත ජීවිතවල සම්මුතියේ පිහිටා එම ජීවිත දහමෙන් ලබන සංතෘෂ්ටියෙන් යුක්තව පවත්වා ගැනීමට. සම්මුතිය තුළ සීලයේ පිහිටා කටයුතු කළ යුතු බව දක්වනවා.
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
නුවණැති මනුෂ්‍යයෝ සීලයේ පිහිටා ම සිතයි, ප්‍රඥාව වඩනවා. මෙහි සිත නම් සමථය වැඩීමයි. එනම් සිත දියුණු කිරීමයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, ආදී දස අනුස්සති භාවනාවකින් හෝ අනිකුත් සමථ භාවනාවකින් මේ සිතේ දියුණුවක් එකඟභාවයකට පත්කර ගැනීමක් කළ හැකියි. එනම් කුසලාරම්මනයක සිත පවත්වාගැනීමට පුරුදු කළ හැකියි. ප්‍රඥාව වැඩීම නම් විදර්ශනාවයි. එනම් මේ සියලු සංස්කාර, එනම් සංඛත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමට නුවණ මෙහෙයවීමයි. එය ප්‍රඥාව දියුණුව හැටියටයි දක්වන්නේ.
භාග්‍යවතුන් වහන්සේ සම්මුතියේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකළා වගේ ම එය අනුගමනය කළ යුත්තේ කායික, වාචසික සංවරය නම් වූ සීලයේ පිහිටා ම බව උන්වහන්සේ දේශනා කළේ ඒ ආකාරයෙනුයි. නිදසුනක් මේ වගෙයි ‘පත්ථකම්ම සූත්‍රදේශනාවට අනුව ගෘහස්ත ජීවිතයක් ගතකරන ඔබට ඉගෙනීම අවශ්‍යයයි. භෝග හෙවත් ධනය උපයා ගැනීම අවශ්‍යයයි. ඒ වගේ ම යුතුකම් කිරීම අවශ්‍යයයි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වූවත් ජීවිතයේ පැවැත්මට ලෝකයේ පැවැත්මට ඉගෙනීම, ධනය උපයා ගැනීම වස්ත්‍ර ආදිය සපයා ගැනීම හෝ කෙටියෙන් පැවසුවොත් මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්පැළඳුම් නිවාස බෙහෙත් හේත් ලබාගැනීම හා ඒවා අරපරිස්සමින් පරිහරණය කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වචනය නම් ‘සම්මා’ කියන අදහසයි. එනම් නිවැරැදිව කළයුතු බවයි. සීලයේ පිහිටා කළ යුතු බවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී සම්මා දිට්ඨි ආදී වශයෙන් දක්වන්නේ මේ පිළිවෙළ නැතිනම් මාර්ග පිළිවෙල කතාවයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර්
12 වන සඳුදා වප් පුර අටවක පොහෝ දින හා රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර්
20 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි දෙකකි
No comments:
Post a Comment