Labels

Sunday, October 4, 2015

මවුපියවරු රැක බලා ගැනීම දරුවන්ගේ යුතුකමය



බඩ ගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද ? පුතේ කිරි දුන්නේ මා නුඹට 



කුසගින්නට ආහාරයක් ලබා ගැනීමට තම පුතුගේ නිවසට ගිය මවකට තම පුතා සැලකූ ආකාරය සම්බන්ධව ඇයගේ සිත්හි ඇතිවූ අදහස් කැටි කර සැකසූ මේ ජනකවිය මඟින් පිරිහෙන පුතකුගේ ලක්ෂණයන්ද එක් පැත්තකින් ගෙන හැර දක්වා ඇත.
හැකියාව තිබියදීත් තම මවට පියාට නිසි ලෙස නොසලකන්නා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කර ඇත.

යො මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තො න භරති
තං පරාභවතො මුඛං


වර්තමාන සමාජයේ බොහෝ විට මව සහ පියා දෙදෙනාම රැකියාවේ නියුතු වූවන් විය හැකිය.
ඔවුන්ගේ දූ පුතුන් පාසල් යන්නන්ය. මේ නිසා තම මවුපියන් රැක බලා ගැනීම ඔවුනට ප්‍රශ්නයක් වී ඇති සේය. එවිට තමන් හදා වඩා ගත් මවුපියන් වැඩිහිටි නිවාසයන්ට යොමු කිරීමට මේ දූ පුතුන් පියවර ගන්නා බවක් පෙනේ. තම පහසුව තකා මේ දූ පුතුන් සිදු කරනුයේ කුමක්ද? තමා කුඩා කාලයේදී හදා වඩා ගත් අපේ පැරැන්නන්ගේ භාෂාවෙන් කියනවානම් කැත කුණු අත ගා හැදූ මවුපියන්ට නොසලකා හැරීමක් මෙහි දී සිදු කෙරේ. එවැනි දූ පුතුන්ගේ පිරිහීම සිදුවන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වී තිබෙනවා.

සමාජයේ බොහෝ දූ දරුවන් තම මවුපියන් වෙත මහත් ගෞරවයෙන් පුද සත්කාර කරන දරුවන්ද අප අතර සිටින බව අගය කළ යුතුය. ඒ පිළිබඳ එවැනි දරුවන් වෙත ප්‍රශංසා කළ යුතුය. මවත් පියාත් දූ දරුවන්ගේ සංග්‍රහයන්ට ලක්විය යුතුවනවා . තම දිවි දෙවෙනි කොට මව්පියන් දරුවන්ගේ අභිවෘද්ධිය සලසා දෙනවා. සතරබ්‍රහ්ම විහරණ මඟින් ඔවුන් දරුවන් හදා වඩා ගනු ලබනවා.

ශිල්ප ශාස්ත්‍ර පුරුදු පුහුණු කර සමාජයට වැඩදායි අයෙකු ලෙසට ඔබ පත් කර තිබෙනවා.
මෙසේ දූ දරුවන් වෙනුවෙන් වෙහෙසෙන මවුපියන් ගතින් මෙන්ම සිතින්ද අපහසුතාවයට පත්වූවාට ඇතැම් දූ දරුවන් ඔවුන් තම නිවාසවලින් බැහැර කරනු පෙනේ. ඔවුන් විසීම තමන්ට කරදරයක් බාධකයක් යැයි සිතනු පෙනේ.
තම නවීන සමාජයට මවුපියන් නොගැලපේ යැයි ඇතැම් දරුවන් සිතනු දැක ගැනීමට පෙනෙනවා. මවුපියන් තම නිවසේ ආලින්දයේ සාලයේ සැරිසැරීම ඔවුන්ට නුරුස්සන්ට හේතු වී ඇත්තේ එබැවින් යැයි විටෙක සිතීමට හැකියාව තිබෙනවා.
මේ නිසා ඇතැම් වියපත් මවුපියවරුන් දූ පුතුන්ගේ කතා බහක් නොමැතිව නිවසේ පසුපස කාමරයක සිරවී සිටිනු දැක ගැනීමට හැකියි.
දරුවන් මේ අයුරින් මවුපියන් නොසලකන්නේ නම් එම දරුවන් ගුණ ධර්මයන්ගෙන් පිරිහී ඇති අය බව පෙනෙනවා.

ගුණධර්මයන්ට මුල් තැනක් ලබා දිය යුතු බව බුදු දහමේ උගන්වා ඇත්තේ එහෙයිනි.
බුද්ධිය පමණක් වර්ධනය කළහොත් ඔහු කපටි අයකු බවට පත්වනවා. හදවත පමණක් වර්ධනය කළහොත් ඔහු හිත හොඳ මෝඩ අයෙකු බවට පත්වනවා.
මේ දෙදෙනාම සමාජයේ යහපතට බාධා පමුණුවනවා. කරුණාව හා ප්‍රඥාව එක සමානව පැවැතිය යුතු බවට බුදු දහමේ දක්වා ඇත්තේ එබැවිනි.
අප සමාජයේ කුඩාම ඒකකය පවුලයි. අඹු සැමියන් දූ දරුවන් අතර නිවැරදි අවබෝධයෙන් සියල්ල සිදුවන්නේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවේ.

දරුවන්ගේ සෑම ක්‍රියාවක් කෙරෙහිම මවුපියන් අවධානයෙන් පසු විය යුතුයි. මවුපියන් තම දෙමාපියන්ට දරුවන්ගේ (ආච්චිට සීයාට) දක්වන සැලකීම ගෞරවය උපහාරය දෙස දරුවන් නිහඬව බලා සිටී.
මේ නිසා තම මවට පියාට නොසලකන්නා පිරිහෙන බව ඉතා පැහැදිලිය.
කුඩා කාලයේදී වරදක් කළ විට මවුපියන් ඇසුවේ “දරුවෝ ඔය වගේ වැඩ කරලා මොන ලෝකෙටද යන්නේ”? යනුවෙනි. එම ලෝකය කුමක්ද? යන්නේ කෙසේද? යන්න ගැන එතරම් අවබෝධයක් නැතත් මහ මඟදී හමුවුණ ආබාධිතයෙක් නෙත් අඳ තැනැත්තෙක් අප වරදින් මුදාගන්නවට මව්පියන්ට උපකාරි විය.

පේනව නේද ? වැරැදි කළ අයට ලැබෙන දඬුවම් මවුපියන්ගේ එම පෙළඹවීම් මත දරුවන්ගේ මනැස සංකල්පමය වශයෙන් වෙනස් විය. අද බොහෝ පවුල් න්‍යෂ්ටික වී තිබෙනවා. තාප්පයකින් වටවුණු කුඩා ගෙබිම කැබැල්ලක සිරවී සිටින ඒ පිරිසට අවට ලෝකය ගැන අවබෝධය මදිවිය හැකිය. මේ නිසා ආදර්ශයක් ලබා ගැනීම අපහසුය. එම නිසා පිරිහීමේ එක් දොරටුවක් වන හැකියාව තිබුණද තම මවුපියන් පෝෂණ කිරීමේ වගකීම ඔවුන් කෙරෙන් දුරු වී යයි.

මේ නිසා ජරාජීර්ණ තත්ත්වයට පත්වන මවුපියන් සමාජයේ අවලංගු කාසි බවට පත්වනවා. ඔවුන්ගේ අදහස් වලට සමාජයේ තැනක්ද නැති වනවා. ඔවුන්ගේ අභාවයන් සමඟම ඒ අත්දැකීම් සමුදායන් අපට අහිමි වනවා. ගුණ දහමින් පිරි සමාජයක් වෙනුවට ගුණ දහම් හීන වූ සමාජයක් කරා අපට යාමට සිදුවනවා.

හැකියාව තිබියදී මවුපියන්ට නොසලකන්නා සිඟාලෝවාද සූත්‍රයට අනුව තම යුතුකම් හරි හැටි ඉටු නොකරන්නකු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
මාපිය දූ දරු සබඳතාව නිසි පරිදි ඉටු වුවහොත් පරාභව සූත්‍රයේ දැක්වෙන මේ පිරිහීමේ දොරටුව කිසි දිනක විවර වන්නේ නැහැ. මව්පියන් විසින් දූ දරුවන් උදෙසා කළ යුතු යුතුකම් ඉටුකළ විට වැඩිවියට පත් වූ දරුවන් විසින් තම යුතුකම් මවුපියනට ඉටුකිරීම මත මා පිය දූ දරු සබඳතාව තහවුරු වී බුදු දහම අනුදැන වදාළ මේ පිරිහීමේ දොරටුව වසා දැමිය හැකිවනවා.

දූ දරුවන් විසින් මවුපියන් උදෙසා ඉටුකළ යුතු වත් පිළිවෙත් අතර දෙමව්පියන් පෝෂණය කිරීම, දෙමව්පියන්ගේ කටයුතු කිරීම තුළ පරම්පරාව රැකීම මවුපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම මිය ගිය දෙමාපියන්ට පින් පෙත්දීම ආදී ගුණ ධර්ම අයත් වනවා.
එම යුතුකම් පහ දූ දරුවන් විසින් ඉටුකළ විටදී මව්පියන් සම්බන්ධ සියලු වගකීම් වැඩිවියට පත් දරුවන් විසින් ඉටු කරනු ලබනවා. එවිට සමාජයේ මාපිය දූ දරු සබඳතාව නිසි පරිදි සුරැකෙනවා සේම පිරිහීමේ දොරටුද වැසී යනවා.


එමෙන්ම සසර ගමන කෙටිකර ගැනීමේ මාර්ගය උදෙසා කුසල් කිරීම සිදුකර ගැනීමටද අපට අවස්ථාව උදාවනවා.

 
දෙල්ගොඩ උඩුපිල
විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
යොවුන් සිතට දහම් සිසිල දහම් මැදුරේ
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි 





ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 28 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment